දරුවා ලැබුණු පසු සැමියා සමග අසීමිත ගැටුම් ඇති කරගත් බිරිඳක්

“බබා ලැබුණට පස්සේ මගේ මුළු ලෝකෙම සර්වසම්පූර්ණ වුණා කියලා මට හිතෙනවා කසුන්”

පෞද්ගලික රෝහලේ සිදු වූ දරු ප්‍රසූතියට පස්සේ ඉසුරි එහෙම කිව්වේ පුදුමාකාර ආදරයකින්. ඇයට ඇත්තටම දැනුණේ ලෝකයම ඇය පාමුල ඇති බවක්. ඇය ලෝකයේ සියල්ලම සර්ව සම්පූර්ණ වී ඇති බවක් ඉසුරිට හිතෙන්නට වුණා.

ඉසුරි ධනවත් පවුලක එකම දියණියයි. ඇයට කසුන්ව මුණ ගැසෙන්නේ පවුලේ සාදයකදී. තරුණයන් අතර සිටි කඩවසම් තරුණයා ගැන ඇයට ආදරයක් හට ගැනෙන්නේ ඇයටත් නොදැනී. ඇය ඔහුට ඒකපාර්ශවිකව උමතුවෙන් පෙම් කරන්නට පටන් ගත්තා. නමුත් පවුල් දෙක හොඳ මිතුරන් වූ නිසා ඇයට ඒ අදහස කසුන් සමග ප්‍රකාශ කරන්නට හැකි වුණේ නැහැ. ඇය ඉතා ප්‍රවේසමින් ඇගේ සිතුවිලි සඟවා ගත්තා. නමුත් දිනපතා කසුන් සමඟ චැට් කිරීම ඇය පුරුද්දක් කර ගත්තා.

“මට ක්‍රෂ් එකක් ඉන්නවා.”

කසුන් එහෙම කියන්නේ එක්තරා දවසක ඇය සමඟ චැට් කරමින් සිටියදී.  තමන්ගේ සිත ගත් තරුණිය ගැන තමන්ගේ දෙමාපියන්ටද පැහැදීමක් ඇති බව කසුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

“අපි මේ ඉරිදා එයාලගේ ගෙදර ඩිනර් එකකට යනවා. අපේ අම්මි හිතාගෙන ඉන්නවා එයාලගේ ගෙදර අයත් එක්ක මේ ගැන කතා කරන්න.”

ඉසුරිට මහත් වේදනාවක් ඇති වෙනවා. කාලයකට පසු හිතට ප්‍රේමය ඉතා ඉක්මනින් අහිමි වී යාම ඇයට වේදනාවක්. ඒ ගැන සිතමින් දුක් වන්නට ඇයට කාලයක් ඇති වන්නේ නැහැ. ඇයටත් දවස ඉතාම කාර්යබහුල දවසක් බවට පත්වෙනවා. ඒ අම්මාගේ පැරණි මිතුරියක් රාත්‍රී භෝජන සංග්‍රහයක් වෙනුවෙන් ඔවුන්ගේ නිවසට පැමිණීම හේතුවෙන්. ඒ නිසා ඉසුරිට කසුන් ගැන සිතමින් දුක් වන්නට කාලය තිබුණේ නැහැ. ඇය අම්මට සහ නිවසේ අත්උදව් කාරියන්ට උදව් දෙමින් දවස ගත කරනවා.

සැබෑ පුදුමය උදාවන්නේ රාත්‍රියේ දී. කසුන්ගේ ඒක පාර්ශවික ප්‍රේමය තමන් බව ඇය දැන ගන්නේ ඔවුන් නිවසට පැමිණි පසුවයි. කසුන් ඔහුට ඉසුරි ගැන අදහසක් ඇති බව මාපියන්ට දන්වා තිබුණා. දෙපාර්ශවයේම දෙමව්පියන්ගෙන් දැඩි කැමැත්ත මත ඔහු ඒ ගැන ඉසුරිට කියන්නට තීරණය කර තිබුණා.

දෙපාර්ශවයේ ඥාතීන් මධ්‍යයේ ඔහු ඉසුරිට විවාහ යෝජනාවක් කරන්නේ එදින රාත්‍රියේ දී. ලෝකයම අතට බව ඉසුරිට මුලින්ම දැනෙන්නෙ එදා. නමුත් ඔවුන්ට ආදරය කරමින් සිටින්නට කාලයක් ලැබෙන්නේ නැහැ.ඉක්මන් විවාහයකට දෙපාර්ශවයේම මව්වරුන් ඔවුන්ට බල කරනවා. ඉක්මනින්ම කසුන්ගේ වෙන්නට තිබූ ආශාව නිසා  ඉසුරි ද එයට එකඟ වෙනවා. විවාහ යෝජනාවෙන් මාස හයකට පසු කොළඹ තරු පන්තියේ හෝටලයක පැවති අති උත්කර්ෂවත් විවාහ උත්සවයකින් පසු ඔවුන් විවාහ වෙනවා.

“අපේ අම්මා හරිම කැමතියි ඉක්මනින් ආච්චි කෙනෙක් වෙන්න. දරුවෙක් හදන්න පරක්කු කරන්න ඕනේ තමන්ට කියලා ආදායමක් නැති ගෙයක් දොරක් නැති මිනිස්සු කියලයි මම හිතන්නේ. පස් නිවුන්නු හම්බවුණත් අපිට ආර්ථිකය ගැන ගැටලුවක් නෑ. ඒ නිසා අපි ඉක්මනින් බබෙක් හදමු”

බාලි වෙත මධුසමයට පිටත් වී යද්දී කසුන්ගෙන් එහෙම යෝජනාවක් ඉසුරි ට පැමිණෙනවා. ඇය එයට එකඟ වන්නේ ඉතාම ආදරයෙන්.

හනිමුන් බේබි කෙනෙක්!

විවාහයෙන් හරියටම මාසයකට පසු ඒ ආරංචියෙන් ඔවුන් ඉතාම ප්‍රීතියට පත් වෙනවා.

“අපිට හැම දෙයක්ම තියනවා. අපි ආදරයෙන් ඉමු.අපෙ බබාවත් ආදරෙන් හදා ගමු”

ඉසුරි කසුන්ට කියන්නේ ආදරයෙන්. 

විවාහයට පෙරත් එතරම් සක්‍රීයව නොතිබුණු ඔවුන්ගේ ලිංගික ජීවිතය දරුවා ලැබෙන්නට පැමිණීමත් සමග  නැත්තටම නැති වී යනවා. දෙදෙනා එක්වී විනෝද වීම වෙනුවට  ඔවුන් පිටතට යන්නේ දරුවා සම්බන්ධ කාරණා වලට. 

“මම ලස්සන කොට් එකක් දැක්කා ඒක ගන්න යමුද ?”

ඒ වගේ ගමන් මිසක ආදර ගමන් ඔවුන්ට ඇත්තේ නැති තරම්. අම්මලා දෙදෙනා ඉසුරිව බලාගන්නේ වීදුරු බඳුනක් ප්‍රවේසම් කරන තරමට ප්‍රවේසමෙන්. කසුන් පවුල් දෙකෙහිම ව්‍යාපාරික කටයුතු සමඟ අතිශය කාර්යබහුල වෙනවා. ඒ අතර කාලය තුළ ඔහුට ඇත්තේ දරුවාගේ කටයුතු සම්බන්ධයෙන් එහෙට මෙහෙට යන්නට කාලයක් පමණයි. නමුත් ඔවුන් අතිශය ආදරෙන් කාලය ගත කරනවා.

කුඩා එලීසා ඉපදින්නේ සියල්ලම සර්වසම්පූර්ණ පවතින බවට ඉසුරි විස්වාස කරන එහෙම ලෝකයකටයි.

කිසිම ප්‍රසූත සංකූලතාවයක් නොතිබූ නිසා ඉසුරිට ප්‍රසූතියෙන් පසු ඉක්මනින් නිවසට යන්නට කටයුතු සැලසෙනවා. විවාහයෙන් පසු ඔවුන් ජීවත් වුණේ කසුන්ගේ නිවසේ. නමුත් දරුවා සහ ඇය ඉසුරිගේ මහගෙදරට ගෙන එන්නට මව්වරුන් දෙදෙනාම දෙදෙනාම ඒකමතිකව තීරණය කරනවා.

“මට ඉතින් දවල් දවසේ ඇවිල්ල  වසන්තිට උදව් කරන්න පුළුවන්.අපි දෙන්නත් එක්ක බෙදාගෙන බබාව බලාගමු.”

සම්ප්‍රදායික නැන්දම්මා කෙනෙකු නොවන කසුන්ගේ අම්මා වූ ශ්‍රියානි ඒ තීරණය ඒ ආකාරයෙන් ගන්නවා. අම්මලා දෙදෙනාගේ දැඩි ඇල්ම බැල්ම මත ඉසුරි දරුවාව රැකබලා ගැනීම ආරම්භ කරනවා.

“ඇයි ඔයා ගෙදර ආවම බබා එක්ක විතරක් ඉන්නේ”

දවසක් ඉසුරි කසුන්ට එසේ කඩා පනින්නෙ දියණියට සති දෙකක් පමණ ගෙවී යද්දී. ඒ සැබෑවටම ඔවුන්ගේ විවාහ ජීවිතය තුළ ඇති වූ ප්‍රථම රණ්ඩුවයි. කසුන් දැඩි පුදුමයකට පත් වෙනවා.

“ඔයා වෙනදා ගෙදර එනකොට හැමදාම මට මොනව හරි ගිෆ්ට් එකක් ගේනවා. මේ තේරෙන්නෙවත් නැති බබාට සොෆ්ට් ටෝයි එකක් ගෙනාපු ඔයාට මං උදේ කන්න පලතුරු ඉල්ලුවා කියලා අමතක උනාද?”

ශීතකරණයක් පිරෙන්නට පලතුරු ඇති හෙයින් පලතුරු කිසිවක් නොගෙනා බව කසුන් පවසන්නේ පුදුමයෙන්. නමුත් ඉසුරි එය පිළි නොගෙන ඔහු සමඟ දිගින් දිගටම රණ්ඩු වෙන්නට පටන් ගන්නවා.

ඒ සිදුවීම එසේ අවසන් වුණත් ඉසුරිගේ අමුතු හැසිරීම අවසන් වන්නේ නැහැ.

“හැමදාම අපේ තාත්තිගේ කම්පැනි එකට යන්නේ අර සඳලිව බලන්න නේද?”

ඉසුරිගේ තාත්තා ගේ දැඩි ඉල්ලීම මත  ඔවුන්ගේ ව්‍යාපාර පාලනය කරන කසුන් මේ කතාවෙන් මහත් පැටලවිල්ලකට පත් වෙනවා. මාමණ්ඩියගේ ආයතනයේ සිටින සඳලි කවුදැයි ඔහු සිහියට ගන්නේද මදක් කල්පනා කිරීමෙන් පසුවයි.

“ඇත්තටම බබා මට ඔය කියන සඳලි ගැන මතකයක් නැහැ”

කසුන් අවංක අදහසකින් එහෙම පැවසුවත් ඉසුරි ගැටුමක් ආරම්භ කරනවා. ඔහුගේ ජංගම දුරකතනය අතට ගන්නා ඇය සඳලිගෙන් ලැබී ඇති ඇමතුම් එකිනෙක පෙන්වන්නට පටන් ගන්නවා. සඳලි සම්බන්ධීකරණ නිලධාරිනියක් නිසා විවිධ පණිවිඩය දෙන්නට ඇය ඔහු අමතන බව කසුන් කිව්වත් ඉසුරි එය පිළි ගන්නේම නෑ. කසුන් ඇයව දන්නේ ද ඇගේ වාසගමින්. එතරමට දුර සම්බන්ධයක් ඇති කෙනෙක් ගැන එසේ පැවසීම ගැන කසුන්ට ඇති වන්නේ කණගාටුවක්.

සුළු සුළු කාරණා වලට රණ්ඩු කිරීම ඉන්පසු ඉසුරිට පුරුද්දක් බවට පත්වෙනවා. ඇය නිවසේ අත්උදව් කාරියන් සමඟද ඇගේ මව සහ නැන්දම්මා සමගද ගැටුම් ඇති කර කර ගන්නට පසුබට වන්නේ නැහැ. සියලුම දෙනා ඉතා ඉවසීමෙන් සිටියත් කසුන් දරන්නේ වෙනස් අදහසක්.

“ඉසුරි කියන්නේ බොහොම තැන්පත් හරි ආදරණීය කෙනෙක්. එයා දැන් හරිම වෙනස්. කෙනෙක් එහෙම නිකං වෙනස් වෙන්නේ නැහැ. මං ඉසුරිව කවුන්සලර් කෙනෙකුට පෙන්නන්න හිතුවා.”

ඉසුරි උපදේශනය සඳහා පැමිණෙන්නේ ඒ ආකාරයටයි.

පසු ප්‍රසව විශාදය ඉසුරිට හටගෙන ඇති බව එහිදී අපිට හඳුනා ගන්නට හැකි වෙනවා. ඇය පීඩා විඳිමින් සිටියේ ඒ තත්ත්වයෙන්. ඉතා සුවපහසු ලෝකයක ජීවත් වූ ඉසුරිට ඇයට ලැබී ඇති ආදරය සහ අවධානය අඩු වන බව හැඟීම නිසා මේ තත්ත්වය හටගෙන තිබුණා. කසුන්ට කිසිම අනියම් සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඔහු පවුලේ ව්‍යාපාරික කටයුතුවලට ඇපකැප වූ තරුණයෙක්. අම්මලා දෙදෙනා ඉසුරි වෙනුවෙන්  කැප වී ඇති නිසා ඇය ගැන සොයා බැලීම අඩු වූ බව ඔහු පිළිගත්තා. ඔහුගෙන් ඇයට ලැබිය යුතු මානසික සහය ලබා දෙන්නට කසුන් එකඟ වුණා. අලුත් තත්ත්වයට මුහුණ දෙමින් වෙනස්කම් දරා ගන්නා ආකාරය ගැන කසුනිට ද පැහැදිලි කරන්නට මට හැකි වුණා 

ඔබ දරුවෙකු බිහි කල පසු ඔබේ මානසික තත්ත්වය අඩාල වී ඇති බව අවබෝධ වුව වුවහොත් වහාම මානසික ප්‍රතිකාර ගන්නට අමතක කරන්නට එපා. ඔබේ බිරිඳ හෝ සහෝදරියක්, මිතුරියක් ඒ තත්ත්වය සිටිනවා නම් ඇයව මඟ හරින්නටත් එපා. මේ තත්ත්ව පහසුවෙන් සුව කළ හැකි තත්ත්වයක්. නමුත් නොසලකා හැරීම බොහෝ නරක ප්‍රතිඵල ඇති කරන්නට පුළුවන්. මේ පසු ප්‍රසව විශාද තත්ත්ව දිගින් දිගටම පැවතීම සහ සියදිවි නසා ගැනීම් වැනි තත්ත්වවලට යොමු වීම සිදු වීමේ ඉඩකඩ පවතිනවා.පසු ප්‍රසව විශාදය ඇති අයෙක් කරන කියන දේ ඔබ නුහුරට ගන්නට එපා. ඒ වෙනුවට ඇයට ආදරයෙන් උදව් කරන්න.

අලුත් තත්ත්වයන්ට හැඩ ගැසෙන කෙනෙකුට ලැබිය යුතු සියලුම මානසික උදව් ලබා දීමෙන් අපට බොහෝ අවාසනාවන්ත සිදුවීම් මඟහැර ගන්නට පුළුවන්.

(ඔබට සේවා ගාස්තු සහිතව මනෝ උපදේශනය ලබා ගන්නට 074 0377539 අංකයෙන් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ධ කර ගන්න පුලුවන්. Rashmie Rajapaksha ෆේස්බුක් පිටුව හරහා ද ඇය හා සම්බන්ධ වෙන්න පුලුවන්)

Related Articles

Don't Miss


Latest Articles