BE SILENT – 82

0
14

නාන කාමරයේ සිට පැමිණි මනුහස් කණ්ණාඩි මේසය ඉදිරියේ සිට ගෙන ජල බිඳු වෑහෙන හිසකෙස් ඒ මේ අත හිස හරවමින් අතින් පිස දමමින් සිටියේය.කණ්නාඩි මේසය මත තිබූ ජංගම දුරකතන ද්විත්වයෙන් එකක් නද දෙන්නට පටන් ගත්තේය. 

” Amma “

මනුහස් හිස ඇල කර නාන කාමරය දෙස බැලුවේය .

” බෝලේ…!” 

” ආ…?” 

ඈ තවමත් නාන කාමරයේය. 

” කෝල් එකක් “

” කවුද ?” 

” අම්මා..”

” මනූ අම්මද ? නිකන් අම්මද ?” 

මනුහස්ගේ මුවෙහි මඳ සිනහවක් ඇඳී ගියේය. 

” නිකන් අම්මා “

”  ආන්සර් කරන්න මනූ…”

” මං …?” 

” ඔව්.. කමක් නෑ , කතා කරන්න. “

මනුහස් දුරකතනයට පිළිතුරු දීමට එය කනේ තබා ගත්තේය. 

” හෙලෝ…!” 

” කොහොමද ඉලන්දාරියා ..?” 

ඔහු දෑස ඔසවා කණ්ණාඩියෙන් පෙනෙන තමාගේම රුව දෙස බලා සිටියේය. 

මඳ වේලාවකට පසු නාන කාමරයේ සිට පැමිණි නෙත්‍යා කණ්ණාඩි මේසය ඉදිරියට වී කොණ්ඩය පිසදමන්නට පටන් ගත්තාය. ඇගේ අතෙහි වූ තුවාය අතට ගත් මනුහස් ඈ පසුපස සිට සෙමින් සෙමින් ඇගේ තෙත කොණ්ඩය පිස දැමුවේය. 

” මොනාද මනූ අම්මා කිව්වේ ?” 

” අම්මා නෙමෙයි කතා කළේ “

ඈ තිගැස්සී පසුපස හැරුණේය. 

” අප්පච්චි ? ” 

” හ්ම්ම්..”

” මොනාද කිව්වේ..?” 

” කෝ ඉස්සරහා හැරෙන්න.. ඩ්‍රයර් එක අල්ලන්නද බෝලේ ?”

ඇයව යළි අනෙක් පස හැර වූ ඔහු නැවතත් ඇගේ කොණ්ඩය පිසලන්නට වූවේය. මනුහස්ගේ මඟ හැරීම තුළින් තවත් කලබල වූ නෙත්‍යා නැවත වතාවක් යළි ඔහු වෙත හැරුණාය. 

” අප්පච්චි මොනාද කිව්වේ මනූ ?” 

” මාව මීට් වෙන්න ඕනේ කිව්වේ “

” ඒ මොකටද ?” 

” ඔයා නාලා ඉවර වෙලා කොණ්ඩෙට මොනා හරි ගානවා නේද ?” 

කණ්ණාඩි මේසය මත වූ ආලේපන වෙත දෑස යවමින් ඔහු විමසුවේය. 

” මනූ..!” 

නෙත්‍යාගේ උච්ච ස්වරයට ඔහු තිගැස්සී ගියේය. 

” මොකද අනේ කෑගහන්නේ ?” 

” අප්පච්චි මොකටද ඔයාව මීට් වෙන්න ඕනේ කිව්වේ ?” 

නෙත්‍යාගේ කටහඬ කෝපයෙන් පිරී ගොස් තිබුණේය. 

” මෙහෙ එන්න , වාඩි වෙන්න මෙතනින් “

මනුහස් ඇගේ දෙවුරින් අල්ලා ඈ යහන මත වාඩි කරවූයේය.

” ඇයි ඔයා මේ කලබල වෙලා. ? අප්පච්චිට මාව මීට් වෙන්න ඕනේ කියලා කිව්වා , එච්චරයි. “

” ඔයා මොනවද කිව්වේ ?” 

” මං කිව්ව හෙටානිද්දා දිහාට මං කැන්ඩි එන්නෑ කියලා “

” ඉතිං ?” 

” අප්පච්චි මේ දවස්වල කොළඹ ඉන්නේ කියලා කිව්වේ “

” අනේ.. මනූ…!” 

නෙත්‍යාගේ දෑසින් කඳුළු රූරා වැටෙන්නට පටන් ගත්තේය. 

” දැන් ඇයි මේ ඔයා අඬන්නේ ?” 

” ඔයා එයාව මීට් වෙන්න යන්නෙපා මනූ.. ඔයාට මතක නැද්ද එයාලා නේද මාව ගෙනිහින් අර කොහෙවත් ඉන්න මිනිහෙක්ගේ ඇඟේ ගැහුවේ ? දවසක්ද දෙකක්ද මනූ ..? අවුරුදු දොළහක් .. අවුරුදු දොළහක්ම මං අපා දුකක් වින්ඳා. ඒවා බලන්න ඒ කිසිම කෙනෙක් ආවේ නෑ මනූ. අර මිනිහා කියන්නේ මොකක්ද , ඒ ඔක්කොටම ඔලුව පාත් කරන් ඉඳලා එයාලගෙ නැති වෙච්ච දේවල් ඔක්කොම තිබ්බටත් වැඩිය හොඳට හදා ගත්තා. දැන් මොන එහෙකටද එයාට ඔයාව මීට් වෙන්න ඕනේ ? ආයෙම .. ආයෙම අපි දෙන්නව ඈත් කරන්නද ? “

” අනේ.. මැණික…මෙහෙ එන්න…”

මනුහස් වහා ඈව තම පපුවට තුරුළු කර ගත්තේය. ඔහුට තුරුළු වූ ඇය ඉකි ගසමින් හඬා වැළපුණාය.

” ඔයා යන්නෙපා මනූ.. ඔයා යන්නෙපා. අනේ ප්ලීස් ඔයා යන්නෙපා. “

” සුදු නෝනා.. මං එදා හිටපු …”

” ඔව්.. ඔව්.. මං දන්නවා මනූ.. ඔයා එදා හිටපු මුකුත්ම කර ගන්න බැරි කොල්ලා නෙමෙයි. දැන් ඔයා ඉන්නේ ඊට වඩා ගොඩක් ලොකු තැනක. දැන් ඔයාට කරන්න බැරි දෙයක් නෑ. ඒ මොනවා උනත් කමක් නෑ. අපේ අප්පච්චි මීට් වෙන්න යන්නෙපා මනූ.. අනේ.. ප්ලීස්.. යන්නෙපා.”

” හරි..හරි.. ඕකේ.. මං යන්නෑ.. දැන් හොඳ ළමයා වගේ අඬන්නැතුව ඉන්න. ප්ලීස්…” 

ඔහු ඇගේ මුහුණ ඔසවා දෑසින් තවමත් රූරා වැටෙන කඳුළු පිස දැම්මේය. ඈ යළිත් වතාවක් ඔහුගේ පපුතුරේ හිස සඟවා දෑස පියා ගත්තාය. 

” බෝලේ..! ලෑස්ති වෙන්නැද්ද ?” 

බොහෝ වේලාවකට පසු කටහඬ අවදි කළ මනුහස් නැවතත් ඇගේ හිස සෙමින් පිරිමැද්දේය . ඔහුගේ පපුතුරෙන් මෑත් වූ ඈ සෙමින් යහනෙන් නැඟිට සූදානම් වීමට පටන් ගත්තාය. 

” මනූ මෙතන තිබ්බ මගේ ලිප්ස්ටික් එක නෑනේ ?” 

නෙත්‍යා කණ්ණාඩි මේසය මත දෑස එහා මෙහා කරකවමින් සූදානම් වෙමින් සිටි ඔහුගෙන් ඇසුවාය .

” මේ තියෙන්නේ අනේ.. මෙතන කීයක් නං තියනවද ? “

” අයියෝ .. මේවා නෙමෙයි අනේ . වෙන එකක්. චෙරි පින්ක් කලර් එක. මෙතන මේ බොක්ස් එකේ උඩමයි මං තියලා තිබ්බේ.  ඔයා ගත්තද ?” 

” ආ.. ඔව් , මං මේ ගාගෙන ඉන්නේ “

නෙත්‍යා චිරිස් ගා සිනාසුණාය. 

” මොනාද මනූ ..? මං මේ ඇහුවේ ඔයා අරන් වෙන කොහෙන් හරි තිබ්බද කියලා ?” 

” ඉතිං දැන් නැති එකක්ම හොයන්නේ ? ඔය තියෙන්නේ ඔය බොක්ස් එක ඇතුළේ තව ඒවා ඕන තරම්. ඒ එකක් ගාගන්නකෝ. “

”  මේ ඩ්‍රෙස් එකට මැච් වෙන්නේ ඒක අනේ…”

මනුහස් මුව ඇද කර නෙත්‍යා දෙස බැලුවේය.

” ඔය එහා පැත්තේ ලාච්චුවේ බලන්න. “

ඈ හනි හනික ලාච්චුව විවර කර එහි තිබූ තොල් ආලේපනය ඉවතට ගත්තාය .

” ඇයි ඔයා මේක ලාච්චුවට දැම්මේ ?” 

” ඒක රහ හරි නෑ..”

” මොකද්ද ? ඇයි ඔයා ඉතිං මේක කෑවේ ?” 

නෙත්‍යා එසේ අසමින් මහ හඬින් සිනහ සෙන්නට පටන් ගත්තාය. 

” ගාන්නේ ඔයා උනාට කැවෙන්නේ මටනේ…”

ඈ වටකුරු දෑස සිහින් කරමින් ඔහු දෙස බලා මුව ඇද කළාය .

” බෝලේ..”

” ම්ම්ම්…?” 

අතට ගත් ආලේපනය දෙතොලේ තවරමින් සිටි නෙත්‍යාගේ පසුපස සිට ඇගේ බඳ වටා දෑත යවා තුරුළු කර ගත් ඔහු ඇගේ උරහිස මත සෙමින් සෙමින් තම දෙතොල තවරන්නට පටන් ගත්තේය. 

” අම්මයි , අප්පච්චියි ඉක්මන්ට මැරි කරා නං හොඳයි නේද කියලා දෙතුන් පාරක්ම ඇහුවා. “

නෙත්‍යා කණ්ණාඩිය තුළින් යටැසින් ඔහු දෙස බැලුවාය . ඔහු තම මුහුණම ඇගේ ගෙල මත තද කරගෙන සිටියේය. 

” හදිස්සියක් නෑනේ මනූ..”

” හ්ම්ම්… එහෙනං ඔයා කැමති වෙලාවක කියන්නකෝ..”

ඔහු ඇගේ ගෙල මත හොවා තිබූ මුහුණ ඔසවා කණ්ණාඩිය තුළින් ඈ දෙස බලා මඳ සිනාවක් පෑවේය.

” ඔයාව මං යන ගමන් දාගෙන යන්නං “

” අ.. මනූ…”

නෙත්‍යාට ඇගේ කතාව අවසන් කිරීමට ඉඩක් නොලැබුණාය. නිවසේ ඉදිරිපස විදුලි සීනුව නාද වන්නට පටන් ගත්තේය. 

” මේ වෙලාවේ කවුද ?” 

මනුහස් එසේ අසමින් නිවසේ ප්‍රධාන දොර අසලට ගොස් එය විවර කළේය. 

” ගුඩ් මෝනින් සර්.. !, මං රමිත , රමිත සේනාධීර. මල්දෙණිය ගෲප් එකෙන්. “

මනුහස් කිසිවක් නොපවසා පසුපස හැරුණේය. ඒ වන විටත් නෙත්‍යා අත් බෑගයත් සහිතව දොර අසලට පැමිණෙමින් සිටියාය.

” ගුඩ් මෝනින් මැඩම් ! , වෙහිකල් එක ඇවිත් තියෙන්නේ. “

” රමිත යන්න , මං එන්නං “

” ඕකේ මැඩම්..!” 

එසේ පැවසූ ඔහු යළි නික්ම ගිය අතර මනුහස් වෙත හැරුණු නෙත්‍යා ඔහුගේ උවන අඳුරු වී ඇති ආකාරය දුටුවාය.

” ඔය රමිත කියන එකාව විශ්වාස කරන්න පුලුවන්ද ?” 

” බෑ.. හැමතිස්සෙම බෑ.. ඒත් මේ වෙලාවේ පුලුවන් . මිනිස්සු හැමදේම කරන්නේ තමන්ගේ වාසියට. මේ වෙලාවේ හැංගිලා ඉන්න මයන්ට වඩා වාසියක් මගෙන් වෙන්න පුලුවන් කියලා රමිත දන්නවා. “

” හ්ම්ම්..”

” ගිහින් එන්නං මනූ..”

” හ්ම්ම්..” 

” එච්චරද ?” 

ඔහු වෙත ළංව ඔහුගේ පපුව මත නිකට තබා හිස එසවූ ඈ ප්‍රේමණීය බැල්මක් ඔහු වෙත හෙළුවාය.

” පරිස්සමට ගිහින් එන්න. “

ඇගේ දෑසේ බැල්ම දරා ගත නොහැකි වූ හිතුවක්කාරයා බොරු තරහක් මවා පෑවේය .

” එච්චරද ..?” 

ඈ තව තවත් කොඳුරද්දී ඔහු සෙමින් සෙමින් ඇගේ නළලත් , දෙකොපුලත් සිප ගෙන දෙතොල අසල නතර වූයේය. මාන්නකාරයාගේ සැටි හොඳින් දන්නා ඈ ඔහු ඉක්මන් වීමට පෙර ඔහුගේ දෙතොල මත හාදුවක් තැවරුවාය. නොදැනුවත්වම මනුහස්ගේ මුවෙහි සිනාවක් ඇඳී ගියේය. පෙරළා ඔහුට සිනහවක් පෑ ඈ නිවසින් පිටතට අඩි තබා විදුලි සෝපානය වෙත දිව ගියාය. 

*********************************************

ලා නිල් පැහැ ඩෙනිම් කලිසමට , සිරුරට මඳක් විශාල කහ පැහැති කමිසයක් හැඳ , කොණ්ඩය උඩට කර පෝනිටේලයක් දමා , මඳ වශයෙන් උවන මත ආලේපන කිහිපයක් තවරා සිටි ෂියෝනා පෙර කතිකා කර ගත් පරිදි සාරංග පැමිණෙන තුරු රෙදි පිළි අලෙවි සැළක් ඉදිරිපිට සිටගෙන සිටියාය.

” ඔයා මොකක්ද ඇඳගෙන එන්නේ ?” 

” ලා නිල් පාට ඉරි ටී ෂර්ට් එකයි , තද නිල් ඩෙනිම් එකයි. “

පිළිතුරු ලැබුණු සැටියේ ෂියෝනා පාරෙන් අනෙක් පස සිට තමා දෙස බලා හිඳින මනුහස් වෙත එකී කෙටි පණිවිඩය පෙරළා යැව්වාය. ඉන් මිනිත්තු දෙක, තුනකට පසු ෂියෝනාට පසු පසින් පෙර සඳහන් කළ ආකාරයටම කමිසයකින් හා කලිසමකින් සැරසුණු තරුණ පුද්ගලයෙක් ඇවිද එන ආකාරය මෝටර් රථයේ සිටි මනුහස් හා සචින්ද්‍ර බලා සිටියහ . 

” ගුඩ් මෝනින්  , මං පරක්කු උනාද ?” 

ෂියෝනා පසුපසින් ආ තරුණයා එසේ පැවසූ විගස මුව මත හසරැල්ලක් නංවා ගත් ඈ වහා ඔහු දෙසට හැරුණාය. නමුදු ක්ෂණිකව ඔහුගේ මුහුණ මත තිබූ හසරැල්ල අතුරුදහන් වී ගියේය. ෂියෝනාගේ මුහුණ දුටු විගස කලබලයට පත් වූ ඔහු යළිත් හැරී පසු නොබලා දුවන්නට පටන් ගත් අතර වහා මෝටර් රථයෙන් බට මනුහස් හා සචින්ද්‍රද ඔහු පසුපස වේගයෙන් දිව ගියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here