බිරිඳකට දිළිහෙන්න ඕන කරන Gold Dust එක තියෙන්නෙ පිරිමියෙක්ගෙ හිත ඇතුලේ.

“මම කසාඳ බැන්දෙ නැහැ.මම කසාඳ නොබැද ඉන්න තීරණය කලා, ඒත් මම ඇත්තටම කැමතියි, සමහර පිරිමි මට කියනකොට, මේ ඉන්නෙ මගේ wife, මම මේක මගේ wife ට තේරුවෙ ” කියලා.
මෙහෙම කියන්නෙ ලෝක ප්‍රසිද්ධ කාන්තාවක් වන Oprah Winfrey.
ඒත් අද කතාවනම් ඇය ගැන නෙවෙයි. ඇය කියපු මේ කතාවත් එක්ක බැඳිච්ච ඔබත් මමත් ඇතුලු තවත් දහස් ගාණක් කාන්තාවන්ගේ කතාව ගැන.
ආදරේ කියන්නෙ මොන වගේ දෙයක්ද කියල නිර්වචන දෙන්න අපිට බෑ.


ඒත් ආදරේ කියන්නෙ සතුට, සැනසීම, ගෞරවය පිරුණු හැඟීමක් කියන එක ගැන මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ.
ආදරේ කරපු අය, කරන අය ඒ කතාවෙදි මාත් එක්ක එකඟ වෙයි.
අපි නිතරම හිතන දෙයක්නෙ බැඳීමකදි අනිත් කෙනා ගැන වැඩිපුර හිතන්නෙ, අනිකා වෙනුවෙන් වැඩිපුරම සංවේදී වෙන්නෙ කාන්තාවො කියන එක.
ඒත් ඇත්තටම තමන්ගෙ බිරිඳට, පෙම්වතියට රැජිණකට වගේ සලකන, තමන්ගේ හදවතේ පළවෙනිම තැන ඇය වෙනුවෙන්ම වෙන් කරපු පිරිමි මේ ලෝකේ නැතුවම නෙවෙයි.
මතකද කලින් සතියක අපි පල කරපු මාක් සකර්බර්ගෙ ආදර කතාවේ එක තැනක මාක් මෙහෙම කිව්වා.
“මගේ ජීවිතේ මට ඉන්න වැදගත්ම, වටිනාම කෙනා මගේ බිරිඳ”
ඒ වචන තරම් ලස්සන වචන, ඒ තරම් වටිනකමක් ගැහැණියකගෙ ජීවිතේට වෙන ලැබෙන්න පුලුවන්ද?


මේ ලිපිය ලියන මොහොතෙත මේ ලෝකේ දහස් ගාණක් ගෙවල්වල හැංගිල, හිතෙන් අඬන කාන්තාවො ඇති, තමන්ගේ සහකරුවා තමන්ව අගය කරන්නෙ නෑ කියල හිතන.
“අනේ එයා මට ඉස්සර වගේ ආදරේ නෑ, එයා ඉස්සර වගේ මට ලස්සනයි කියල කියන්නෙ නෑ, එයාට මාව දැන් වැඩක් නැතුව ඇති” කියල හිතෙන් විඳවන.
අධ්‍යයනයකින් සොයාගෙන තියනව මිනිස්සු වැඩිපුරම ප්‍රතික්ශේප වෙන්නෙ ආදරේ නිසාලු.
ප්‍රේමය ඇතිවුන දා සිට නැතිවෙන දා වෙනකනුත් ,නැතිවුනාට පසුවත් වේදනාව තියනව කියල කතාවක් තියනවනෙ.
සමහරු මේ ආදරෙන් ප්‍රතික්ශේප වීමේ වේදනාව නිසා විශාදයට පත්වෙනවා, සමහරු සියදිවි හානි කරගන්නව, සමහරුන්ට පිස්සු හැදෙනව, තවත් සමහරු “තොට මං එපා නම් මටත් තෝ එපා” කියල ගාණක් නැතුවත් ඉන්නවා.
වෛද්‍ය ෆිලිප් මැක්ග්‍රෝව් ට අනුව මිනිස්සු අතර තියෙන විශාලතම භීතිකාව තමයි කුමක් හෝ හේතුවක් නිසා තමන් ප්‍රතික්ශේප වෙනව කියන එක.
මනුශ්‍ය හදවත ගැඹුරේ තියෙන ලොකුම බලාපොරොත්තුව ,ඉල්ලීම තමයි තමන්ට ඉල්ලුමක් ලැබීම.(acceptance) එය එක්තරා විදියකින් අපේ ප්‍රධානතම සහ විශාලතම අවශ්‍යතාවන් ගෙන් එකක්.


එක් විදියකින් හෝ වෙනත් විදියකින් ප්‍රතික්ශේප වීම මේ ප්‍රධාන අවශ්‍යතාව ඉටුනොවීමට හේතු පාදක වෙනව.
ඒ වගේම තමා අපේ තියන තවත් විශේෂ බලාපොරොත්තු කියල සලකන, දියුණුවෙන එක, පරාද වෙන්නෙ නැති එක කියන සංකල්ප මතුපිටින් නොපෙනුනාට ප්‍රතික්ශේප වීම සහ පිළිගැනීම කියන කරුණු එක්ක පට්ට සීරියස් විදියට සෙට් වෙලා තියනවා.
දියුණුවෙනව කියන සංකල්පය පිලිගැනීම කියන සාධකය සමගත් පරාජය වීම කියන සංකල්පය ප්‍රතික්ශේප වීම කියන සාධකය සමගත් සම්බන්ධ වෙනව.
ආදරේ කියන්නෙ හදවත් දෙකක් අතර හුවමාරු වන ලස්සන අදහස් ගංගාවකට.
පෙම්වතුන් වගේ මුණ ගැහිලා, විවාපත් වෙලා කවදහරි මැරෙන දවසක් වෙනකම්ම ඒ ආදරේ ගංගාව ඒ හදවත් දෙක අතර ගලා යන්නම ඕන.
ගඟ පිරෙන්න හදවත් දෙක අස්සෙම ආදරේ වැහි වැටෙන්න ඕන. ගඟ රැලි නගන්න ඒ හදවත් දෙකම දෙපැත්තට සීතල මද පවනක් එවන්නම ඕන.
ඒත් සමහර සම්බන්ධකම ඇතුලෙ අපි දකිනවා, හිඳෙන්න යන ආදර ගංගාව කොහොමහරි පුරවන් ඉන්න එක හිතකින් විතරක් ආදරේ වැහි වැටෙනවා. අනිත් හිත හරියට කාන්තාරයක් වගේ වේලිලා ගිහින් තියෙනවා.


සම්බන්ධයක් පටන් ගද්දි හිතන්නකො, මොනතරම් වර්ණවත් ද? බලාපොරොත්තු වලින් පිරිලද?
ඒත් කාලෙ ගෙවෙද්දි ජීවිතේ ප්‍රශ්න ඉස්සරහට එද්දි, වගකීම් යුතුකම් වැඩිවෙද්දි නොකියම ගෙදරින් පිටවෙන්නෙ ඒ ආදරේ.
අපි ගොඩක් මිනිස්සු හිතන දෙයක් නේ, “බැන්දට පස්සේ ආදරේ එහෙම පෙන්න පෙන්න ඉන්න ඕන නෑ, බඳින්නෙ ඉතින් ආදරේ හින්දනෙ” කියල.
ඒත් ඇත්තටම ආදරේ වැඩිපුරම පෙන්නන්න ඕන, පේන්න ඕන විවාහයක් ඇතුලෙ.
මිනිස්සු සහජයෙන්ම බැඳිල ඉන්නව මං හිතන්නෙ ආදරේ කරන කාලේ ආදරේ නොසෑහෙන්න පෙන්නන්න. මැණික, පැටියෝ කියලා ආදරෙන් කතාකරන්න. ඒත් සමහරවෙලාවට බැන්දට පස්සෙ අපි ඒ ආදරේ පෙන්නන්නෙ හරි අඩුවෙන්. ආදරෙන් කතාකරන්නෙ අඩුවෙන්.
යාලුවෙලා ඉන්න කාලේ “ඔයා මාර කෙල්ලෙක්නෙ, ලස්සනද, දක්ශකමද අඩුවක් නෑ” කියල තමන්ගෙ පෙම්වතීව අගයන මිනිස්සු කසාද ජීවිතේ ඇතුලෙ ගොඩක්වෙලාවට ඒ ටැලන්ට්ස් දකින්නේ තමන්ට එල්ලවෙච්ච බාධකයක් විදියට.
“මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මචං මාස්ටර්ස් කරන ගමන්ම ජොබ් එක කරා, මාර ටැලන්ටඩ්” කියල කියන පෙම්වතුන්ගෙන් කීයෙන් කීදෙනාද තමන්ගේ වයිෆ් ගෘහණියක් විදියට හරි රැකියාවක් කරන කාන්තාවක් විදියට හරි අගය කරන්නේ?


ඔයාගේ සහකරුවා හිතනවනම් “එහෙම මේ හැම පිරිමියම තමන්ගේ ගෑණුන්ව අගය කර කර ඉන්නෙ නෑ. ඔයා කරන්නෙ ඔයා කරන්න ඕන යුතුකම් වගකීම්” කියල පොඩ්ඩක් කියල දුන්නට කමක් නෑ මේ ලෝකෙ ඉන්න බලවත්, ජනප්‍රිය පිරිමිත් තමන්ගෙ බිරින්දෑවරුන්ව අගය කරන බව.
මිෂෙල් ඔබාමාව දන්නව නේද? එයා කොච්චර ලස්සන, දිළිසෙන ගෑණියෙක්ද?
“මිෂෙල් හිටියෙ නැත්තම් මට මේ කිසි දෙයක් කරගන්න තියා හිතන්නවත් බෑ. එයා ජනාධිපති ආර්‍යාවක් විතරක් නෙවෙයි, එයා තමයි මගේ ජීවිතේම හයිය කරන්නෙ. මම හැම මොහොතෙම එයාව විශ්වාස කරනවා”
මෙහෙම කියන්නෙ මිෂෙල්ගෙ ආදරණීය සැමියා, ලෝකෙ බලවත්ම රටක හිටපු ජනාධිපති කෙනෙක් වන බැරක් ඔබාමා.


මේ එක උදාහරණයක් විතරයි. රයන් රෙනෝල්ඩ්ස්, හියු ජැක්මන්, මාක් සකර්බර්ග්, නික් ජෝනාස්, රන්වීර් සිං වගේම අපේ රටෙන් ගත්තත් “ගෑණුන්ට දිළිසෙන්න ඉඩ දීපු” ආදරණීය පිරිමි චරිත අපිට මොනතරම් නම් හම්බෙනවද නේද?
විවාහය කියන බැඳීම මොනතරම් පරණ වුණත්, ආදරේ සහ අගය කිරීම හැමදාම අලුත්වෙන්න ඕන.
ඒ අගය කිරීම තමයි ඔයාගෙ හෙට දවසට පණ දෙන්නෙ.


ඉතින්,
අමතක කරන්න එපා.
ආදරේ තියෙන්නෙ හිතේ හංගන් ඉන්න නෙවෙයි, කියන්න, පෙන්නන්න.
කියලා ඉවර කරන්න නෙවෙයි, හැම මොහොතකම මතක් කරලා දෙන්න.
ආදරේ කියන්නෙ අයිතිකරගන්න එකක් විතරක් නෙවෙයි, හිමිකරගැනීමක් මුලු හදවතින්ම.
දිළිසෙන සියල්ල රත්තරන් නොවුණට, දිළිසෙන ගෑණු රත්තරන් වලටත් වඩා වටිනවා.
බිරිඳකට දිළිහෙන්න ඕන කරන Gold Dust එක තියෙන්නෙ පිරිමියෙක්ගෙ හිත ඇතුලේ.
ඒ Gold Dust එක තමයි ආදරය සහ අගය කිරීම.
ඒ අගය කිරීම ලැබෙන තැනක නවතින්න. අගය කිරීම, ආදරය තමයි ඔයාව ඉස්සරහට අරගෙන යන්නෙ.
හැම නිතරම ඔයා ඔයාටම මෙන්න මෙහෙම කියන්න.
මම අදහන්න වටින ගෑණියෙක් නෙවෙයි, “දිළිහෙන්න වටින ගෑණියෙක්”

Related Articles

Don't Miss


Latest Articles