Harry Potter කතා මාලාවේ නිර්මාතෘවරිය – J.K.Rowling

ජොඈන් රෝලිං උපදින්නේ 1965 ජූලි 31 වෙනිදාවක  එංගලන්තයේ උතුරු බ්‍රිස්ටල් වල යේට් ගම්මානයේ යි.උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ ඇගේ ජීවිතය සුන්දර එකක් වුණේ නැහැ.පීටර් ජේම්ස් රෝලිං සහ ඈන් රෝලිං යුවල ඇගේ දෙමාපියන් වනවා. ඇගේ මව ප්‍රංශ සහ ස්කොට්ලන්ත සම්භවයක් සහිත වූවා. රෝලිංට වයස අවුරුදු හතරක් වන විට ඔවුන් වින්ටර්බොර්න් ගම්මානයට පදිංචියට ගිය නිසා ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ ශාන්ත මිචෙල් ප්‍රාථමික පාසලෙන්. ඇගේ හැරී පෝටර් කෘතිවල එන ඩම්බල්ඩෝර් චරිතය උපදින්නේ එහි ප්‍රධානාචාර්‍යවරයා වූ ඇල්ෆ්‍රඩ් ඩන් ඇසුරෙන් බව රෝලිං පසුව පවසා තිබෙනවා.

කුඩා දැරියක කාලයේ කතා ගොතමින් පවසන්නට වූ රෝලිං මුලින්ම ඒවා බෙදා ගත්තේ සහෝදරිය සමඟ යි. එක කතාන්දරයක තමන්ගේ සහෝදරියට ලෙනකට වැටී එහි සිටි හා පවුලක් ඇයට ස්ට්‍රෝබෙරි කැවූ අයුරු ගොතා කී හැටි රෝලිං තවම සිහි කරනවා. ඇය අවුරුදු පහක හයක කාලයේ දී තමන්ගේ පළමු කතාව ලියා තිබෙනවා. ඇයට අවුරුදු නවයේ දී ඔවුන්ගේ පවුල  වේල්ස් හි චෙප්ස්ටෝව් නගරයේ ග්ලොසෙස්ටර්ශයර් ගම්මානයට පැමිණ තිබෙනවා. එහිදී රෝලිංගේ නැන්දනිය ඇයට ජෙසිකා මිට්ෆෝර්ඩ්ගේ චරිතාපදානය තෑගි කිරීමෙන් ඇගේ කියවීමේ ආශාව අවදි කර තිබෙනවා. ඕනෑම කුඩා දැරියකට සිදු වන්නාක් මෙන් ඉන් පසු මිට්ෆෝර්ඩ් ඇගේ වීරවරිය බවට පත් වී රෝලිං ඇගේ සියලුම කෘති කියවා තිබෙනවා.

රෝලිං පවසන ආකාරයට ඇගේ පාසල් කාලයේ චරිතය හර්මයිනිගේ චරිතය ගොඩ නඟන්නට හේතු වී තිබෙනවා. උසස් අධ්‍යාපනයෙන් පසු වසරක් පමණ පැරීසියේ අධ්‍යයන කටයුතු වල නිරත වී ඇය පර්යේශකයෙකු සහ ද්විභාෂා සහායකවරියක ලෙස ඇම්නෙස්ට්‍රි ඉන්ටර්නැශනල් ආයතනයේ සේවය කිරීම සදහා ලන්ඩන් නගරයට පදින්චියට පැමිණ තිබෙනවා.

1990 දී මැන්චෙස්ටර් සිට ලන්ඩන් දක්වා ගමනක් අතරතුර දුම්රියකින් මායා පාසැලකට යන දරුවෙකුගේ කතාවක් ඇගේ මනසට ගලාගෙන එනවා. ඉන්පසු ඇය එය ලියා තැබීම අරඹනවා.එහෙත් ඒ වසරේ දිගු කාලයක් රෝගාතුර වී සිටි ඇගේ මව මිය යනවා.

“අම්මාට හැරී පෝටර් ගැන පවසන්නට මට නොහැකි වුණා..” ඇය ඒ ගැන එසේ පවසනවා. එය ඇගේ ලේඛනයට ද බලපාන අතර හැරීගේ මාපිය වියෝව ගැන ඈ අතින් ලියවෙන්නට ද හේතුව එයයි.

1992 පෘතුගාලයේ ඉංග්‍රිසී ගුරුවරියක වූ රෝලිං එහි මාධ්‍යවේදියකු වූ ජෝර්ජ් සමඟ විවාහ වී ජෙසිකා ඉසබෙල් නම් දියණියකට මව බවට පත් වෙනවා.ඒත් මේ විවාහය 1993 නොවැම්බර් මස අවසන් වෙනවා.දෙසැම්බර් මාසයේ රෝලිං දියණිය සමඟ ස්කොට්ලන්තයේ වුසූ තම සහෝදරී වෙත එනවා. මේ කාලයේ දැඩි ලෙස රෝගාතුර වන ඇය ජීවිතයේ අඳුරුතම යුගය ගෙවීම අරඹනවා. විවාහය දෙදරා ගිය ඇය රැකියා විරහිත මවක්.

නමුත් ඇගේ සටන ඇරඹෙන්නේ ඉන්පසු යි. ඉතින් ඇය ඇගේ පැරණි ටයිප් රයිටරය ද උදව්වට ගෙන අභියෝගයක් හඹා යාම අරඹනවා ස්කොට්ලන්තයෙහි ඉගැන්වීම සදහා ඇයට පශ්චාත් උපාධියක් අවශ්‍ය වූ අතර මේ සදහා ඇයට 1995 සිට අවුරුද්දක් පමණ පූර්ණ කාලීන අධ්‍යයන කටයුතු වල නිරත වීමට සිදු වූවා. මේ වන විට ඇය තම ප්‍රථම කෘතිය අවසන් කර තිබුණා. කුඩා අවන්හල් වලදී සහ දියණිය නිදා ගන්නා ඕනෑම මොහොතක ඈ ලිවීමට පෙළඹී තිබෙනවා.

Harry Potter and the Philosopher’s Stoneනම් ඇගේ පළමු කෘතිය ප්‍රකාශකයන් දොළොස් දෙනෙකුම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය කුඩා ප්‍රකාශන ආයතනයක් භාර ගන්නා අතර තිස් හැවිරිදි ඈ ඉන් උපයා ගත් ආදායම ඩොලර් 4000ක් පමණ වෙනවා.

Bloomsbery ආයතනයේ ප්‍රකාශකයා ඔහුගේ කුඩා දියණියට හැරී පෝටර් පළමු කොටස කියවන්නට දෙන්නේ මින් වසරකට පසු. දියණිය එහි දෙවැනි කොටස ඉල්ලා සිටිමින් පෙරැත්ත කරන්නට වූ අතර ඔහු රෝලිංට දෙවැනි කොටස ලියන්නට ආරාධනා කරනවා.

සියල්ල වෙනස් වන්නේ තුන්වැනි හැරී පෝටර් පොතත් සමඟ. ඈ ලෝ පතළ ලේඛිකාවක වන අතර වසර තුනකින් ඉපැයූ ආදායම ඩොලර් මිලියන 480ක් වනවා. ලොව පුරා භාෂා තිස් පහකට හැරී පෝටර් පරිවර්තනය වී පිටපත් මිලියන 55ක් අලෙවි වෙනවා.New York Times පුවත්පතට අනුව ලෝකයේ ඉහළින්ම අලෙවි වන කෘති අතරට එක් වනවා.

හයවෙනි හැරී පෝටර් කෘතිය ලෝකයම පුදුම කරන්නේ පිටවී පැය විසි හතරක් ගෙවෙද්දී පිටපත් මිලියන 6.9 අලෙවි වීමත් සමඟයි. ඉන්පසු කෘති වලට ඇණවුම් ලැබෙන්නේ ප්‍රකාශයට පත් වීමටත් පෙර සිටයි.

ඇගේ ජීවිතකතාව අතිශය දුක්ඛිත ජීවන තත්වයක සිට ලොව ධනවත්ම පුද්ගලයන් අතරට අවුරුදු පහක් වැනි කෙටි කාලයකදී ළගා වූ අතිශය පෙරළිකාර කතාන්දරයක්. ෆෝර්බ්ස් සගරාවට අනුව ඇය 48 වැනි වඩාත්ම ප්‍රභල තරුව ලෙස නම් කළ අතර ටයිම්ස් සගරාව ඇයගේ සාමාජීය සහ දේශපලනික දායකත්වය මත ඇයව 2007 දී වසරේ චරිතය ලෙසින් නම් කරනවා. 2010 ඔක්තෝම්බර් මස වන විට ඇයව බ්‍රිතාන්‍යයේ වඩාත්ම ජනාදරයට පත් කාන්තාව ලෙස හඳුන්වනවා. ඇයගේ සමාජ සත්කාරයන් හා නොමසුරු පරිත්‍යාගයන් මත ඇයව සමාජ සේවිකාවක් ලෙසින්ද ප්‍රකට වී තිබෙනවා. මේ වෙද්දී ඇගේ ආදායම ඩොලර් මිලියන 95 පසු කරමින් තිබෙනවා. ඈ ලෝකයේ සිටින ධනවත්ම කාන්තාවන් අතර ඉහළම ස්ථානයක පසු වෙනවා.

2001 වසරේ නිර්වින්දන වෛද්‍යවරයෙක් වූ නීල් මුරේ හා විවාහ වන ඇයට තවත් දියණියක් හා පුතෙක් සිටිනවා.

හැරී පෝටර් චිත්‍රපට අද වනවිට ආදායම් වාර්තා බිඳ හෙළූ චිත්‍රපට යි.

ඔබ මෙතෙක් දැක නැති පුදුමාකාර දේවලින් ලෝකය පිරී තිබේ. ඒවා දැකීමේ අවස්ථාව කිසි විටෙකත් අත් නොහරින්න. ”

ඇගේ මායා සිහින කිසිම දිනක අවසන්වන එකක් නැහැ. ඉතින් ලිවීම නිසා ධනපතිනියක වූ ඇය තව තවත් බොහෝ දෑ ලෝකයේ දරුවන් වෙනුවෙන් ලියා තබන බව සහතිකයි.

පැරදීම සහ ප්‍රතික්ෂේප වීම ජීවිතය අත් හැර දැමීමට හේතුවක් නොවේ.

මේ ස්මාර්ට් ගැහැනිය අප වෙනුවෙන් ලියූ සොඳුරුතම කතාන්දරය එය නොවේ ද..
එය හැරී පෝටර් කතා මාලාවටත් වඩා සුන්දර ම දෙය නොවේ ද?

Related Articles

Don't Miss


Latest Articles