මවකගේ ලෝකය – 03 වන කොටස

   දූට කරන්න හොඳ ඉංග්‍රීසි පාඨමාලාවක් ගැන අදහසක් ගන්න මං අන්තර් ජාලයෙ සැරිසැරුවා. ජාත්‍යන්තර ව පිළිගත් සහතික පත්‍ර විභාග වලට දරුවන් යොමු කරන ඒ වගේ පන්තියකට මං ගියේ හිතවතියක් එක්ක. ඒ පන්තියෙ පාඨමාලා ගාස්තු ටිකක් වැඩියි. පන්තියෙන් පිටතට ආපු ගමන් මගෙ හිතවතී ඒ ගැන කතා කළේ එ් කරම් පැහැදීමකින් නෙවෙයි.

“මොකටද අනේ එච්චර සල්ලි ගෙවල ඉංග්‍රීසි පන්තියකට දාන්නෙ…”

එයා ගෙ හඬේ සමච්චලයක් වගේ දෙයක් තියෙන්න ඇති. මං ඒ ගැන ඒ හැටි ගණං ගත්තෙ නෑ.

“නිකංම ඉංග්‍රීසි පන්තියක් නෙවෙයිනෙ. ඒ එග්සෑම් ටික කර ගත්තට පස්සෙ වෙන රටක ඉගෙන ගන්න යන්න වුණොත් හරි…සුදුසුකම් තියෙනවනෙ”

“අනේ….ඔය තරං වියදං කරන්න ඕනද අනේ ළමයින්ට උගන්නන්න…අනික මේ ගෑනු ළමයින්ට…”

එයාගෙ ඒ කතාවත් එක්කම මං එයා දිහා බැලුවෙ දෙගිඩියාවකින් වගෙයි. දරුවන්ට උගන්නනකොට ගෑනු ද පිරිමි ද බලන මිනිස්සු තවමත් ඉන්නවද කියල මට හිතා ගන්න බැරි වුණා. අපේ ආච්චි අම්මලගෙ යුගයටත් කලින් තමයි ඒ වගේ මත දරන මිනිස්සු ලංකාවේ ඉඳල තියෙන්නෙ.

“ගෑනු ළමයින්ට කොච්චර ඉහළට ඉගැන්නුවත් මොකටද රමී…දවසක හොඳ කොල්ලෙක්ව හොයල කසාද බන්දල දෙන එක තමයි කරන්න ඕනෙ..අන්න එදාට ඒ කොල්ල හොඳයිද හොඳට ඉගෙන ගෙන තියෙනවද ලොකු රස්සාවක් කරනවද වගේ දේවල් ගැන තමයි හොයල බලන්න ඕන. මොකද කොල්ල හොඳ තැනක ඉන්නවනං කෙල්ලත් ගොඩනෙ..”

මං මගෙ හිතවතී එක්ක තර්ක විතර්ක කරන්න ගියෙ නෑ. මොකද එහෙම කළානං නියත වශයෙන් ම මං පැරදෙන බව දන්න නිසා. බොරු තර්ක මොකටද? කරන්න ඕන හොඳ ම දේ නිශ්ශබ්ද ව කරන එකයි වෙන් ඕන කියල මං හිතා ගත්තා.

ඒත් මගෙ දුවට මේ කතාව ලොකු පාඩමක් වෙයි කියල අම්මට හිතෙනව. දුවේ, ගොඩක් අය ගෑනු ළමයි ගැන හිතන විදිහ තමයි ඒ. ඉගෙන ගත්තත් නැතත් ගෑනු ළමයෙක් දවසක පිරිමියෙක් ගෙ යටතෙ දරු මල්ලො හදා ගෙන ඉන්න එකනෙ කරන්න තියෙන්නෙ කියල. දූගෙ අම්ම මේ අදහසත් එක්ක කොහෙත් ම එකඟ කෙනෙක් නෙවෙයි දුවේ. මේ ලෝකයෙ පිරිමියෙක් ට තියෙන හැම අයිතියක් ම ගැහැනියකටත් තියෙනවා කියල හිතෙන කෙනෙක්. හැම හැකියාවක් ම ගැහැනු පිරිමි වෙනසක් නැතුව ඕන ම කෙනෙකුට තියෙන්න පුළුවන් කියල විශ්වාස කරන කෙනෙක්.  ශරීර ශක්තිය අතින් පිරිමියා ස්ත්‍රියට වඩා ඉදිරියෙන් ඉන්න පුළුවන්. නමුත් මානසික ශක්තිය අතින් ගැහැනිය කිසි කෙනෙකුට දෙවැනි වෙන්නෙ නෑ දුවේ.

දූ දන්නෙ නෑ තාම. මේ පෙරදිග සංස්කෘතිය ඇතුළෙ ගැහැනිය සදා කාලිකව පිරිමියාගෙ රැකවරණය යටතෙ ජීවත් වෙන්න ඕන කෙනෙක් විදිහටයි සැලකෙන්නෙ. දැරියක් කාලෙදි එයා පියා ගෙ රැකවරණය යටතෙ ඉන්න ඕනෙ. නැත්නම් පිරිමි සොයුරන්ගෙ සීමාවන් යටතෙ. විවාහ වුණාට පස්සෙ සැමියාගෙ යටතෙ සියලු කටයුතු කරන්න ගැහැනිය වග බලා ගන්න ඕනෙ. වයස්ගත වුණාට පස්සෙ පිරිමි පුතුන් යටතේ මවුවරු පවතින්න ඕන වුණා. සමාජය මොන තරම් දියුණු වෙලා තිබුණත් තවමත් හුඟක් දෙනා ජීවත් වෙන්නෙ මෙන්න මේ සම්ප්‍රදායික මති මතාන්තරත් එක්කයි.

මං දූට මේ කියන්න යන්නෙ ගැහැනු අපි කිසි සේත් පිරිමින්ට අවනත විය යුතු නෑ වගේ ස්ත්‍රී වාදී අදහසක් හෙම නෙවෙයි. ගැහැනිය කියන්නෙ සොබා දහම විසින් ම ඉතා මොලකැටි ලෙස මවපු වස්තුවක්. ඇය සමීප පිරිමින් ගේ ඇල්ම බැල්ම යටතේ පවතින එක ඉතාම ආරක්ෂිතයි. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ ගැහැනිය නියත වශයෙන් ම පිරිමියාට යටත් ව පවතින්න ඕනයි කියල නම්. පුරුෂයෙකුට සැරිසරන්න පුළුවන් ඕනෑ ම සීමාවක් දිග් විජය කරන්න ගැහැනියකටත් පුළුවන්. නමුත් ඒ සඳහා ඇය දැන උගත් කමින් සන්නද්ධ වෙන්න ඕනෙ. අන්න ඒ සන්නද්ධ බව දූ ට ළඟා කරවන්න තමයි අම්මයි තාත්තයි දෙන්නම මේ තරම් වෙහෙසෙන්නෙ.

අපේ වගේ රටවල අම්මලා හැම කාලෙක ම වෙහෙසුණේ පුතාලව රජුන් කරන්නයි මගෙ දුවේ. අන්න ඒ සිතිවිල්ලෙදි සෑහෙන කාලයක් තිස්සෙ අම්මලට දූලව මග ඇරිල ගියා. දූල ඉන්න අම්මල හිතුවෙ රජෙක් වගේ තරුණයෙකුට තමන්ගෙ දූ සරණ පාවා දීම ගැන තමයි.

“ඔක්කොම කුමාරියො අසරණයිනෙ අම්ම…එයාලව බේර ගන්න රාජ කුමාරයෙක් එන්න ම ඕනනෙ”

මට මතකයි නින්ද යනකල් දූට සුරංගනා කතා කියපු කාලෙ, එක දවසක් ඔයා ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙලාවෙ මගෙ දෙතොල් අතරට ආවෙ හිනාවක්.

“තාත්ති නිසාද අම්මිත් බේරිල ඉන්නෙ..මාව බේර ගන්නත් දවසක ප්‍රින්ස් කෙනෙක් එනවද අම්මි…”

තාත්තා මං දිහා බලං හිටියෙ මං මොන වගේ උත්තරයක් දෙයිද කියන විමසිල්ලෙන්. මේක තීරණාත්මක ප්‍රශ්නයක් නිසා දූගෙ මනසෙ සදා කල් රැඳෙන උත්තරයක් දෙන්න මට ඕන වුණා.

“බේර ගන්න කුමාරයෙක් එනකල් ගෑනු ළමයි බලං හිටිය කාලෙ ඉවරයි මගෙ මැණික. ඒව ඉස්සර කාලෙ වුණ කතා. දැං ගෑනු ළමයි හරිම දක්ෂයි. එයාලට තනියම ඕන ම දේකට ෆේස් කරන්න පුළුවන්. එයාල හොඳට ඉගෙන ගන්නව..හොඳ රස්සාවල් කරනව. හොඳට සල්ලි හම්බ කරනව…ඒ නිසා එයාල හැම අතින් ම ශක්තිමත්. තාත්ති වගේ කෙනෙක් ඕන තමයි ජීවත් වෙන්න..එයාල අපිට ආදරේ කරනව…අපිව බලා ගන්නව..”

“ඉතිං අපිට ඔක්කොම පුළුවන් නං අපිව බලා ගන්නෙ මොකටද…”

එදා දූ හුඟක් පුංචි නිසා කියා දෙන්න බැරි වුණ දේ තව ඉස්සරහට දූ හොඳින් ම තේරුං ගන්න ඕනෙ.ඉගෙන ගෙන රැකියාවක් කරන ආදායම් මාර්ගයක් තියෙන ගැහැනියකට පිරිමියෙකු ගෙ ආදරේ ඕන නෑ කියල කවදාවත් අම්මනං හිතන්නෙ නෑ පුතේ. මොන දේ තිබුණත් දෙන්නෙකු අතරෙ  බැඳීමක් පවතින්නෙ ඒ අය උනුන් කෙරේ දක්වන ආදරයයි ගෞරවයයි මත. අපේ උගත් කම වැඩි වෙන තරමට අපි ඒ ඇත්ත තේරුං ගන්න තරං නිහතමානී වෙන්න ඕනෙ.

ඉතිං පුතේ මං කිව්වනෙ ගොඩක් අම්මල හිතුවෙ පුතාලව රජ කරන්න යි කියල. ඒත් ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්නට ම ඕනෙ අපේ දූ ව රැජිණක් කරන්නයි. රජෙක් ගෙ අග මෙහෙසි තනතුරට පත් වෙන එක ගැන නෙවෙයි පුතේ ඔයත් හීන දකින්න ඕනෙ. දවසක රැජිනක් වෙන්නයි. රජෙකු ගෙ කර පිටින් ගොඩ යන්න හිතන බොහොමයක් ගෑනු ළමයි අතරෙ ඔයා රැජිනක් වෙන්න කැප වෙන්න. ඒක ලෙහෙසි නෑ. හැබැයි බැරිත් නෑ. ඒ අසීරු ගමන යන්න අවශ්‍ය කරන ඕන ම කැප කිරීමක් අම්මයි තාත්තයි කොන්දේසි විරහිතව කරනවා. ඔයා යන්න නියමිත පාර හැම අතින් ම අපි හෙළි පෙහෙළි කරනවා. දුව පරිස්සමෙන් ඒ ගමන යන්න.  

දූ රැජිණක් වෙනකල් අපි ඉර හඳ වගේ ඔයා දෙපසින් ඉන්නවා.

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content