දරුවන් බලාගන්න අපූරු පුස්තකාලයක් ගැන දන්නව ද ??

ඔබත් එක්කම ගැවසෙන්න කැමති පුංචි පොඩිත්තෙක් ඔබටත් ඉන්නවද?

දවස පුරාවටම ඔබේ පොඩ්ඩගෙ දඟකාර හුරතල් වැඩ බලන් ඉන්න තියෙනව නම් කොච්චර හොඳද නේද? 

හැබැයි නිකමට හිතන්නකෝ ඔබේ පොඩ්ඩව වඩාගෙන පොදු ප්‍රවාහන සේවාවක යන්න වුනොත්, පොදු ස්ථානයක ටික වෙලාවක් රැඳී ඉන්න සිද්ධ වුනොත් එහෙමත් නැත්නම් ඔබේ රාජකාරි කටයුත්තකට බැංකුවක් වගේ ආයතනයට යන්න වුනොත් නම් මේ තත්වය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. 

තමන්ට පුරුදු වටපිටාව වෙනස් වෙන නිසා පොඩ්ඩො ගෙදරදි නොපෙන්වන දඟකාරකමක් සහ හිතුවක්කාරකමක් පෙන්වන්න උත්සහ කිරීම එක්ක ඔබව සෑහෙන අපහසුතාවයකට පත් කරන්න පුළුවන්. 

ඉතිං නිකමට හිතන්නකෝ ඔබේ පොඩ්ඩ එක්ක පුස්තකාලයට යන්න වුනොත් තත්වය කෝම වෙයිද කියල. පුස්තකාලය කියන්නෙ නිශ්ශබ්දතාවය රැකිය යුතු සහ අනවශ්‍ය කලබල ඇති නොකළ යුතු ස්ථානයක්නෙ. අනික, බොහෝදෙනෙක් පුස්‍තකාලෙට එන්නෙ යම් දෙයක් කියවන්න, දැනුම සොයන්න සහ ලියන්න වගේ දේවල් වලටනේ. ඔබේ පුංචි දරුව ඔඩොක්කුවෙ තියන් මේ කාර්‍යන් කිරීම කොයිතරම් අපහසුද තේරුම් ගන්න ඔබ අම්ම කෙනෙක් වෙන්නම ඕන නෑ.  

නමුත් ඔබ පුස්තකාලයට එද්දි ඔබේ පොඩ්ඩන්ව රැකබලා ගන්න හැකි විශ්වාසවන්ත කෙනෙක් ඔබට නැත්නම් ඔවුන්ව ඔබ සමඟ රැගෙන එනවා ඇරෙන්න වෙන විසඳුමකුත් ඔබට නැහැ. 

ඒත් ඔබ පොත් කියවනකන්, පරිඝණකය පාවිච්චි කරනකම් එහෙමත් නැත්නම් ඔබේ සටහන් හෝ ඇගයීම් සම්පූර්ණ කරනකන් ඔබේ ඇස්මානේ තියාගෙනම දරුවො බලාගන්න පුස්තකාලයක් තියනව නම් ඒ ගැන ඔබ මොකද හිතන්නෙ. 

ඔව්. ඒහෙම පුස්තකාලයක් තියෙනව. අද අපි ලෑස්ති වෙන්නෙ ඒ පුස්තකාලෙ ගැන කතා කරන්නයි. 

ප්‍රශ්නෙ මොකක්ද?

කුඩා දරුවො එක්ක පුස්තකාලයට එන දෙමව්පියන් මූණ දෙන මේ අපහසුව වර්ජීනීයා ප්‍රාන්තයේ Henrico County මහජන පුස්තකාල කාර්‍යමණ්ඩලයේ නිරන්තර අවධානයට ලක්වුණා. 

“අපි දැක්ක තමන්ගෙ කුඩා දරුවව උකුළෙ තියාගෙන පොත් කියවන්න සිදුවීම සහ පරිඝනකය භාවිතා කරන්න සිදුවීම නිසා ඔවුන් කොතරම් අපහසුතාවයකට මූණ දෙනවද කියල” එහෙම පැවසූවේ Henrico County පුස්තකාලයේ ප්‍රජා සම්බන්ධීකරණය නිළධාරිනිය විදිහට කටයුතු කරපු පැටී කොන්වේ විසිනුයි.

විසඳුමක් 

මේ වෙද්දී Henrico County පුස්තකාලය නවීකරණය කරන්නත් වෙනත් ස්ථානයකට ගෙන යන්නත් සැලසුම් කරමින් සිටිය නිසා මේ ගැටළුවට විසඳුමක් එක්කම අලුත් තැනට යන්න කාර්‍ය මණ්ඩලය තීරණය කරා. 

