බෝනික්කෝ කියන්නේ සෙල්ලම් බඩුම නෙවෙයි

මිනිස්සු වගේ රූප

ඔලුවක්, ඇඟක්, අත්, පා, ඇස්,නාසා, කට එක්ක තියෙන මිනිස් රූප වලට බෝනික්කෝ කිව්වට කමක් නෑ නේද ? ඇස් නටවලා, අත් පා හොලවලා සජීවී මිනිස් රූප තරමටම දරුවන්ට සංවේදී වෙන බෝනික්කෝ ආව ගමන් මඟ ගැනයි අද අපි බලන්නේ. 

පැරණිම සෙල්ලම් බඩුව 

අතීතය හාරගෙන යනකොට සාක්ශි හමුවෙන කැණීම් භූමිවලින්  නිතර දෙවේලේ  බෝනික්කෝ ගැන සාක්ශි   මුණ ගැහුනේ නැති වුනාට, අවුරුදු 20000- 24000කට ඈත ඊජිප්තු කැණීම් භූමිවලින් බෝනික්කන්ගේ බවට සැක කෙරෙන කොටස් හොයාගෙන තියෙනවා. ලීයක කැටයම්  කරලා, මැටි වලින් හදපු කොණ්ඩයක් එක්ක හොයාගත්ත බාබිලෝනියන් කියන මේ බෝනික්කෝ ලෝකේ පරණම සෙල්ලම් බඩුව කියලා විශ්වාස කෙරෙනවා. මෙසපොතේමියානු, මොහෙන්දෙරාජෝ හරප්පා සහ සුමේරියානු ශිෂ්ටාචාර වලත් මැටි සහ ලී වලින් හදපු  බෝනික්කෝ ගැන සාක්ශි හමුවෙලා තියෙනවා. 

එක එක ජාතියෙන් හැදෙන බෝනික්කෝ

අතීතයේ ඉඳන් මේ වෙනකල් බෝනික්කෝ ආව ගමන් මඟ දිගේ යනකොට බෝනික්කෝ හදන්න පාවිච්චි කරපු අමුද්‍රව්‍ය වර්ග කිහිපයක් ම මුණ ගැහෙනවා.

මැටි, ගල්, ලී, අස්ථි, ලෙදර්,ඉටි, කඩදාසි, පෝසිලේන්  ඒ අතරින් කිහිපයක්. ජර්මන් දර කපන්නෝ ඉස්සෙල්ලාම ලී වලින් බෝනික්කෝ හැදුවා කියලා කියවෙනවා. ඒ ඔවුන්ගේ දරුවන්ට  තෑගි විදියට ගෙනියන්න. ඊටත්පස්සේ ඔවුන් මේ බෝනික්කෝ අලෙවි කරලා තියෙනවා.පස්සේ පැරිස් නුවර රජ මාලිගා වලට වෙනකල් මේ බෝනික්කෝ ගිහින් තියෙනවා.  ඊට පස්සේ ඉටි වලින් හදලා, වීදුරු ඇස් දාලා, අත් පා නවන විදියට කම්බි දාපු බෝනික්කෝ වෙළඳපොල ට ඉදිරිපත් කරන්න කර්මාන්තශාලා වැඩ පටන් අරගෙන තියෙනවා.  1945 ප්ලාස්ටික් වලින් බෝනික්කෝ හදන්න ගත්තාට පස්සේ,ලෝකේ පුරාම බෝනික්කෝ ජනප්‍රිය වීම එකම වේගෙන් වෙලා තියෙන බව අතීත වාර්තා පැහැදිලි කරනවා. 

බෝනික්කන් ආ දුර 

19 සියවස වෙනකල්ම බෝනික්කෝ හැදුණේ ගෑණු ළමයින්ගේ පෙනුමට ව්තරයි. පහු කාලෙදී ඉතාම සුළු වශයෙන් පිරිමි ළමයින්ගේ හැඩයටත් බෝනික්කෝ හැදුණත් වඩා ජනප්‍රිය ගෑණු ළමයින්ගේ රුව ගත්ත බෝනික්කෝ.  අතීත වංශවත් රජ පෙළපත් දරුවන්ගේ බෝනික්කන්ට නටන්න, ගයන්න, චිත්‍ර අඳින්න වගේම ලියන්නත් පුලුවන් කම තිබුණලු. 1860-1890 කාලෙන් ඇරඹුණු මේ  නටන, ගයන  බෝනික්කන්ගේ විප්ලවය,   මේ වෙනකොට ලෝකේ කයිලා වගේ රොබෝ බෝනික්කියෝ හදන තරමටම දියුණු වෙලා තියෙන එක නම් පුදුමාකාරයි. 

