දරුවන් හට ඔවුන්ට හැඟෙන දේ දෙමව්පියන්ට විස්තර කිරීම සඳහා සෑම විටම වචන ගලපා ගත හැකි වන්නේ නැහැ. එම නිසා ඒ හැඟීම් පැහැදිලිව ප්‍රකාශ කිරීම වෙනුවට, ඔවුන් බොහෝ විට ඒවා හැසිරීම තුළින් පෙන්වනවා. මතුපිටින් “නරක හැසිරීම” ලෙස පෙනෙන්නේ ඇත්ත වශයෙන්ම දරුවෙකු තම අභ්‍යන්තරයෙන් කුමක් හෝ අරගලයක් කරන බවට හෝ මානසිකව පීඩාවට පත්ව සිටින බවට සංඥාවක් විය හැකිය.
එවැනි අවස්ථාවලදී වැඩිහිටියන් ලෙස දරුවන් හට විනය හෝ දඬුවම් සමඟ ප්‍රතිචාර දැක්වීම පහසුයි. නමුත් බොහෝ අවස්ථාවන්හිදී, දරුවෙකුට සැබවින්ම අවශ්‍ය වන්නේ අවබෝධය, ඉවසීම සහ චිත්තවේගීය සහයෝගයයි.
දරුවන් තුළින් දැකගත හැකි මෙවැනි සලකුණු සහ සංඥා කලින් හඳුනා ගැනීමෙන් දරුවෙකුගේ විශ්වාසය, මානසික යහපැවැත්ම සහ සමස්ත සංවර්ධනයේ විශාල වෙනසක් ඇති කළ හැකිය.
හැසිරීමේ හදිසි වෙනස්කම්
දරුවෙකු හදිසියේම නිහඬ, මුළුගැන්වී සිටීමක හෝ සාමාන්‍ය පරිසරයෙන් ඈත්ව සිටියහොත් එය සරල අකීකරුකමක් විය නොහැකියි.ඔවුන් තුළින් දිස්වන එවැනි හදිසි වෙනස්කම් බොහෝ විට පෙන්නුම් කරන්නේ යමක් තද බල ලෙස ඔවුන්ට චිත්තවේගීය වශයෙන් බලපාන බවයි.
ඔවුන් බිය, ආතතිය, ව්‍යාකූලත්වය හෝ දුක සමඟ කටයුතු කරනවා විය හැකි නමුත් එය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි හරියාකාරව දන්නේ නැහැ . ඔවුන්ගේ එවැනි හැසිරීම් වලට දඬුවම් කිරීම වෙනුවට, ඔවුන් අරගල කරන්නේ කුමක් සමග දැයි මෘදු ලෙස විමසා ඔවුන්ට කතා කිරීමට ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීම අතිශයින්ම වැදගත්
නිතර කෝපයට පත්වීම සහ හිතුවක්කාර හැසිරීම්
බොහෝ විට කෝපයට පත් වන හෝ හිතුවක්කාර හැසිරීම් පෙන්වන දරුවන් සැමවිටම “වැරදි ලෙස හැසිරෙන” අය නොවේ. සමහර විට, ඔවුන් ඒ අවස්ථාවේදී ඔවුන්ට පාලනය කරගත නොහැකි හැඟීම් වලට යටපත් වී සිටිනවා විය හැකියි.
කුඩා දරුවන් හට වැඩිහිටියන්ට මෙන් චිත්තවේගීය හැඟීම් පාලනය කර ගැනීමේ කුසලතාවයක් නැහැ. යම් හේතූන් මත ඔවුන් කලකිරීමට පත් වූ විට, සිත රිදවාගෙන සිටින හෝ නොසලකා හැරීමකට ලක්වී සිටින විට, ඔවුන්ගේ එම හැඟීම් කෝපය ලෙස පිටතට පැමිණේ.
