“මං එක දෙයක් කියන්නද මේඝා?” රුවිනි හෙමින් ඇහුවා.
එහෙම කියද්දි එයාගේ මූණේ හිනාවක් තියා හිනාවක සේයාවක්වත් තිබුණේ නැහැ. එයා හිටියේ ගොඩක් සීරියස් මූඩ් එකක. මං හෙමින් ඔළුව වැනුවා.
“මතින්ද්‍ර ඊයේ ඇවිල්ල ඔෆිස් එක ඉස්සරහ පිස්සු නටද්දි… ලොක්කා උඹට බැන්න එක වැරදි නෑ මේඝා.සමහරවිට උඹ හිතනවා ඇති ලොක්කා උඹට අසාධාරණයක් කළා කියලා. ඒත් උඹට තේරෙන්නේ නැද්ද උඹ නිසා මේ මුළු ඔෆිස් එකේම සේෆ්ටි එක ප්‍රශ්නයක් වුණා කියලා මේක වැඩ කරන තැනක් මේඝා, තමුන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳගන්න තියෙන තැනක් නෙවෙයි.
අනික මේ වෙච්ච දේවල් වලින් උඹට වෙච්ච ලැජ්ජාව කොච්චරද කියලා බලපංකො. කී දෙනෙක් බලාගෙන ඉද්දිද කියපංකො ඒ මිනිහා ඔහොම පිස්සුවක් නටලා තියෙන්නෙ. මමත් ඊයෙම උන්නෙ නෑනෙ අම්මපා ඕකගෙ හොම්බට දෙකක් ඇණලා දාන්න. මං උනා නම් වාහනේකට හැප්පිලා පලයං කියලා අත ඇරලා දාල යනවා ”
කියල රුවිනි කියද්දි ඒ වචන ටික මගේ පපුවට වැදෙන්න යන වචන ටිකක් විත්තිය රුවිනි ඒ වචන කියන්න කලින්ම මම දැනගෙන හිටියා.
මං එකපාරටම උත්තර දෙන්න ගියේ නෑ. මං හිතුවෙ රුවිනි මාව සනසන්න මොනවහරි කියාවි කියලා. හැබැයි ඒකි එහෙම නෙවෙයි. හිත රිදෙන්න අම්ම අප්පටහරි මූනටම ඇත්ත තමයි කියන්නෙ.
“මොක උනත්” රුවිනි ආයෙ කිව්වෙ, අත් දෙක බැඳගෙන මං දිහා කෙලින් බලලා,
“උඹට එහෙම දෙයක් වෙන්න ඉඩ තියෙද්දි තමයි උඹ ගොනෙක් වගේ හැසිරුණේ.”
“රුවිනි” මං හෙමින්ම කියන්න ගත්තේ,
“මං”
“නෑ මේඝා, නිදහසට කාරනා කියන්න හදන්න එපා.මං උඹට කලින්ම කිව්වා නේද ඒ මනුස්සයා නෝමල් නෑ කියලා. ඒත් උඹ මං කියන දේ ඇහුවෙ නෑ” කියලා රුවිනි හිනා වුණා, ඒත් ඒක මං දැක්කෙ මට කිණ්ඩියට දාපු හිනාවක් වගේ කියලා.
“උඹ හිතුවෙ උඹට මතින්ද්‍රව මැනේජ් කරන්න පුළුවන් කියලා.”
මට කට අරින්නවත් බැරි වුණා.රුවිනි කියන දේවල් වැරදි කියලා කියන්න බැහැ.ඒත් හිතක් පපුවක්, ලැජ්ජාවක් තියෙන මනුස්සයෙක් විදියට මට ඒවා ඇක්සෙප්ට් කරන්නත් අමාරුයි.
“දැන් බලපන්, ඔෆිස් එකේ කට්ටිය කතා වෙනවා. එච් ආර් එකට කම්ප්ලේන් දාන්න වෙනවද කියලා කතා වෙනවා. ලොක්කාට උඹ එක්ස්ප්ලේන් කරන්න වෙලා. මේක ජෝක් එකක් නෙවෙයි මේඝා.”
මං අහක බලාගත්තේ, කාගෙවත් ඇස් දිහා බලන්න බැරි නිසා.
ඒ වෙලාවෙම මට ඇහුණා පස්සෙ ඩෙස්ක් එකක ඉඳන් දෙන්නෙක් හෙමින් කතා කරනවා.
“ඒයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් නේද ඊයේ ආවෙ?”
“අනේ මට නම් බය හිතුණ”
“ඒ අර මන්දස්මිතා කියන ඇක්ට්‍රස්ගෙ හස්බන්ඩ් නේද?”
මගේ ඇඟ ඇතුළේ මොනාහරි දෙයක් හිරවෙලා තියෙනවා වගේ මට දැනුණෙ.
“මං මේකට රෙඩි නෑ රුවිනි” මං හෙමින් කිව්වා.
“එහෙනම් දැන්වත් රෙඩි වෙන්න,” ඒකි සීරියස් හඬකින් කිව්වා. “මොකද මේක ඉවර වෙලා නෑ තාම.”
ඒ වචන ටිකත් එක්ක මගේ පපුව තවත් තද වුණා.මං කතාව වෙනස් කරන්න හිතලා ෆෝන් එක අතට ගත්තෙ අන්න එවෙලෙ. මට ඕන උනේ තාවකාලිකවම හරි ඔලුව වෙන දේකට යොමුකරගන්න. මතින්ද්‍රව විතරක් නෙවෙයි මේ ලෝකෙ හැමදේම එක පොඩි වෙලාවකට අමතක කරලා දාන්න. සරලවම කිව්වොත් ප්‍රශ්නවලින් පැනලා යන්න. මං ඉන්ස්ටග්‍රෑම් එකට ලොග් වෙන්න හැදුවට මොකෝ මොකක් හරි හේතුවකට මාව ඉන්ස්ටග්‍රෑම් එකෙන් ලොග් අවුට් වෙලා තිබුනා. අන්න ඒ නිසාම මම ආයෙ මගේ පාස්වර්ඩ් එක ගැහුවා.
Invalid password.
“හ්ම්” මං ආයෙත් ට්‍රයි කරා.
ආයෙමත්
Invalid password.
“මොකක්ද මේ” මං හෙමින් කියාගත්තෙ මටමයි.
“මොකද?” රුවිනි ඇහුවෙ මං එහෙම කියනවා එයාට ඇහිච්ච හන්දා වෙන්නැති..
“නෑ මේ මට ඉන්ස්ටග්‍රෑම් එකට ලොග් වෙන්න දෙන්නෙ නෑ පාස්වර්ඩ් එක චේන්ජ් වෙලා කියනවනෙ”
“ආයෙ ගහපන් හරියට.”
මං තුන්වෙනි පාරත් පරිස්සමෙන් පාස්වර්ඩ් එක ටයිප් කරා.
Invalid password.
අන්න ඒ තත්පරේ මගේ හදවත ටිකක් වේගෙන් ගැහෙන්න ගත්ත බව මටම දැනුණා.
“රුවිනි” මං phone එක දිහාම බලන් කියාගත්තා, “මං පාස්වර්ඩ් එක චේන්ජ් කරේ නෑනෙ බං”
මගේ හුස්ම හිරවෙනවා වගේ මට දැනුනෙ මොකක්හරි මටත් නොතේරිච්ච ෆීලින් එකක් මගේ හිත මට කිව්ව හන්දා.
“ෆොගොට් පාස්වර්ඩ් දාපන්,” රුවිනි ඒක සිම්පල් විදියට කිව්වට මට ඒක එච්චරම සිම්පල් විදියට භාරගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.
මං එහෙමම පාස්වර්ඩ් රිකවරි ඔප්ශන් එකට ගියා.
ඊමේල් එක එන්ටර් කරා
මං මගේ ඊමේල් එක ටයිප් කරා.
Next.
Send code to recovery email.
මං ස්ක්‍රීන් එක දිහා තත්පරයක් බලාගෙන හිටියා.
“මොකද?” රුවිනි අහනවා.
මට උත්තර දෙන්න ඇත්තටම තප්පරයක් ගියා.
“මේක මගේ email එකට නෙවෙයි යන්නේ”
“එහෙනම්?”
මගේ තොල කට වේලිලා ගියා වගේ මට දැනුණා.
“අනෙ… මේක… මේක… මතින්ද්‍රගෙ email එකට යන්නේ…”
රුවිනි එකපාරටම සීට් එකෙන් ඉස්සිලා හිටගත්තෙ මං කියන දේ එයාට නිකන් විශ්වාස කරන්න බෑ වගේ..
“මොකා?”
මං ෆෝන් එක එයාට දුන්නෙ මගෙ ඇස්වලින් කඳුලු ගලද්දි. ස්ක්‍රීන් එකේ තිබුණේ මාස්ක්ඩ් ඊමේල් එකක්. හැබැයි ඒක කාගෙද කියලා මට අඳුරගන්න බැරි උනේ නෑ.මගේ අත හීනියට වෙව්ලන්න ගත්තා.
“යකෝ රුවිනි හෙමින් කියනවා, “උඹ ඒක වෙනස් කරේ නෑද මෙච්චර කාලයක්?”
මං ඔලුව නෑ කියන්න වගේ වැනුවා.
“මට… මට අමතක උනා…”
ඒ වචන ටික මං කියද්දිම මට මටම ගහගන්න හිතෙනවා වගේ හිතුණා.
“ශිට් මේඝා!” රුවිනි කේන්තියෙන් කෑගැහුවා. “පුදුම ගොනෙක් බං උඹ නම්”
මගේ හුස්ම ටික ටික බර වෙන්න ගත්තේ ඒ වෙලාවෙ.මං ඉක්මනට ෆේස්බුක් එකට ලොග් වෙන්න ට්‍රයි කරා. ඒත් ඒකටත් ඒ සෙතේම අත් වෙලා බව තේරෙද්දි මට කර කියාගන්න දෙයක් තිබ්බෙ නෑ. ගූගල් මේල් එකට ලොග් වෙන්න ගියාම ඒකටත් සෙකියුරිටි ඇලර්ට් එකක් ඇවිත් තිබුනා.
“New device signed in.”
“රුවිනි මතින්ද්‍ර මගේ ඔක්කොම අකවුන්ට්ස් ඔක්කොම ඇක්සස් කරලා”
ඒ වෙලාවෙම ෆෝන් එක වයිබ්‍රේට් උනා.
මං හොඳට අඳුරන ඒ නම්බර් එකට මගේ ඇස් දෙක පාවෙලා වගේ ගියා.
ආන්ස්වර් කරන්න ඕනද? නැද්ද?
“මං ඔක්කොම ඒවයි පාස්වර්ඩ් චේන්ජ් කරලා දැම්මා. දැන්වත් බොරු නවත්තලා මට ඇත්ත කියනවා.”
මං ෆෝන් එක දිහා බලාගෙන හිටියේ හරියට පණ නැති ගලක් වගේ.
මගේ මුළු ඇඟම සීතල වෙලා, පණ නැති වෙලා යනවා වගේ මට දැනුණා.
මට හිතුණේ සමහර වෙලාවට ගෑනු ජීවිත වරද්දගන්නේ නොදැනුවත්වම නෙවෙයි, හැමදේම දැන දැනමයි කියලා. මතින්ද්‍රගේ මේ විනාශකාරී ආදරේ ගැන, ඒ හුස්ම හිරකරන පාලනය ගැන මං දැනගෙන හිටියේ නැත්තේ නැහැ. අවුරුදු ගණනාවකට කලින් මගේ හැම දේකම පාස්වර්ඩ්, රිකවරි ඊමේල් ඒ මනුස්සයාට දුන්නේ මහා අන්ධ විශ්වාසයකින්. හැබැයි අපි වෙන් වුණාට පස්සෙත් මං ඒ දොරවල් වහලා දැම්මේ නැත්තේ ඇයි? මගේ හිතේ කොනක තවමත් ඒ මනුස්සයා ගැන බලාපොරොත්තුවක් ඉතිරි වෙලා තිබුණ හන්දද?
දැන් තමයි මට තේරෙන්නේ මං ආදරේ කියලා වැළඳගෙන තියෙන්නේ මගේම බෙල්ල හිරකරන තොණ්ඩුවක් කියලා. මගේ නිදහස, මගේ පෞද්ගලික රහස්, මගේ නම්බුව මේ හැමදේම මං ඒ මනුස්සයා ඉදිරියේ පාවා දීලා ඉවරයි. පිරිමියෙක්ට වැරැද්දක් කළාම සමාව දෙන එකයි, තමන්ගේ මුළු ජීවිතයම උමතු විදිහට පාලනය කරන්න ඉඩ දෙන එකයි අතර තියෙන වෙනස මට තේරුං යද්දි ගොඩක් ප්‍රමාද වැඩියි.
අද මං මේ විඳවන්නේ මගේම නොසැලකිලිමත්කමට.
මගේම මෝඩ තීරණවලට.
ඇත්තටම ගෑනියෙක්ගේ ලොකුම හතුරා එයාගේම අනවශ්‍ය ඉවසීම වෙන්න ඇති.
මතින්ද්‍ර මගේ ජීවිතේ එයාගේ අතට අරන් ඉවරයි.
දැන් මට ඉතිරි වෙලා තියෙන්නේ දේවල් දෙකයි.
එක්කෝ එයා ලියන මේ අලුත් නාට්‍යයේ රූකඩයක් වෙලා නටන්න. නැත්නම් මේ මර උගුලෙන් බේරෙන්න මගේම ජීවිතේ පරදුවට තියලා සටන් කරන්න.


