අම්මගෙ සුදුමැනිකේ

එයාලා හිටියේ  පර්චස් 6 පුංචි ඉඩමක .ඒ උනාට ලස්සන ගෙදරක්. මට එහෙම හිතුනේ දොරේ අල්ලලා තිබුණු ලස්සන ලොක් එක දැකලා .පැනලා  ගිය හැමෝටම  ජීවිතය වරදින්නේ නැහැ කියල මම තේරුම් ගත්තේ අපේ සුදු මැණිකේ ගේ ජීවිත කතාවෙන් .සුදු මැණිකෙ   මාව දාලා ශ්‍රී ත්  එක්ක යනකොට සුදු මැණිකෙට යන්තම් අවුරුදු 18.
ගෙදර දොර ඇරියෙ සුදු මැණිකේ.මාව දැක්කහම බය වෙලා වගේ මගේ මූන දිහා බලාගෙන හිටියා .ශ්‍රී තමා  දුවගෙන ඇවිල්ලා සුදු මැණිකේ පස්සට ඇදලා දොර ඇරලා
වාංග අම්මා ඉන් සයිඩ් කියලා මාව බොහොම ආදරෙන් ඇතුලට එක්ක ගත්තේ.
සුදු මැණික හම්බවෙලා පළවෙනියෙන්ම දොස්තර මහත්තයා මගේ අත්දෙකට දුන්නහම මම සුදු මැණිකෙගෙ මුහුණ දිහා බලාගෙන හිටපු විදිහේ හැඟීමෙන්ම තමා   දොර ඇරලා පළවෙනියෙන්ම සුදු මැණිකෙගෙ මූණ දකිනකොටත් බලාගෙන හිටියෙ.ගෙදරින් යනකොට තිබුන කැහැටු ශරීරයට වඩා දැන් ශරීරය හාත්පසින්ම වෙනස් වෙලා තිබුණා  .හෙට අනිද්දට බරක් සැහැල්ලු කරන්න බලාගෙන හිටපු සුදු මැණිකේ ගේ කුස දනිස් දෙක ගාවට තිබුණ වගේ මට හරියට පෙනුණේ .

නෝනේ….. පුන්චි නෝනේ පරක්කු තමා… ඉශ්කූල් බස් එක ගියා තමා…
මමයි මහත්තයයි වැඩට ගිහිල්ලා ගෙදර එනකොට  සෙල්ලම්මා ගේට්ටුවෙ එල්ලිලා ඉඳගෙන  කියාපු දෙබස මට ඒ විදිහටම අදටත් මතකයි .

ඇයි , හවස පන්ති මුකුත් තියෙනවා කිව්වද..
රත්නේ මගෙන් ඇහුවේ පිටිපස්සේ ඉදගෙන උන්නු මට  හෙල්මට එක ගලවලා දෙන ගමන්මයි.

නෑ .මටනං කිව්වේ නෑ.

යේක…. මාර වැඩේ තමා. ඉශ්කෝලේ මිශීගේ නොම්බර් ඉල්ලේ?

සෙල්ලම්මා මගෙන් එහෙම ඇහුවේ පපුවට අත් දෙකක් තියාගෙනයි .
මට හොඳට මතකයි රත්න බයිසිකලෙන් බැහැපු ගමන් කළේ  ඉස්කෝලේ දුවගෙ පන්තියේ මිස්ට කතා කරලා පන්ති ද කියලා අහපු එකයි.
මිස්ට කතා කරල  ෆෝන් එක බිමින් තිබ්බ ‍රත්නේ වචනයක්වත් කතා කරන්නේ නැතිව මට කිව්වේ
යං පොලීසියට කියලා විතරයි . ඒ වචනෙ ඇහෙනකොට මගේ  පපුව පිච්චිලා ගියා .

දෙයි හාමුදුරුවනේ මොකද වෙලා තියෙන්නෙ .?
ඇයි කතා කරන්නකෝ .

දුව උදේ ඉස්කෝලේ ඇවිත් නෑ…

එහෙම කියපු රත්න ආපහු බයිසිකලේ ස්ටාට් කරගත්තා .
මම ගියා නෙවෙ යි  හීනෙන් වගේ ගිහිල්ලා බයිසිකලේට  නැග්ගා මට අදටත් මතකයි.

ආන්ඩවනේ ……මුරුගා……

සෙල්ලම්මා පපුවට ගහ ගහ කෑ ගහනවා මට හීනෙන් වගේ ඇහුනා.

