සුළි සුළඟක සුසුමක් – 33 වන කොටස

රෑ මැදියමේ අරඹුණ වැස්ස උදේ මා අවදි වෙත්දීත් වහිමින් තිබුණේ ය. ජනේල තිර රෙදි අතරින් පෙනුණ අහස මුළුමනින් මන්දාරම් ව තිබිණි. තව ටිකක් ඇඳේ ගුලි ගැසී ගෙන මම ඇස් පියා ගතිමි. ඒ වුණත් මට සංකල්ප ගේ රුව පෙනුණේ ය. ඊයේ නින්දට පෙර දුරකතනය මට මුමුණා කී ඔහු ගේ කතාව තාමත් හිතේ ඒ මේ අත කැරකෙමින් තිබුණේ ය.

මල්ෂා ගේ පියා හා සංකල්ප ගේ පියා අතර ඔවුන් දෙදෙනා ගේ විවාහබ ගැන සාකච්ඡාවක් ඇති වී තිබේ. ඉන් පසු සංකල්ප ගේ පියා ඔහු ට මේ ගැන දැනුම් දී ඇත. සංකල්ප ඒ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙන්නේ මල්ෂා ගැන ඔහු ගේ සිතේ එවන් අදහසක් නැති බව කියමිනි. නමුත් මල්ෂා ගේ පියා සතු මැණික් ව්‍යාපාරය ගැන සිතා ඒ යෝජනාව සලකා බලන මෙන් තාත්තා තව දුරටත් කියා සිටියේ ලු.

ඒ තරම් තදට නැතත් දුරු චුරු ගාමින් වහිනා වැස්සේ හඬ කාමරය පුරා ඉහිර තිබිණ. තවත් හෝරා ගණනක් ගුලි ගැසී නිදත හැකි යයි සිතූ සිතිවිල්ල ත් එක්ක මට සිහිපත් වූයේ අම්මා ව ය. මම විගස යහනෙන් බැස ගතිමි.

“අම්මට බෙහෙත් දෙන්න කලිං කෑ දෙන්න ඕන නීලම්ම. ඒක නිසා ටිකක් කලිං කෑම හදන්න වෙයි”

මෙතෙක් ජීවිතයෙහි පසු කර ගෙන ආ කිසිදු අවස්ථාවක මා මත පැටවී නො තිබි වගකීමක බර මට දැනිණ. සත්තකට මා ඒ පිළි ගත්තේ සිත් අපහසුවකින් නොව කැමැත්තෙනි. මතක ඇති කාලයේ මා කළේ උදේ නැගිට ගුවන් විදුලි නාලිකාවේ වැඩට යාම පමණකි. විවේක ඇති වේලාවන් හි මිතුරන් සමග විනෝද වීම සාමාන්‍ය දෙයක් විය. ඒ හැරෙන්නට ජීවිතයේ වෙනත් වගකීම් සහගත පාර්ශවයන් වූයේ ම නැත.

අම්මා ට කන්න බොන්න හා බෙහෙත් දීමෙන් පසු ත් වැස්ස නතර වී තිබුණේ නැත. නීලා ඒ මේ අත දුවමින් ගෙදර පිරිසිඳු කිරීම් වල නිරත වෙමින් සිටියා ය.

“නීලම්මට වැඩ වැඩි වුණාද මන්දා අපි නිසා”

මා එසේ කීවේ ඇත්තට ම ඈ ගැන කණගාටුවෙනි. මගේ අම්මා ටත් වඩා ඈ වයසින් වැඩි ය. ඒ වුණත් මුළු ගෙදරක වැඩ තනි ව කර ගනී. ඒ මීට පෙර අප යටතේ වැඩ කළ සේවකයෙකු ගැන මීට පෙර දැනී නැති විදිහේ කරුණාබර හැඟීමකි.

“ගේ අස් පස් කරන වැඩ මං කරන්නං. නීලම්ම කුස්සිය බලා ගන්නකො”

අම්මා ගේ මුහුණේ අමුතු විදිහේ සිනහවක් පහළ වෙනු මා බලා ගෙන ය.

“අනේ මේව මොන වැඩද සුදු බබා. සුදු බබා මොනාත් කරන්න ඕන නෑ. කවදත් මං ඉතිං මේව කරං හිටපු එකනෙ”

නමුත් පෙර දී ට වඩා ඈ දැන් වයස් ගත ය. අම්මා ගැන දැනෙනාකාරයේ බැඳීමක් දැන් දැන් ඈ කෙරේ ද මා තුළ වන බව මට දැනේ.

“ඕනනං අපි වැඩට තව ගෑනු කෙනෙක් හොයා ගමුකො. මේ කාලෙ ලේසි නෑ කෙනෙක්ව හොයන එක. ගම් වල අය වුණත් ගාමන් ෆැක්ට්‍රි එකක හරි වැඩට ගිහිං හවස යන්නනෙ බලන්නෙ”

“අනේ මේ මොනවද කියන්නෙ…මට පුළුවන් ලොකු නෝනා”

ඒ වුණත් මම ආලින්දය අස් පස් කරන්න ට පටන් ගතිමි. මේ සියල්ල මගේ රුචිකත්නය මත මා රිසි පරිදි වෙනස් කිරීමේ සිතක් මට පහළ විය.

“එහෙමනං ගේ රිපෙයාර් කරලම ඔයා නැමති විදිහකට ෆර්නිචර් කරන්න”

අම්මා කීවා ය.

“එහෙනං මං ඒ ගැන සංකල්ප එක්ක කතා කරන්නද අම්ම…”

කලබල වූ තරමට මට එසේ කියැවී තිබිණි. අම්මා මා විනිවිද බැලුවා ය.

“නෑ මේ…බාස්ල ටිකක් හොයා ගන්න ඕනනෙ වැඩේ බාර දෙන්න. මේ පැත්ත ගැන අපි වැඩිය දන්නෙත් නෑනෙ”

“හ්ම්. ඒක හොඳයි”

හරි හදිස්සියක් වාගේ මා සංකල්ප සොයා ගියේ කුඩයකුත් ඉහළා ගෙන ය. අම්මා මගෙ කලබලය ගැන වදනකුදු නො කීවා ය. නමුත් ලූනා මගේ පස්සෙන් එන්නට ම හැදුවා ය.

“තෙමි තෙමි යන්නෙ මොනටද එහේ….මෙයාට මේ බුලීව බලන්න ඕන වෙලා”

මම ඇයව ගෙතුළට තල්ලු කරන ගමන් කීවෙමි. නීලා අතින් කට වසා ගන්නවා මට පෙනුණේ ය. නමුත් මම නො දැක්කා සේ මිදුලට බැස්සෙමි.

“දෙන්නව එක ගෙදරකට කළා නං ඉවරනෙ”

නීලා ගේ හඬ නැගුණේ මා අඩි කිහිපයක් ඉදිරියට ගිය පසුව ය. මම හැරී නො බැලුවෙමි. කුඩය දෑතින් ම තද කොට අල්ලා ගෙන ගල් ඇල්ලූ පාර දිගේ පහළට බැස්සෙමි.

වැස්ස නිසා සංකල්ප පිටත සිටියේ නැත. මම ශාලාව දෙසට ගියෙමි.

“සංකල්ප රූම් එකේ මං හිතන්නෙ”

කවුදෝ මුළුතැන්ගේ පැත්තෙන් කෑ ගෑවේ ය. කුඩය පසෙකින් තබා මම කාමරය පැත්තට ගියෙමි. දොර හැර දමා තිබුණත් මම පසෙක සිට ඊට තට්ටු කළෙමි. සංකල්ප දොරකඩ ට ආවේ ය. තත්පර කිහිපයකට අප ගොළුවන් සේ උනුන් දෙස බලා ඉන්නට ඇත. ඊළඟට සංකල්ප හදිසි සිනහවකින් මගේ ළඟට ම ආවේ ය. කතා බහකින් තොර ව මා තරයේ වැළඳ ගත්තේ ය. වැහි වතුරට මගේ අත් තෙත් වී තිබුණේ ය. ඒ තෙත් අත් වලින් මම ඉක්මනට ඔහු ව ඈත් කළෙමි.

“පිස්සුද…”

වචනයේ නෝක්කාඩුවක් වූවාට එය මගේ මුහුණේ නොවූ බව ඔහු ට දැනෙන්නට ඇත.

“ඕනවට වඩා නරක වෙන්න හදන්න එපා හරිද…”

සංකල්ප බිම බලා ගෙන කුඩා දරුවෙකු සේ හිනැහුණේ ය.

“අනිත් ගෑනු ළමයි වගේ නෙවෙයි මං ටිකක් සැරයි”

එවර ඔහු අඩ සිනහවකින් මගේ මුහුණ මත දඟ කරන්නට ගති.

“මං කැමති එහෙම ටිකක් සැර ගෑනු ළමයින්ට තමයි”

“වැඩි වෙලා ඉන්න බෑ අම්ම බලයි කෝ කියල. මං ආවෙ පණිවිඩේකට”

ආ කාරිය ඔහු හා පවසා මම යළි ගෙදර යන්නට ගියෙමි. හයිලන්ඩ් ගෙස්ට් ඉදිරියේ නතර වූ රියෙන් බසිමින් සිටියේ මල්ෂා ය.

“ඊයෙ රෑ මෙහෙද හිටියෙ…”

මා දුටු වන ඈ ඇසූ පැනයෙන් මම වික්ෂිප්ත වීමි.

“මොකද්ද…”

“විහිළුවට අක්කි…උදේ පාන්දරම ඇවිත් නිසයි ඇහුවෙ”

“අම්මගෙ පණිවිඩේකට මං මේ ආවෙ”

“බලන්න අක්කි. අපේ තාත්ති ජෙනුයින් විදිහට සංකල්පට ප්‍රපෝස් කළානෙ මාව”

මම මල්ෂා ගේ මුහුණ මත නෙතු නතර කළෙමි. ඇයට මාතින් විසල් වරදක් සිදු වූවා සේ මගේ හදවත කීරි ගැහෙන්නට විය.

“මෙයා කියල මං ගැන එහෙම අදහසක් නෑ කියල..සංකල්ප හොඳටම දන්නවනෙ මං එයා ගැන හිතනව කියල”

එය ආදර කන්නලව්වකි. මට ඈ වෙනුවෙන් යමක් කළ නො හැකි විය. එසේ ම ඈ සිත නැවතුණ කුමාරයා ගේ පපුවට තුරුලු වී මොහොතකට ඒ උණුහුම විඳ ගන්නට ද අහම්බෙන් හෝ මට සිදු විය. එසේ හෙයින් වචනයක් කතා කිරීමේ සදාචාරාත්මක හැකියාවක් මට වූයේ නැත.

“මං ආවෙ මේ අල්ලගන්න..එයාට ඔච්චර මාව පේන්න බැරි මොකද අහන්න”

“මං…යන්නද නංගි…අම්මා බලන් ඇති”

ඇය හා කියන්නටත් පෙර මම අපේ පිවිසුම් දොරටුව දෙස ට හැරී සිටියෙමි. හිනා වෙන්න ද අඬන්න ද කියා මට තේරෙන්නේ නැත. මා ගෙට ගොඩ වූයේ දෙතොල් මත සිනහවක් ද හදවතේ කඳුළක් ද ඇති ප්‍රාණියෙකු සේ ය. ඒ කඳුළ අනුන් වෙනුවෙනි. මල්ෂා වෙනුවෙනි. තවත් ගැහැනියක වෙනුවෙනි.

“සංකල්ප හවසට පණිවිඩේ කියයි”

කියා අම්මා ට කියා ගෙන මම කාමරයට වැදුණෙමි.

“දුක් වෙන්න එපා උත්තරා. ඔයා කාටවත් අයිති වෙලා තිබුණ දෙයක් හොරකං කළේ නෑ. සංකල්ප මල්ෂාට කවදාවත් ආදරේ කළේ නෑ”

හිත මට කොඳුරා කියන්නට වූයේ ය.

හවස සංකල්ප ආවේ තනිව නොවේ. බුලීත් කැටිව ය. ඒ වෙලාවේ මම ලූනා සමගින් වැරැන්ඩාවේ සෙල්ලම් කරමින් සිටියෙමි.

“මං එන්න හදනකොට මෙයාගෙං බේරෙන්න බැරි වුණා…මෙහෙ එන්න”

ලූනා මා හැර බුලී සමගින් මිදුලට පනිත්දී ඔහු සිනහ වෙවී කීවේ ය.

“මං ඒකනෙ කිව්වෙ”

නීලා පසෙක සිට කීවා ය.

“ඔය දෙන්නා එක ගෙදරකට කළානං හරි කියල”

සංකල්ප ත් මා ත් මුහුණෙන් මුහුණ බලා ගත්තේ පෙර කතිකා කර ගෙන සිටියාක්  මෙනි. මම ඉක්මනින් බිම බැලුවෙමි.

“ඉඳගන්න පුතා”

සංකල්ප තවමත් හිටගෙන ඉන්නා බවක් මට සිහි වූයේ ත් අම්මා ඒ ඇරයුම කළායින් පසු ය.

“කොහොමද අම්මට දැන්…මූණෙං පේන්නෙනං හොඳයි වගේ”

අම්මා හයියෙන් සිනහ වූවා ය.

“මේ බලන්නකො…මූණ බලල ගුණ අගුණ කියන දොස්තර මහත්තයෙක්…ඇත්තටම ගොඩක් හොඳයි පුතා. මටත් හිතෙනව මං දිගටම මෙහෙ නතර වෙන එක හොඳයි කියල”

“අම්…ම…”

විශ්මිත දෑසකින් අම්මා දෙස බලා උන් මම ඇය වෙත පැන ඈ වැළඳ ගතිමි. ඒ වගේ කතාවක් ඈ මීට පෙර මට කියා තිබුණේ නැත.

“උත්තරා ආස විදිහකට ගේ රිපෙයා කර ගන්න ඕන පුතා. නැත්තං එයා කැමති විදිහට ගෙයක් අලුතෙන් හදන්න ඕන. වත්තෙ ඉඩ තියෙනවනෙ. එයාට මෙහේ ඉන්න ඕන කියනවනං ඉතිං මොනා කරන්නද…මාත් එයා ඉන්න තැනක වැටිල ඉන්නව..”

“මගෙ හොඳ අම්ම…”

“මෙහෙංවත් මෙයා මහත්තයෙක් හොයා ගනියිද කියලයි මං මේ බලං ඉන්නෙ…”

මා දුටුවේ නීලා ගේ මූණ ය. ඇය තනිව සිනහ වූයේ අම්මා නො දන්නා දෙයක් ඇය දන්නවා යි නො කියා කියමින් සේ ය.

“අපේ සුදු බබා වගේ සිරියාවන්ත කුමාරිකාවකට මහත්තයෙක් හොයා ගන්න බැරිද අප්පේ…කට්ටිය දැන ගත්තොත් පෝලිමේ එයිනෙ කැන්දං යන්න”

“අපෝ මෙයාව..”

සංකල්ප අඩැසින් මදෙස බැලුවේ ය.

“ඇයි ඔයාට ජෙලස් ද…”

“මං කට්ටියට තේ ලෑස්ති කරන්නංකො”

කියමින් නීලා ඇතුළට ගියා ය. අම්මි සංකල්ප දෙසට හැරිණ.

“ඒක නෙවෙයි පුතා. දැං අපි මේ වැඩ ටික කර ගන්නෙ කොහොමද…කම්පනි එකකට බාර දෙනවද…”

“අනේ ඕන්නෑ අම්ම. හොඳ කන්ට්‍රෑක්ටර් කෙනෙක් ඉන්නව ටවුන් එකේ. අපි එයාට කතා කරල බලමු”

“මටනං ඕව ගැන එච්චර දැනුමක් නෑ පුතා. මහත්තය ඉන්නකං හැම දේම කළේ එයානෙ”

“ඒ ගැන අම්ම බය වෙන්න එපා. මං ඉන්නවනෙ”

සංකල්ප තවත් රෑ බෝ වන තුරු කතා කරමින් සිටියේ ය. නමුත් ඔහු ව කෑමට නවතා ගත නො හැකි විය.

“වැඩිය තැග් ගැහෙන්න ගත්තොත් නැන්දම්මට අගයක් නැති වෙනව”

මිදුලේ දී අම්මා ට නෑසෙන සේ ඔහ කීවේ ය. මම දෙතොල් තද කොට ගෙන සිනහ වී කර බා ගතිමි. නමුත් මගේ ඇස් වල ඔහු ට කියවා ගනු වස් බොහෝ කතා ලියැවී තිබෙන්නට ඇත.

අප රාත්‍රී ආහාර ගනිමින් සිටිත්දී මල්ෂා ගෙන් මගේ දුරකතනයට ඇමතුමක් ආවේ ය.

“කියන්න නංගි”

කියමින් මම එය සවනට ගතිමි.

“අක්…කී”

කියමින් ඇය එක් වර ම හඬන්නට පටන් ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content