මෙම අවස්ථාවන්හිදී, සන්සුන් මඟ පෙන්වීම දඬුවම් කිරීමට වඩා හොඳින් ක්‍රියා කරන අතර ඔවුන්ගේ හැඟීම් නම් කිරීමට සහ කළමනාකරණය කිරීමට ඔවුන්ට ඉගැන්වීම රළු ලෙස ප්‍රතිචාර දැක්වීමට වඩා ප්‍රතිඵල ගෙන දෙනවා.
අසාමාන්‍ය ලෙස නිහඬ වීම හෝ සාමාන්‍ය පරිසරයෙන් ඈත්ව සිටීම
හදිසියේම සංවාද මඟහරින, සෙල්ලම් කිරීම නවත්වන හෝ හුදකලා වන දරුවෙකු චිත්තවේගීය වශයෙන් ක්‍රීඩාවට පත්ව සිටිනවා විය හැකියි.
මෙයට හේතු විය හැක්කේ,
තමා නොසලකා හැරීමට ලක්වී ඇතැයි සිතීම
තමා විනිශ්චයට ලක් වනු ඇතැයි බිය වීම
දුක හෝ කාංසාව
එවැනි අවස්ථා වලදී ඔවුන්ට “සාමාන්‍ය ලෙස ක්‍රියා කිරීමට” බල කිරීම වෙනුවට, මෘදු සහයෝගය සහ ආරක්ෂිත හැඟීම් ලබා දීම වඩා සුදුසු වන අතර සමහර අවස්ථාවලදී , ඔවුන් සමඟ නිහඬව වාඩි වී සිටීම පවා ඔවුන්ට නැවත ආරක්ෂිත බවක් දැනීමට උපකාරී වනවා.
නින්දේ හෝ ආහාර ගැනීමේ රටාවන්හි වෙනස්කම්
චිත්තවේගීය ලෙස දැනෙන අරගල බොහෝ විට දරුවෙකුගේ ශාරීරික පුරුදු වලට බලපානවා.
නිතර නිදාගැනීමේ අපහසුතා
බියකරු සිහින දැකීම
ආහාර රුචිය නැතිවීම හෝ අධික ලෙස ආහාර ගැනීම,
දරුවන්ගේ මනසට යම් දෙයක් බාධා කරන බවට පහසුවෙන් හඳුනා ගත හැකි සලකුණුයි. මෙම වෙනස්කම් නොසලකා හැරීමට වඩා, දරුවා සමඟ සන්සුන්ව කතා කර ඔවුන් අත්විඳින දේ තේරුම් ගැනීම වැදගත් වනවා.
අවධානය යොමු කිරීමේ අපහසුතාව හෝ කාර්ය සාධනයේ හදිසි පහත වැටීම
කලින් අවධානය යොමු කර තිබූ දරුවෙකු අධ්‍යයන හෝ ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව නැති වීමට පටන් ගන්නේ නම්, එය කම්මැලිකම විය නොහැකියි.
චිත්තවේගීය ආතතිය දරුවන්ට අවධානය යොමු කිරීම දුෂ්කර කළ හැකියි. හේතුව වන්නේ ඔවුන්ගේ මනස ඔවුන්ට නොතේරෙන කරදර හෝ හැඟීම් නිසා අවධානය වෙනතකට යොමු කරවීමයි. එවැනි අවස්ථාවන්හිදී පීඩනය හෝ දඬුවම් වලට වඩා දිරිගැන්වීම සහ සහයෝගය ලබාදීම මගින් ඔවුන්ට උපකාර කළ හැකිය.
ඕනෑවට වඩා අවධානය ලබා ගැනීමට උත්සාහ කිරීම
සමහර දරුවන් චිත්තවේගීය අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන්නේ තම දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට වැඩිපුර ඇලෙන සුළු වීමෙන් හෝ අවධානය ඉල්ලා සිටීමෙනි.
ඔවුන්ට,
තමා කරන කාර්යයන් සඳහා නිරන්තරයෙන් අනුමැතිය ලබා ගැනීම
නැවත නැවත සහතික කිරීම් ඉල්ලා සිටීම
පමණට වඩා දෙමාපියන් පසුපස වැටී සිටීම
වැනි හැසිරීම් රටා බොහෝ විට ඔවුන්ට අනාරක්ෂිත බවක් හෝ අවිනිශ්චිත බවක් දැනෙන බවට හැඟවෙන ලකුණුයි.එවැනි අවස්ථාවන් වලදී ඔවුන්ට බැණ වදිනවා හෝ ඔවුන්ව මඟහරිනවා වෙනුවට, නිරන්තර අවධානයක් සහ සහතිකයක් ලබා දීමෙන් ඔවුන්ට ආරක්ෂිත සහ වටිනාකමක් දැනෙනු ඇත.
පැහැදිලි හේතුවක් නොමැතිව ශාරීරික පැමිණිලි
දරුවන් සමහර විට ශාරීරික රෝග ලක්ෂණ හරහා චිත්තවේගීය වේදනාව ප්‍රකාශ කරනවා.
බඩේ කැක්කුම
හිසරදය
වෛද්‍ය හේතුවක් නොමැතිව අසනීප බවක් දැනීම
මේවා කාංසාවේ හෝ ආතතියේ සලකුණු විය හැකිය. ඔවුන්ගේ හැඟීම් බැහැර කිරීම වෙනුවට හොඳින් සවන් දීම සහ ප්‍රවේශමෙන් ප්‍රතිචාර දැක්වීම වැදගත් වනවා .
සමාජ හැසිරීම් වල වෙනස්කම්
හදිසියේම මිතුරන් මගහරින හෝ අන් අය සමඟ කටයුතු කිරීමට අරගල කරන දරුවෙකු තම අභ්‍යන්තරයෙන් චිත්තවේගීය අභියෝගවලට මුහුණ දෙනවා විය හැකිය.
ඔවුන්ට,
අනාරක්ෂිත බව
ප්‍රතික්ෂේප වන බව
අන් අය සමග ගැවසීමට ඇති අපහසුතාවය
වැනි තත්ත්වයන් ඕනෑවට වඩා දැනෙනවා විය හැකියි.එහිදී ඔවුන්ට බල කිරීම වෙනුවට, මෘදු ලෙස සහාය දී පියවරෙන් පියවර ඔවුන්ගේ විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට උදව් කරන්න.
නිෂේධාත්මක ස්වයං ප්‍රකාශ කිරීම
දරුවෙකු මෙවැනි දේවල් පැවසුවහොත්,
“මම හොඳ නැහැ”
“කිසිවෙකු මට කැමති නැහැ”
එය ඔවුන්ට චිත්තවේගීය සහයෝගය අවශ්‍ය බවට ප්‍රබල ලකුණකි.
මෙම සිතුවිලි ඔවුන්ගේ ආත්ම අභිමානයට ගැඹුරින් බලපෑ හැකිය. මෙම අවස්ථාවන්හිදී කරුණාව, දිරිගැන්වීම සහ සහතික කිරීම සමඟ ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත් වනවා
දරුවන් තුළින් දිස්වන සෑම කලබලකාරී සහ හිතුවක්කාර හැසිරීමකටම දඬුවම් අවශ්‍ය වන්නේ නැහැ . සමහර විට, එය උපකාර සඳහා නිහඬ ඉල්ලීමක් විය හැකියි.
දරුවන්ට ආරක්ෂිත බවක්, සවන් දීමක් සහ අවබෝධයක් දැනෙන විට, ඔවුන් තම හැඟීම් සෞඛ්‍ය සම්පන්න ආකාරයකින් කළමනාකරණය කිරීමට ඉගෙන ගන්නවා. දරුවන් රැකබලා ගන්නන්, ගුරුවරුන් සහ දෙමාපියන් ලෙස ඔවුන්ගේ ඉලක්කය යුතු වන්නේ දරුවන්ගේ හැසිරීම නිවැරදි කිරීම පමණක් නොව ඒ හැසිරීම් පිටුපස සිටින දරුවා තේරුම් ගැනීමයි.