මිස්ටර් වීරවර්ධන කලබල වෙන්න එපා. අපි ටිකක් හොයලා බලමුකෝ. කොහොම නමුත් ගැහැණු ළමයෙක් නේ.
මේ සේරටම කලින් පොලිස්පොතේ දරුවන්ගේ නම් ලියන එක ඒ එතරම් නුවණට හුරු නැහැ .ඒ හින්දා අපි ටිකක් හොයලා බලමු ..

ප්‍රධාන පොලිස්පති තුමා එහෙම කිව්වා .
නැති වෙලා තිබුනේ අපේ කෙල්ල…
අපේ එකම කෙල්ල..
අපි  කොහෙන්ද  එයාව හොයාගන්නේ කියලා මටවත් රත්නට වත් ඒ වෙලාවේ හිතා ගන්න බැරුවයි හිටියේ .

දුව ගෙදරත් එක්ක අමනාපයෙන් හිටිය ද.. දුවට ප්‍රේම සම්බන්ධයක් තිබුණා ද ..දුව කියන්නෙ නැතුව වෙනදටත් එහෙ මෙහෙ යනවද… එයා අකීකරු ලමයෙක් ද ..
වගේ නානාප්‍රකාර ප්‍රශ්න ගොඩාක් මේ වෙලාවේ පොලීසියේදී මගෙන් ඇහුවා කියලා මට මතකයි .

දුවට ප්‍රේම සම්බන්ධයක් තිබුනද කියලා  මගෙන් අහනකොට මම ඇත්තටම ඒකට දෙන්න උත්තරයක් දැනගෙන හිටියේ නෑ.. මම දැනුවත්ව දුවට කවදාවත් ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නැහැ.. පවුලේ එකම දරුවා වෙලා හිටපු අපේ සත්තමුදීට කිසිම අඩුපාඩුවක් තිබුණේ නෑ .රත්නයි මමයි දෙන්නම රස්සාව කරපු හින්ද දුවට හැම සැප සම්පතක්ම දෙන්න අපි දෙන්නට පුළුවන් වෙලා තිබුණා .
මොකක්ද උනේ කියලා හරියටම දන්නෙ නැති හින්ද මීට අවුරුදු හතරකට කලින්  එදා ගිනි ගන්න හදවතින් හිටපු හැටි මට කවදාවත් අමතක වෙන්නේ නැහැ .
දුව පිරිමි ළමයෙක් එක්ක පැනලා ගිහිල්ලා නං එයාට කවදාවත් මගේ හිතෙන් සමාවක් දෙන්නෙ නෑ කියල මට ඒ වෙලාවේ හිතුණා .රත්නගේ ඇස් දෙකේ කඳුලු පිරිලා තියෙනවා දැක්කහම මට තවත් වාවගන්න බැරිව ගියා .
ගෙදර ගිහිල්ලා අපි  දුවගේ කාමරය බැලුවා .අඩු තරමේ ලියුමක්වත් තියලා ගිහිල්ලා තිබුණෙ නැහැ . ඇඳුම් අඩු වෙලා තිබුනෙත් නෑ.
අඬ අඬ හිටපු මට සත්තමුදී  ගැන ඇති උනේ ලොකු තරහක් .

ලියුමක්වත් තියල යන්න බැරි තරම් වැරැද්දකින් ද  අපි එයාට ආදරේ කළේ .මොන දේ ද අපි එයාට නොදුන්නේ .මම නං ආපහු ඕකිව ගෙට වැද්ද ගන්නේ නෑ .

