සීත මාරුතේ -29

මට දැනුණේ මගේ ආත්මය මාරක ළිඳක් වී ඇතිවා මෙනි. මට මා තුළ ට එබී බැලීමේ බියක් විය!

මාරක ළිඳ කියනා දේ මුලින් ම මට අසන්නට ලැබුණේ කවදා දැයි නිනව් නැත. ඒ මගේ බාල වියේදී බව නම් කිව හැක. මට ඒ ගැන දැන ගන්නට ලැබෙන්නේ කාගෙන් ද කෙසේ ද කියා හෝ මතකයක් දැන් නැත ද මාරක ළිඳ බලන්නට ඕනේ යයි කියමින් පෙරළි කළා මට හොඳට ම මතක ය. මම කෑ ගසමින් ද ඉකි බිඳිමින් ද හැඬුවෙමි. සාමාන්‍යයෙන් ගුරු මව් පිය යුවළක ගේ පවුලක් වන අපේ ගෙදර ළමයින් හැදූ ක්‍රමයක් තිබිණ. ඉල්ලන දේ ප්‍රමාද වී දුන්න ද ඉල්ලන වෙලාවේ ම එය ලබා නොදී, ගණන් නො ගෙන සිටීම ඒ අතරින් එකකි. මාරක ළිඳ ගැන කියමින් හෝරා ගණනක් හැඬීමේ මතකයක් මගේ ළමා මනසේ තැන්පත් වන්නේ එනයිනි. ඉන් දින දෙක තුනකට පස්සේ අපි විහාර මහා දේවි උද්‍යානයේ පැවති සැනකෙළිය බලන්නට අප්පච්චි ගේ පරණ මෝටර් රථයෙන් ගියෙමු. මා අත් දෙකට ම වීදුරු වළළු පුරවා ගෙන තට්ටු දෙකකට සාය දමා මැසූ ගවුමක් ඇඳ සිටියා දැනුදු සිහි කර ගන්නට පුළුවන.

මාරක ළිඳ යනු කුමක් දැයි මා දැන සිටියේ නැත. එදායින් පසු එක් දිනක් හෝ මා ඒ නැරඹුවේ නැති බව ද හොඳින් මතක ය. අපි පිය ගැට පෙළකින් ද මන්දා ලී තට්ටුවක් උඩට නැගුණෙමු. අප්පච්චි මල්ලී ව වඩා සිටි අතර අම්මා මගේත් නංගිගේත් අත් දෙක අල්ලා ගෙන සිටියා ය. මතක හැටියට එතකොට මල්ලී අත දරුවෙකි.

මම ඒ ලෑලි වලින් තැනූ ළිඳට එබී බැලුවෙමි. පසු කාලයක මරියානා අගාධය ගැන ඉගෙන ගත්දී හෝ මට ඒ තරම් ගැඹුරක් මවා ගත හැකි වූයේ නැත. මාරක ළිඳ යනු ඒ තරම් ගැඹුරු වූ හෙළක් සේ ය මගේ මනසේ රැඳි තිබෙනුයේ. මම ඉක්මනින් ඇස් දෙක එහි පත්ලෙන් ගොඩ ගෙන ආවෙමි.

යුද්ධයක් කොට මාරක ළිඳ බලන්නට ආ නිසා බිය යයි පැවසිය නො හැකි ය. ඒ නිසා මම ඇට්ටර කෙල්ලක සේ ඉවසා ගෙන සිටියෙමි. මඳ වෙලාවකට පසු යතුරු පැදියක් පණ ගැන්වුණේ ය. අප හේත්තු වී සිටි මාරක ළිඳේ ලෑලි දෙදරන්නට ගති. මම හොරෙන් වාගේ ළිඳ තුළට දෑස් යැව්වෙමි. යතුරු පැදිය මහ හඬක් නගමින් අර ලෑලි දිගේ ළිඳේ ඉහළට එමින් තිබුණේ ය. මා මවා ගත්තේ එක ම චිත්ත රූපයකි. ඒ යතුරු පැදිය ලෑලි මාරක ළිඳෙන් මතුපිටට විත් අපේ ශරීර මතින් ගමන් කරනු ඇත. ඒ සිතිවිල්ලත් සමග මම ගිරිය යටින් කෑ ගසා ගෙන අප්පච්චි ගේ කකුල් දෙක අතරේ මූණ ඔබා ගතිමි. මගේ බෙරිහන් දීම අනිත් මිනිසුන් ට වදයක් වන නිසා දෝ අම්මා හා අප්පච්චි ළමයින් ගෙන පහළට බැස ගත්හ. මට හරියට හුස්ම වැටුණේ පහළට පැමිණි ඉක්බිතිව ය.  

