පෙම්වතිය නිසා බිරිඳව අතින්වත් නොඇල්ලූ සැමියෙක්

“මම රිලේෂන්ශිප් එකෙන් බ්‍රේකප් වුණාට පස්සේ මැරි කරන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ..ඇත්තටම ඇත්ත කිව්වොත් අද ඔයාව බලන්න ආවෙත් අම්මගෙ බලකිරීමට”

ඉසුරු එහෙම කියද්දී නිමාලිට ඇති වුණේ වේදනාවක්. ඇයටත් අහිමි වී ගිය ප්‍රේමයක් තිබෙනවා. ඇය ඒ වේදනාව නිසාම නැවත සම්බන්ධයක් පටන් නොගන්නට අදහස් කරගෙන සිටියේ. පුවත්පත් මංගල යෝජනාවකින් ඉසුරු එය බැලීමට එන්නේ ඒ කාලයේදී. දෙදෙනාට තනියම කතා කරන්නට ලැබුණු මුල්ම අවස්ථාවේදී ඉසුරු ඔහුගේ පැරණි පෙම්වතිය වූ පාරමී ගැන හෙළි කළා. පාරමීගේ නිවසේ අය ඔහුට අකමැති වූයේ කුල ප්‍රශ්ණයක් නිසා බව ඉසුරු පැවසුවේ වේදනාවෙන්.

“අපේ රටේ කිසිම දියුණුකමක් කියලා හිතෙන්නේ ඔහොම දෙයක් අහන වෙලාවට. තවමත් කුලය ගැන හිතලා ළමයින්ගෙ ආදර සම්බන්ධතා කඩලා දාන දෙමවුපියෝ ඕන තරම් ඉන්නවා.”

නිමාලි එසේ පැවසුවේ ඇයට ඉසුරු ගැන සැබෑවටම දුකක් ඇති වූ නිසා.

“මම මංගල යෝජනා කිහිපයක්ම බලන්න ගියා. ඒ කිසිම කෙනෙකුට මාව තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතුවේ නෑ. හැබැයි මට ඔයාව හොඳ යාළුවෙක් වගේ දැනෙනවා. හොඳ යාලුවන්ටත් එකට ජීවත්වෙන්න බැරි කමක් නෑ නේද?”

ඉසුරු එසේ අසද්දී නිමාලි කළේ මඳ සිනාවක් පළ කිරීම පමණයි. කඩවසම් ඉසුරුට ඇගේ හිත බැඳි ගොස් තිබුණා. ඇය යෝජනාවට කැමති බව අම්මාට පැවසුවේ ඒ නිසා.

“දෙන්න හිනා හිනා වෙවී කතා කර කර ඉන්නකොට අපි නම් ඕක හිතුව. අන්න ඒ ළමයත් කැමතියි කියලා දන්වලා එවලා. ඒ විතරක් නෙමෙයි ඉසුරුලගෙ අම්මා කේන්දර බලලා. උඩින්ම ගැළපෙනවලු.”

නිමාලිගේ අම්මා මහත් සතුටකින් පැවසුවා.

සුන්දර විවාහ මංගල්‍යයකට පසු නිමාලි සහ ඉසුරු විවාහපත් වුණා. විවාහ වන තුරුම නිමාලිට ඉසුරුව දැනුණේ හොඳ මිතුරෙක් ලෙස. ඔහුගේ ආදරය ඇය විවාහ දිනයේ බලාපොරොත්තු වුණා. නමුත් ඇගේ සිහිනය බොඳ වී ගියේ මධුසමයේ දී.

“මට සමාවෙන්න නිමාලි. මට ඔයාගේ වෙන්න හිත හදා ගන්න කාලයක් ඕන.”

ලිංගික සබඳතාවයක් තබා හාද්දක් හෝ පිරිනමන්නට උනන්දුවක් නැතුව ඉසුරු එසේ පැවසුවා. ඔහු ඇය සිටින ඇඳෙහිම නිදාගත්තේ පිටස්තරයෙක් ලෙසටයි.

“ඔයාගේ හිත හැදෙන්නේ කවද්ද?”

මාස දෙක තුන ගෙවී යද්දී නිමාලි එසේ අසන්නට වුණා. ලෝකයට ඉසුරු ඉතා හොඳ සැමියෙක්. ඔහු නිමාලිට සියළු යුතුකම් ඉටු කළා. උයමන් වලට පවා හොඳ සහයෝගයක් ලබා දුන්නා. කිසිම අවස්ථාවක ඇගේ හිත රිදෙන වචනයක්වත් ඔහු පැවසුවේ නෑ. ඇයට කුඩා දුරක්වත් පයින් යන්නට ඉඩ තැබුවේ ද නෑ. ඔහු ඇයට හැම සැපපහසුකමක්ම සැලසුවත් ඇගේ හිත තදින් රිදවමින් සිටියා.

“ඔයා රෑ වෙනකම් කෝල් කරන්නේ කාටද?”

දිනක් එහෙම අහන්නට නිමාලිට සිදු වුණේ දින කිහිපයක සිට ඉසුරු සාලයට වී මැදියම් රැය දක්වා චැට් කරන බව වැටහුණු නිසා.

“මං ඔයාට ඇත්ත කියන්නද?”

ඉසුරු එසේ ඇසුවේ වේදනාත්මක බැල්මකින්. අනතුරුව ඔහු නිමාලිගේ අතකින් අල්ලා ගත්තා.

“පාරමී ආපහු ආවා නිමාලි. මට එයාට ආදරේ නොකර ඉන්න බෑ.”

එය විවාහක බිරිඳකට අසන්නට පහසු කතාවක් නොවේ. ඇය කඳුළු සඟවා ගත්තා. වසර ගණනක් ආදරය කළ පෙම්වතිය වෙතට සැමියා යන බව දැන් නිමාලි හොඳින්ම දන්නවා.

“ඔයාගේ සතුටට බාධා කරන්න මට බෑ ඉසුරු. අපි ඩිවෝස් වෙමු. මට මෙහෙම ඔයාගේ වයිෆ් වෙලා ඉඳගෙන ඔයාට පාරමී ආස්සරේ කරන්න දෙන්න බෑ.”

නිමාලි එසේ පැවසුවේ වේදනාවෙන්.ඇයට ඉසුරුගෙන් සමු ගැනීම අපහසුයි. නමුත් කිසිම කායික සබඳතාවයක් නැතුව ගෙවී යන මේ සම්බන්ධතාවයේ අවසානය ගැන ඇයට කිසිම අදහසක් තිබුණේ නෑ.

“මම අපේ අම්මා එක්ක කතා කරන්නං”

ඉසුරු එසේ පවසා ඔහුගේ අම්මා මුණ ගැසෙන්නට ගියා. ඔහු අම්මා සමඟ කතා කළේ දික්කසාදය සම්බන්ධවයි. අම්මා දේවාලයේ කපුවෙකු මෙන් පරල වුණා.

“එහෙම දික්කසාද වෙන්න උඹට අමු කැවිලද? මං වසක් විසක් කාලා දිවි නහ ගන්නවා දැන ගනින්. නිමාලි ළමයා එක්ක හොඳින් ජීවත් වෙනවා මිසක දාලා ගිහින් ආපහු ආපු හැපින්නියෝ ළං කරගන්න උඹට පුලුවන් ද?”

අම්මා එසේ කෑගසන්නට වුණේ ඉසුරුව සම්පූර්ණයෙන් අවුල් කරමින්. ඇය දික්කසාද නොවන්නැයි ඉසුරුට ආයාචනා කරන්නට වුණා. තර්ජනය කරන්නට වුණා.

“කසාද බැන්දට පස්සෙ මිනිහා පිට යන එකට වග කියන්න ඕන ගෑනි. මේවා ඔය ළමයගෙත් වැරදි. රට්ටු ලවා අපිටයි ඔය ළමයගෙ ගෙදරටයි ලැජ්ජා නොකර ඉන්නවා ළමයෝ”

ඇය අවසානයේ නිමාලිට චෝදනා කරන්නට වුණා.

“නිමාලි කියන්නේ ඕනෑවටත් වඩා ඉවසන ළමයෙක්. එයාට නිකං චෝදනා කරන්න එපා අම්මෙ. මං තාම පාරමීට ආදරේ කරන එකම එයාට ඩිවෝස් එක ඉල්ලන්න හේතුවක්. ඒත් එයා එහෙම කරන්නේ නෑ.”

නිමාලි වෙනුවෙන් ප්‍රේමයක් හිතේ නැති වුණත් ඇය ගැන ඉමහත් ගරුත්වයක් ඇති ඉසුරු ඇය වෙනුවෙන් පෙනී සිටියා. ඔහු ඒ හන්දා අම්මාට නිමාලිට දොස් නගන්නට ඉඩ තැබුවේ නෑ.

“මං මැරෙනවා උඹ ඩිවෝස් වුණොත්”

ඒ ඉසුරුගේ අම්මා අවසානයට ලබා දුන් නියෝගයයි. ඒ නිසා දික්කසාදය ගැන අදහස හැර දමන්නට ඉසුරු තීරණය කළා.

“ඔයා ඉස්කෝලේ යන පොඩි ළමයෙක් නෙවෙයිනෙ. අම්මා ඔය කිව්වට මැරෙන් නෑ. ඔයා බය නැතුව තීරණයක් ගන්න.”

නිමාලි කළ හැකි ලොකුම කැපකිරීමක් කරන්නට සැරසුණේ ඒ ආකාරයෙන්. නමුත් ඉසුරු හිටියේ කළ යුතු දෙයක් සිතා ගන්නට නොහැකිවයි.

“මම ගෙදර ප්‍රශ්න විසඳන් එනකොට ඔයා බැඳලා. මට ඔයා ඩිවෝස් නොවෙනවනම් ඔයාට ආදරේ කරන්න බෑ. කසාද මිනිහෙක්ගෙ හොර ගෑනි වෙන්න මට බැහැ. අනික ඒක මම ඔයාගෙ වයිෆ්ට කරන අසාධාරණයක්”

පාරමී ද එසේ දොස් නගන්නට ගත්තා.

“ඉසුරු, මිනිස්සු ජීවිතේ සමහර තීරණ අමාරුවෙන් හරි ගන්න ඕන. ඔයාගෙයි මගෙයි සෙක්ෂුවල් රිලේෂන්ශිප් එකක් නෑ. ඔයා මාත් එක්ක හොඳ යාළුකමින් ජීවත් වුණාට අපි මේ ගෙවන්නේ පවුල් ජීවිතයක් නෙවෙයි. ඔයා අම්මලට බය වෙන්න වෙන්න අපි තුන්දෙනාගෙම ජීවිතේ පස්සට යනවා.”

හොඳ මිතුරෙකු සමඟ එක නිවසක ජීවත් වීමෙන් කිසිම ඵල ප්‍රයෝජනයක් නැති වග තේරුම් ගත් නිමාලි දික්කසාදයකට ඉසුරුව පොළඹවන්නට වුණා. ඇගේ ජීවිතයට ලැබිය හැකි සියළු සැපපහසුකම් ලැබුණත් මවක වීම සහ ආදරය ලැබීම යන සිහින ඉසුරු සමඟ සිටිනතාක් ඉටු නොවන බව නිමාලි දැන සිටියා. මෙය උගුලක් බවත් ඉන් ගැලවී යා යුතු බවත් නිමාලි තේරුම් ගත්තා.

“හරි.ඔයා ඩිවෝස් වෙනවටනෙ අම්මා අකමැති. මම ගෙදරින් යන්නම්. ගිහින් මම නඩුවක් දාන්නම්.”

අනාචාරය වැනි චෝදනාවක් කර මේ ප්‍රශ්නයට පාරමී ඈඳා ගන්නට අකමැති බව අප හමුවට ආ නිමාලි පැවසුවා. ඇය මුළු කතාවම පැවසුවේ ඉතාම උපේක්ෂාවෙන්.

“මිනිස්සු රැඳෙන්න ඕන ආදරයක් තියන තැන. ඉසුරුට එයාගෙ ආදරේ ලබා ගන්න මම ඉඩ දෙන්න ඕනෑ. මට ඊටපස්සෙ සතුටින් ඉන්න පුලුවන්.”

ඉසුරු වෛවාහක වගකීම් පැහැර හරින නිසා තමන් නිවසින් පිටව ආ බවට චෝදනා නගමින් අනුමිත ද්වේෂ සහගත හැර යාම යටතේ නිමාලි නඩු පවරනු ලැබුවා. ඉසුරුත් නිමාලිත් දෙදෙනාම සහයෝගයෙන් නඩුවට පෙනී සිටියා. විරෝධතා හෝ හබ කිරීම් මතු නොවූ නිසා සීමිත නඩු වාර කිහිපයකින් ඔවුන්ට දික්කසාදය ලබා ගන්නට හැකි වුණා.

දික්කසාද නොවන්නැයි ඉසුරුගේ අම්මා මහත් විරෝධතා දියත් කරමින් දරුවන් Emotionaly blackmail කරන්නට තැත් කලත් එය සාර්ථක වූයේ නෑ.නඩුවෙන් අනතුරුව පාරමීව විවාහ කරගන්නට ඉසුරු කටයුතු කළා. ඒ සරල උත්සවයට පවා නිමාලි එක් වූයේ ආදරයෙන්. අදටත් ඔවුන් හොඳම මිතුරන් බව නොකියාම බැහැ. නිමාලි ඉන් වසරකට පමණ පසු ආදර සබඳතාවයක් අරඹා විවාහ වී විදෙස්ගත වුණා.

අවබෝධය සහ කතාබහ කිරීම බොහෝ ප්‍රශ්න සරලව විසඳා ගන්නට හැකියාව ලබා දෙනවා. රණ්ඩු වෙමින් රඳවාගන්නවාට වඩා යන්නට උත්සාහ කරන අයට යන්නට දීම වඩාත් යහපත් බව නිමාලිට අපට කියා දෙන පාඩම නොවේද?

Related Articles

Don't Miss


Latest Articles