සුළි සුළඟක සුසුමක් – 35 වන කොටස

හැම දේ ම සිදු වූයේ ටිකක් ඉක්මනට හා අමුතු විදිහකට ය. ජීවිතය කියන්නේ එහෙම දේකට යයි හිතන්නට මට ඕන විය. මීට හාර පස් මසකට පෙර සිටි මා, අප්පච්චි ගේ මරණයත් එක්ක මුළුමනින් වෙනස් විය. ඇතැම් විට මගේ ම අම්මා පවා මා උමතු වී ගෙන එනවා දැයි සිතන තරමට ඒ වෙනස පැහැදිලි ව පෙනුණේ ය. මීට දෙමසකට පෙර සිටි මා ත් අද සිටින මා ත් අතර වන්නේ අහසට පොළොව මෙන් වෙනසකි.

එක අතකට ජීවිතය කියන්නේ එහෙව් වර්ණ හා හැඩ තල වලින් සමලංකෘත වූ, ඒකාකාරීත්වයක් නොමැති ගමනකි. ඒ ගමනේ එක් එක් කාල වලදී හමු වන දර්ශන හා විඳිත හැකි අත්දැකීම් වෙනස් ය. සංකල්ප කියන්නේ ඒ ජීවන ගමනේ අතර මගක දී මට හමු වූ, මගේ ජීවිතය වෙනස් කරන්නටත්, මගේ කළු සුදු ජීවිතය මත්තේ වර්ණ ගල්වන්නටත් සමත් වූ මිනිසා ය.

තමන් හරි යයි විශ්වාස කළ දෙයක් වෙනුවෙන් නො වෙනස් ව එක ම අරමුණකින් මෙහෙයවීම මා ඔහු ගේ දුටු විශේෂ ම ලක්ෂණයයි. විසි වසරක ප්‍රේමයක් ඔහු තනි ව දරා ගෙන සිටියේ ය. මම එය නො දන්නා කාලයේ හිතේ ඇති වූ විකාරයකැයි ඔහු ව සමච්චලය ට ලක් කළෙමි. ඔහු ගේ ප්‍රේමය හාස්‍යයට ලක් කළෙමි. නමුත් අවසානයේ මා ත් නො දැන ම ඒ ප්‍රේමය නමැති රස ගුලාවෙහි පතිත ව සිටියෙමි.

ජීවිතය යනු කිසි සේත් අප ට සැලසුම් කළ නො හැකි දෙයක් කියා දැන් මම ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටිමි. එය වූ කලී ඉරණම විසින් කලින් ම සැලසුම් කරනා ලද පිටපත කි.

ඇතැම් විට පිටපත සාධාරණ වන්නට පුළුවන. ඇතැම් විට අතිශය අසාධාරණ වන්නට පුළුවන.

ඉරණම මා වෙනුවෙන් ලියා තැබූ පිටපත ගැන මම නම් තෘප්තිමත් වන්නෙමි. එහි එක ම දෙයක් වෙනස් කළ හැකි වරමක් මට ලැබේ නම් මා කරන්නේ අප්පච්චි ගේ මරණය සහිත කොටස සංස්කරණය කරනා එකයි.

“මරණය කියන්නෙ අපි ඉපදෙනකොටම අරං එන දෙයක්. ඒක වෙනස් කරන සක්කරයටවත් බෑ”

අම්මා කියන්නී ය. ඒ කතාව දැන් මහා අභිධර්මයක් සේ මගේ මගේ හදවතේ තැන්පත් වෙමින් තිබේ.

ජීවත් වෙන ටික කලට අප මේ තරම් අඩව් කස්තිරම් අල්ලන්නේ කුමට දැයි එතකොට මම සිතමි. නමුත් මිය යන තෙක් අත පය වකුටු කොට ගෙන නිදිගැන්වී සිටිය නො හැකි ය යන සත්‍යය ද දැන් ස්වයං අවබෝධයක් ලෙස මා තුළ දර්ශනය වේ. ඉපදුණා නම් මරණය තෙක් ජීවත් විය යුතු නිසාවෙන්, ඒ ජීවිතය අප කැමති ලෙස, අප වඩාත් කැමති පුද්ගලයන් පිරිවර කොට ගෙන ජීවත් වීම සැනසිල්ලකි.

ගෙදර ප්‍රතිසංස්කරණ කටයුතු මටත් සංකල්ප ටත් අවැසි ලෙස සැලසුම් කර ගන්න ය කියා අම්මා පැත්තකට ම වූවා ය. සියල්ල සිදු වූයේ මගේ රුචිකත්වය මත ය. නමුත් ඒ සියල්ලෙහි බර උර මත දරා ගත්තේ සංකල්ප ය.

පවුල් ජීවිතයක රස මුසු ම තැන එතැන බව, නීතියෙන් විවාහයකට බැඳෙන්නට පෙර ම මම වටහා ගතිමි.

“හොඳ වෙලාවට අන්තිම මොහොතේ හරි ඔයා මට කැමති වුණේ”

දවසක් අපේ ගෙදර විත්, රෑ කෑමටත් නැවතී හයිලන්ඩ් ගෙස්ට් වෙත යන ගමන්, අපේ ගල් ඇල්ලූ පාරේ දී සංකල්ප කීවේ ය. ඔහු ගේ දෙතොල් මත්තේ ලා සිනහවක් වන බව මට ඒ හඬ තානයෙන් ම මවා ගත හැකි විය. ලා සඳ එළිය නිසා ඒ සිනහව මට දැක ගත හැකි වූයේ ය.

“නැත්තං…”

“නැත්තං බලෙං අල්ලල බැඳ ගන්න සිද්ද වෙන්න තිබුණ”

“එතකොට ඒක බලහත්කාරකමක්”

මම යන්තමට ඔහු ගේ අතක එල්ලුණෙමි.

“සමහර වෙලාවට මිනිස්සුන්ට බලහත්කාරකං කරන්න සිද්ද වෙනව…ආදරේ වෙනුවෙන්…”

මම මගේ අතේ ග්‍රහණය දැඩි කළෙමි. අප්පච්චි ගේ රැකවරණය අහිමි වුණ මා වගේ ගැහැනු දරුවෙකුට ඔහු වන් පිරිමියෙකු ගේ රැකවරණය හෝ ලැබෙනා එක සහනයකි.

“මට ගොඩක් දේවල් ඉගෙනගන්න වෙයි”

මා කීවේ සුසුමකුත් එක්ක ය.

“ඉගෙන ගන්න…”

“හ්ම්…කසාද ජීවිතේකට ගැලපෙන්න”

ඔහු සියතින් අල්ලා මගේ අත මුදා හැර, උරහිස වටා අතක් යවමින් මා තවත් ලංකර ගත්තේ ය.

“කසාද ජීවිතේකට ගැලපෙන්න ඔයා විතරක් නෙවෙයි…මාත් තව හුඟක් දේවල් ඉගෙන ගන්න වෙයි. අපි එකට ඉගෙන ගමු. එකට පරිනත වෙන ගමං එකටම වයසටත් යමු”

මගේ උරහිසෙන් පහළට වැටී තිබූ ඔහු ගේ අත්ල ගෙන මම ඒ සිප ගතිමි.

අම්මා අයියා ට සංකල්ප ගේ විවාහ යෝජනාව ගැන කියා තිබිණි. ඔහු කිසි සේත් ඊට එකඟ වී නැත.

“දැං මං අර මනුස්සය ට මොනාද තියෙන්නෙ” කියමින් යකා නටා තිබේ. මට නොකිව්වා ට අම්මා ඔහු ව සන්සුන් කරන්න ට ඇත.සංකල්ප සමගින් මේ කටයුතු ගැන කතා බහ කර ගන්නට එන්න කීවාට අයියා රත්නපුරේ ආවේ නැත. සමහර විට මා සමගින් වූ සියලු සහෝදරකම් අවසානයි කියා අයියා අම්මා ට කියන්නට ඇත. නමුත් ඕ මට ඒ බවක් නො කීවා ය.

“බැන්දට පස්සෙ අපි අපේ ගෙදර ඉමු”

මම සංකල්ප ට කීවෙමි. ඔහු ගේ දෙතොලතර අඩ සිනහවක් ඇඳුණේ ය.

“මොකෝ අමුතු විදිහට හිනා වෙන්නෙ…”

“නෑ…ගෑනු මනුස්සයගෙ ගෙදර බින්න බහින්න එන මිනිහට හුළු අත්තකුත් අරං එන්න වෙනව කියල තමයි අහල තියෙන්නෙනං”

“අහල තියෙන හැම දේම අපිටත් එහෙමම වෙන්නෙ නෑනෙ”

මම ඔහු ගේ කනක් මිරිකුවෙමි.

“අම්ම ප්‍රොපටීස් අපේ නමට ලියන්න හදන්නෙ. මං කිව්ව ඔයාගෙ නමට ලියන්න කියල”

“එපා එපා. ඒව ඔයාගෙ නමට තිබුණදෙං”

“මගෙ මුළු ජීවිතේ ම ඔයාගෙ නමට ලියල දෙද්දි…ඒ දේවල් මගෙයි කියල පැත්තකින් තියාගෙන මොකටද සංකල්ප…”

“ඔයා මගෙ නමට ලියල දෙන ඔයාගෙ ජීවිතේ ආයෙ මගෙං අරගන්න ඕනෙ කියල දවසක හිතක් පහළ වුණොත්…ඒක නිසා ඒ ප්‍රොපටීස් මං නමට ලියන්න එපා. ඒකට මං කැමති නෑ උත්තරා. ප්‍රශ්නයක් නෑ ඉතිං ඔයාගෙ නමට තිබුණට…මමනෙ බලා ගන්නෙ…ම්…”

මේ ටික දින තුළ අප අතරේ විශාල අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති ව තිබුණා කියා සිතමි. ගෙයි ප්‍රතිසංස්කරණ කටයුතු ඉක්මනින් අවසන් කොට අප දෙදෙනා එක වහළක් යටට කිරීම අම්මා ගේ ලොකු ම සිහිනය වූයේ ය. අයියා නිකමට හෝ පැත්ත පලාතේ නො ඒම ගැන හිතේ වූ කණස්සල්ල ඈ තුනී කර ගත්තේ අයියා ට දොස් කීමෙනි.

“එක සහෝදරයා නේද ඉන්නෙ..මොනා වුණත් ඇවිත් මොනාද වෙන්න ඕනෙ කියල බලන්න තිබුණනෙ එයාට…”

මට ඕනෑ වූයේ අම්මා ගේ හිත සනසන්නටත් වඩා යතාර්ථය අවබෝධ කර ගන්නට ය.

“අපි කාගෙන්වත් මුකුත් බලාපොරොත්තු වෙන එකෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ අම්ම. දෙයක් බලාපොරොත්තු වෙලා ඒක නොලැබී යනකොට දුකයි. කේන්තියි. ඒ දුක නැති කර ගන්නනං කිසි කෙනෙක්ගෙං කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. “

ජීවිතයේ අනියත බව අප්පච්චි ගේ මරණය විසින් මට කියා දෙන ලදී. බැඳීම් ඇති කර නො ගෙන ගිහි ජීවිතය තුළ පැවතීම පහසු නැති බව ද සංකල්ප ගේ ආගමනය නිසා මට පසක් කර ගත හැකි විය. නමුත් ඕනෑ ම දෙයක් ඕනෑ ම මොහොතක වෙනස් විය හැකි ය යන අවබෝධය දැන් මවෙත වේ. ඒ අවබෝධය මත අපේ විවාහ ජීවිතයේ සංකීර්ණතා තරමක් දුරට හෝ ජය ගන්නට හැකි වනු ඇතැයි මම සිතමි.

විශාල උත්සවයක් ගෙන විවාහ වන්නට සංකල්ප කැමති වූයේ නැත..කවදා සිට ද මන්දා මාත් එවැනි විවාහ උත්සව ප්‍රතික්ෂේප කරමින් සිටියෙමි. එනිසා අප දෙදෙනා ගේ ම කැමැත්ත මත උදේ කාලයේ විවාහය ලියාපදිංචි කොට, රාත්‍රියේ දී කුඩා තැනෙක සීමිත පිරිසකට භෝජන සංග්‍රහයක් පැවැත්වීමකට සියල්ල සීමා කරන්නට කතිකා කර ගතිමු.

“මන්නං ආසාවෙං හිටියා පෝරුව චාරිත්‍ර වගේ චාරිත්‍ර කරල…”

අම්මා කීවා ය..ඇය කියා නිම කරන්න ට පෙර මම ඒ කතාව මැදින් පඅන්නෙමි.

“පෝරුවෙ නැගල අෂ්ටක කියල බඳින කී දෙනෙක් අපි දැනුවත්ව ම අවුරුද්දක් යන්න කලිං ඩිවෝස් වෙලා තියෙනවද අම්ම…අපි දෙන්නම කැමති සරල ජීවිතේකට නිසා…”

“මාත් කැමති වෙලයි ඉන්නෙ ඔයාල කැමති විදිහට”

අම්මා උපේක්ෂා සහගත සිනහවකින් කීවා ය. ඒ අනුව සියල්ල ඉක්මනින් එසේ සැලසුම් කෙරිණි. ඇත් දළ පාට ඔසරියකින් සැරසී අපේ ගෙදරදී විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරු ව, හයිලන්ඩ් ගෙස්ට් හි සකස් කළ දිවා ආහාරයෙන් අපි සන්තර්පනය වුණෙමු. සංකල්ප ගේ පියා ද සුළු මව ද සතුටෙන් යුතු ව ඒ අවස්ථාව ට සහභාගී වී සිටීම මට සතුටක් දැනවී ය. අයියා ආවේ නැත. තුනී දුකක් සිත් හි වූවත් මම වැඩිපුර ඒ ගැන නො සිතුවෙමි.

හැන්දෑවේ සුහද හමුව සඳහා මා ඇන්දේ සංකල්ප තේරූ ලා දම් පාට ගවොමකි. ඔහු දම් පාට කමිසයේ උඩ බොත්තම් හැර, කළු කෝට් දමා සිටියේ ඒ කඩවසම් බවෙන් මා උමතු කරවමිනි.

රත්නපුරයේ ලස්සන පරිසරයක පිහිටි උත්සව ශාලාවට මුලින් ම පැමිණියේ මල්ෂා ය.

“ඔයාගෙ ලස්සන අක්කි. බාබි ඩෝල් වගේ. සංකල්ප අයිය මට අකමැති වෙලා ඔයාව තෝර ගත්ත එක කොච්චර හරිද කියල දැන් මට තේරෙනව”

ඇය අප දෙදෙනා වෙත විත් කීවා ය.

“පිස්සුද බං”

කියමින් සංකල්ප සිය සගයන් සොයා ගියේ ය. ඒ මල්ෂා මගහරිනු වස් බව මම දනිමි.

“මටත් මෙහෙම දවසක් ඕනෙ. ලස්සන මනමාලියක් වෙන්න”

මල්ෂා හුරතලයෙන් කීවා ය. මම ඇගේ අතක් අල්ලා ගතිමි.

“ලස්සන දවසක් ගැන ආසාවට ඉක්මන් වෙන්න එපා. ජීවිතේ ලස්සන කරන්න නියමිත කෙනා මීට් වෙන්නෙ ප්‍රමාද වෙලා වෙන්න පුළුවන්”

මා ඇය ට එසේ කීවේ ඉතාමත් ආදරයෙනි. ආදරය කියන්නේ බෙදා හදා ගත යුතු දෙයක් බව මම දන්නෙමි. බෙදා ගත්දී ආදරය මහා පරිමාණයෙන් වැඩි වන්නේ ය.

ඒ සාදයට අයියා ආවේ ය. නමුත් ප්‍රියංවදා නාවා ය. මට එය කිසි සේත් ප්‍රශ්නයක් වූයේ නැත. අඩු තරමින් අපේ ළමා වියේ මතක වෙනුවෙන් හෝ අයියා ආ එක ලොකු දෙයකි.

“පොඩි කාලෙ සෙල්ලං කරනකොට මට ඕන වුණේ ම සෙල්ලං ගෙදර සංකල්පගෙ මනමාලි වෙන්න. ඒත් මූ හැමදාම තෝර ගත්තෙ නංගිව”

අක්කා මට මතක නැති මතක අලුත් කළා ය. සංකල්ප ආඩම්බරකාර සිනහවකින් මගේ අත අල්ලා ගෙන සිටියේ ය.

“රත්නපුරේම හිටියනං මං බලෙං හරි මූව බැඳල. ඒ තරං පිස්සුවක් ඒ කාලෙ මට මේකා ගැන තිබුණෙ”

 අක්කා හඬ නගා සිනහ වූවා ය. මම ඇගේ පිටට ගැසුවෙමි.

ඉරණම පුදුමයි කියා යළිත් මට සිතුණේ ය. එය අපේ ජීවිත මත පාන්නේ අප නො සිතූ නො පැතූ ආශ්චර්යයන් ම ය. සාදය නිමා වී අප ආවේ අක්කලා එක්ක ය. අක්කා ඇගේ සැමියා ලවා රිය හයිලන්ඩ් ගෙස්ට් ඉදිරියේ නතර කරවූවා ය. ඒ වෙත්දීත් සංකල්ප ගේ මිත්‍ර සමාගමය එතැනට සේන්දු වී සිටියහ.

“හරි එහෙනං. බහින්න සංකල්ප”

අක්කා කීවේ සිනහව ගිල ගෙන ය. මම කවුළුවෙන් පිටත බලා ගෙන සිනහ වූයෙමි. සංකල්ප ගේ මිතුරෝ ද ඔහු ව එතැනින් බස්වා ගන්නට වද දුන්හ. අන්තිමට ඔහු ට රියෙන් බසින්නට සිදු විය. මිතුරු පිරිස ඔහු ව ඔසවා ගෙන හයිලන්ඩ් ගෙස්ට් වෙතට ගෙන ගොස් නැවතත් රියට ගෙනත් දැමූහ.

“අවුලක් නෑ. දැං ඔය මැදින් තියෙන වැට ගලෝල දාන එක විතරනෙ තියෙන්නෙ”

“අනේ තන්බර්ජියා මල් වැලනං තියා ගන්න ඕනෙ”

මම මැද්දෙන් පැන මෝඩ කතාවක් කීවෙමි. සියල්ලෝ ම සිනහ වූහ. අක්කා ගේ සැමියා නැවත රිය පණ ගන්වා අපේ වත්ත තුළට හැරවූයේ ය. වෙන කිසි දා ක නොදැනුණ හද ගැස්මක් මට දැනෙන්නට ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles