සුළි සුළඟක සුසුමක් – 34 වන කොටස

මල්ෂා ගේ ඉකි බිඳුම් හඬ මගේ සවනෙන් රිංගා ඇතුළාන්තයට කිඳා බැස, සංවේදී සෛල උත්තේජනය කරන්නට වූයේ ය.

“මල්ෂා…අනේ නංගි ඇයි මේ අඬන්නෙ…”

අම්මා ත්, කෑම මේසයේ අඩු වැඩිය සපයමින් උන් නීලා ත් දෙදෙන ම එක වර මදෙස බැලූහ.

“අක්කී…බලන්නකො…සංකල්ප කියනව එයා ආදරේ කරන කෙනෙක් ඉන්නවලු. ඒ මං නෙවෙයිලු”

“දරුවො…ඉතිං ඒකට අඬල වැඩක් නෑ නේද…”

අත සෝදා ගනිමින් මම මේසයෙන් නැගිට්ටෙමි. අම්මා නිසොල්මනේ සිටියත්, නීලම්මා ඒ ගැන පෙන්වූයේ නො සන්සුන් බවකි. ඇය මට දිගට ම කෑම කන්නයි ඉඟි කළත් මේ වෙලාවේ මට කෑම වලට වඩා කෙල්ලක ගේ හිතක වන දුක සන්සිඳුවාලීම වැදගත් වූයේ ය.

“ඒත් අක්කි…මං එයා ගැන කොච්චර හෝප්ස් තියං හිටියද…”

“එයා ඔයාට හෝප්ස් දුන්නා කියලද ඔයා කියන්නෙ…”

“එහෙම නෙවෙයි…ඒත් මං එයාට ආදරේ කළානෙ”

වැරැන්ඩාවෙන් මම මිදුලට බැස්සෙමි. තණ පලසෙහි වූ පිනි බින්දු, මගේ නග්න දෙපා සීතලට වැළඳ ගත්තේ ය.

“නංගි. අපි නවතින්න ඕන අපිට ආදරේ කරන කෙනෙක් ළඟ. මේ ටික කාලෙදි මං ඉගෙන ගත්ත දෙයක් ඒක”

ආදරය ගැන ඒ තරම් බර සාර ප්‍රකාශයක් කරන්න ට තරම් ධෛර්යයක් මා අත් කර ගත්තේ කොතැනකින් ද කියා මම ම නො දනිමි. එහෙව් දෙයක් මීට පෙර මා දැන සිටියා ද කියා හෝ මා නො දන්නා තරම් ය.

තත්පර කිහිපයකට එහා ඉම අතිශය නිහඬ වූයේ ය. මට ඇහුණේ සිව් දෙසින් මා වට කර ගත් රැහැයි හඬ පමණකි. සංකල්ප අද සින්දු කියන්නේ නැතිවා විය යුතු ය.

“අපි කොච්චර ආදරේ කළත්…අපිට ආදරේ නො කරන කෙනෙක් ගෙං කවදාවත් ඒ වගේ ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම බලාපොරොත්තු වෙන එක විහිළුවක්”

මම තව දුරටත් ඇය ට යමක් ඒත්තු ගැන්වීමේ උත්සාහයක් ගතිමි. මගේ හඬ තුළ වූයේ මහත් සානුකම්පිත බවකි. සංකල්ප කියන්නේ මා පෙම් කරනා තරුණයා ය කියා, ඔහු කෙරේ පෙමින් බැඳී සිටිනා වෙනත් ගැහැනු හිතක් තලා දමන්නට තරම් මට දැඩි විය නො හැකි ය.

“මට ඔයාගෙ හිත තේරෙනව. ඔයාගෙ දුකත් තේරෙනව. ඒත් ඔයා කැමතිද කියන්න ඔයාට ආදරේ නොකරන කෙනෙක්ව නීතියෙං විතරක් මැරි කරල…හැමදාම හිතෙං තැවි තැවි ඉන්න…ආදරයක් ලැබෙන්නෙ නැතුව…”

“මං එච්චර අවාසනාවන්ත කෙල්ලෙක් වුණේ ඇයි අක්කි”

“මල්ෂා…මේක තේරුං ගන්න. අදරේ කියන්නෙ බලෙං දෙන්නවත්…බලෙං ගන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි…ඔයාට තේරෙනවද…ම්…”

ඇය ටික වෙලාවක් හඬා සන්සුන් වූවා ය. මම හයිලන්ඩ් ගෙස්ට් දෙස බැලුවෙමි. තැන් තැන් වල දැල්වෙන විදුලි පහන් එළි, තුරු මුදුන් අතරින් පෙරී මේ පැත්තටත් කාන්දු වේ. නමුත් ඒ පැත්තේ හිඳිනා කෙනෙකු ගේ ඡායාවක් හෝ මෙතැනට නොපෙනෙන්නේ ය.

“මං අක්කිගෙං දෙයක් අහන්නද..”

එක් වර සිරුර දිග විදුලියක් ගියා සේ ය. මම අමාරුවෙන් කෙළ බිඳක් ගිල ගතිමි.

“අහන්…න..”

“සංකල්ප අයිය…ආදරේ කරන්නෙ අක්කිටද…”

ඈ පහසුවෙන් අසා ගත්තා වුණත් ඊට පිළිතුරු දීම මට නම් පහසුවක් දැනවූයේ නැත. ඕනේ නම් ‘අනේ නෑ නංගි’ කියා මේ මොහොතට ඈ සනසා රවටා තබන්නට පුළුවන. නමුත් එසේ කරන්නට ද මට සිත් දුන්නේ නැත.

“ඔ…ව්…”

මම අසීරුවෙන් කියා ගතිමි.

“ඇත්තට ම…එයා මාව හිතේ තියං ඉඳල තියෙන්නෙ අවුරුදු විසි ගාණක් තිස්සෙයි. නතර වෙන්න ඕනෙ අපිට ආදරේ කරන කෙනෙක් ළඟයි කියල තේරුං ගත්තට පස්සෙ තමයි…”

“ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි”

ඈ එහෙම කීවත් මට කිසිදු සතුටක් දැනෙමින් තිබුණා නොවේ. එක ම හේතුවක් මත ඇය අවාසනාවන්ත හෝ මා වාසනාවන්තයි කියා සිතන්නට තරම් අප ඉක්මන් විය යුතු ද?

“මේක එහෙම වාසනාව ගැන ප්‍රශ්නයක් නෙවෙයි නංගි. ආදරේ ගැන ප්‍රශ්නයක්. ඒක හම්බ වෙන්නෙ කවදද කියල අපි දන්නෙ නෑ. මං දැනං හිටියෙත් නෑ. මං මෙහෙ ආවෙ ආදරයක් හොයං නෙවෙයි. ඒත් සමහර වෙලාවට…ඉරණම නියම වෙලාවෙදි අපිව අදාල තැනට අරං යනව ඇති”

 ඒ කතා බහ නිමා වූයේ හිතේ සැහැල්ලුවකින් වීම මට සතුට දැනවී ය. නමුත් මල්ෂා ගැන බියක් හිතේ නොවූවා ම නොවේ. ඈ වගේ ළද බොළඳ කෙල්ලක ආදරය වැනි කාරණයකදී සංවේදී වෙනවා වැඩි ය. ප්‍රේමය හිමි නොවීම මත දිවි නසා ගත්, කලා ක්ෂේත්‍රයේ දන්නා කියන නම් ගණනාවක් ම මගේ මනසේ ඇඳී ගියේ ය. බියෙන් තැති ගත් මම සංකල්ප ට විස්තරය කියා මල්ෂා ගැන සොයා බලන්නයි කීවෙමි. නමුත් ඔහු යළි කතා කොට කීවේ ඇය දුරකතනය ට පිළිතුරු නො දෙනා බවකි. ඉනු පසු මම යළිත් ඇය ව සම්බන්ධ කර ගන්නට බැලුවෙමි. ඇගේ දුරකතනය ක්‍රියා විරහිත කොට තිබිණි.

“හරි ඉතිං අපි උදේට ගිහිං බලමුකො එයාගෙ ගෙදරට”

මා දිගින් දිගට ම ඈ ගැන කම්පා වෙත්දී සංකල්ප කීවේ ය. මා නිදා ගත්තේ ඒ බලාපොරොත්තුවත් එක්කයි.

කෙසේ වෙතත් මා උදේ අම්මා ට බෙහෙත් දෙමින් සිටියදී නීලා කාමරයට ආවා ය.

“අන්න අර මල්ෂා කියන ළමය ඇවිත් සුදු බබාව අහනව”

හදවතෙහි අමුතු ගැස්මක් ඇති විය.

“අනේ එහෙනං අම්මට බෙහෙත් බොන්න වතුර දෙන්න නීලම්මා”

කියා ගෙන මම පිටතට ගියෙමි. මල්ෂා මල් පොකුරක් ද සමගින් බරාඳය මැද්දේ සිට ගෙන සිටියා ය. ඇගේ මුහුණ මත මලක් වන් සිනහවක් විය. නමුත් ඒ සිනහව යට වේදනාවක් ඇති බව මට නො තේරුණා නොවේ.

“අක්කි. මට ඔයාට විශ් කරන්න ඕන වුණා”

ඈ මල් කළඹ මට දී මා වැළඳ ගත්තා ය.

“එන්න. යං රූම් එකට”

මා ඇගේ අතින් අල්ලා ගෙන කාමරය වෙත කැටිව ගියේ, අම්මා ට අපේ කතා ඇසෙන්නට ඉඩ ඇතැයි සිතුණ බැවිනි.

“ඔයා කිව්ව එක ඇත්ත. ඊයෙ රෑ එළි වෙනකල්ම මං ඒ ගැන කල්පනා කළා. අපි නතර වෙන්න ඕන අපිට ආදරේ කරන කෙනෙක් ළඟ තමයි. නැත්තං හැමදාම හූල්ල හූල්ල ඉන්න තමයි වෙන්නෙ”

ඇය මගේ යහන මත වාඩි වී ඇතිරිල්ලෙහි ඇඟිල්ලෙන් බලි රේඛා අඳින්නට වූවා ය.

“සංකල්ප අයිය ඇත්තටම හොඳ කොල්ලෙක්. ඒ වගේ කෙනෙක්ගෙ ආදරේ ලබන ඔයා ගොඩක් වාසනාවන්තයි”

“දවසක ඔයාටත් හරි කෙනා හම්බ වෙයි. එතකන් කලබල නොවී බලං ඉමු. ම්..”

ඇය මඳහසකින් හිස වනා එකඟ වූවා ය. මගේ හිතට සැනසීමක් දැනිණි.

සංකල්ප කොන්ත්‍රාත්කරු කැටි ව විත් අම්මා සමග කතා කරන්නට සැලැස්වී ය. ඇත්තට ම අම්මා කීවේ කළ යුතු අත්‍යවශ්‍ය දේවල් පමණකි. සියල්ල මැදිහත් ව කතා කළේ සංකල්ප ය.

“පුතාට තේරෙනවනෙ ඉතිං. පුතා හොඳ විදිහට කතා කරන්නකො”

අම්මා එහි සියලු බල තල සංකල්ප මත පැවරූයේ එසේ ය. ගේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු දෙදිනකට පසු ආරම්භ කරන්නට තීරණය විය. අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය ගෙන ඒමේ වගකීම අම්මා සංකල්ප ට පැවරුවා ය.

“උත්තරා සතුටෙන් ඉන්නවනං එච්චරයි”

මා අන්තර්ජාලයේ සැරිසරමින් අලුත් තිර රෙදි විලාසිතා අම්මා ට පෙන්වත්දී ඇය කීවා ය. අලුත් බලාපොරොත්තුවක්, මගේ ම ගෙයක් ගැන වෙනස් විදිහේ හීනයක් මගේ හිත දකිමින් සිටියේ ය. ලූනා ද අලුත් ප්‍රබෝධයකින් මි අස දැවටී සිටියා ය. නීලා ගේ මුහුණේ දිගට ම නලියන සිනහවක් විය. ඉතා කුඩා දේවල් වලින් අපේ හිත් වල ඇති කළ හැකි ප්‍රීතිමත් බව ගැන මම පුදුම වුණෙමි.

ඒ හැන්දෑවේ සංකල්ප අපේ ගෙදර ඇවිත් ගෙදර කටයුතු ගැන අම්මා එක්ක කතා කරමින් සිටියේ ය.

“මට අම්ම එක්ක කාරණයක් කතා කරන්නත් තියෙනව”

ඔහු එසේ කියත්දී මා බලන්නට ඇත්තේ ගැස්සී ගෙන විය යුතු ය. මා සිටියේ ලූනා ව පිරිමදිමිනි. ඇය මගේ උකුලේ හිස තියා පොඩි දරුවෙකු සේ උණුහුම් වෙමින් සිටියා ය. සංකල්ප දෙස බලත්දී මගේ පිරිමැදුම නැවතුණා දැනුණෙන් ලූනා හිස නගා බැලුවා ය.

“කියන්න පුතා. මොකද්ද…”

අම්මා කිසිදු කලබලයකින් තොර සන්සුන් බවකින් කීවා ය.

“මං…මං කැමතියි උත්තරාව මැරි කරන්න”

කකුල් දෙක ඉදිරියේ ම බෝම්බය පුපුරා ගියේ ය. මා කෙතරම් කලබල වූයේ ද යත් උගුර කට වියළී යන්නට ගත වූයේ නිමේෂයකි. මෙහෙම දෙයක් අම්මා සමගින් කතා කරනා බවක් ඔහු නිකමට හෝ මට කියා තිබුණේ ද නැත.

ඒ ප්‍රකාශයෙන් අනතුරුව ඇති වූයේ අල්පෙනෙති තුඩක් බිම වැදුණත් ඇහෙනා විදිහේ දැඩි නිහඬතාවයකි. මම හුස්ම අල්ලා ගෙන බලා සිටියෙමි. සංකල්ප වැරදීමකින් හෝ මා දෙස බැලුවේ නැත.

“මට හරිම සතුටුයි පුතා…ඔයා කෙලින් ම මාත් එක්ක මේ ගැන කතා කරපු එක ගැන”

නිහඬතාවය බිඳ දැමුවේ අම්මා ය. ඇගේ හඬ තුළ කෙතරම් සතුටක් මුහු වී තිබුණා ද යත්, ඒ හඬ යළි යළි ත් මට ඇසෙන්නට වූයේ ය. අම්මා මදෙස බලත්දී මම බිම බලා ගතිමි. නමුත් ඊට පෙර, ඇගේ ඇස් වල වූ ප්‍රීතියේ දීප්තිය මට දකිත හැකි විය.

“මට ඕන වෙලා තිබුණෙත් උත්තරා ලොකු සල්ලිකාරයෙක්ට බන්දල දෙන්න නෙවෙයි. එයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට බන්දල දෙන්න. එයා සතුටෙන් ජීවත් වෙන ගැනක…එයා ගෙ දරුවොත් හුරතල් කර කර මගෙ ජීවිතේ අන්තිම කාලෙ ගෙවල දාන්න…අද ඇත්තටම මට හරි සතුටු දවසක්”

අම්මා ඇස ක කඳුළක් තෙත මාත්කු කළා ය.

“මට දැනිල තිබුණෙ මෙහෙම දෙයක්. ඒ ගැන අහන්නැතුව මං බලං හිටියෙ කොයි වෙලේ කවුරු මට ඕක කියයිද කියලයි. ඔයා වගේ පිරිමි දරුවෙක්ට මගෙ දූව දෙන්න මං බය වෙන්නෙ නෑ පුතා”

“අම්…ම…”

මම අම්මා ගේ ළයෙහි තුරුලු වුණෙමි. ඈ මගේ හිස් මුදුන සිප ගත්තා ය.

“බැඳීම් වලින් ඈත් වෙන්න ඕන කියල රත්නපුරේ ඇවිත් ඔයා දන්නෙම නැතුව අලුතෙං බැඳිල උත්තරා..මේ ජීවිතේ සතුටෙන් ඉන්න පුතේ. ඒකයි වෙන්න ඕනෙ”

“හැබැයි අම්මා හැමදාම මෙහෙ ඉන්න ඕනෙ…”

මම ඉතාමත් හෙමිහිට මිමිණුවෙමි. මගේ හඬ කඳුළු වල දියවෙන්නට ඔන්න මෙන්න ව තිබිණි.

“මට ඉන්න පුළුවන්…සංකල්ප පුතා බිස්නස් ටික හැන්ඩ්ල් කරයිනෙ”

මම හැරී ඒ මුහුණ දෙස බැලුවෙමි.

“මං උත්තරා ට කියල තියෙනව. මට වෙන කිසි දෙයක් ඕන නෑ. උත්තරාවයි අම්මවයි බලා ගන්න මට පුළුවන්”

“ඒත් අපි දෙන්නත් එක්ක ලැබෙන දෑවැද්දත් ඔයාට ගන්නම වෙනව. නේද උත්තරා…”

අම්මා සිනහ වෙමින් අසුනෙන් නැගිට ගෙතුළට ගියා ය. මම හෙමි හෙමිහිට සංකල්ප හිඳ උන් අසුන වෙත සමීප ව වැරැන්ඩාව වට කරන රතු ගඩොලින් බැඳී කුළුණකට හේත්තු වුණෙමි.

“මට කිව්වෙවත් නෑ අම්මට කියනව කියල”

මගේ බැල්මේ නෝක්කාඩුවක් වන්නට ඇත. නමුත් ඔහු ගේ ඇස් මත වූයේ උතුරා දෝරෙ ගලන ආදරයයි.

“ගෑනුන්ට කිය කිය කරන වැඩත් තියෙනව එහෙම නොකරන දේවලුත් තියෙනව”

 වෙනස් නො කර ගත් බැල්මෙන් මඳ වෙලාවක් සිටි ඔහු, පුටුවෙන් නැගිට විත් මා හේත්තු වී සිටි කුළුණකට අතක් තබා මවෙත නැඹුරු වූයේ ය. අම්මා දකිනු ඇත යන බියෙන් ඔහු ව තල්ලු කොට දමා එතැනින් ඉවත් වන්නට මගේ උඩු හිතට ඕනෑ වුණත්, යටි හිත කීවේ තව මොහොතක් ඒ අහඹු නිමේෂයීය මිහිර විඳ ගන්නා ලෙසයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -17

"සකී?" සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත. "ඒ ළමයා උඹට...

ප්‍රේමයේ අභිමන් – 10

දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා...

සුහදිනි – 16

සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ...

(අ)හිමි සිහින -179

මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය...

ප්‍රේමයේ අභිමන් -09

අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල්...