ඉන් පසු මම මාරක ළිඳක් ගැන නිකමට හෝ කතා නො කළෙමි.

ඒ දෙදරීම, කැළඹීම හා කම්පනය මේ මොහොතේත් මා තුළ වේ. මම භීතියක පසු වෙමි. නමුත් ඒ බිය කුමක් දැයි මා දන්නේ නැත.

“අභිෂේක් නෑ නේ…”

ධාරා සිනහ වෙවී මගෙන් ඇසුවා ය.  මම මාරක ළිඳේ කම්පනය යටපත් කරමින් ඇය හා සිනහ වීමි.

“මිස්ට මුණිවර උදේනං හිටිය…ආ..වෙහිකල් එක නෑ නේද…කොහෙට හරි යන්න ඇති”

“අයියෝ…බලන්නකො ඉතිං..මං එනව කියල මෙසේජ් එක දීල තියෙද්දිත් නෑනෙ”

අඳුරු ගුහාවක් බඳු වූ මගේ ආත්මය තුල කණාමැදිරි එළියක් බඳු ප්‍රීතියේ ආලෝක පුංජයක් දැල්වී නිවිණි. ඇය දැනුම් දී තිබියදීත් ඔහු මග හැර ගිය එකෙන් කියවෙන්නේ ඔහු ඈ ප්‍රතික්ෂේප කරනා බවයි! නමුත් එසැනෙන් මම මගේ ඒ නරක සිතිවිල්ල ගැන මට ම දොස් කීවෙමි. 

“ඉඳගෙන ඉන්න. මිස්ට මුණිවර ළඟට වෙන්නැති යන්න ඇත්තෙ”

කියා මම මගේ කුටියෙන් සී ආර් පොත හා පෑනක් ගෙනැවිත් ස්කූටියේ ලාච්චුවට දැමුවෙමි. ෆාම් එකේ සියලු අංග පිළිබඳ දත්ත ඒ පොතේ අඩංගු විය යුතු ය.

“මං සයිට් රවුන්ඩ් ගිහිං එන්නං”

මා හැරී ඇය ට එසේ කියමින් ස්කූටිය පණ ගන්වත්දී ධාරා “නංගී” කියා හඬ ගෑවා ය. මම පා ඇඟිලි බිම තබා ගත් වන හැරී බැලුවෙමි. ඇය මවෙත දිව එමින් සිටියා ය.

“මාත් එන්නං…”

එක වර කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු දැයි මට අදහසක් වූයේ නැත. නමුත් මගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවී ඇය පිටුපසින් නැගී මගේ දෙඋරහිස් අල්ලා ගත්තා ය.

“අ..මං හිතන්නෙ මිස්ට මුණිවර ඉක්මනට එයි”

“කමන්නෑ. මටත් ආසයි ෆාම් එක බලන්න. කොහොමටත් මට තේරෙනව එයාගෙ ඔය රිඇක්ශන් එක. මට කැමති නෑ කියල නොකියා කියනවනෙ”

හිත පිච්චී යනවා මට දැනිණ. ගැහැනු ළමයෙකු වශයෙන් ඒ වගේ ප්‍රතික්ෂේපයක් හිතට දැනෙනා විදිහ තේරුම් ගන්නට බැරි කමක් මට නැත.

“මං ඒ ගැන පුදුම වෙන්නෙත් නෑ”

ඇය සැහැල්ලුවෙන් කීවා ය. ඒ ඇයි කියා දැන ගන්නට මට ඕනා වී ද එසේ අසන්නට තරම් දිරියක් හිතට දැනුණේ නැත.

“බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද…”

ඉන්පසු ඇය හදිසියේ ම ඇසුවා ය.

“මටද…”

“හ්ම්. ඔයාට”

“අපෝ තාම නෑ”

“ඉතිං ඒකනෙ. ඔයා වගේ ස්වීට් ගර්ල් කෙනෙක් ඇසිස්ටන්ට් විදිහට ඉඳගෙනත් ගර්ල් කෙනෙක් නැති අභිශේක් ගැන මට හිතා ගන්න පුළුවන්. මෝඩය. කෙල්ලෙක් ගැන හිතන්න දන්නෙ නෑ. ඉතිං අම්ම ලෝකෙ අනිත් කෙරෝලෙ ඉන්න ගෑනු ළමයින්ව ප්‍රපෝස් කරනව. මොනා වුණත් දැන්නං එයාට මගෙං ගැලවෙන්න බෑ. මේ සැරේ එයාට මැරි කරල තමයි නතර වෙන්න වෙන්නෙ”

ඇය ඉතා සැහැල්ලුවෙන් හඬ නගා සිනහ වූවා ය. මම තව තවත් මාරක ළිඳ පත්ලට වැටෙමින් සිටියෙමි.

ඒ කෙටි කාලය තුළ දී මා ධාරා ව වටහා ගත්තේ කිසිවක් ගැන බර ට නො සිතන ගෑනු ළමයෙකු ලෙස ය. ඇය කී ලෙස ඇය සිය නව යොවුන් වියේ දී පෙම් සබඳතා දෙක තුනක් පවත්වා ඒවායින් පාඩම් ඉගෙන සිටියා ය. විවාහයක් යනු මනුෂ්‍යයෙකු ට අත්‍යාවශ්‍ය දෙයක් නොවේ යයි අවසන ඇය තීරණයකට එළඹ තිබේ. මුණිවර ගැන යෝජනාව ඇවිත් තිබෙන්නේ ඒ අතරේ ය.

“ආශ්‍රය කරලවත් පිරිමි තේරුං ගන්න බැරුව කොහොමද පින්තූරෙකින් දකින මිනිහෙක්ව කසාද බඳින්න කැමතියි කියන්නෙ. ඒකයි මං කිව්වෙ ලංකාවට ඇවිත් එයාව ආශ්‍රය කරල බලනකල් වචනයක් දෙන්න බෑ කියල. හැබැයි අභී ව දැක්ක ගමං මට හිතුණා එයා තමයි මං මැරි කරන කෙනා කියල”

ඇය විවෘත වන්නට වන්නට සිදු වූයේ මගේ හිත රිදෙනා එකයි. නමුත් මම ඒ රිදුම් ගැන නො හිතා යථාර්ථයට මුහුණ දෙන්නට මුහුණ මත සිනහවක් පින්තාරු කොට ගතිමි. පෙරදීටත් වඩා ජීවත් වෙන බවක් මට දැනෙන්නට ගත්තේ එතකොට ය. 

අප යළි කාර්යාල පරිශ්‍රය වෙත එන විට මුණිවර ගේ රිය තිබුණේ ය. අමුතු ගැස්මක් මහදවත අත්විඳිමින් තිබිණ.

“මගෙ කොල්ල ඇවිත්”

ධාරා රහසින් සේ කීවා ය.

“ඒකනෙ මං කිව්වෙ. අක්කට ඉන්නයි තිබුණෙ”

ඇය ට අක්කා යි අමතන ලෙස කියා සිටියේ ධාරා ම ය. මේ වෙත්දී මම ඇය ට බෙහෙවින් කැමති වී සිටියෙමි. අතර මග දී ඇය මට ඇයත් එක්ක කෑම වේලක් ගන්නට ද ආරාධනා කොට සිටියා ය.

“ඔයාගෙ බයික් එකේ අපි දෙන්නට රස්තියාදුවක් ගහන්නත් පුළුවන් නේ…ඔයා වගේ නංගි කෙනෙක් යාළුවෙක් කර ගන්න ඇත්තටම මං ආසයි”

අප බයිසිකලයෙන් බහිත්දී ම සිය වීදුරු කුටියේ දොරකඩට පැමිණි මුණිවර, දෑත් සාක්කු වල ඔබා ගෙන බලා සිටියේ නො සන්සුන් දෑසින් බව මම ඉඳුරා දැන ගතිමි. 

“මන්දාකිණී…”

අප ඇතුළට යත්දී ම ඔහු ගුගුළේ ය. මගේ දෙපා එහෙම ම නැවතිණ.

“තමුන්ට කවුද අවසර දුන්නෙ පිට අයව ෆාම් එක ඇතුළට අරං යන්න කියල…ආ…”

පිළිතුරක්, මා වෙනුවෙන් කියන්නට නිදහසට කාරණයක් මට සිහිපත් වූයේ ම නැත. තැති ගත් දෑස් අයා මම ඔහු දෙස බලා ඉන්නට වීමි.

“ඒ ළමයට බණින්න එපා ඉතිං. මමනෙ එයා එක්ක ගියේ. හරි හරි ඉතිං මං පිට කෙනා තමයි. ඔයාගෙ තරහ අඩු වෙනකල් මට බනින්නකො”

ධාරා මා ඉදිරියට විත් මා මුවහ කරමින් සිට ගත්තා ය. මගේ ඇස් තෙත් වී ගෙන ආවේ ඇයි දැයි කියනු නො හැකි ය. තවත් ටික වෙලාවක් ගින්දර විසි වෙන දෑසකින් මදෙස බලා උන් මුණිවර කේන්තියෙන් ම සිය අසුන වෙත ගියේ ය.

“සොරි කෙල්ලෙ. මං නිසා ඔයා බැණුං ඇහුව”

ධාරා මගේ අතක් අල්ලා ගත්තා ය. මම මඳහසකට ඉඩ දුන්නෙමි.

“බැණුං අහල දැං හොඳට පුරුදුයි”

කියා ගෙන මම මගේ කුටිය දෙසට හැරුණෙමි. ඇය මගේ පිටට ගසමින් සිනහ වූවා ය.

“මාත් දැං පුරුදු වෙන්න වෙයි. මේ..”

නැවත ද මට ලං වූ ඕ රහසින් මගේ සවනට මිමිණුවා ය.

“කෙල්ලෙක් හොයා ගන්න බැරි වෙන්න ඇත්තෙ ඔය අර්ශස් ගාය නිසා තමයි. මං හදල ගන්නංකො”

හඬන්නට බැරි කමට සිනහ වෙන්නට සිදු වන අවස්ථා අපේ ජීවිත වලට උදා වේ. මා ද සිනහ වූයේ එවැනි තත්වයක් යටතේ ය. 

එදා බෝ වෙලාවක් යන තුරු ධාරා මුණිවර සමගින් කතා බහේ යෙදී සිටියා ය. මම හිතා මතා ම මගේ කුටියට වී නො සිට හරිතාගාර වල ද පේෂ කර්ම ශාලාවේ ද ඇඳුම් මසනා ස්ථානයේ ද කාලය ගෙවා දැමීමි. මාළුන්ට කෑම දෙන්නට ගිය ද වෙනදා සේ මට උන් සමග කතා බහ කිරීමේ නිදහස් මනසක් වූයේ නැත. මාළු රංචුව පොර කමින් පාන් කන හැටි බලා සිටීම ද ශෝකය ජනිත කරනා සිදුවීමක් සේ මට දැනුණේ ය.

දුක ඇති කරන්නේ බැඳීම් බව අප කුඩා කල සිට ම උගනිමු. නමුත් ඒ බැඳීම් වලින් ඈත් වී සිටින ආකාරයක් ගැන අපට කිසිවෙකු කියා දෙන්නේ නැත. නැතහොත් අප ඉගෙන ගන්නේ නැත. ඉතින් දවසක් ගානේ මොහොතක් ගානේ සිදු වන්නේ තව තවත් බැඳීම් වල සිර වෙමින් දුක ඇති කර ගැනීම ය.

