Corn flakes හෝ Cereal වැනි ක්ෂණික ආහාර ඩයට් කරන ඔබේ උදෑසන ආහාරයට සුදුසුද?

උදෑසන ආහාරය යනු දවසේ වැදගත්ම ආහාර වේලයි . ඩයට් කරන නොකරන සියලු දෙනාම අනිවාර්යෙන්ම උදෑසන ආහාරය ගත යුතු බව පෝෂණවේදීන්ගේ අදහසයි .ඉතින් Corn flakes සහ cereal කියන්නේ උදෑසන ආහාරයන් අතරින් ලොව පුරා ලොකු කුඩා කා අතරත් ඉතාම ජනප්‍රිය උදෑසන ආහාරයන්. කාර්යබහුල ජීවිත ගෙවන බොහො දෙනා ඔවුන්ගේ පහසුව උදෙසා මේවා ආහාරයට ගන්න දක්වන්නේ ලොකු කැමැත්තක්.නමුත් ඩයට් කරන අයට මේ Corn flakes සහ cereal හොඳද ? මේ ලිපියෙන් අපි ඒ ගැන කතා කරමු

Corn flakes ( 100 g – කැලරි 357 )

මෙය බොහෝ දෙනා විසින් උදෑසන ආහාරය සඳහා ගනු ලබන්නේ, කිරි සමග මිශ්‍ර කර ඉතා පහසුවෙන් ආහාරයට ගැනීමට හැකිවීම නිසාත්, කාලය ඉතිරි කර ගැනීමට හැකිවීම නිසාත් සහ ඉක්මනින් කුස පිරීම නිසාත් ය .සමහර අය මේවට වියළි පලතුරු සහ ඇට වර්ග ද එකතු කර ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වනවා .

කෙසේ වෙතත් විවිධ වෙළඳ නාම යටතේ මිලදීගතහැකි cornflakes ආහාර පාලනය කරන අයට එතරම් සුදුසු ආහාරයක් නොවන බව සමහර පෝෂණවේදීන් පවසනවා .එයට හේතුව ලෙස ඔවුන් හේතු කිහිපයක්ම පෙන්වා දෙනවා. එනම් cornflakes සකස් කිරීමට භාවිත කරන තිරිඟු පිටිවල මේදය අඩංගු විය හැකි බවත් , ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය නිසා මෙය දිනපතා ආහාරයට ගැනීම ශරීරයට අහිතකර බවත් ය.

තවද , සමහර cornflakes වර්ග වල ඉරිඟු සිරප් සහ සීනි සිරප් ඉහල ප්‍රමාණයක් අඩංගු වනවා යැයි ඔවුන් පෙන්වා දෙනවා.එයින් අදහස් කරන්නේ ඒවාට ඉහළ ග්ලයිසමික් දර්ශක අගයක් ඇති යන්නයි .එබැවින් ඒවා දෛනික පරිභෝජනයට සුදුසු නොවන බව විශේෂඥයන් විසින් පෙන්වා දෙන අතර උදෑසන ආහාරය සඳහා අධික සීනි සහිත ආහාර ගැනීමෙන් ශරීරයේ බර වැඩිවීම අධික ලෙස වර්ධනය වන බවත් ඔවුන් පවසනවා .ඒ මගින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති කළ හැකි අතර දියවැඩියාවටද හේතුවක් වනවා .රුධිරයේ අධික සීනි මට්ටම , ඉන්සියුලින් මට්ටම ඉහළ යාමට හේතු වන අතර එමගින් සෛලවල මේදය තැන්පත් වේ. පසුව මෙය බර වැඩිවීම බවට පරිවර්තනය වන බව විශේෂඥයන් පෙන්වා දෙනවා .

මෙයට විසඳුමක් ලෙස ඔවුන් කියා සිටින්නේ කෝන්ෆ්ලෙක්ස් මිලදී ගන්නා විට එහි ලේබලය කියවා එහි කොතරම් සීනි ප්‍රමාණයක් අඩංගු දැයි පරික්ෂා කර බලා මිලදීගෙන භාවිතයට ගන්නා ලෙසටයි.

Cereal ( 100 g – කැලරි 379 )

මේවා බොහෝ විට කුඩා දරුවන් වෙනුවෙන් නිපදවන නමුත් ලොකු කුඩා කා අතරත් මෙය අතිශයින්ම ජනප්‍රිය උදෑසන ආහාරයක්. පිරිපහදු කළ ධාන්‍ය පිටි බවට පත් කර ඒවාට සීනි ,විවිධ විටමින් සහ ඛනිජ ලවණ ,විවිධ රසකාරක ,චොකලට් ඇතුලු විවිධ රස‍යන් එකතු කර නිස්සාරණය කිරීමෙන් මේවා සකස් කරනු ලබනවා.

මේවා දිනපතා ම ආහාරයට ගැනීම මගින් ඔබේ රුධිරයේ සීනි මට්ටම සහ ඉන්සියුලින් මට්ටම ඉහළ යාමක් සිදු වෙනවා.ඒ වගේම මේවා ආහාරයට ගැනීමෙන් පැය කිහිපයකට පසු ඔබේ රුධිරයේ සීනි මට්ටම බිඳ වැටීමට ඉඩ තිබෙන අතර ඔබට කාබෝහයිඩ්‍රේට් ඉහළ ආහාරයක් හෝ සුළු ආහාරයක් ගැනීමට කැමැත්තක් ඇතිවිය හැකිය .මෙලෙස වරින් වර ආහාර ගැනීම ඔබේ ශරීරයේ බර අනවශ්‍ය ලෙස ඉහළ යාමට බොහෝ විට හේතුවක් වන අතර සීනි අධික ලෙස පරිභෝජනය කිරීම මගින් දෙවන වර්ගයේ දියවැඩියාව ,හෘද රෝග සහ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි විය හැකිය .

එම නිසා ඔබ සීරියල් මිලදී ගන්නා විට එහි ඇති සීනි ප්‍රමාණය , අඩංගු වන තන්තු ප්‍රමාණය කොපමණදැයි ඇසුරුමේ ඇති තොරතුරු අනුව අනිවාර්යෙන්ම පරීක්ෂා කිරීමට සැලකිලිමත් විය යුතුයි .

බොහොමයක් පෝෂණවේදීන් සහ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි උදෑසන ආහාර කෘතිමව සැකසූ ඒවා බවත් බොහෝවිට ඒවායෙ ධාන්‍ය කුඩා ප්‍රමාණයක් ද සීනි අධික ප්‍රමාණයක් ද අඩංගු වන බවයි . එලෙස දිනපතාම අධික සීනි ප්‍රමාණයක් ශරීරගත වීම නිසා අධික තරබාරුකම, දෙවන වර්ගයේ දියවැඩියාව ,හෘද රෝග සහ වෙනත් නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන බව ඔවුන් වැඩි දුරටත් පවසනවා. මේ අනුව මෙවැනි ක්ෂණික උදෑසන ආහාර, ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීම සඳහා ආහාර පාලනය කරන අය සදහා පෝෂණවේදීන් අනුමත කරන්නේ නැත .

සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරයක් සඳහා ඔබට භාවිතා කල හැකි විකල්ප මොනවාද?

ඕට්ස් ( කෝප්ප 1 – කැලරි 307 )
සුදු බත් ( කෝප්ප එකක – කැලරි 136 )
ග්‍රීක යෝගට් ( 100 g – කැලරි 59 )
බිත්තර ( බිත්තර 1 – කැලරි 78 )
ඇපල් ( 100 g – කැලරි 52 )
මිදි (100 g – කැලරි 67 )
කැරට් ( 100 g – කැලරි 41 )
බෝංචි (100g – කැලරි 19 )
පිපිඤ්ඤා ( 100 g – කැලරි 15 )

මෙවැනි සෞඛ්‍ය සම්පන්න ආහාර උදෑසන ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබට අත්වෙන වාසි බොහොමයි.ඒ නිසා කෘතිම උදෑසන ආහාර වලට වඩා ශරීරයට පෝෂ්‍යදායි ආහාර එකතු කරගන්නා ලෙස අපි ඔබට යෝජනා කරනවා.

Related Articles

Don't Miss


Latest Articles