මේ පුස්තකාලෙ සමාජිකයන් වුනේ වැඩි පහසුකම් නොතිබුණ ග්‍රාමීය කළු ජාතික ප්‍රජාවක්. 

“ඔවුන් මහජන පුස්තකාලයේ තිබෙන පරිඝනක නිතරම භාවිතා කරනව.” එහෙම පැවසූවෙ අලුත් පුස්තකාලයේ අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පීන් විසිනුයි. 

ඒ වගේම මේ පවුල් වල විවිධ පරම්පරාවටලට අයිති සමාජිකයන් එකම නිවසෙ එහෙමත් නැත්නම් ඉතා කිට්ටුවෙන් සාදාගත් නිවාස වලයි පදිංචි වෙලා ඉන්නෙ. 

“ඔවුන් බොහෝවිට පවුලේ සියළුම දෙනා එක්ව එක්වර පුස්තකාලයට පැමිණීමටයි පුරුදු වෙලා ඉන්නෙ” 

ඔවුන් තවදුරටත් පැවසූවා.

ඉතිං මේ සියළුම ගැටළු ගැන හිතල ඔවුන්ට විසඳුමක් සොයා ගන්නත් පුළුවන් වුණා. 

බබාලට ඉඩක්

ඉතිං ඔවුන්ගෙ Henrico County මහජන පුස්තකාලයේ අළුතින් ඉදිවුණ fairfield ශාඛාවේ මේ අපූරු වෙනස්වීම් සිදුවුණා.

පුස්තකාලෙ දෙවෙනි මහළෙ පරිඝනක අසලම කොටු හැඩයට වටවුණ කුඩා කුටියක් ඔවුන් ඉදිකරා. ඉතාම සුවපහසුවෙන් සහ ඉඩකඩ ඇතිව දරුවෙක්ට ඉන්න පුළුවන් විදිහටත් සෙල්ලම් බඩු සහ දරුවගෙ අනෙත් භාණ්ඩ තියන්න පුළුවන් වෙන්නත් ඇති තරම් ඉඩක් මේ කුටියෙ තියෙනව. 

අම්ම ලඟින්ම ඉන්න නිසා දරුවගෙ ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කරන්නත් හැකියාව ලැබුණා.

ඒ වගේම දෙවෙනි මහළෙ අනෙක් කොටස කුඩා දරුවන් ආස කරන පාට සහ විවිධ රූප වලින් හැඩගැන්වුණ බිත්ති, හොඳින් කුෂන් කරපු පුටු, කුඩා දරුවන් කැමති ඔවුන්ගෙ බුද්ධි වර්ධනයටත් උපකාරී වෙන විවිධ ක්‍රියාකාරකම් සහිත සෙල්ලම් බඩු, ළමා කතන්දර සහ කියවීමේ පොත් වලිනුත් පිරිල තියෙන්න නිර්මාණය වුණා. 

ඉතිං බබාලට කොහෙත්ම ඒකාකාරී නොවෙන මේ වටපිටාවට අම්මලා වගේම බබාල බලා ගන්න අයටත් (baby sitters) එන්න පුළුවන්කම තිබුණා.

ප්‍රසංශා

ඉතිං මෙච්චර ලස්සන සිතුවිල්ලක් අගය නොවී තියෙයිද ?

බොහෝ අම්මල මේ පුස්තකාලෙ ජායාරූප අන්තර්ජාලය හරහා ප්‍රචාරය කරේ තමන්ගෙ කායික සහ මානසික වෙහෙස අඩු කිරීමට ස්තූතිවන්ත වෙන ගමන්මයි.

මේ ජායාරූප දැක්ක බොහෝදෙනෙක් වෙනත් පුස්තකාල වල වගේම කාර්‍යාල වලත් මේ විදිහෙ තැනක් ඇති කිරීමේ අවශ්‍යතාව ගැන අදහස් ප්‍රකාශ කරන්න පටන් ගත්ත. 

ඇත්ත.

දරුවො පහසුවෙන් සුවෙන් සහ ආරක්ෂා සහිතව වර්ධනය වෙන්න ඕන.

ඒ සඳහා කායිකව සහ මානසිකව නිරෝගී දෙමව්පියො සහ රැක බලාගන්නන් ඔවුන් ලඟ ඉඳීම ලොකු ශක්තියක්. 

ලංකාවෙත් මේම කරන්න අපිට බැරි නෑ. තව කෙනෙක්ගෙ සුවපහසුව වෙනුවෙන් පුංචි සිතුවිල්ලක් විතරමයි අවශ්‍ය. 

එහෙම නේද ? 

Related Articles

Don't Miss


Latest Articles