පැරකුම් පැය කිහිපයක සැත්කමක් සඳහා භාජනය කර තිබිණ. වරින් වර ශල්‍යාගාරයෙන් එළියට පැමිණෙන හෙදියන් හා වෛද්‍යවරුන්ද ඒ සාම යළිත් කලබලයෙන් ඒ තුළට දිව යන හෙදියන් හා වෛද්‍යවරුන් දෙස ද සිතාරා බලා සිටියේ කොරිඩෝවෙහි වූ පුටුවකට වීගෙනය. තමාටත් වඩා ඔහු ශරීර සෞඛ්‍යය ගැන වද වූ අයෙකි. තිදෙනාටම ජීවිත රක්ෂණ සඳහා අයදුම් කලේ මීට වසර කිහිපයකට ඉහතදීය. එනිසාම වසරකට වරක් පැරකුම් සේම සිතාරාත් අවශ්‍ය පරීක්‍ෂණ සියල්ලම සිදුකර ගත්තේය.
පසුගිය මාස වලදීත් ඔහුට හෘදයාබාධයකට තුඩු දෙන තරමේ නිදන්ගත රෝගී තත්ත්වයක් නොවූ බව විශ්වාසය.
පැරකුම් දියණියට මේසා ආදරය කළාදැයි සිතද්දී සිතාරාගේ පපුවට දැනුනේ බරකි. ඇය නිරතුරුවම පැවසූයේ තාත්තා කෙනෙකුට වඩා අම්මා කෙනෙකුට දියණියක දැනෙනා බවය. එහෙත් සත්‍යම කතාව එය නොවේ යැයි සිතාරාට සිතෙන්නේ දැන්ය. තාත්තා කෙනෙකුගේ ජීවිතයේ දුර්වලම තැන දියණියයි. ඔහු නුලරාව මේ සා තදින් රැකවල් ලා ආරක්ෂා කලේ එනිසා විය යුතුය. පැරකුම්ගේ මේ හදිසි හෘදයාබාධයට හේතුව නුලාරාගේ හදිසි තීරණය වන්නට ඇතැයි සිතාරාට සිතුනේ අහේතුකව නොවේ.
“අම්මා….”
චාරුක පැමිණ ඈ අසලින් අසුන් ගත්තේ ඕ කඳුළු පිසදා ගනිද්දීය. පැරකුම් සිටියේ අවදානම් තත්ත්වයකය. තවමත් ඔහු ගැන කිසිවෙක් කිසිවක් පවසන්නේ නැත.
“බයවෙන්න එපා අම්මා…”
“බය නොවී කොහොමද පුතේ. තියටර් එකට ගන්න කොටත් තාත්තා හිටියේ එච්චර හොඳ තත්වෙක නෙමෙයි. එක පාරට කොහොමද මෙහෙම වුනේ කියලා මට හිතා ගන්න බෑ.”
“බබා තාත්තට කතා කරලා තිබුණද අම්මා.”
“නෑ එයා කතා කළේ මට. එන ගමන් දිගින් දිගටම තාත්තා මගෙන් ඇහුවා මොකක්ද ප්‍රශ්නේ කියලා. මං එයාට ඒ වෙලාවේ කිව්වේ ප්‍රශ්නෙ මොකක් උනත් ඒ ගැන දැන් කතා කරන්න එපා කියලා. පැරකුම් කලබලයි පුතා. ඒ නිසාම මං එයාට කිව්වා අඩු ගානේ දුවගෙන් මොකද උනේ කියලවත් මේ වෙලාවේ අහන්න එපා කියලා. ඒක එයාට නරක විදිහට බලපෑවද දන් නෑ පුතා”
“බබා කලබල වෙන්න හේතුවක් තිබුණ අම්මා…”
“ඒ කියන්නේ….”
“බිස්නස් වලදි හරි. පෞද්ගලික ජීවිතේදී හරි මට තරහකාරයෝ නෑ කියලා මං කොයි වෙලාවකවත් හිතුවේ නෑ. ඒ කොහොම උනත් මං මගේ ගමන ගියේ හරි පැහැදිලිව, පිරිසිදුවට. මට තරඟයක් තිබුණේ මං එක්කම විතරයි අම්මා. මොකද මේ ෆීල්ඩ් එකේදී අපේ කම්පැනි එක තිබුනේ අනිත් හැමෝටම වඩා ඉහළ තැනක. අම්මා අද උදේ මම ගැන වැරදි කතාවක් සෝෂල් මීඩියා වලට ගිහින් තියෙනවා. මේවා මට හරි සාමාන්‍ය දේවල් වුණාට බබාට සාමාන්‍ය දෙයක් වෙන්නේ නෑ අම්මා. එයා හරි සීමිත වටපිටාවක් දැකපු ගේ ඇතුලෙ හැදිච්ච හරිම අහිංසක ළමයෙක්.”
“මට තේරෙන්නේ නෑ පුතා…”
“මට එයාට කියන්න පුළුවන් වචන වලින් මව විශ්වාස කරන්න කියලා විතරයි. එතනින් එහාට කරන්න ඕනේ මොනවද කියලා මම දන්නෙ නෑ අම්මා.”
“ඔය ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ අර මන්දස්මි කියන ළමයා එක්කද?”
“ඔව් අම්මා..මන්දස්මි කියන්නේ මේ ෆීල්ඩ් එකේ එක පැත්තකින් මට ඉන්න හොඳම යාළුවෙක්. මගේ බිස්නස් එක පැත්තෙන් ගත්තොත් විශ්වාස කරලා වැඩක් බාර දෙන්න ඉන්න හොඳම ක්ලයන් කෙනෙක්. මන්දස්මි අපිත් එක්ක වැඩ කරන්නේ ඇග්‍රිමන්ට් එකක් යටතේ. සමහර වෙලාවට මට වුණත් හිතෙන හිතෙන තීරණ ගන්න බෑ අම්මා. ඒ්ක ලේසි නෑ”
“මං පුතාව විශ්වාස කරනවා…”
“මේ වෙලාවේ මට ඒ වචන ටිකත් හරි හයියක්.”
රෝහල් ශල්‍යාගාරයේ දොර ඇරුනේ එවේලෙහිය. පිටතට පැමිණියේ ශල්‍යකර්මය භාරව උන් ප්‍රධාන වෛද්‍යවරයාය. සිතාරා පමණක් නොව චාරුකත් නැගී සිටියේ ක්ෂණයකින්ය. ඒ කලබලයෙන්ම ඔවුන් දෙදෙනාම ඉදිරියට දිව ගියේය.
“ඔපරේෂන් එක සක්සස් කියලා මම විශ්වාස කරනවා. හැබැයි පේෂන්ට් තවම අවදානම් තත්ත්වයෙන් මිදුනා කියලා හිතන්න අමාරුයි. අපි තව පැයකින් එයාව අයි සී යූ එකට දානවා. එක්කෙනෙක්ට ගිහිල්ලා පේෂන්ට්ව බලන්න පුළුවන්.”
වෛද්‍යවරයා එසේ පැවසූයේ සිතාරාත් චාරුකත් දෙස මාරුවෙන් මාරුවට බලමින්ය. ඔහු නික්ම යනතුරු බලා සිටි චාරුක නුලාරාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.
“බබා තාත්තාගේ ඔපරේෂන් එක සක්සස් කියලා ඩොක්ටර් කිව්වා. බයවෙන්න එපා.”
වරින් වර ඔහු ඇයට කතා කරමින් තොරතුරු පැවසුවත් ඇය දුරකථනයට සවන් දීගෙන උන්නා විනා එකඳු වදනක්වත් කතා කළේ නැත. චාරුක මෙවේලෙහි ඇගෙන් එවැන්නක් බලාපොරොත්තු වූයේද නැත. ඔහු ඒ හා සමගම ජංගම දුරකථනය සිතාරා වෙත දිගු කළේ ‘අම්මා අඬ අඬා කතා කරන්න එපා..’ යනුවෙන් මද හඬකින් පවසමින්ය. ‘මම පුතා විශ්වාස කරනවා..’ යනුවෙන් වදන් වලින් පැවසුවාට සිතාරා තවමත් උන්නේ විශ්වාසයත් අවිශ්වාසයත් අතර දෝලනය වෙමින්ය. ගෙවී ගිය හෝරා දෙකක් පමණ දිගු වූ කාලය පුරාවටම ඇය තමාගේ සැමියා ගැන සිතුවා පමණක් නොව බෑණනුවන්ද නිරීක්ෂණය කළාය. වරින් වර සිය මිතුරාට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔහු පවසා සිටියේ නිවසින් නික්ම නොයන ලෙසය. නුලාරා කුමක් කරනවාදැයි විමසිල්ලේ පසුවන ලෙසත් ඔහු තේජනට පවසනු සිතාරා අසාගෙනය. සෝමාට හා හෙදියට කතා කරමින් ඇයට බීමට යමක් ලබා දෙන්නයැයි කිහිප වරක්ම පැවසුවාත් මතකය. දරුවා හෙදිය ලඟ තබාගෙන ඇයට විවේකය ලබාදෙන්නයැයි පැවසුවාත් මතකය.නොහඬා සිටින්න යැයි කීවාට සිතාරාගේ කඳුළු අලුත් වූයේ එහා පසින් දියණියගේ හැඬුම් මුසු හඬ ඇසෙද්දීය.
“අම්මා.. තාත්තාට මෙහෙම උනේ මං නිසා නේද? මට ඉවසන්න තිබුණා..”
“තමන්ගේ පිට වරද පටවාගෙන දුක් වෙන්න එපා පුතේ. තාත්තට කරදරයක් නෑ කියලා ඩොක්ටර් දැන් ඇවිල්ලා කියලා ගියානේ. මේ ජීවිතයේ ගෑණු අපි ටිකක් නෙමෙයි ගොඩක් ඉවසන්න ඕනේ. ප්‍රශ්න ඇතිවෙන්නේ මිනිස්සුන්ට පුතේ. අපි ඒවා දරාගෙන විසඳගෙන ඉදිරියට යන එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ ටික මේ විදිහටම මං කලින් දවසකුත් මගේ පුතාට කිව්වා. අපි තනිකඩ ජීවිතේදී ගන්න තීරණ තරම් සරල නෑ පුතේ විවාහ ජීවිතයක් ඇතුලේ ගන්න තීරණ..අපි සමහර වෙලාවට දකින දේ ඇහෙන දේ ඇත්තම නොවෙන්නත් පුළුවන්.”
“මට හරි දුක හිතුන අම්මා. මට ඒ වෙලාවේ ඕන වුණේ ඔයාගේ ළඟට එන්න. ඒත් මෙහෙම දෙයක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ.”
අම්මා වෛද්‍යවරයා සමග රෝගියාගේ විස්තර පවසනු නුලාරා අසාගෙනය. හෘදයාබාධයක් වැළඳිය හැකි කිසිඳු නිදන් ගත රෝගයක් හෝ කායික අපහසුතාවයක් ඔහුට නොතිබූ බව අම්මා පවසද්දී වෛද්‍යවරයා සිය නළලත රැළිකර ගත්තාත් නුලාරාට මතකය.
“මගේ පුතා දැන් දරුවා ගැන බලාගෙන ඉන්නකෝ. කවදාවත් ඔයා මේ ජීවිතය ඇතුලෙ තනි වෙන්නේ නෑ. තාත්තා ගැන බලාගන්න මමයි චාරුක පුතයි දෙන්නම මෙතන ඉන්නවා. තාත්තව රූම් එකට දැම්මට පස්සේ අපි ඇවිල්ල තාත්තව බලලා යමු.”
සිතාරා අවසන එසේ පැවසූයේ නුලාරාගේ හිත හැදෙන්නට තවත් බොහෝ දේ පැවසුවාට පසුවය. නුලාරා යළිත් කිහිප වතාවක්ම සංකල්පනී අමතන්නට උත්සාහ කළාය. එය තවමත් ක්‍රියා විරහිතය. මෙවේලෙහි ඇයට වූයේ තමා කරන්නේ කියන්නේ කුමක්දැයි සිතාගත නොහැකි කමකි.
එදින කාර්යාලයේදී මන්දස්මි වෙනුවෙන් හදිසියේ සංවිධානය කළ ඇගයීම් උත්සවයේදී කාර්යාලයේ නිල ඡායාරූප ශිල්පියා වූ ධනංජය ලවා ගෙන්වාගත් සේයාරූ පරීක්ෂා කරමින් උන් තේජන දොඩම් යුෂ වීදුරුවක් රැගෙන ආ සෝමා දෙස බැලුවේ දුරකථනය පසෙක තබමින්ය.
“සෝමා ලොකු නෝනලා කතා කලාට දැන්ම මේ කිසිම දෙයක් කියන්න යන්න එපා. පැරකුම් අංකල්ගේ ඔපරේෂන් එක ඉවරයි. දැන් ප්‍රශ්නයක් නෑ කියලා චාරුක කතා කළා.”
“අනේ මහත්තයෝ චූටි නෝන යනකල්ම මම දන්නේ නෑනේ මට මහා වරදක් කළා වගේ දැනෙන්නෙ..”
“සෝමා ඒ වෙලාවේ හිටියේ කිචෙන් එකේ කියලා කිව්වනේ. මේක එයා අපි කාටවත් කියලා ගියපු ගමනක් නෙමෙයිනේ සෝමා.”
“අපේ මහත්තයා පුරුද්දට වගේ හැමදාම උදේට මට කියලා යනවා නෝනගේ ළඟින් ඉන්න, නෝනා ගැන බලන්න කියලා. මට නම් තරහම අර බූරු මනුස්සයත් එක්ක. නෝන යනකං ඉඳලා සුදු මහත්තයට කෝල් කරන්නේ නැතුව පොඩ්ඩක් කෑ ගැහුවනම් මං කොහොමහරි නෝනව නවත්ත ගන්නවනේ.”
“එහෙම මිස්ටේක් අපි කා අතිනුත් වෙන්න පුළුවන්නෙ සෝමා. නුලාරා මොකද කරන්නේ?.”
“මං කාමරයට ගිහිල්ලා ආවේ, ඇඳේ වාඩිවෙලා බලා ගත්ත අතේ බලාගෙන ඉන්නවා.”
“සෝමා චුට්ටක් එයාට කියන්න මම කතා කරනවා කියලා. බල කරන්න එපා. නුලාරා කතා කරන්න ආවොත් මං එයාට කතා කරන්නම්.”
තේජනට එකඟව හිස වැනූ සෝමා කාමරයට යද්දීත් නුලාරා උන්නේ හිස් සුදු බිත්තිය දෙස බලාගෙන කල්පනාවකය. ‘අපේ චූටි නෝනා..’ යනුවෙන් පවසමින් ඈ අසලට ලං වූ සෝමා දුටු හැටියේම නුලාරාගේ කඳුළු අලුත් වූවාය.
“මට මේ හැම දෙයක්ම නැති වෙන්නද සෝම යන්නේ. ඉස්සෙල්ලම චාරුක දැන් තාත්තා…”
“අනේ එහෙම හිතන්න එපා අපේ චූටි නෝනා. චූටි නෝනාට කිසිම දෙයක් නැති වෙන්නේ නෑ. චූටි නෝනා චුට්ටක් තේජන මහත්තයා එක්ක කතා කරන්න. තේජන මහත්තයා කිව්වා පුලුවන්නම් නෝනට එළියට එන්න කියන්න කියලා. තේජන මහත්තයට මොකක්ම හරි වැදගත් දෙයක් අපේ නෝනා එක්ක කතා කරන්න ඇති.”
“මට මේ හැම දෙයක්ම එපා වෙලා සෝමා.
“අනේ එහෙම කියන්න එපා. චූටි නෝනා තරම් මං උගත් ගෑනියෙක් නෙමෙයි. හැබැයි මේ සමාජෙත් එක්ක තෙම්පරාදු වෙලා හැදුනු ගෑනියෙක්. ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ගේ ජීවිත වලට අපේ නෝනා. චුට්ටක් එළියට බැහැල මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ප්‍රශ්න දැක්කහම, දැන ගත්තහම චූටි නෝනට වුණත් හිතෙයි අපිට ප්‍රශ්න නෑ කියලා. මං කියනවට චුට්ටක් තේජන මහත්තයත් එක්ක කතා කරල බලන්න..”
නුලාරා නැගී සිටියේ එසේ පවසමින් සෝමා දෙතුන් වරක්ම ඇවිටිලි කලාට පසුවය. චාරුක ගැන සේම තේජන ගැනත් අංශුමාත්‍රික විශ්වාසයක්වත් ඒ සිතෙහි වූයේ නැත. එහෙත් ඔහු තේජන අසුන්ගෙන උන් විසිත්ත කාමරය වෙත ඇවිද ගියාය.
(හෙටත් හමවෙමු ආදරයෙන්……)