බාබි බෝනික්කා

1959 දී මුල්ම බාබි බෝනික්කා ඇමරිකානු වෙළඳපොළට එන්නේ, ඒ තරම් කල් බෝනික්කන්ගේ තිබුණ හැඩතල වලට අභියෝග කරලා තරමක් වැඩිහිටි පෙනුමක් එක්ක. ආකර්ෂණීය ඇඳුම් විලාසිතා එක්ක හඳුන්වලා දුන්න බාබි බෝනික්කෝ ඉක්මණින් ම ලෝකය පුරා ජනප්‍රිය වුණා. තළෙලු, රන් වන්, කළු, පැහැති සමක් එක්ක මේ බාබි බෝනික්කෝ නිශ්පාදනය කරන ද්‍රව්‍ය අනුව වර්ගීකරණය කරලා ඉතා ඉහළ වෙළෙඳ වටිනාකම් එක්කත් මේ වෙනකොට අලෙවි කෙරෙනවා. 

බෝනික්කෝ කියන්නේ සෙල්ලම් බඩුම නෙවෙයි (ද)? 

බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන එකෙන් යම් සාමාජයීය කාරණා ගැන දරුවන් දැනුවත් වීමක් සිදු වෙන බව වාර්තා පැහැදිලි කරලා තියෙනවා. සාමාජයීය වටිනාකම්, අදහස් හුවමාරු කිරීම්, සබඳතා වගේ කාරණා ගැන දරුවන් සංවේදී කරවන්න බෝනික්කෝ පාවිච්චි කරන්න පුලුවන් බව ඒ කාරණාවෙන් ඔප්පු වෙනවා. සිතේ ඇති කතන්දර භෞතිකව රඟදක්වන්න ඉඩ ලැබෙන එක මඟින් දරුවන්ගේ බුද්ධිය වගේම පරිකල්පනය වැඩි වෙන එකත් බෝනික්කෝ භාවිතා කරන එකේ වාසියක්.

මායා බෝනික්කෝ  සහ පූජා බෝනික්කෝ 

අලුතෙන් විවාහ වන ගැහැණු ළමයි, තමන්ගේ බෝනික්කාව දෙවඟනකට පුරාණ රෝමයේ සහ ග්‍රීසියේ සිරිතක් තිබිලා තියෙනවා. ඇතැම් රෝම ප්‍රදේශ වල, සමහර බෝනික්කන්ව තමන්ගේ දරුවන්ට අල්ලන්න වත් නොදුන්න බවටත් වාර්තා තියෙනවා. ඒකට හේතුව  තමයි, බෝනික්කන්ගේ මායාබලයක් ගැන ඔවුන් තුළ තිබුණ විශ්වාසය. ජපානයේ සාම්ප්‍රදායික බෝනික්කෝ ආගමික උත්සව වෙනුවෙන්ම සකස් කෙරෙන පූජා වස්තූන් කියලා තමයි සැලකෙන්නේ.  

ප්‍රසිද්ධ බෝනික්කෝ 

  • මැට්‍රොෂ්කා  බෝනික්කන්
  • ඉරිඟු ලෙලි බෝනික්කන් 
  • කොකේෂි බෝනික්කන්
  • පර්සියානු  ලේලි බෝනික්කන් 
  • විලාසිතා/බාබි බෝනික්කන් 
  • පෙඩියෝ ෆෝහියා

බෝනික්කන්ට ආදරේ අය අතරේ බෝනික්කන්ගේ රූප වලට බය අයත් ඉන්නවා. ඒ අය බෝනික්කන්ව අජීවි වස්තූන් විදියට පිළිගන්න සූදානම් නොවීම එක්ක තමයි මේ ෆෝබියා තත්වය ඇති වෙන්නේ. 

ඒ කතා කොහොම වුනත් ඊයෙටත්, අදටත්, හෙටටත් බෝනික්කෝ කියන්නේ කුඩා දරුවන්ගේ ප්‍රියතම සෙල්ලම් බඩුව වෙනවා කියන එකේ නම් සැකයක් තියාගන්න ඕනි නැහැ

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles