නිබ්බුත ගීත -30

මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ ය. අප ක්‍රමයෙන් උස් මහත් වන විට පවා ඔහු කුඩා එකෙකුය යන සිතිවිල්ල ලොකුවට මට විය. මා ලොකු අක්කා කෙනෙකුය යන හැඟීම ඇතිව හැම විට ම මම මල්ලී දෙස බැලුවෙමි. ඔහු සිය වයසට තරම් නොවන දේවල් කරන ඇට්ටරයෙකු බවට පත් ව මා කෙනෙකු දෙස හිස ඔසවා නොබලන කුලෑටි කෙල්ලක ව සිටියදීත් මල්ලිගේ ක්‍රියාකාරකම් අත දරු ඒවා ලෙස මට දැනිණ. මෑතක් වන තුරු ම ඔහු මට වඩා උසින් අඩුවට සිටියේ ය. ඔහු මගේ යහළුවෙකු ලෙස මට දැනෙන්නට ගත්තේ මා උසස් පෙළ පන්තියේත් වසරක් ගත කල ඉක්බිති, ලෝචන හා මා අතරේ ඇති නමක් නැති බැඳීම නිසාවෙනි. ඒ වෙත්දීත් ඔහු ගේ ප්‍රේමය හිත දරා සිටියා මිස මම ඒ ගැන ඉඟියක් හෝ ඔහු ට දෙන්නට නො ගියෙමි. ලෝචන මල්ලී සමග වඩ වඩාත් මිත්‍ර සමාගම් පවත්වන්නට වූයේ මේ කාලයේ ය. යම් යම් අවස්ථා වල දී ලෝචන ගේ ‘හොඳ’ ගැන මල්ලී මට කියන්නට පටන් ගත්තේත් මේ කාලයේ ය. ඔවුන් දෙදෙනා මා කේන්ද්‍ර කොට ගත් කතා බස් හි නිරත වෙන බව මට දැනෙන්නට ගත්තේ එතකොට ය.

පිටතට කිසිත් දැනෙන්නට නොදී සියල් හැඟීම් මගේ ඇතුළු හද රහස් ගුහාවෙහි හිර කර ගෙන උන් මට, ලෝචනව කියවා ගන්නට මල්ලී පොතක් වූයේ ය. ඔහු මගේ නොදරුවා ගේ චරිතයෙන් මිදී මිතුරෙකු ගේ භූමිකාවට අවතීර්ණ වන්නට ගත්තේත් ඒ කාලයේ ය. ඊට ප්‍රධාන ම හේතුව වූයේ ඔහු මා පසු කොට උසින් වැඩෙන්නට වීමයි. මල්ලී දෙස හිස මඳක් ඔසවා බලා කතා කරන්නට සිදු වෙත්දී ඒ මිත්‍ර හැඟීම සමග ම මට මහත් සහනශීලී බවක් දැනිණ. මල්ලී කෙනෙකු නොව අයියා කෙනෙකු වාගේ මට ඔහු ගැන දැනෙන්නට ගත්තේ ය. තාත්තා කෙනෙකු ගේ ආදර රැකවරණය අහිමි ගෑනු ළමයෙකු ලෙස මා හදවතේ ගුලි කර ගෙන සිටියේ මල්ලී විතර ය. දවසින් දවස ඔහු ලොකු වන විට හා මහ මිනිසෙකු සේ අපේ පුංචි පවුල වෙනුවෙන් කතා කරන හා කැප වන විට මට ඔහු මහා ශක්තියක් ව දැනෙනා එක වැළකිය නො හැකි විය. 

මල්ලී හා ලෝචන මා දෙපස සිට හා මට ඉදිරියට යන්නට හැර සිනහ වෙවී මදෙස බලා ඉන්නා සේ දැනෙනා එක නතර කරන්නට ඉන්පසු මට ඕනෑ වූයේ නැත. හිතෙන් මම ඔවුන් දෙදෙනාගේ යහපත ම පැතුවෙමි. 

මල්ලී ඉගෙන ගන්නට දැක්වූ අලස කම හැරෙන්නට මට ඔහු ගැන වෙනත් කණස්සල්ලක් වූයේ නැත. මේ ගැන ඉඩක් ලැබුණ අවස්ථා වල මම ලෝචන සමගින් හෘදයාංගම හා විවෘත කතා බස් වල නිරත ව ඇත්තෙමි.

“ගෑනු ළමයි වගේ නෙවෙයි නිබ්බුතා කොල්ලො. උන් හිතන්නෙ වෙන විදිහකට. ඔයා හිතුවට ඉගෙන ගෙන…ඩොක්ටර් කෙනෙක් වෙලා දවසක පවුල ගොඩ ගන්න පුළුවන් කියල…කොල්ලෙක් විදිහට රාහුල් ගෙන් එහෙම ලෝං ටර්ම් සොලියුශන්ස් ගැන බලාපොරොත්තු වෙන්න බෑ. රාහුල් වගේ කොල්ලෙක්ට ඕන ඉක්මන් විසඳුම්. ඕලෙවල්ස් කරපු ගමං මොකක් හරි කරල සල්ලි ටිකක් අතට ගන්න ඕන කියල ඌ හිතන්නෙ ඒකයි”

ලෝචන තරම් හොඳින් මල්ලීව කියවා ගන්නට මට වුව නො හැකි වූවා කියා මම සිතමි. 

“තාත්ත කෙනෙක් හොඳ ජොබ් එකක් ගැන හීන මව මව මුකුත් නොකර ගෙට වෙලා ඉඳී කියල හිතන්න බෑනෙ. තාත්ත කෙනෙක් බලන්නෙ දවසෙ කුළියට වැඩක් කරල හරි එදා දවසෙ දරුවන්ගෙ බඩගිනි නිවන්න. රාහුල් ඉන්නෙත් එහෙම හදිස්සියක. ඌ දැන් ඉස්සර හිටිය පොඩි එකා නෙවෙයිනෙ. ගෙදර ප්‍රශ්න ටික විසඳන එක ඌගෙ අතට අරන් ඔයාට නිදහසේ ඉගෙන ගෙන ඔයාගෙ ගමන යන්න අරින්නයි කොල්ලට දැන් ඕනෙ”

මල්ලී කුඩා කල පටන් මුදල් ගැන ආශා වූයේ ය. වසර ගණනාවකට පෙර, මා තුන හතර පන්ති වල සිටි කාලයේ දිනක් උදයක පාන් ගෙඩියක් ගෙන එන්නට අප කඩයට ගියා මට මතක ය. ගෙදරට පොඩි පොඩි දේවල් ගෙනෙන්නට කඩේ යාම ඉතා කුඩා කල පටන් ම අපි කරගෙන ගියෙමු. ඒ උදයේ කඩය ආසන්නයෙහි බිම වැටී තිබූ රුපියල් දහයේ නෝට්ටුවක් අපේ නෙත ගැටුණ මොහොත මට අද වාගේ මතක ය. පෙර දා වට මඳ වැස්සට තෙමී, නෝට්ටුව තිබුණේ දිය බත් වී ය. කෙළි බඩුවක් දුටු ළමයෙකු සේ මල්ලී ඒ වෙත දිව ගියේ ය. ඔහු වට පිට බලන්නට ඇත්තේ කිසිවෙකු එය දකීද කියා විය යුතු ය. අහල පහලක කිසිවෙකු නොවන බව දත් හෙතෙම දෑතින් ම එය අහුලා ගත් හැටි මේ දැනුත් මගේ ඇස් ඉදිරියේ මැවී පෙනෙයි. පෙඟී තිබූ නෝට්ටුව ඉරේවියි මල්ලී බිය වූයේ ය. 

“පාං අරං එන්නකො සුදූ”

ඔහු මට අණ දුන් හැටිත් අංශුවකුදු නො වෙනස් ව මට සිහි කර ගත හැක. මා පාන් ගෙඩිය ගෙන එත්දීත් මල්ගී ඒ රුපියල් දහයේ නෝට්ටුව දෝත දරා සිටියේ කරඬුවක් දරා හිඳිනා හස්ති රාජයෙකු තරම් උද්දාමයෙනි. අප වාගේ දුප්පත් කමේ කරවටක් ගිළුළුු මිනිසුන්ට රුපියල් දහයක් කියන්නේත් ඒ කාලේ හැටියට ලොකු දෙයකි. ඒ ලොකු දේ හොයා ගත් ආඩම්බරකාර කොලුවා අම්මා වෙත දිව ගියේ රටක් රාජ්ජයක් දිනා ගෙන ආවා මෙනි.

“කාගෙංවත් හොරකං කළේ නෑ නේද…”

අම්මා තදින් ඇසුවා ය.

“නෑ”

මල්ලී ද තදින් කීවේ ය. එවර අම්මා මදෙස බැලුවේ එය සහතික කර ගැනීමට මෙනි. කොණ්ඩය මැදින් බෙදා දෙකරලකට ගොතා සුදු නිල ඇඳුම හැඳ ගමේ පාසලට යන්න සූදානම් වී සිටි නිබ්බුතා, තාරුකා මලක් තරම් පවිත්‍ර ව සිනහ වූවා ය.

“පාර අයිනෙ තණකොළ බිස්සෙ වැටිල තිබුණෙ…දිග ඇරිලම…”

මා බොරු නො කියනවා ය යන්න අම්මා ට විශ්වාස ය. ඒ විශ්වාසය ඇති වූයේ කුමන පදනමක් මත ද කියා මා දන්නේ නැත.

“පව්”

අම්මා ශෝක වන්නේ මන්දැයි ඒ වෙලාවේ කුඩා නිබ්බුතා ට සිතා ගත නො හැකි විය. 

“රුපියල් දහය නැති වුණ කෙනා අපි වගේම අසරණ මනුස්සයෙක්නං..අද කන්නත් නැති වෙයි”

රුපියල් දහයක් ඇහිඳීමෙන් එතෙක් මා හදවත නගමින් උන් ප්‍රීති ඝෝෂාව එතෙකින් නිම විය.

මා ඒ කතාව ඔබට කීවේ මල්ලී මුදල් වලට කෙතරම් ආශාවක් දැක්වූවාද කියා සිහි කරත්දී මතකයට ආ අතුරු කතාවක් ලෙසිනි. පරිවාස භාරයෙන් නිදහස් ව ගෙදර ආ දාට පසු දා ශනිදාවක් වූයෙන් පාසල් යාමක් නො තිබුණෙන් මට මල්ලී සමග නිදහසේ දවස ගත කළ හැකි විය. ගෙදරින් ඈත් ව වැරදිකරුවෙකු ලෙස බන්ධනාගාර ආරක්ෂාව යටතේ උන් දින කිහිපය තුළ ඔහු තව දුරටත් මනසින් මෝරා වැඩී සිටි බව මට දැනිණ. මිනිසුන් වියපත් කරවන්නේ අත්දැකීම් විසිනි. එදා සුබ පැතුම් පත් හදනා ගමන් අපි ගොඩක් කතා කළෙමු. මම හැකි තාක් ඔහු ගේ හිත හදා තැබුවෙමි. අවන්තගෙන් පළි දැරීමේ හිතක් ඔහු තුළ ඇති වී නම් එය නියපොත්තෙන් ම කඩා දැමීම මගේ අවශ්‍යතාවය විය. මල්ලිගේ සිහිනය දුරට දිගට ඉගෙන ගැනීම නොව මුදල් ඉපයීම බව ඒ කතා බහට අනුව එදා මම විශ්වාසයෙන් තහවුරු කොට ගතිමි.

මධාරා අක්කලාගේ ගෙදර ඇවිත් යන්න එන්න කියා ඇය මට ඇරයුමක් කළේ මේ කලබල සන්සුන් වී ගෙන යන අතරේ දිනෙක ය. නමුත් මා ලෝචන අයියා සමග එහි යනවාට අම්මා කිසි සේත් එකඟ නොවන බව මම දැන සිටියෙමි.

“ඕක කිය කිය ඉන්න දෙයක් නෑනෙ. කියන්නැතුව යනව”

ඒ යෝජනාව කළේ මල්ලී ය. ආශාවක් වී ද අම්මා ට හොර රහසේ එවන් ගමනක් යාම ගැන තිගැස්මක් මට වූයේ ය. 

“සෙනසුරාදාට මං ගෙදර ඉන්නවනෙ. අම්ම ආවොත් මං මොනා හරි කියන්නං”

පෙම් කරනා පිරිමියා සමගින් මොහොතකට තනි වීමට කෙළි හිතක වන රහසිගත ආශාවට තටු දෙන්නට හැම කෙල්ලක් ම කැමති ය. අම්මා මා ලෝචන ගෙන් මුවහ කර ගන්නට තැත් කළේ අප අහස හා පොළොව සේ යා කළ නො හැකි අන්ත දෙකකට අයත් මිනිසුන් බව ඇය විශ්වාස කළ හෙයිනි. එක අතකට අම්මා වැරදි නැත. ලෝකය මොන තරම් රුදුරුබත තැනක්ද යන වග ඇය ජීවත් වීමෙන් අත් විඳ තිබුණා ය.

එදා උදේ අම්මා ගෙදරින් නික්ම යත්දී මගේ හදවත පිච්චී යන සංවේදනයක් වින්දේ ය. සතියේ දින වල වාගේ සති අන්තයේ දී  ‘ගේට්ටුවයි දොරයි වහගෙන පරිස්සමට ඇතුළට වෙලා ඉන්න සුදූ’ කියා ඇය කියන්නේ නැත. ඒ මල්ලී ගෙදර සිටිනා නිසාවෙනි. ඒ දැවීමේ සංවේදනය, තමන් වරදක් කරනවාය යන හැඟීම ඇතිව රහසේ පෙම් කරනා ඕනෑ ම ගෑනු ළමයෙකු ගේ හිත පෙළනා හැඟීමක් කියා දැන් මම දන්නෙමි.

ලෝචන ආවේ කාර්යාල ඇඳුම් කට්ටලයකින් සැරසී ය. ඒ ඇඳුම් වලට ඔහු කෙතරම් කඩවසම් ද යත් මඳ වෙලාවකට මට ඒ පෞරුෂයෙන් ඇස් ඉවතට ගැනීමට අමතක වූ තරමි. සාක්කු වල දෑත් ඔබා ගත් ඔහු මඳහසකින් මවෙත ආවේ ය. පා ඇඟිලි වලින් ඇරඹුණ සීතලක් සිරුර දිගේ ඉහළ නැගෙනායුරු මට දැනිණ.

“මදාරාක්කලෑ දිහා යන්නැද්ද…”

මා අසා ගත්තේ ඔහු මගේ සිරුරේ ගෑවෙන නො ගෑවෙන තරමට ලං වූවාට පස්සේ ය. 

“කැශුවල් ආවනං නැන්දම්ම සැක කරනව”

මම ලැජ්ජාශීලී සිනහවක් නගා ගතිමි. ඒ තරම් කඩවසම් පෙමාතුර පිරිමියෙකු ඒ තරමට ලං ව සිටියදී මඳක් ලැජ්ජාශීලී ගෑනු ළමයෙකු ගේ හෘද ස්ඵන්දනයට සිදු වෙන දේ ගැන මා ඔබට අමුතුවෙන් කිව යුතුව ඇතැයි නො සිතමි. 

“වීක් එන්ඩ් එකේ මං එළියට යන්න ලෑස්ති වෙනවනං මං ගැන විපරමෙන් තමයි ඉන්නෙ. අද හිතන්නැති ඔෆිස් යන්න කියල. නැන්දම්මගෙ ඇස් වහල කෙල්ලව පොඩ්ඩක් එළියට අරං යනව බොරු”

හිම මිදෙන සීතලක් පපුව සිහිලැල් කළේ ය. මා හුස්ම ගත්තේත් කඳුකරයේ වන් සිහිල් සුළඟකි. ලෝචන මදුරාපුර සීතල කොල්ලෙකුගේ සීතල හැඟීමෙන් මා ගල් කරන්නට සමත් ව හිටියේ ය. නමුත් ඔහු ගේ ඇස් වල වූයේ නැවුම් හිරු මඬලක උණුහුමකි.

“යංද…”

මම ඇස් වලින් එකඟව මිදුලට බැස්සෙමි. මල්ලී එළවළු පාත්තියකට වතුර දමමින් සිටියේ ය.

“මල්ලි අපි යනව හොඳේ. රස්තියාදු ගහන්නැතුව පාඩං කරන්න ඕන හොඳේ”

“නැන්දම්ම සැක පිට කඩං පාත් වෙන්නත් බැරි නෑ හැබැයි. මාව බේරගනිං හරිද…”

“දැන් ටිකකට කලින් සුදූ පුස්තකාලෙට ගියා කියල විතරයි මං දන්නෙ. වෙන මොනාත් දැක්කෙත් නෑ දන්නෙත් නෑ”

“අන්න හරි”

මල්ලී අප සමග රිය අසලටම ආවේ ය. 

“බත් බෙදං කන්න හොඳේ. නිදා ගන්නෑ හරිද දවසම”

“හරි හරි. ඒ කොල්ලට ඕන විදිහට හුස්ම ගන්නවත් දෙන්නකො අප්ප”

කියමින් ලෝචන මදෙසට නැඹුරු වී අසුන් පටිය තද කළේ ය. මම ඔහු ගේ සුවඳින් පෙනහලු පුරවා ගතිමි. මගේ මුවග මඳහසක් නලියමින් තිබිණ. අහස ද වලාකුළු ද මට ඔච්චම් කරමින් මදෙස බලා සිටියා සේ ය. ලෝචන සතුටින් බව දැනිණ. ඔහු රිය පැදවූයේ උරුහම් බාමිනි. මග අයිනේ තැඹිලි විකුණන මිනිසෙකු ලවා කප්පා ගෙන අපි තැඹිලි බීවෙමු. එතැන සිටි සාස්තර කියනා රොඩී ගැහැනුන් පිරිසක් අපට සාස්තරයක් අසා යන ලෙස බල කර සිටියහ. 

“සීදේවි නෝනා කෙනෙක් තමයි මාත්තය මේනං. හැබැයි ලේසි වෙන්නෑ ඉස්සරහට. ප්‍රස්න තමයි එනව. අත පෙන්නන්න චූටි නෝනා. කිරි ගහට ඇන්නා වගේ වෙච්ච දේවලුයි වෙන්න තියන දේවලුයි ඔක්කොම කියන්නං”

මගේ හිත එතැන නතර වී ඔවුන්ට අත පාන්නට ම හැදුවේ ය. නමුත් ලෝචන මගේ අතකින් අල්ලා ගෙන රිය වෙත ඇද ගෙන ගියේ ය. 

“අනේ ඉතිං…අහමුකො…”

මා කන්කෙඳිරි ගාත්දීත් ඔහු මගේ ආසන පටිය දැමුවේ ය.

“වෙච්ච දේවල් අපි දන්නවනෙ නිබ්බුතා…වෙන්න තියන දේවල් දැන්ම දැන ගත්තහම කිසි ගතියක් නෑ. ඒව ඒ වෙලාවට දැන ගමු”

ඔහු රිය පණ ගන්වා ගත්දී මම මූණ නරක් කර ගෙන සිටියෙමි.

“ඩොක්ට කෙනෙක් වෙන්න නේද ඉන්නෙ…ඔය කීයක් හරි කඩා ගන්න කියන බොරු විශ්වාස කරනවද…ඊළඟට ඔය කියන බොරුවක් ගැන හිත හිත මූඩ් ගහං ඉන්න පුළුවන්නෙ”

මා මූණ ඇද කර ගත්දී, එත්දී තාරුකා මල් ගසකින් කඩා ගෙන ඩෑශ් බෝඩ් එක මත තබා ගත් තාරුකා මල් වලින් එකක් ගෙන ඔහු මගේ කොණ්ඩා කරලේ රැඳවූයේ ය.

මධාරා අක්කා මා පිළිගත්තේ ඉතා උණුසුම් ලෙස ය. ලෝචන සමගින් තනිව එවන් ගමනක් ගිය එක ගැන චකිතයක් ඇයට මූණ දෙත්දී මා තුළ වූවද ඕ එවැන්නක් ගැන කිසි සේත් සිතන්නට යමක් ඉතිරි කළේ නැත.

“අපේ අම්ම මේ සම්බන්දෙ ගැන ඔයාගෙන් ඇහුවොත් නිබ්බුතා මොනාද කියන්න හිතන් ඉන්නෙ…”

මාත් එක්ක කුස්සියේ තේ හදන ගමන් ඈ ඇසූ පැනය නිසා මට හුස්ම ගන්නට ද අමතක වූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles