බිරිඳගේ කැපකිරීම් අවතක්සේරු කළ සැමියෙක්

පූජා බුදු පහනට දොහොත් මුදුන් තියා වැන්දා.පිච්ච මල් සුවඳ තැවරුන හඳුන්කූරු සුවඳ සැණෙකින් මුලු නිවසම අරක් ගන්නකොට ඈ ප්‍රාර්ථනා කලේ වෙන කිසිම දෙයක් නෙමෙයි., හිතේ සැනසීමයි

දෙහැවිරිදි සහ සිව් හැවි‍රිදි දියණියන් දෙදෙනා සාලය පුරාම සෙල්ලම් බඩු විසිරුවලා තිබුනා. ඉක්මනින් සියල්ලම පිළිවෙලක් නොකලොත් මේනකගේ බැනුම් වරුසාවෙන් බේරෙන්නට බෑ කියලා දන්න පූජා ලහි ලහියේම සෙල්ලම් බඩු අස් කරන්න පටන් ගත්තා. පූජාගේ උත්සහය අසාර්ථක කරමින් ටික වෙලාවක් ඇතුලත මේනක ගෙට ගොඩවුනා

” ශික්. මැරිලා මැරිලා ගෙට එන වෙලාවේ ගේ අපායක් වෙලා .මොනාද පූජා ඔයා දවසම ගෙදරට වෙලා කරන්නේ ? “

එහෙම අහන ගමන් මේනක කෙලින්ම කාමරයට ගියා. රිදුණු හිතත් එක්කම පූජා මුලුතැන්ගෙය පැත්තට ගියේ රෑ කෑම පිළියෙළ කරන්නයි.ඒ අතරේ දියණියන් දෙන්නා ගැනත් ඇහැ ගහගෙන ඉන්න පූජා අමතක කලේ නෑ

පූජා සහ මේනක විවාහ වෙලා වසර හයක් ගෙවිලා ගිහින්.ඔවුන්ගේ කැදැල්ලට ඉතා ඉක්මනින් පැමිණි දියණියන් දෙදෙනා පූජාගේ ලෝකය සතුටින් පිරෙව්වත් , වගකීම් කරට ගත්ත මේනක එන්න එන්නම දැඩි පීඩනයකින් පසුවෙනවා කියලා දැන් පූජා දන්නවා

නිවසේ සියලු කටයුතුත් ,දියණියන් දෙදෙනාගේ කටයුතුත් නොපිරිහෙලා ඉටු කරන පූජා අලුයම ඉඳලා රෑ මැදියම වෙනකන් කිසිවෙකුගේ සහයෝගයක් නැතුව තමන්ගේ වගකීම් වෙනුවෙන් වෙහෙසෙනවා

” පූජා.. පූජා.. අයියෝ මේ ශර්ට් එක අයන් කලේ නැද්ද ?”

” ඕ..ඕක මම ඊයේ රෑ අයන් කලේ මේනක ,ඇයි ? “

” හරියට අයන් කරන්න බැරිනම් තියනවා.මම ම කරගන්නම් “

මේනකගේ සැර පරුෂ වචන අලුයම ඉඳලා නිවස පුරා රැව් දෙනකොට බාල දියණිය නින්දෙන් ඇහැරිලා හඬන්නට පටන් ගන්නවා.

” අර ළමයව බලනවා ගිහින්. ළමයෙක් වත් නලවගන්න බෑනෙ මේ ගෑනිට “

පූජා කාමරයට දුවලා ගිහින් කුඩා දියණියව වඩාගෙන ඇගේ කම්මුලක් සිප ගත්තා.ඊට පස්සේ ඇයවත් අරගෙන මුලුතැන්ගෙයට ඇවිල්ලා මේනක වෙනුවෙන් කෑම පාර්සලය සූදානම් කරලා මේසය උඩින් තියන්නේ ඔහු ගැන හිතේ පුංචිම කහටක් වත් නැතුවයි

මේනක නිවසින් පිටවුනේ වෙනදාට වඩා පමා වෙලා.ඔහු ගිය ගමන්ම පූජා ඉතාම කඩිසරව දියණියන් දෙදෙනාව පිරිසිදු කරලා නිවසේ අනෙක් වැඩ සියල්ලත් අවසන් කලා

පූජා උදෑසන ආහාරය ගන්නකොට එකොළහමාරත් පහුවෙලා.දිනපතාම එහෙම උනත් ඇය තමන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටු කරන නිසා තෘප්තිමත් හිතකින් තමයි නින්දට යන්නේ

” මේ පාර ලයිට් බිල එක්දාස් පන්සීයකින් වැඩියි. ඔයා ළමයින්ට ටීවී එක දාලා දීලා ෆේස්බුක් එකට වෙලා ඔහේ ඉන්නවා ඇති දවල්ට “

හවස නිවසට ආව මේනකගේ නෝක්කාඩුවේ ඉවරයක් නෑ

” මං මැරීගෙන හම්බ කරන නිසා ඔයාට මේකේ අමාරුව තේරෙන්නෙ නෑ.ඔයාට මොකද ඉතින් , ගෙදරට වෙලා ඉන්න එකනේ “

පූජා නිහඬ උනා.කුඩා දඟකාරියන් දෙදෙනා එක්ක දහවල් වරුවේ යුධ වදින හැටි දන්නෙ ඇය විතරක් නිසා ඇය ඉවසුවා.ඇගේ ඇස් මානෙන් මොහොතකට වත් ගිලිහෙන්න නොදී දරුවන් රකින හැටි දන්නෙ ඇය උනත් ඒක මේනක වටහා ගන්නේ නෑ.

දියණියන් නිසා තමන් රැකියාවෙන් ඉවත් වූන දවසේ ඉඳලා නිවසේ සියලුම බර දරන්නේ මේනක තනියම.ඔහුගේ කේන්තිය සාධාරණයි කියලා පූජා හිතුවා.ඒත් මේ වෙනුවෙන් මොකක්ම හෝ කරන්න ඕනේ කියලා ඇය අදිටන් කර ගන්නවා.

පසුදින වෙනදාටත් වඩා වේලාසනින් අවදි උන පූජා, මේනක නිවසින් පිටවන විට ඇයට නියමිත වැඩ වලින් අඩකටත් වඩා අවසන් කලා.ඉතිරියත් නිමා කරපු ඇය මුලුතැන්ගෙයි කබඩ් එකක් ඇතුලේ පරිස්සමට තිබූනු ඇයගේ කේක් සකස් කරන ආම්පන්න සියල්ල එළියට ගත්තා.ඇය ඒවා අතගෑවේ පුදුමාකාර ආසාවෙන්.කාර්‍යබහුල බව නිසා මග හැරි ගිය එක විනෝදාංශයක් නැවත ආරම්භ කල යුතුයි කියලා පූජා හිතුවා.

මේනක ගෙට ගොඩ උනේ වෙනදටත් කලින්. ආව ගමන් ඔහු ගේ පුරාම පැතිරිලා තිබුනු සුවඳට ඉව ඇල්ලුවා

” මොකද්ද ඒ සුවඳ ?”

ඔහු ඇහුවේ මුලුතැන්ගෙය පැත්ත බලන ගමන්.ඒ අතර පුංචි දඟකාරියෝ දෙන්නත් ගිහින් මේනකගේ ඇඟේ එල්ලුනා.

” මං කේක් එකක් හැදුවා. රහ බලනවද ?”

” අපෝ දැන් බෑ.මට මහන්සියි .හහ්. පුදුමයි ඔයා එහෙම දෙයක් වත් කලා.ඔයාට ඉතින් එක වැඩක් වත් හරියට කරගන්න බැහැනේ “

හිත රිදුනත් පූජා ඒ බව නොපෙන්වා ඉන්න තීරණය කලා.මේනකගේ වචන තමන්ව පහතට ඇද දමනවා වෙනුවට තවත් ශක්තිමත් කරනවා කියලා ඇය හිතන්න පටන් ගත්තා.

සතියක් කීපයක් විතර ගෙවිලා යද්දි , පූජාගේ බැංකු ගිණුමේ ඉතිරි වෙලා තිබුනු මුදල් ටිකකුත් , ඩිලිවරි සේවා කීපයකුත් පූජාට පිහිට උනා.

රාත්‍රියේ දියණියන් දෙන්නා නින්දට ගියාට පස්සේ , මේනක එයාගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් එකත් එක්ක එයාගෙම ලෝකෙක හිර වෙලා ඉද්දි පූජා බොහොම සතුටින් එයාගේ විනෝදාංශය උන කේක් සකස් කිරීම එයාගේ රැකියාව බවට පත් කරගෙන හිටියා.නමුත් මේනකට ඒ දිහා බලන්නවත් ඒ ගැන අහන්නවත් පූජාට උදවු කරන්නවත් ඕන උනේ නෑ.පූජා නින්දට යන්නේ කීයටද , ආපහු ඇහැරෙන්නෙ කීයටද කියලවත් මේනක දන්නෙ නෑ

” මේනක. උඹේ වයිෆ් මාරයිනේ “

අනපේක්ෂිත විදියට කාර්‍යාලයේදි මේනකගේ මිතුරෙක් උන කමල් එහෙම කිව්වම මේනක පුදුම උනා.

” ඇයි කමල් ?”

” උඹේ වයිෆ් මාර ලස්සනට කේක් හදනවනේ බන්.අපේ වයිෆ් තමයි මට ෆේස්බුක් එකෙන් පෙන්නුවේ.ඔන්න ලබන සතියේ අපේ කෙල්ලගේ බර්ත්ඩේ එකට උඹේ වයිෆ්ගෙන් කේක් එකකුත් ඕඩර් කරගෙන අපෙ එක්කෙනා “

” අ.. එ..එහෙමද “

” ඔව් බන්.උඹට කියන්න උඹගේ වයිෆ්ගෙන් කේක් හදාගත්ත කීප දෙනෙක් ෆේස්බුක් එකේ දාලා තිබ්බලු කවදාවත් එච්චර රස කේක් කාලා නෑ කියලා.ඔය ගෲප් කීපයකත් ශෙයා වෙනවලු උඹගේ වයිෆ්ගේ කේක් ගැන.උඹ නම් මාර වාසනාවන්තයි බන්”

මේනක නිරුත්තර උනා.කමල්ට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිවුන මේනක ජංගම දුරකථනය අතට ගත්තා.තමන් විසින්ම තමන්ගේ මිතුරු ලැයිස්තුවෙන් අයින් කරලා දාපු පූජාගේ නම මේනක ෆේස්බුක් එක පුරාම හෙව්වා

හිතාගන්න බැරි තරම් ලස්සන උපන්දින කේක් ගැන ගැහැණු පිරිමි බේදයක් නැතිව පූජාගේ ගිණුම පුරාම අගය කිරීම් සටහන් කරලා තියන හැටි මේනක දැක්කේ ඒ වෙලාවේ.

තමන් වෙනුවෙන් , තමන්ගේ දරුවන් වෙනුවෙන් රැකියාවෙන් ඉවත්වුන, තමන් ඉගෙන ගත්ත දේවල් පැත්තකින් තියලා ගෙදර වගකීම් වෙනුවෙන් කැපවුන පූජාට තමන් සැලකුවෙ අන්තිම පහත් විදියට නේද කියලා මේනකට වැටහුනේ ඒ වෙලාවෙයි

” මේනක , මං වතුර බිලයි ලයිට් බිලයි ඔන්ලයින් ගෙව්වා. මේ පැත්තෙන් එළවලු විකුණන ලොරියක් ගියා.ඒකෙන් මං හවස එළවලුත් ගත්තා “

හවස ගෙදර ආව මේනකගේ අතට තේ එකක් දෙන ගමන් පූජා එහෙම කිව්වා.

” කෝ.. තේ බොන්න කේක් නැද්ද ? “

මේනක සිනාමුසු මුහුණින් එහෙම අහද්දි පූජාට පුදුම හිතුනා.පූජා දරුවන්ට දෙන්න අරන් තියපු කේක් වලින් කොටසක් මේනකට ගෙනත් දුන්නා.

කඩිමුඩියේ රෑ කෑම පිළියෙල කරන පූජා දිහා මේනක බැලුවේ ආදරණීය ඇස් වලින්. ඒත් මේනකගේ හිතේ ලොකු පසුතැවීමක් ඉතිරි වෙලා තිබුනා.

” පූජා.කෝ දෙන්න ,මං පොල් ගාලා දෙන්නම් “

මේනකගේ කාරුණික හඬ පූජාට ඇහුනේ කොහේදෝ ඈතක ඉඳලා එනවා වගේ.

Related Articles

Don't Miss


Latest Articles