සුදු මැණිකගේ කාමරයේ සුදු මැණිකෙගේ ඇදේ ඉඳගෙන තාමත් වැඩට ගිහිල්ලා ආපු සාරිය පිටින්ම හිටපු මම හති දදා අඬනවා රත්න දොර ගාව ඉඳන් බලාගෙන හිටියා .දවස් දෙකකට පස්සේ  කිසිම තොරතුරක් නැතුව යන කොට මගේ හිතේ තිබිච්ච තරහා ටිකෙන් ටික ලොකු බයකට පෙරලෙන්න පටන් ගත්තා .ඊට පස්සේ මම දෙයියො යදින්න පටන් ගත්තා .දවස් දෙකක් තිස්සෙ හිතේ හිර වෙලා තිබිච්ච මහා තරහක් ගිනි කඳක් වගේ  හේදිලා ගිහිල්ලා දෙයියො ඉස්සරහ ආපහු සැරයක් මහා දරු දුකකින් මම අඩා වැටෙන්න පටන් ගත්තා .දරුවට මොකක් හරි අනතුරක් වෙලා ඇති කියලයි මගේ හිත ආපහු මට කියන්න පටන් ගත්තේ .
අපි හැමෝම දුව පිරිමි ළමයෙක් එක්ක පැනලා ගිහිල්ලා යි කියලා හිතාගෙන හිටියට ඊට වඩා දෙයක් එතන වෙලා තියෙනවද  කියල මගේ හිත ඇතුලෙන් කෑ ගහන්න පටන් ගත්තා .දවස් හතරකට පස්සේ අපිට ලියුම් කඩදාසියක් තැපෑලෙන්  හම්බවුණා .
සුදු මැණිකෙට පෞද්ගලිකව පන්ති කරපු ශ්‍රී කියන ගුරුතුමාත් එක්ක සුදු මැණිකෙ ගිහිල්ලා හිටියා . ශ්‍රී දෙමළ .ජීවත් උනේ අපේ ගමට පල්ලහින් තියෙන මුඩුක්කු පේලියේ. ශ්‍රී අඩු කුලේ. මේ හැම බාධාවක්ම නිසා කවදාවත්ම සත්තමුදී ව එයාට එයාගේ  කරගන්න හම්බ වෙන්නේ නැති වෙයි කියලා බයට එයා සත්තමුදී ව අරං ගිහින් නීතියෙන් කසාද බැන්ද බවට ඒ ලියුමේ තිබුනා . ඒ මුළු කාලය ම මමයි රත්නයි කොයි තරම් මානසික පීඩාවකින් ජීවිතේ ගෙව්වද කියලා මතක් වෙනකොට අද නම් ඒ පීඩාව දරා ගන්න පුළුවන්ද කියලා පුදුමත් හිතෙනවා.

කාලකන්නියා … අඩු තරමේ ළමයට විභාගය වත් ලියන්න දෙන්න තිබුණා .මූන්ට ගහපු හදිස්සිය මොකක්ද එකපාරටම  .

රත්නේ කිව්වේ සත්තමුදී පොඩි කාලේ අගටන්නාට ඇදපු වෙලේ ගත්තු පොටෝ එක දිහා බලාගෙන .
සෙල්ලම්මා ලියුම තුරුල් කරං බයවෙලා උන්නා. ඔව් ශ්‍රි සෙල්ලම්මා ගේ පුතා.

යේක ශාමි දන්නවා. මං යේකා ලොක්කු කුරන්න්ඩ් මහාන්ශි ගත්තා. උන්දට ඉගැන්නුවා. උපාදිය ගැන්නෙව්වා. අයියෝ ශාමි.

සෙල්ලම්මා පිස්සුවෙන් වගේ ඇඩුවා.
ඒ වෙලාවේ කාගෙවත් හිත් හදන්න පුළුවන් මානසිකත්වයක නෙමෙයි මම උන්නේ.සෙල්ලම්මා ගෙදර දොර පඩිය  ළඟ ඉඳගෙන පපුවට අත්දෙකෙන් ගහ ගහ අඬන හැටි පුටුවෙ ඉදගෙන හිටපු මම ඉටි රූපයක්  වගේ බලාගෙන හිටියා . ඊට පස්සේ කවදාවත් සෙල්ලම්මා අපේ ගෙදර වැඩට ආවෙ නැහැ .මමවත්  රත්නෙවත් සෙල්ලම්මා ට වැඩට එන්න එපා කියලා කිව්වෙත් නැහැ.හරියටම මාස පහකට 5කට විතර පස්සේ සෙල්ලම්මා පපුවේ අමාරුවකින් නැති වුණා  . ශ්‍රි මලගෙදර ආවා. සුදු මැණිකේ ආවෙ නැහැ . ඒ විස්තරය අපට කිව්වේ පහල ලයිමේ රංගා  ගම්මිරිස් කඩන්න ආපු වෙලෙයි.
රත්න ජීවත් වුණේ හරියට කුණාටුවකට නැව අහුවෙච්ච කපිතාන් කෙනෙක් වගේ .රත්නෙ දිගටම වැඩට ගියාට මට ආපහු වැඩට යන්න හිතුනෙ නැහැ. ඒ හින්දා මම කලින්ම පෙන්ෂන් ගත්තා .
සුදු මැණිකෙගේ ඇඳුම් අල්මාරිය තිබිච්ච ඇඳුම් සුදු මැණිකෙට අරින්න කියලා  රත්නේ කිව්වාට එයාලා කොහෙද  කියන්න අපි දැනගෙන හිටියේ නෑ .
කොයි තරම් ආදරයෙන් හැමදේම සිද්ධ කලත්  කොතන හරි පුංචි සිදුරක් තිබුනනං ඒ තැනින් යක්ශයා රිංගන බව ඉස්සර අපේ ඉස්කෝලේ ලොකු සිස්ටර් කියනවා.
සමහරවිට සත්තමුදීට   අපි කොයි තරම් ආදරේ කළත්  එයාට එක මොහොතකදී අපේ ආදරේ හිස් තැනක් වෙන්න ඇති .ඊට අවුරුදු දෙකක්ට විතර පස්සෙ සුදු මැණික අපිට ලියුමක් එව්වා .එයා  පුද්ගලිකව  ඉල්ලුම් කරලා උසස් පෙළ ලිව්වා කියලත්  දැන් පදිංචිය කොළඹ කියලත් ඒකේ තිබුනා . ඒත් ඒ ලියුමේ කිසිම තැනක එයා වැරැද්දක් කරපු බවක් වත් අපෙන් සමාව ඉල්ලන බවක් වත් තිබුනේ නැහැ . ඒ කාලය වෙන කොට මගේ හිතේ තිබිච්ච තරහ දුක කලකිරීම වගේ හුගාක් හැඟීම් ජාති එකට මිශ්‍ර වෙලා ඕකි මගේ දරුවෙක් නෙමේ කියන හැගීම තනුක වෙලා තිබුනා . ඒ හින්දා හුඟ කාලෙකට පස්සේ සුදු මැණිකෙගේ අතින් ලියපු ලියුම දැකලා  කියවලා  හැඟීම්බර නොවී උපේක්ෂා සහගතව විඳගන්න පුළුවන් වුණා .
අවුරුදු හතරකට විතර  පස්සේ උදේ මම ගෙදර දොර අරිනකොට ශ්‍රී හිටියා  දොර ගාව හිටගෙන පරණ විදිහටම මීකිරි දෙකක් පොල් කොළ හතරකින් ඔතාගෙන  පැණි බෝතලයකුත් අතින් අරගෙන .

යේක අම්මා… වනක්කම්….

එහෙම කියපු ශ්‍රී මං දිහා බලාගෙන හිටියා .රත්නේ අත දික් කරලා මීකිරි දෙකයි පැණි බෝතලයයි ගන්නවා මගේ ඇස් කොනින් පෙනුනා .මගේත් රත්නේගේත් කකුල් දෙක අල්ලලා දණ ගහලා වැඳපු ශ්‍රී

අම්මා.. අප්පා..
සත්තා අල් සෝ ගොයින්ටු බි අ මදර්.. කියලා කිව්වා.

යකෝ, අපි අවුරුදු ගාණක් හදලා තියෙන්නේ මොකෙක්ද ..මොකක්ද… අර දෙමළට පුළුවන් වුණා අපේ කකුල් දෙක අල්ලලා දණ ගහලා වඳින්න අපේ එකීට බැරි වුණා තව මේ ගෙදර පස් පා ගන්න ..

ශ්‍රී ගේ වාහනය ගේට්ටුවෙන් පිට වෙද්දිම රත්නේ කෑ ගහන්න පටන් ගත්තා .
ඒ වුණත් මට සුදු මැණිකේ ගාවට යන්න වෙනවා. එහෙම කියලා මම කිව්වේ එදා හැන්දෑවේ රත්න ඉඳගෙන මාලුන්ට කෑම දදා ඉන්න වෙලාවේ .

මහ ලොකුවට දෙමළෙක් එක්ක ගියේ ඒකිට ඔක්කොම කරගන්න පුලුවන් හින්දනෙ. මොකටද තමුසෙ ආපහු එහෙ යන්නේ. කියලා රත්න මගෙන් අහයි කියලා මම හිතුවත්  කොයි වෙලාවකවත් එහෙම ඇහුවේ නෑ.

සත්තා.. බෝත් ඔෆ් යු සිට් හියර්. අයි විල් බ්‍රින්ග් සම්තින්ග් ටු ඩ්‍රින්ක් ..

එහෙම කියපු ශ්‍රී නවීන උපාංග වලින් පිරිච්ච එයාලගේ කුස්සියට දුවගෙන යනවා මම බලාගෙන හිටියා .සුදු මැණිකේ බිම බලාගත්ත මූනෙන්ම හිටගෙන උන්නා .

උබටනං පුතේ පුතෙක්… අවුරුදු හතරකට පස්සේ මම සුදු මැණිකේගේ ඔළුව අතගාලා කිව්වේ සුදු මැණිකගේ උල් වෙච්ච බඩ දිහා බලන ගමන්මයි .

වේල්ලකට වුණත් දරන්න පුළුවන් වතුර ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා වැඩි උනහම වෙන්නේ වේල්ල කඩාගෙන ගංගාවල්  පුරෝගෙන හාත්පසම යටකරගෙන වතුර ගලාගෙන යන එකයි .

ශ්‍රී නිහඬව දොර ගාව බලාගෙන ඉන්නකොට සුදු මැණිකේ අවුරුදු හතරක් පුරාවට හිර වෙලා තිබිච්ච එයාගේ දුක මගේ උරපත්ත උඩ අතාරින ගමන් උන්නා .

ශ්‍රී ,පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයෙක් හැටියට ඒ කාලයේ වැඩ බාර අරගෙන හිටියා .ඇත්තටම සුදු මැණිකට පුදුම විදිහට ආදරෙන් සැලකුවා.
ශ්‍රී උදේට නැගිටලා උයලා පිහලා සුදු මැණිකට තේ එකත්   හදලයි වැඩට ගියේ . ශ්‍රී හැන්දෑවට ගෙදර ආවහම සුදු මැණිකෙගේ ඉදිමිලා තිබිච්ච කකුල් උණුවතුරෙන් තවලා ජොනැක් ක්‍රීම් එක ගානවා. කොන්ද උණුවතුරෙන් තවනවා.

රත්නේ මට කොච්චර ආදරේ කළත් රත්න කවදාවත් ඒ විදිහට මට සලකලා නැහැයි කියලා මට තේරුනේ ශ්‍රී දිහා බලාගෙන ඉන්නකොටයි . ජාති භේද කුල භේද සලකලා ශ්‍රීව පල්ලෙහාට දාලා අපි කතා කලාට සමහර තැන් වලදි සමහර පිරිමි මහා පුදුමාකාරයි කියලා මට හිතුණා.
පිරිමියෙකුට ගෑනියෙක්ට මෙච්චර ආදරේ කරන්න පුලුවන්ද..
ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්න ගොඩක් වෙලාවල් වලදී මට හිතුනා.. රත්නේ ඒ කියන්නේ මගේ සංසාර බැඳීම කියලා හිතාගෙන හිටපු මට ශ්‍රීගෙයි සුදු මැණිකෙගෙයි  ආදරයට දෙන්න නමක් තිබුනෙ නෑ.. අම්මා තාත්තා විදිහට අපි අසරණ උනේ කොතැනද කියන එක මට තවමත් හිතාගන්න පුළුවන් වුණේ නැහැ..

සත්තමුදී පොඩි කාලේ වගේම ආපහු මම එයාව බලා ගන්න පටන් අරන් තිබුනා . හිත බෝ මළුවක් වගේ සන්සුන්  වෙලා තිබුනා.

අම්මේ…… ඔයා අර ඉස්සර කියන ලස්සන කවිය කිය කිය මාව නිදි කරවන්න කෝ .එහෙම කියපු සුදු මැණිකේ හිනා උනා .උල් වෙච්ච ලොකු බඩත් එක්ක පැත්තට හැරුණු සුදු මැණිකේ පැද්දෙන ලොකු යකඩ ඔන්චිල්ලාවේ මගේ ඔඩොක්කුවට ඔලුව තියාගෙන හිටියා .

දුවේ මගේ සුදුමැනිකේ
අමනාප නෑ පුතේ මහිතේ
දෑස දෙස බලං සිත් සේ
රැකගන්න ආවේ මං පෙරසේ

ප්‍රේමයේ සුව ඇතත් සිත්සේ
මව් උනුහුමක ඇති සෙනෙහේ
මට ඉන්න බෑ නුඹ ව  සිහිවේ
නුඹත් අම්මෙකි නොබෝ දවසේ

කිරි සුවද මම වින්දේ
නුබෙන් මැනිකේ සතුට වින්දේ
සංසාරයම දික් වන්නේ
දරු සුවඳ ලග මව්න් නිවුනේ

ඉස්සර කිව්වට වඩා පද ටිකක් වෙනස් කරලා මම කිව්වා .සුදු මැණිකේ හිනා උනා .

More Stories

Don't Miss


Latest Articles