කාලය එක්ක ලිංගික සබඳතා දුරස් වෙන්නෙ ඇයි?

ආදරය වගේම රාගයත් වයින් බෝතලයක් වෙනවා නම් ජීවිතේ හරිම මිහිරියි. ඒ කියන්නේ කල් යන්න යන්න රහ වැඩ් වෙනවා නම් තමයි ඒ සම්බන්ධතාවට පැවැත්මක් තියෙන්නේ.ඒත් බොහොමයක් විවාහ ජීවිතවල තියන ප්‍රධානම ගැටළුව තමයි “කාලයත් එක්ක ලිංගික සබඳතාවයන් දුරස් වීම..”

මෙහෙම වෙන්න හේතු තියෙන්න ඕනෑ.ආදරෙන් ළං කරගෙන තමන්ගේ කරගත්තු කෙනා එක්ක වෙනදා වගේ ආදරයෙන් සහ සරාගයෙන් ඉන්න නොහිතෙනවා නම් එතැන තියන ගැටලුව ගැන ඔබට පැහැදිලිව අවබෝධයක් තියෙන්නම ඕනෑ.මේ ලිපිය කියවලා ඉවර වෙනකොට අන්න ඒ ගැටළු ලිහා ගන්න ඔබට පුලුවන් වෙයි කියලා අපි හිතනවා.

ඉතින්,ඉස්සරලම හිතලා බලන්න දැන් ඔබ දෙදෙනා අතර ඉස්සර වගේ ආකර්ෂණයක් තියනවද? ආදරේ කරන කාලයේ ඔබ ඔහුව දකින්න යන්නේ හැකි හැම විලාසිතාවක්ම කරගෙන.ඇඳුම් අල්මාරිය පෙරළාගෙන ඇඳුම් තෝරන්නම මොනතරම් වෙලාවක් ගත්තාද කියලා මතක ඇතිනෙ? ඒත් දැන් ඔහු ඔබව තිස්සෙම දකින්නේ අවුල් වෙච්ච කොණ්ඩෙකින් නම්, මුහුණ හෝදලාවත් නැති අපිරිසිදු ගැහැනියක්නම්, පිළිවෙලක් නැති ඇඳුමකින් නම් කොහෙද ආකර්ෂණයක්? මේ කතාව මෙහෙම ලිව්වාම එන ප්‍රධාන චෝදනාව තමයි “ගෙදර වැඩ ඔක්කොම එක්ක ආකර්ෂණීයව ඉන්න ගැහැනුන්ට වෙලාවක් නෑ.” කියන එක.ඔව් ඇත්ත.අපිට වෙලාව අඩුයි.හැබැයි ඔහු ඉන්නේ උදව් කරන්න.ඔහු රැකියාව නිමා වෙලා නිවසට ආවාම ඔබ බබාලාගෙ වැඩ ඔහුට පවරන්න,ඔබ රසට උයපු නිසා මුළුතැන්ගෙය අස් කරන්න උදව්වක් ඉල්ලා ගන්න.ඊට පස්සේ පුලුවන් ඔබට හොඳ වොෂ් එකක් දාලා අලුත් ඇඳුමක් ඇඳ ගන්න.සති අන්තයේ සැමියාට ගෙදර ගැන පැය කිහිපයක් බලන්න කියලා සැලෝන් එකකට ගිහින් එන්න.එතකොට අර නැති වෙලා ගිය ආකර්ෂණය ආයෙම ඇවිත් කියලා ඔබට දැනේවි.ඔහුටත් ආයෙම ඔබ ගැන ආසාව ඇති වේවි.

ගෙදර තියන ප්‍රශ්න,එක එක්කෙනාගේ ඕපාදූපම කතා කරන්න නොයා ඉස්සර වගේ ආදරේ උතුරන කතාවකටත් දවසේ පුංචි වෙලාවක් හරි ඉතුරු කර නොගත්තම ඔබ දෙදෙනාගේ ආදරේ හීන වෙලා ලිංගික ආශාව අඩු වෙන්න පුලුවන්.ඉඳලාහිටලා ඩේට් එකකට යන එක, කොහෙහරි ට්‍රිප් එකක් යන එක වගේ දේවල්වලින් මේ ගිලිහුණු බැඳීම් අලුත් කරගන්න ඇත්තටම බැරිකමක් නෑ.

දරුවන් ලැබීමෙන් පස්සේ ඔබ තුළ සිදුවන හෝමෝන වෙනස්කම් හින්දාත් ලිංගික හැඟීම් ඔබෙන් දුරස් වෙන්න පුලුවන්.බබා එක්ක බොහොම වෙහෙසකාරී ජීවිතයක් පටන් ගත්තාම දෙදෙනාටම සරාගී හැඟීම් අල්ප වෙන්න පුලුවන්.ඔහු ඔබේ වෙනස් වුණු ශරීරය පිළිගනීද වගේ හැඟීම් ඔබට ඇති වෙන්නත් පුලුවන්.සමහර වෙලාවට ඔබට ප්‍රසූතියට පසුව ලිංගිකව එක්වීම වේදනාවක් ඇති කරන අවස්ථාත් තියෙනවා.ඒ වගේ වෙලාවට ඒ කාරණාව අත් හැර දැමීම වෙනුවට වෛද්‍ය උපදෙස් වලට යොමු වීමෙන් ගැටළු හරි ලේසියෙන් විසඳා ගන්න පුලුවන් කියලා මතකයේ තියා ගන්න.

මේ දේවල් විතරක් නෙවෙයි, කාලයත් එක්ක ලිංගික ආශාවන් හීන වෙන්න අපි මේ රේස් එකක් වගේ දුවන ජීවිතේ හේතුවක්.අපි ඔෆිස් එකේ වැඩ ඔලුවේ පටවාගෙන ඉන්න මිනිස්සු,ලීසිං එක ගෙවන හැටි, ගෙවල් කුලී ෂේප් කරගන්න හැටි,හවුසින් ලෝන් ගෙවා ගන්න හැටි,බබාලගෙ ස්කූල් ෆීස්,අම්මාගේ අසනීපේ වර්තමාන තත්වෙ වගේ දාහක් කරදර ඔලුවෙ පුරවාගෙන ඉන්නකොට ලිංගික හැඟීම් කැලෙ කඩාගෙන ඈතට දුවන එක පැහැදිලි ඇත්තක්.හැබැයි ඉතින් ලිංගික එක්වීමක් කියන්නෙම Stress release වීමක් කියලා තේරුම් ගන්න ඕනෑ.එතකොට වෙනදාට වඩා ආදරෙන් ඉන්න පුලුවන් වගේම ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න අමාරු වෙන්නෙත් නෑ.

Jerry Maguire (1996) Directed by Cameron Crowe Shown from left: Tom Cruise (as Jerry Maguire), RenÈe Zellweger (as Dorothy Boyd)

අනිත් කාරණාව කාලයත් එක්ක අපිට එක එක ලෙඩ රෝගත් ඇති වෙන්න පටන් ගන්නවා.දියවැඩියාව, රුධිර පීඩනය සහ සමහර මානසික ගැටලු හින්දාත් ලිංගික ආශාව හීන වෙනවා.ඒ වුණාට ඒ එකක්වත් ප්‍රතිකාර නැති රෝග නොවෙන නිසා ඉවසීමෙන් ඒ ප්‍රශ්න විසඳා ගන්න ඔබ ස්මාර්ට් වෙන්න ඕනෑ.

තව දෙයක්, හැමදාම එකම රෙසිපියට උයනකොට කෑම කන්න වැඩි කැමැත්තක් නෑ නේද? ලිංගික ජීවිතය සම්බන්ධයෙන් ඔය කතාව ඔහොමම අදාළයි.එකම ඉරියව් සහ එකම පරිසරය ඔබේ ලිංගික ආසාව හීන කරන්න ඉඩකඩ වැඩියි.අන්න ඒ නිසා කැමති ඉරියව් ගැන පොඩි කතාබහක්, වෙනදාට වඩා කාලය අරන් foreplay එකකට යොමු වීම,මුලින් කිව්වා වගේ ට්‍රිප් එකක් ගිහින් වෙනස් පරිසරයක ලිංගික එක්වීමක් තුළින් යටපත් වුණු ආශාවන් ආයෙම අලුත් කරගන්න බැරි වෙන එකක් නෑ.

ඔබ අහල තියනවද දීපිකා ප්‍රියදර්ශනී ගයන ” මේ වහින්නේ එදා මල් වරුසාවමයි” ගීතය.ආයේ සැරයක් ඇස් දෙක පියාගෙන ඒ ගීතය අහන්න.ආදරය පරණ වෙන්නේ නෑ.ඒ නිසා සරාගී මල්වැස්සට පුරුදු ආදරයෙන්ම ඔබ වෙතට වැටෙන්න ඉඩ හරින්න.හෙම්බිරිස්සාවක් හැදුණාට කමක් නෑ.ආදරේ තියෙන්නේ ඉතිරෙන්න. පිටාර ගලන්න.ඒ හින්දා වයින් බෝතලයක් වෙන්න.පරණ වුණත් රහ වැටෙන්න.

Related Articles

Don't Miss


Latest Articles