දවාලේ කෑම විවේකය ට පෙර මා බලාපොරොත්තු ව සිටි අංකයෙන් ඇමතුමක් ආවේ ය. 

“මිස් මන්දාකිණී ට අපිව මීට් වෙලා කතා කරන්න වෙලාවක් නෑ වගේනං අපි මෙහෙම ෆෝන් එකෙන් හරි කතා කරමු. මිස් මන්දාකිණී බලාපොරොත්තු වෙන සැලරි එක කීයද කියන්නකො”

“මං එහෙම බලාපොරොත්තු වෙන ගාණක් නෑ. මොකද..තාම මට එහෙම ලොකු සැලරි එකක් ඕන වෙලා නෑ. සතුටෙන් වැඩ කරන්න පුළුවන් තැනක් විතරයි මට ඕන වුණේ”

“ගුඩ්. අපි මිස් මන්දාකිණී ට ඕන හැම පහසුකමක් ම දෙන්නං”

“එහෙ හෑන්ඩ්ලූම් මැෂින්ස් කීයක් තියෙනවද…කී දෙනෙක් ඇඳුම් මහන්න ඉන්නවද…”

“මිස් මොනාද මේ කියන්නෙ…අපි කතා කළේ ෆාම් එකේ වැඩට”

“මෙහෙමයි. මං ෆැෂන් ඩිසයිනර් කෙනෙක්”

“ඒත් දිසානායක මහත්තය ගියාට පස්සෙ මිස්ට් ෆීල්ඩ් එකේ සුපර්වයිසර් මිස්නෙ. අපි ඒක දන්නව”

“මං ඒ වැඩ ටික කරල දෙනව තමයි ෆ්‍රී ටයිම් එකේ. හැබැයි මගෙ ජොබ් එක ෆැෂන් ඩිසයිනිං. එහෙම එකේ මං ඔබ තුමාල ළඟට වැඩට ඇවිත් තේරුමක් නෑනෙ. අනිත් එක ඇයි මෙහෙ ඉන්න කෙනෙක් ගන්න බලන්නෙ. ඔයාලට පුළුවන්නෙ ඇඩ් එකක් දාල හරි කෙනෙක් හොයා ගන්න..එහෙම කරන එක එච්චර හොඳ නෑ නේද…”

එවර හෙතෙම හඬ නගා සිනහ වන්නට වූයේ ය.

“මං ඕකනෙ කිව්වෙ මුණිවර මිස්ව අන්දල ප්‍රයෝජන ගන්නව කියල. ඕනවට වඩා හොඳ වෙලා බෑ මිස්. හොඳ වුණාම අපිව මෝඩයට අන්දන්න හරි ලේසියි”

“මෙතන හුඟක් ඉන්නෙ අවුරුදු ගාණක් තිස්සෙ මෙතනම වැඩ කරන අය. මිස්ට මුණිවර ඔය කියන තරං නරක කෙනෙක්නං එයාල එහෙම ඉඳීද…”

“අයියෝ…මිස්නං තාම මෙලෝ දෙයක් මේ ෆීල්ඩ එක ගැන දන්නෙ නෑ. දන්නවද ඔතනිං කොච්චර මල් එනවද කියල අපේ නුවර එළියෙ ශොප් එකට…”

“ඒ කිව්වෙ…”

“ඒකනෙ. මිස් දන්නෙ නෑ. ඔතන ඉන්න ගමං මිනිස්සු දෙන ගේම මිස් දන්නෙ නෑ. මිස්ට් ෆීල්ඩ් එකේ මල් වලින් සෑහෙන ප්‍රමාණයක් ලේබර්ස්ල පන්නනව. අපි තමයි උන්ව හැන්ඩ්ල් කරන්නෙ. තමං ගැන හිතල ඉන්න මිස්. තමන් ගැන…”

මට දැනුණේ මගේ පපුව දා පිච්චී ගියා සේ ය. එවැන්නක් සිදු වෙනවා නම් ඒ කෙතරම් නරක ද? මුණිවර මේ කිසිත් දන්නේ නැත. ඔහු සිය සේවකයන් ව විශ්වාස කරමින් හිඳී. නමුත් මිස්ට් ෆීල්ඩ් තුල ම ඉන්නා ඇතැම් මිනිසුන් ඔහු ගේ සතුරන් ගේ මිනිසුන් ය.

“දවසක මිස්ට් ෆීල්ඩ් එක අපේ අතේ මිස්. දැන්මම මේ පැත්තට පැන ගන්න”

මා දුරකතනය තැබුවේ කල්පනා කොට පිළිතුරක් දෙන බව කියා ය. පෙරදීටත් වඩා ලොකු බියක් දැන් මට මුණිවර ගැන දැනේ. සතුරන් ව තේරුම් ගන්නට පුළුවන. බැරි මිතුරන් වෙසින් හිඳිනා සතුරන් ව තේරුම් ගන්නට ය. කෙනෙකු නරක ම විදිහේ අවාසනාවකට මුහුණ දෙනු ඇත්තේ බලාපොරොත්තු නොවූ ලෙස ඔවුන් අතිනි.

මේ සියල්ල විසඳා ගත හැකි විදිහක් ගැන මම මගේ හිත හාරමින් පාරමින් කල්පනා කළෙමි. නිෂ්පාදනය කෙරෙනා මල් හා අලෙවි කෙරෙනා මල් අතරේ වන වෙනස කෙසේ දැයි සොයා බලා එම වෙනසට කුමක් වෙන්නේ දැයි විමසා බැලිය හැක. නමුත් මිස්ට් ෆීල්ඩ් තුල සිටිමින් පිටතට රහස් සපයන හා මල් ජාවාරමේ නිරත වෙන පුද්ගලයන් ව මැදි කර ගන්නේ කෙසේ ද?

“ගමනක් යන්න තියනව. එන්න”

මා කල්පනා ලෝකයේ සිටියදී මුණිවර මගේ කුටියේ දොරකඩ ට විත් කීවේ ය. මා රියට නැගුනේ දෙගිඩියාවෙනි. මට ධාරා සිහි විය. දැන් මට මුනිවර ගැන පෙර දී සේ නිදහස් හැඟීමෙන් සිතිය නො හැකි ය.

ඔහු අතර මගදී හෝ ධාරා සම්බන්ධ ව යමක් කියාවියි මම බලාපොරොත්තු වුණෙමි. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. ආඩම්බර කාරයා සියල්ල සිය හද තුළ තනිව දරා ගෙන සිටී.

රිය නතර වූයේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තැනූ විශාල නිවසක් ඉදිරියේ ය. පුළුල් කුළුණු සහිත ආරුක්කු පෙළකින් සීමා වූ බරාඳයක් ඉදිරිපස වූයේ ය. උළු සෙවිලි කළ වහල ද බිත්ති ද වසා ගෙන වියා තිබි මකුළු දැල් නිහඬ ව කියා පෑවේ කලකින් එහි කිසිවෙකු පදිංචි ව හිඳ නැති බවකි. නමුත් කෙළවර හාන්සි පුටුවක හිඳ සිටි මිනිසෙකු හදිසියේ නැගිට ගත්තෙන් මගේ සිතිවිල්ල වැරදි බව එසැනෙන් පසක් විය. 

බුලත් විටකින් කට පුරවා ගත්, බොර පැහැ කුඩා දෑසකින් ද අවුල් වූ කෙස් වැටියකින් ද අපිලිවෙලට වැවුණ තැන තැන සුදු වූ රැවුලකින් ද හෙබි මිනිසා ගේ ඇස්, මුණිවර දුටු විට දීප්තිමත් වූයේ ය.

“රජ්ජුරුවො…”

බුලත් හපය මිදුලට විසි කරන්නටත් පෙර ඔහු සිනහවකින් ආමන්ත්‍රණය කළේ මුණිවරට ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles