බිත්තර වලට වඩා වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් ඇති snacks වර්ග..

බිත්තර කියන්නෙ පහසුවෙන්ම සපයා ගන්න පුළුවන් වගේම ඉක්මණින් පිළියෙල කරගන්න පුළුවන් වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් තියෙන ආහාරයක් කියල ඔබ දන්නවනේ.

හැබැයි අපේ දවසේ සමබර ආහාර වේලට අවශ්‍ය ප්‍රෝටීන අවශ්‍යතාව සපුරගන්න හැමදාම බිත්තරම කන්නත් බෑනෙ නේද?

බිත්තර නැතුව වෙනස් රසයක් දෙන ප්‍රෝටීන සහිත ආහාරයක් රසවිඳින්න කැමති ඔබට ඔන්න හරියටම ගැළපෙන විසඳුමක් අරගෙනයි මේ ලිපියෙන් අපි ඔබත් එක්ක එකතු වෙන්නෙ. 

සාමාන්‍ය විශාල බිත්තරයක් ගත්තොත් එහි ආසන්න වශයෙන් ප්‍රෝටීන 06 g ක් පමණ අඩංගු වෙනවා. 

අපි අද මේ කියන්න යන කෙටි කෑම හදන්න අපිට ඕන කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන,

ටූනා මාළු 85 g ක ප්‍රෝටීන 20 g ක්,

රටකජු 30 g ක ප්‍රෝටීන 9 g ක් සහ

කඩල කෝප්ප 01 ක ප්‍රෝටීන 12 g ක් පමණ ආසන්න වශයෙන් අඩංගු වෙනවා. 

සාමාන්‍යයෙන් බිත්තර වලට වඩා වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් මේ යොදාගන්න අමුද්‍රව්‍ය වල අඩංගු බවයි සඳහන් වෙන්නෙ. 

ඉතිං, අපි බලමු මේ ආහාර ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරල හදාගන්න පුළුවන් කෙටි කෑම වර්ග මොනවද කියල.

Spicy tuna cucumber bites

අවශ්‍ය ද්‍රව්‍ය

ටූනා මාළු ටින් 01 ක්

පිපිඤ්ඤා හෝ ගර්කින් ගෙඩි 01 ක්

මයෝනීස් කෝප්ප ¼ ක්

ලුණු කුඩු

ගම්මිරිස් කුඩු

කෑලි මිරිස්

ඔබ කැමති නම් තල ඇට සහ ලූණු කොළ

සාදාගන්නා ආකාරය

මුලින්ම ටූනා මාළු ටින් එක කඩා එහි ඇති ද්‍රාවණය සම්පූර්ණයෙන් ඉවත්කර ගන්න. 

ඊළඟට, තරමක් විශාල භාජනයක් ගෙන එයට ටූනා මාළු, මයෝනීස් සමඟ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් රස අනුව එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් පිපිඤ්ඤා හෝ ගර්කින් ගෙඩිය හොඳින් සෝදා තරමක් ඝනකම් පෙති කපාගන්න. 

කපාගත් පෙති උඩින් සාදාගත් ටූනා මාළු මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් දමාගන්න. 

ඊට උඩින් ඔබ කැමති නම් තල ඇට සහ සිහින්ව ලියාගත් ලූණු කොළ එකතු කරගන්න පුළුවන්. 

ටූනා, මයෝනීස් මිශ්‍රණයට සිහින්ව ලියාගත් කැරට්, අමුමිරිස්, ලූණු වුනත් එකතු කරගන්න පුළුවන්. 

Spicy peanuts

අවශ්‍ය ද්‍රව්‍ය

රටකජු ඇට කෝප්ප 2 ½ ක්

ඔලිව් තෙල් මේස හැඳි 01 ක්

ගම්මිරිස් කුඩු

ලුණු කුඩු 

කැමති නම් මිරිස් කුඩු 

සාදාගන්නා ආකාරය

මුලින්ම සාස්පානක් ලිපතබා සාස්පාන රත්වූ විට එයට රටකජු දමා ගන්න. 

රටකජු වල අමු ගතිය ඉවත් වන තුරු රන්වන් පාට වනතුරු බැඳගන්න.

දැන් එම භාජනයෙන් රටකජු ඉවත්කර රත්වූ සාස්පානටම ඔලිව් ඔයිල් සහ රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කරගන්න.

තත්පර 30 ක් පමණ රත්වූ පසු බැඳගත් රටකජු  එයට දමා හොඳින් කලවම් කරගන්න.

ඔබට කැමති නම් රටකජු බඳින විටම පෙති කපාගත් සුදුලූණු බැඳගෙන මේ මිශ්‍රණයටම එකතු කරගන්න පුළුවන්. 

උණුසුම්වම රසවිඳල බලන්ඩකො. 

South indian sundal

අවශ්‍ය ද්‍රව්‍ය

රැයක් පොඟවාගත් කඩල කෝප්ප 01 ක්

අබ තේ හැඳි 02 ක්

කරපිංචා ඉති 03 ක් 04 ක්

සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 04 ක්

ගාගත් පොල් මේස හැඳි 03 ක්

රස අනුව ලුණු

තෙල් ස්වල්පයක්

සාදාගන්න ආකාරය

මුලින්ම ලුණු ස්වල්පයක් දමාගත් උණුවතුරේ හෝ ප්‍රෙෂර් කුකර් එකක් භාවිතයෙන් තම්බා ගන්න. 

දැන් භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වන විට අබ එකතු කරන්න.

ඉන්පසු ගාගත් පොල්, කරපිංචා සහ සිහින්ව කපාගත් අමුමිරිස් එකතු කර යන්තමින් බැඳගන්න. 

එයට තම්බාගත් කඩල එකතු කර රස අනුව ලුණු කුඩු එකතු කරගන්න. 

දැන් උණුසුම්වම රසවත් වගේම ගුණවත් කඩල රස බලන්න ඔබට පුළුවන්.

එහෙනම් රසෙන් වගේම පෝෂණයෙනුත් අනූන පහසුවෙන්ම හදාගන්න පුළුව මේ කෙටි කෑම හදල රස විඳින්න අපි ඔබටත් ආරාධනා කරනවා. 

එහෙනම්, රසට – ගුණට කන්න, සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles