නිල් පාට මල් පිපුණ මිතුදමක පුරාවෘත්තය – Forget me not

“දන්නවද?,

අපිට ආදරය මේ තරමට වරදින්න හේතුව ආදරය අතිශය සරල දෙයක් වීම වෙන්න බැරිද? ආදරය සංකීර්ණ නැහැ. ඒත් මිනිස්සු බොහොම සංකීර්නයි. ඒ කොච්චරක් ද කියනවා නම් මිනිස්සුන්ගේ සංකීර්ණකම, ආදරේ සරලකමට දරාගන්න බෑ. ඉතින් ආදරය පීඩා විඳිමින් හැකි තාක් කල් දරා ඉඳලා කොයි මොහොතක හෝ පලා යනවා. එක්කෝ මිය යනවා”

සොබා දහමේ හරිත පැහැ හදවත මත කුඩා නිල් පාට මල් පිපෙන්නට පටන් ගෙන ඇත. ඒ ප්‍රේමයෙන් වෙලුන, ප්‍රේමය නිසාවෙන් ඇවිලුන හිතකට කිසි දිනක අමතක කර දැමිය නොහැකි Forget me not ය.

මේ නිල් පැහැ මල් කිණිත්තක පුරාවෘත්තය ආදරයෙන් වෙලී උන් තරුන නයිට්වරයෙකු වගුරු බිමක ගිලී මිය ගිය තරුණ නයිට්වරයෙකුගේ ආදර අන්දරය හා බැඳෙන්නකි.

එහෙත් මේ Forget me not කතාව ඒ නයිට්වරයා ගැන නොවේ.

මිතුදමේ අපූර්වතම මිහිරියාවෙන් වෙලුණු තරුණ හදවත් දෙකක් වන චරිත්‍රා ප්‍රවර්ධි බණ්ඩාරගේත්, චතුරි දමයන්තිගේත් මිතුදමේ කතාවයි.  නොඑසේනම් අමතක කරන්නට නොහැකි ලෙසට ලාංකේය තරුණ හිත් සහ පොත් පාඨක හිත් මත යුමී සංගේත් ඕල්‍යාගේත් මිතුදම වෙනුවෙන් සුපිපුණ සුන්දරම Forget me not මලේ පුරාවෘත්තයයි.

“තනිකමට පාටක් තියෙන වග ඔයා දන්නවද? අලු පාට. මට නිතරම හැඟෙන්නේ ජීවිතය හිස් බවක්. ඒත් බොහොම බරයි. මට ජීවිතය උහුලාගෙන කඳුකර පාරවල් දිගේ ඇවිදින් යන්න පවා වෙහෙස තරමට. හිස්ක්ම කොහොමද මේ තරම් බර වුනේ? තනිකම කොහොමද අලු පාට වුණේ?”

මෙහෙම යුමී සංගෙන් අහන්නෙ ඕල්‍යා.

ඇත්තටම ජීවිතේ මොනතරම් තනිකමක් දැනෙනවද කියල අපිට දැනෙන්නේ අපි වටේ තියෙන අවකාශය සම්පූර්න අලු පාටට හැරිල වගේ. අලු පාට කියන්නෙ කොච්චර දුක්බර, කම්මැලි සහගත පාටක්ද කියල හිතුවිල්ල පුරාවටම තියෙන්නේ වේදනාවේ සලකුණු.

තනිකම කියන්නෙ දරාගන්න අමාරු හැඟීමක් කියන එක අපි හැමෝම දන්න දෙයක් නේ. මොනතරම් තනිවෙන්නේ හිතුවත්, තනිකම මොනතරම් දරාගන්න අපහසුද කියන එක තේරෙන්නෙ මොහොතකට හරි තනිවුන කෙනෙක් විතරමයි.

මේ පොත වැදගත් වෙන්නෙ අන්න එතනදි. තනිකම මොන තරම් අලු පාටද කියල ඔයත් එක්ක බෙදාගන්න ඕල් යා සහ යුමී සං එක්ක පොතේ පලවෙනි පිටුවෙ ඉඳල අග පිටුව වෙනකම් යද්දිම ඔයාට ඒ තනිකමේ අලුපාට අත් විඳින්න වෙන්නෙ නෑ. මොකද කිසිම මොහොතක ඔයාට තනිවෙන්න ඉඩක් නොදී ඕල්‍යා හරි යුමී සං හරි ඔයා ලඟ ඉන්න නිසා. තනිවෙච්ච චරිතයක්, තවත් තනිවෙච්ච ජීවිතයක් එක්ක එකතු උනාම දන්නවද එතනින් මුලින්ම නැතිවෙලා යන්නෙ මොකද්ද කියලා?

ඒ තමයි අලු පාට.

තනිකමේ අලු පාට.

“ආදරය කියන්නේ කැපකිරීමකට වඩා විශ්වාසය හුවමාරු කරගැනීමක් වෙනවටයි මම කැමති. ආදරය පිලිබඳ වුශ්වාසය සදහටම අත් හැරිය හදවතකට ආයෙත් පාරක් ආදරය විශ්වාස කරන්න සලස්වන එක මොනතරම් මැජික් එකක්ද?”

ඕල්යා, මේ ප්‍රශ්නය අහන්න වුනාට සමාවෙන්න.

බිඳුණි මිනිසුන්ව තදින් වැළඳගෙන ඉන්නා ආදරණීයයන්ගෙන් රිදුම්-සීරුම්වලට, ඔසු ගල්වන්න කෙනෙක් ඉන්නවද?”

අපි හැමෝම පාහේ ජීවිතේ කොතනකදි හරි බිඳුණු මනුස්සයෙක් වෙලා ඉඳල තියෙනවා. බිඳීම්, රිදීම් සහ පිළිසකරවීම් කියන්නෙ අපිට සහ අපේ ජීවිතේට ඈදිලා ආව දේවල්. හරියට සංසාරගත බැඳීම් වගේ.

ජීවිතයේ දී, සමහර අය ඉතාම දුශ්කාර කාල පහු කරනවා. ඒ පහු කරන කාල පරාසයන් වලදී ඒ මිනිස්සු මොන තරම් වාරයක් කැඩෙනවද, බිඳෙනවද, ආයෙමත් තමන් විසින්ම ගොඩනැගෙනවද කියන එක අපිට හිතන්නවත් බැරි තරම්. හැම මොහොතකම මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් කීප දෙනෙක් හරි බිඳ වැටීම වලට ලක්වෙනවා. නිහඬවම ආයෙ පිළිසකර වෙනවා. සමහරවිට අපි නොදැක්කට, නොපෙනුනාට ඒ අපිට එහා පැත්තෙ ඉන්න අපේ හොඳම යාලුව වෙන්න පුලුවන්.

 මේ තමයි කැඩිච්ච මිනිස්සු. නමුත් මෙතන තියෙන විශේෂත්වය වෙන්නෙ මිනිසුන්ගේ ඒ බිඳුණු නිමේශයන් කිසිම දවසක ඒ බිඳුණු මොහොතෙදි කතාබහට ලක්වෙලා හෝ අවධානයට ලක්වෙලා නෑ. ඒ බිඳීම් අපිට දැනගන්න ලැබෙන්නෙ ඒ බිඳුණු මිනිස්සුන්ම ඒ ගැන කතා කරොත් විතරමයි. එයාල පිළිසකර වෙලා ඉස්සරහට ගියෝතින් විතරයි.

මේ පොත මේ තරම්ම ජනාදරය දිනාගන්න ඇත්තෙ ඒ නිසා. ඔයාගේ ජීවිතේ ඔයා මුහුන දීපු එහෙමත් නැත්තම් මුහුණ දෙමින් ඉන්න ඒ වේදනාකාරී බිඳුණි නිමේෂයන්, එහෙමත් නැත්තම් ඔයා කිසිම දවසක කවුරු එක්කවත් බෙදා හදාගත්තෙ නැති ඒ බිඳීම් ගැන, ඒවයි වේදනාව බෙදාගන්න ඕල්‍යා සහ යුමී සං ඔයා ලඟ ඉන්නවා. ඔයාගේ පිළිසකර වීම්, කවූරුවත්  නොදැකපු ඔයාගෙ පිළිසකර වීම් අගයන්නත් එයාලා දෙන්න ඔයා ලඟම ඉන්නවා.

“දවස් අතිශය සාමාන්‍ය දවස් බවට පත්වෙමින් තියෙන්නේ. ගෙවී යන්නෙ ඉතා කම්මැලි දවස්. හැම දවසක්ම ඊයෙ වගේ! අලුත් කිසිම දෙයක් නොවෙන තරමට මම බොහොම කැමති. මොකද අලුත් දේවල් බොහෝ විට ජීවිතය කණපිට හරවනවා”

ජීවිතය අපිට හැමදාම බලාපොරොත්තු තියාගන්න හේතුම සපයන්නේ නෑ. බලාපොරොත්තුවක් ගැන පවා බලාපොරොත්තුවක් තබාගන්න අපහසු අසීරු, කම්මැලි දවස් අපි හැමෝගෙම ජීවිත වලට එනව යනවා.

ඔබ ජීවිතය ගැන උනන්දුවක් නොදක්වන විට, සියල්ල එක හා සමානව පෙනෙන්නට පටන් ගන්නවා. ඒක හරියට හැම පාටක්ම මැකිල ගියපු පොතක තියෙන චිත්‍ර දිහා බලාගෙන ඉන්න වගේ හැඟීම් විරහිත, ඒකාකාරී බවක්.

මෙච්චර කාලයක් තිස්සෙ ලස්සනයි කියල දැකපු, හොඳයි විනෝදයි කියල දැකපු හැම දෙයකම පවා අපි දකින්න පටන් ගන්නෙ හරිම ඒකාකාරි බවක්. ඒ ඒකාකාරීත්වය පුරුදුවෙන්න අපහසු, ඒත් අපහසුවෙන් උනත් දරාගෙන ඉන්න වෙන දෙයක්.

ඒත් අමතක කරන්න එපා. එහෙම මොහොතකට මුහුන දුන්නෙ, මුහුණ දීලා තියෙන්නෙ, මුහුණ දෙමින් ඉන්නෙ ඔබත් මමත් පමණක් නෙවෙයි. ඕල්යාත්, යුමී ත් තවත් බොහෝ අයත් ඒ ඒකාකාරිත්වයෙන් පීඩාවට ලක් වුණ මිනිස්සු.

ඒත් ඒ ඒකාකාරීත්වයෙන් ගොඩ එන්න පුලුවන්. ඒ පාර හොයාගන්න පුලුවන් ඔයාටම විතරයි.

කඳුකරයේත් මුහුදුකරයේත් ඉන්න යාලුවො දෙදෙනෙකුගේ අපූරු මිතුදමක් ගැන, ඒ මිතුරියන් දෙදෙනා විසින් ලියන ලද ලිපි ඔස්සේ ඔයාලා ඉදිරියට අරගෙන එන මේ මිතුදමේ පුරාවෘත්තය තනිවුන වගේම තනි නොවුන හදවත් හැම එකක්ම පාහේ කියවිය යුතුමයි.

ඔයා ඉන්නෙ තනිකමෙන්නම් ඕල්‍යාටත් යුමී ටත්, ඔයාගෙ හදවතට එන්න දොරගුලු හරින්න.

“බිඳුණු පසු සොහොනක්ව යයි හදවත

නැවත කිසිදා මලක් නම් නොපිපේ

පාලු නිම්නයක් වී යයි එය

සමහරෙක් කියති”

ඒත් තවමත් ඒ වගුරු බිම මත පුංචි නිල් පාට Forget me not මල් පිපෙනවා. ඉතින් ඇයි අපිට බැරි අපේ හිත මත ඒ අතීතයට මලක් මෙන් පිපී වර්තමානයත් අනාගතයත් සුවඳවත් කරන්නට ඉඩ දෙන්න?

“බලාපොරොත්තුව සෑම උදයකම

ඔබත් එක්කම පිබිදේ

හීන ඇවිදින් බිඳුණු හදෙහි මල් ඇට ඉස යයි

අහම්බෙන් මහ වැස්සක් අරන්

ලස්සන දවසක ආගන්තුකයෙක් ගොඩ වේ

ඉතින් කවුරුද කියන්නේ බිඳුණු පසු හදවත

යළිත් කවදාවත්

මල් නම් නොපිපෙතැයි”

ඉතින් ආදරණීය කියවන්නිය,

මා අමතක කරන්නට එපා!

Related Articles

Don't Miss


Latest Articles