හසරැලි වැස්සේ -10

මා බරාඳයට වී ඔහේ හිඳිද්දී ඔහු නැවත පැමිණියේ ය.ඒ නිවසට පැමිණෙමින් හුන් සචිර අයියා අමතන්නට ය.මගේ දෑසේ අසරණ බැල්මක් තැවරී තිබෙන්නට ඇත.නමුත් මා බිම බලාගෙන මල් පැළයක් සකසමින් ඔහේ සිටියෙමි.ඉතා සුළු හේතූන් වලට කාලච්ඡේද ගණන් ඩෙස්කුවට හිස ගසා වැළපුණු මිතුරියන්‍ට ආදරය නිසා නාස්ති වන බවට බැන වැදුණු හසරැලි හදවත මැදට වී මට ඔලොක්කු සිනා නැගුවා ය.නමුත් මා සිටියේ කම්පිතව ය; පීඩිතව ය.

නොදුටුවා සේ මා හැර යන්නට ගිය සචිර අයියා නැවත පැමිණ මා අසල ඇණ තබා ගත්තේ ය.

“හප්පටසිරි! අපේ සූකිරියානෙ..මං මේ කවුරුහරි නෑදෑ කෙල්ලක් කියලා හිතලා පස්සෙ ටෝක් කරන්න හිතාගෙන යන්න ගියේ..”

මගේ ඇස් යොමු වූයේ ඔහුට නොවේ,දෙනෙත් ට ය.ඔහු අප දෙස අවඥා දෑසකින් බලා සිටියේ ය.

“යෙත්මිලාගෙ අක්කගෙ වෙඩින් එකනෙ.මං සැලෝන් ගියා..”

විලාසිතාවක් කිරීම ගැන අම්මාගෙන් තාත්තාගෙන් සහෝදරයාගෙන් නොබියව අවසර ගත් මා ඔහු ඉදිරිපිට බියෙනි;අපහසුවෙනි.මා මේ හේතු ඉදිරිපත් කරන්නේ සචිර අයියාට නොවේ.දෙනෙත් ට ය.

“නංගිට ඔහොම කොණ්ඩේ කපලා හරිම ලස්සනයි..”

සුපුරුදු ලෙසටම මගේ නළලතට දබරැඟිල්ලෙන් තට්ටුවක් දමනා අතර සචිර අයියා පැවසී ය.ඔහුගේ දෑස් පැහැදිලි ය.ගඟුලක් සේ ය.නමුත් මා දැන් සිටින්නේ ඒ ගඟුලක පිහිනන හැඟීමක නොවේ.බොර වී ගිය ද මට උවමනා දිය කඩිත්තෙන් දිය බොන සිහිනයකිනි.

“මෙයාට මේ විකාර පුරුදු කරන්නේ නිර්මාණි මං හිතන්නෙ..”

දෙනෙත්ගේ කටහඬ ඇසිණ.මම වහා බිම බලා ගතිමි.ඔහු එතරම් මේ ගැන තකන්නේ මා ගැන ප්‍රේමයකින් පසුවන නිසා බව මම සිතා ගතිමි.යාන්තම් විසි හැවිරිදි වියේ හුන් මට වෙන කිසිත් සිතුණේ නැත.

“විකාරයක් වෙන්නෙ කොහොමද? කෙල්ලො ලස්සනට ඉන්න තරමට නියමයි.අපිට උන්ට වගේ ස්ටයිල් කරන්න බෑනෙ.ඉතින් ලෝකෙ ලස්සන කරන වගකීම තියෙන්නෙ කෙල්ලන්ට..”

සචිර අයියා කියද්දී දෙනෙත් උස් හඬින් හිනැහිණ.

“මහ විකාර යාලුවො සෙට් එකක් ඉඳලත් හසරැලි හොඳට ඉන්නවා කියලයි මං හිතාගෙන හිටියෙ.බලනකොට මට වැරදිලා..”

උවනිටත් යෙත්මිටත් ඔහු ප්‍රිය නොකරන බව නම් මට ද සිතී තිබිණ.මගේ දෙතොලත අසරණ තාලයේ මඳහසක් පිපෙන්නට ඇත්තේ එනිසා ය.

“ඒ ළමයින්ගේ වරදක් නෑ.උඹ මෙතන මේ පොඩි එකී බය නොකර ගිහින් ආව වැඩේ කරහං..”

සචිර අයියා දෙස අමුතු තාලයේ බැල්මක් හෙලා දෙනෙත් යන්නට ගියේ ය.සචිර අයියාට මා සමඟ තනි වන්නට ඕනෑ වූ බවක් ඔහු සිතන්නට ඇතැයි සිතමින් මම අලුතින් දුක් වන්නට පටන් ගතිමි.

“දෙනෙත් කියන ඒවට හිත රිද්දා ගන්න එපා සූකිරි..”

සචිර අයියා කියයි.මට රිදෙන්නේ ඔහුගේ වචනවලට ම පමණක් නොවේ,හැසිරීම ය.

“දෙනෙත් ගමක කොල්ලෙක් නිසා හණමිටිය කර තියන් ඉන්නව කියල මං කවදාවත්ම කියන් නෑ.ඒ වුණාට නංගි එයාට එයාගෙම තුවාල තියනවා ඒකයි ඔය..”

ඒ විරහවක වේදනාවදැයි දැන ගන්නට මට උවමනා විණ.එය එසේ නම් ඔහු ආදර වැස්සකින් නහවා ජීවිතය සුන්දර කරන්නට මට නොහැකි නොවේ.නමුත් සචිර අයියා පැවසුවේ වෙනත් කතාවකි.

“දෙනෙත්ගෙ අම්මා රට ගියාම හරියට වෙනස් උනාලු.ගම්වල අම්මලනෙ.එයාට මතක ඇත්තේ මාර විදියට ස්ටයිලිෂ් වෙලා ගෙදර ආපු අම්මෙක්.ඊටත් පස්සේ ඒ ආන්ටි අතුරුදහන් වුණානෙ.කරදරයක් වුණා කියලා හිතුවට එයා ඉන්දියන් මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න පටන් අරන්ලුනෙ.ගෑනු අය ස්ටයිලිෂ් වෙන්නෙ මොකක්ම හරි අමන වැඩක් කරන්න කියලමයි දෙනෙත් හිතන්නේ.ඒවා එයා විඳපු දේවල් එක්ක වෙන දේවල්.ලෝකේ වගේම ගෑනු අයත් දැන් වෙනස් කිව්වට මිනිහා ආස නෑ ඒක පිළිගන්න..”

සෑම අඳුරකම ආලෝකයක් දකින්නට ප්‍රිය කරන සෑම මිනිසෙකුගේම නිවැරදි භාවයම දකින්නට රුචි කරන සචිර අයියා එසේ කීවේ මගේ හිත සුවපත් කරන අතර ය.නමුත් ඒ එක් තත්පරයකට ය.ඔහු හදවත මැදට අත හැරියේ කාල බෝම්බයකි.

“දෙනෙත් ඔය කෙළවරක් නැතුව ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා මාරු කරන්නෙත් කොතන කොහොම හරි අම්මා වගේ තැනක් කෙල්ලන්ගෙන් දකින නිසා.ඕනෑ කොල්ලෙක් නවතින්නෙ අම්මාගෙ ගතිගුණ තියන ගර්ල්ස්ලා ගාවට කියලා කතාවට කිව්වට ඉතිං…ඒක දෙනෙත්ටනම් කරදරයක්..”

අතීත වේදනාවෙන් පීඩිත ඔහුගේ හදවතට හසරැලි වැස්සක්ව වැටෙන අන්දම කල්පනා කරන්නට ගත් මට සචිර අයියා ඉනික්බිතිව පැවසූ කිසිවක් ම නෑසිණ.මම දෙනෙත් ගැන අනුකම්පාව සහිතව බොහෝ දේ සිතන්නට පටන් ගතිමි.

එච්චර එෆෙයාස් ගොඩක්?”

මා එසේ අසන්නට ඇත්තේ දුකිනි.නමුත් සචිර අයියා මගේ කටහඬේ දුකක් නොව පුදුමයක් සොයා ගෙන උස් හඬින් හිනැහිණ.

“මම මෙතන අබිලිං වගේ ඕප හලනවා නේද සූකිරි? නෑ නෑ..එහෙම නෙවෙයි.ඒවට වැඩි ආයුෂත් නෑ.මූ රණ්ඩු කරනවනෙ..”

ඔහු කුමන හෝ වේදනාවකින් බව වටහා ගෙන ඔහුට සහනයක් වන්නට ඒ කෙල්ලන්ට බැරි ඇයිදැයි මම සිතීමි.අනතුරුව ඒ නම් නොදන්නා කෙල්ලන් සමඟ කෝප ගත්තෙමි.

“කවදහරි දවසක දෙනෙත්ට තේරෙයි.රැවටීම් කරන්න පෙනුම වෙනස් කරගන්න ඕන නෑ.රැවටීම් කරන්න කැමති මිනිස්සු කොහොමත් කරනවා කියලා..”

නමුත් මා සිතුවේ වෙනත් දෙයකි.එය සචිර අයියාට පවසන්නට ද මට පැකිලීමක් නොදැනිණ.

“එයාට කවදහරි එයාව තේරුම් ගත්තු ගෑනු ළමයෙක් ලැබෙයි අයියේ.මොනතරම් සැර වුණත් නීති දැම්මත් ඒ ආදරේට කියලා විශ්වාස කරන ගෑනු ළමයෙක්.එහෙම කෙනෙක් ගාව දෙනෙත් අයියා සතුටින් ඉඳී..”

අවිශ්වාසයක පැහැය දෑසේ ඇඳෙන විට සචිර අයියා මදෙස විමසුම් සහිතව බලා සිටියේ ය.ඔහු යමක් කියන්නට ගොස් ඒ වචන නවතා මවෙතින් මෑත් වූයේ ය.

“ගෑනු දරුවෝ පුනුරුත්ථාපන මධ්‍යස්ථානත් නෙවෙයි සූකිරියෝ..”

ඔහු දොරකඩින් නොපෙනී ගියේ එසේ කියමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles