සුළි සුළඟක සුසුමක් – අවසන් කොටස

අපේ පස් වන විවාහ සංවත්සරය අදට යෙදී තිබේ. මම අන්තර්ජාලයෙන් වෙනස් කෑම වට්ටෝරු පීරමින්, අද රාත්‍රී භෝජනය වෙනුවෙන් තනන්නට ආහාර වට්ටෝරු කිහිපයක් තෝරා ගතිමි. රෑ කෑම පිළියෙල කරන්න ට මා සූදානම් වන්නේ දවල් සිට ය. නීලම්මා අත් උදව් දෙන්නට ආවත් මම ඇගෙන් වැඩි වැඩක් නො ගත්තෙමි. කොහොමටත් ඈ දැන් ටිකක් වයස්ගත ය. තවමත් එදා වාගේ ම හිතේ හයිය ඇතත් නීලම්මා දැන් තරමක් දුර්වල ය.පොඩි වැඩක් කළත් ඇය ට මහන්සි ය. ගෙදර වැඩට සේවිකාවක ගන්නට ය කියා සංකල්ප කිහිප වර කීවත් මම එසේ නො කර ඉමි. ලූණු ගෙඩියක් කපා ගන්නට බැරි ව උන් මම බොහෝ විට දැන් ගෙදර ආහාර පිසීමේ කටයුතු කරමි. සමහර වෙලාවට අම්මා උයන්නී ය. නමුත් මුළුකැන්ගෙයි අයිතිකාරිය නීලම්මා ය. 

මා හෝ අම්මා ඇගෙන් ඒ අයිතිය පැහැර ගන්නට නොයා සිටිමු. ඇගේ ආත්ම අභිමානය ඈ ළඟ තියෙන්නට හැර සතුටු වෙමු. 

ගෙදරක වැඩ බලා කියා ගෙන ජීවත් වීමේ සතුට, ගැහැනියකට පමණක් විඳිත හැකි ඒ සතුට දැන් මම හිත් පුරා විඳ ගමි. සංකල්ප මගේ ඒ චමත්කාර ලෝකය පුරා දිනපතා අලුත් වර්ණ තවරයි.

“නිකංම හවුස් වයිෆ් කෙනෙක් වෙන්න හදන්න එපා. ඔයා ඉමේජ් එකක්. ඒක ගෙදරට වෙලා උයි පිහාගෙන ඉන්න පුළුවන් හැම ගෑනු කෙනෙක්ටම තියෙන දෙයක් නෙවෙයි”

අප විවාහ වූ අලුත සංකල්ප මට නිතර නිතර කීවේ ය. ඒ අනුව දිනපකා රැකියාවට නො ගොස්, සතියකට එක් දිනක් පමණක් වැඩසටහන් මෙහෙයවන්නට මට නාලිකා ප්‍රධානියා සමග කතා කර ගත හැකි විය. එෆ් එම් නාලිකාවට සමාන්තර ලෙස ඇරඹුණ රූපවාහිනී නාලිකාවේ සති අන්ත උදාසන වැඩසටහනක් මෙහෙයවීමේ අවස්ථාව ද මට ලැබිණ. ඒ අනුව මගේ වෘත්තීය ජීවිතය විවාහය නිසා මුළුමනින් අභාවයට ගියේ නැත. එහි මූලික ගෞරවය සංකල්ප ට හිමි විය යුතු ය. 

ව්‍යාපාර කටයුතු කෙරේ කවදත් මට උනන්දුවක් වූයේ නැත. අම්මා ගේ ද අදහස් මත සංකල්ප ඒවා ඉතා හොඳින් දියුණු කරමින් පවත්වා ගනී. ඔහු ගේ හයිලන්ඩ් ගෙස්ට් දැන් පෙර ට වඩා බෙහෙවින් ප්‍රකට ය. එය නිරන්තර අමුත්තන් යන එන නවාතැන් ගන්නා තැනකි. 

අපේ ගෙවත්ත හා හයිලන්ඩ් ගෙස්ට් අතරින් වන වැට ගලවා දමන්නට මම ඉඩ නො දුන්නෙමි. ඒ, නිල් පාටින් මල් රෑන් එල්ලෙන තන්බර්ජියා මල් වැලට අනතුරක් නොවනු පිණිස ය. ඒ අනුව මේ වත්තත් ඒ වත්තත් සම්බන්ධ කරමින් පිවිසුම් දොරටුවක් දැමීම පමණක් සිදු විය. හයිලන්ඩ් ගෙස්ට් හි පාලන කටයුතු සිදු වන්නේ අම්මා අතිනි.

අපේ විවාහයෙන් වසරකට පසු මල්ෂා විවාහ වූවා ය. ඒ අලුත් මැණික් ව්‍යාපාරික තරුණයෙකු සමග ය. දැන් රත්නපුරයේ මට සිටින සමීපතම හිතවතිය ඇයයි. 

අයියා වෙනස් ම වූයේ ය. අපේ විවාහයෙන් පසු ඔහු රත්නපුරේ ආවේ ඉතා ම කලාතුරකිනි. ප්‍රියංවදා ගේ අනවශ්‍ය අත පෙවීමි නිසා අයියා සතු වූ ව්‍යාපාර වල යම් පිරිහීමක් සිදු වෙමින් පවතී. අයියා විශාල ණය ගොඩක පැටලී සිටින බව ද සංකල්ප ට ආරංචි වී තිබේ. යම් යම් අවස්ථා වල ඔහු අයියා ට ආර්ථික වශයෙන් උදව් කොට ඇති බව ද මා දැන ගත්තේ පසුව ය.

සිය විවාහයෙන් පසු මගෙන් දුරස් වූ අක්කා, මගේ විවාහයෙන් පසු යළි සමීප වූවා ය. ඇය හැකි අවස්ථා වල අප බලන්න එන්නට ද වූවා ය. අප විනෝද ගමන් ගියේ එකට ය. පවුලේ විශේෂ අවස්ථා සැමරුවේ එකට ය.

අම්මා අප සමග සිටීම නිසා මහා පවුලෙන් ඈත් වූ බවට කිසිදු හැඟීමක් මට දැනුණේ නැත. අප්පච්චි වෙනුවෙන් අපි නිරන්තර දන් පින් කළෙමු. සංකල්ප, අප්පච්චි ගේ ම පුතාට වැඩි උනන්දුවෙන් ඒ සියලු කාරණා සොයා බැලුවේ ය.

අම්මා හා සංකල්ප අතර ඇති වූ බැඳීම තරම් මට සැනසිල්ල සැදු වෙන දෙයක් නැති තරම ය. අප දෙදෙනා අතර ඉඳ හිට ඇති වූ නො හොඳ නෝක්කාඩුවක දීත් අම්මා ගත්තේ සංකල්ප ගේ පැත්ත ය.

“අම්මට ඉතිං කොහොමත් මට වඩා එයානෙ ලොකු”

එහෙම වෙලාවක මම අනිවාර්යයෙන් කියමි. එතකොට අම්මා කරන්නේ මන්දස්මිතයක් නගා ගන්නා එක ය. 

“ලොකු මන්දන්නෑ. ඒ ළමය වරදක් කරන්නෑ කකියල මං දන්නව. අනිත් එක ප්‍රශ්නයක් වුණත් ඔයා වගේ නෙවෙයි එයා වැඩ කරන්නෙ ඉවසීමෙන්. මේ කාලෙ පිරිමින්ගෙන් සංකල්ප වගේ කෙනෙක් හොයන්න ලේසි නෑ උත්තරා. මහන්සියක් නැතුව ම ලැබිච්ච නිසා ඔයාට ඒකෙ අගේ තේරෙන්නෑ”

අගයක් නො තේරෙන ගාණට හිටියා ට ඔහු කෙතරම් යහපත් ස්වාමි පුරුෂයකු ද කියා මා නො දන්නවා නොවේ. සැබවින් විවාහ ජීවිතයක් තුළ වන වගකීම් සහගත බව ගැන කිසිදු අවබෝධයකින් තොර ව උන් මා පතිණියක් බවට පරිවර්තනය කරන්නට ඉවහල් වූයේ සංකල්ප ගේ අසීමිත වූත් ශක්තිමත් වූත් ප්‍රේමය මිස වෙනකක් නොවේ.

“අම්මී…”

දූ ගේ හඬ මුළුතැන්ගේ දෙසට එනවා මට ඇසිණි. තෙහැවිරිදි ඇගේ බිළිඳු සිනා කතා සරින් දැන් මේ ගේ පිරීතිරී ගොසිනි.

“ඔයා තාමත් උයනවද අනේ…”

මම සිනහවක් නගා ගතිමි.

“තාත්ති කිව්වනෙ අද අපි ඩිනර් අවුට් එකකට යං කියල. කෝ ඉතිං ඔයා අහන්නෑනෙ”

“අම්මිට ඕන අද අම්මිගෙ අතිංම හදපු රස කෑම ඕගොල්ලොන්ට කන්න දෙන්නනෙ මැණික”.

“හවසට පන්සල් යනවත් කිව්ව. ඒ වුණාට තාත්ති තාමත් නෑනෙ”

මම නිහඬ වීමි. දූ යළි මුළුතැන්ගෙයින් නික්ම ගියා ය. ඉසිහින් කේන්තියක් දැන් මා තුළ ද නැගී එමින් තිබේ. උදේ මම සංකල්පට අද කොළඹ නොයා ඉන්නයි කීවෙමි.

“ඔළුව නොදා බෑ උත්තරා. මං ඉතිං ගිහිං විසිට් එකක් දාල ඉක්මනට එනවනෙ”

ඔහු නික්ම ගියේ එසේ කියමිනි. සංකල්ප දැන් ඉස්සර වගේ නොවේ ය යන සිතිවිල්ල මගේ හිතට කාන්දු වන්නට විය. කිහිප වතාවක් මට වද දී ඇති මෙකී සිතිවිල්ලත් සමග උපදින්නේ ඊර්ෂ්‍යාව ට ළඟ හැඟීමකි. අනිත් සියලු දේ ට වඩා ඔහු ට දැන් දැන් ව්‍යාපාර වැදගත් ම දේ වී ගෙන එන්නේ යයි මම අම්මා සමග ද කිහිප වතාවක් කියා ඇත්තෙමි.

“මෝඩ විදිහට හිතන්න එපා උත්තරා. එහෙනං මං අප්පච්චි ගැන කොහොම හිතන්න තිබුණද…ඒ දේවල් නැති කර ගෙන ගෙදරට වෙලා හිටියයි කියල ඔයා ඔය හිතන සතුට ලැබෙන්නෙ නෑ”

“හරි ඉතිං…කොයි දේත් බැලන්ස් කර ගන්න ඕනනෙ. එයා දැං වැඩිපුර ගෙදර එන්නෙ දුව නිදා ගන්න ගියාට පස්සෙ”

“ඒක හෙමීට එයාට කියන්න. නැතුව ඔය වගේ පුංචි දේවල් වලට ඒ ළමයට කන්දොස්කිරියිවක් වෙන්න නං එපා. ඒ දරුව ලස්සනට මේ බිස්නස් ටික දියුණු කර ගෙන යනව. බලන්න අයියට දීපු බිස්නස් වලට වෙලා තියෙන දේ. ඒව කඩං වැටිල. එයා රටට ණය වෙලා…අප්පච්චි ගෙ දේවල් මෙහෙම බලා ගන්න එක ගැන සංකල්ප ට අපි ණයගැතියි”

අම්මා තුළ ඔහු කෙරේ වන හැඟීම භක්තිමත් ය. ඇය එහෙම කියත්දී මම තනිව කල්පනා කරමි. මට බය හිතෙන්නේ ව්‍යාපාර නිසා සංකල්ප ට අප අමතක වී යනු ඇත් ද කියා ය. 

මා කල් වේලා ඇති ව ආහාර පිළියෙල කරන්න ට ගත්තේ හවසට පන්සල් යන්නට තිබෙන නිසා ය. නමුත් හැන්දෑව ඉක්මවමින් තිබිණි ද තවමත් ඔහු නැත. කෝපය සේ ම ශෝකය ද මා වට කොට ඇති සැටියක් දැනෙන්නට ගත්තේ ය. දුවව බලන්නයි නීලම්මා ට කියූ මම කාමරයට විත් ඇඳ ට වැටුණෙමි. 

ආත්මානුකම්පාවට වට කඳුළක් කොට්ටය ඇතුළට රිංගා ගත්තේ ය. මා නින්ද වෙත සමීප වෙමින් ඉන්නට ඇත.  මම අතීතයට ගොස් සිටියෙමි. මීට පස් වසරකට පෙර අතීතයෙන් මා වඩාත් ම ආශා කළ හි පෙම් කළ ඔහු ගේ ගී හඬ මට ඇසෙන්නට ගති.

“මීදුම් දුමාරයේ…සීත හැන්දෑ යාමේ…හීන ඇන්ද සා…නුවේ…ආශා නැද්ද මාත් එක්ක තනිව ඉන්න…කොළ පාට හැළුණ ඈත නිම්නයේ…කොළ පාට හැළුණ ඈත නිම්නයේ…”

මා හිටියේ ගුරු පාර කෙළවර හෙළ දෙස බලා ගෙන ය. ඇස ට හසු වන මානයේ වූයේ නිල් නිම්නය ය. මීදුම තුරුලු කර ගත් ඈත කඳු පෙළ සීතලෙන් ගල් ගැසී මදෙස බලා සිටියේ ය. සංකල්ප ගේ කහ පාට මොරිස් මයිනර් රථය නතර වී ය. මම රියදුරු  අසුන වෙත ඉගිළුණෙමි.

“නිශා නින්ද ඇහැරවා…මල් බිඟුන්ටත් හොරා…ආශා නැද්ද මාත් එක්ක තනිව ඉන්න…කොළ පාට හැළුණ ඈත නිම්නයේ…කොළ පාට හැළුණ ඈත නිම්නයේ…”

මගේ නෙතු විවර වූයේ ඇයි කියා මම නො දනිමි. කෙසේ වෙතත් මම අවදි වී සිටියෙමි. ගිටාර තත් හැඬවෙනු ඇසුණේ මා ළඟින් ම ය. මම විගස නැගිට යහන මත හිඳ ගතිමි.

සංකල්ප සැබවින් ම මා ළඟ හිඳ ගයමින් සිටියේ ය.

“වලාවක්න් හැඩ දමා..කූඩාරමක් එහි තනා…ආශා නැද්ද මාත් එක්ක තනිව ඉන්න …කොළ පාට හැළුණ ඈත නිම්නයේ…කොළ පාට හැළුණ ඈත නිම්නයේ….”

ඔහු කුඩා දැරියක වාගේ ඔහු වෙත පැන සංකල්ප ගේ පපුතුර තුරුලු වුණෙමි. ගිටාරය පසෙක තැබූ ඔහු මා දැඩි ව වැළඳ ගත්තේ ය. අහේතුක කඳුළක් මගේ නෙතින් ගිලිහී වැටුණේ ය.

“ඒයි ගෙම්බි. මොකද මේ කඳුළු..”

මට සිනහ නැගිණ. මම ඒ සිනහවත් ඔහු ගේ පපුවේ ම අතුරාලූයෙමි.

“මට දුකයි සංකල්ප”

ඒ කඳුළත් සිනහවත් දෙක ම අතරින් මම මෘදු භාෂිතයකින් මිමිණුවෙමි.

“මට ඉස්සර හිටිය ඔයා නැති වෙයි කියල මට බයයි. ඒ ඔයාව මට ආයිත් ඕන සංකල්ප”

“ඔයාගෙ සංකල්ප වෙනස් වෙලා නෑ උත්තරා”

පෙර දඟකාර කමෙන් ම ඔහු මගේ කොපුලක් තදින් සිප ගත්තේ ය. ඒ කොපුලට ඔය වගේ ම ලැබුණ ඔහු ගේ පළමු හාදුව මට සිහි විය. නත්තසූරිය මල් යාය පිපෙන ඉම දිය ඇල්ල බලන්නට ආයේ යා යුතු යයි මට හදිසියේ ම සිතිණි.

“චුට්ටක් බිසී වෙලා විතරයි. ඔයාගෙ අම්ම මං ගැන තියපු විශ්වාසෙ බිඳ ගන්න බෑ. බිස්නස් ටික බලා ගන්න ඕන. තිබුණට වඩා ඩිවෙලොප් කරන්න ඕනෙ. ඔයාගෙ අප්පච්චි බලං ඇත්තෙ බෑනා මොනාද කරන්නෙ කියල…”

“එතකොට මං ඔයා ගැන තියපු විශ්වාසෙ…”

“ඔයා මං ගැන තියපු විශ්වාසෙ කවදාවත් බිඳෙන්නෑ කියල මට හොඳටම විශ්වාසයි. ඒ ගැන මට කිසිම බයක් නෑ”

දොර පහුරු ගාන හඬක් ඇසිණ. මා දොර ඇරියේ ඒ ලූනා බව දැන ගෙන ය. ටික වෙලාවක් තිස්සේ කාමරයේ දොර වැසී තිබූ නිසාවෙන් ඈ මා ගැන කල්පනාවෙන් ඉන්නට ඇත. ලූනා පමණක් නොව බුලී ද කාමරයට ගොඩ වූහ.

“මොකද දෙන්න…ආ…අද ඕගොල්ලංගෙත් ඇනිවසරි එකද…”

සංකල්ප ඔවුන් දෙදෙනාගේ ම හිස් පිරිමැද්දේ ය. බුලී ආ දා සිට ලූනා නිදන්නට මගේ කාමරයට ආවේ නැත. ඔවුන් දෙදෙනා ආලින්දයේ හෝ වැරැන්ඩාවේ රාත්‍රිය ගත කරති. යළිත් වරක් ලූනා ගැබ්බර ය. මීට පෙර දෙවතාවක් ම ඕ පැටවුන් දෙදෙනෙකු බිහි කළ අතර ඔවුන් දෙදෙනා අක්කලා ගේ ගෙදරත් මල්ෂා ගේ ගෙදරත් ඇති දැඩි වෙති.

“ගිහිං නීලම්මගෙං බත් ඉල්ලගන්න”

මා කී දේ වටහා ගෙන ලූනාත් බුලීත් දෙදෙනා ම නික්ම ගියහ.

“ලෑස්ති වෙන්න. පන්සල් යන්න”

සංකල්ප ආදරබර හඬකින් කීවේ ය.

“දැන් බෑ. රෑ වුණා”

මම නොක්කාඩු වුණෙමි. ඔහු සිනහ වුණේ ය. 

“රෑ වුණාට මොකද…මං ඉන්නෙ…”

“මාව මතක් වෙන්නෙ දවසෙ ඔක්කොම වැඩ ඉවර වෙලා අන්තිමට”

“හපෝ…ගෑනුද…ගෑනුන්ට ප්‍රශ්නයක් නැති වුණහම නිකං කෑවෙ නෑ වගේ. ප්‍රශ්නයක් මවල හරි ගන්න තමයි බලන්නෙ”

මා සිනහව තද කර ගෙන සිටියේ අසීරුවෙනි.

“දුවව ලෑස්ති කර ගන්න. අමමටයි නීලම්මටයිත් ලෑස්ති වෙන්න කියන්න”

ඒ අවසාන තීරණයයි. මම යහනෙන් නැගී සිටියෙමි. සංකල්ප මගේ අතින් ඇද නැවතත් කොපුලක් සිප ගත්තේ ය. ඒ සීතල මිහිරත් එක්ක ම කාමරයෙන් නික්මුණෙමි.

සමාප්තයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles