නීතියට උස්පහත් භේද නෑ -Jai Bhim

මිනිසුන් උසස් වන්නේ කුලයෙන් නොව ක්‍රියාවෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන බව බෞද්ධ ආගමිකයන් වගේම ඕනෑම ආගමිකයකු දන්නවා ඇති.එය එතරම්ම විශ්වාස කළ යුතු සහ පිළිපැදිය යුතු කතාවක්.නමුත් ආසියානු රටවල තවමත් කුල භේදය වසංගතයක් වී පැතිර යන බව රහසක් නෙවෙයි.

ඉන්දියාවේ ඇති මෙවැනි කටුක සිදුවීම් සම්බන්ධ සත්‍ය හෙළිදරව් කරන චිත්‍රපටියක් තමයි Jai Bhim.පැය දෙකක් සහ මිනිත්තු හතලිස් හතරක ධාවන කාලයක් සහිත Jai Bhim රචනා කරන්නේ T.j Gnanavel. අධ්‍යක්ෂණය 2D Entertainment ආයතනයයි.

1995 වසරේ පමණ ටමිල්නාඩුවේ සිදුවූ සත්‍ය කතා පුවතක් මෙයට පසුබිම් වී තිබෙනවා.කුල හීන කණ්ඩායමක හිඳින ගැබිණි කාන්තාවක් පොලිස් අත්අඩංගුවේ සිට අතුරුදහන් වූ ඇගේ සැමියා සොයා යන සත්‍යය කතාවක් මෙයට පදනම් වෙනවා.අපරාධයකට වැරදි කාරයෙක් සොයා ගන්න අපහසු අවස්ථාවල පොලිසිය විසින් වැරැද්ද අසරණ කුල හීනයෙකු පිට පවරා වැරැද්ද භාර ගන්නා තුරුම ඔහුට වධ හිංසා කිරීම ඉන්දියාවේ තවම සිදු වෙන බව කියැවෙනවා.ඉන්දීය පොලිසිය අපරාධ කල්ලිවලින් අල්ලස් ලබාගෙන මේ අඩු කුල ගෝත්‍රික ජනයාව බොරු නඩුවලට පටලවා බන්ධනාගාර ගත කරනවා. එක නඩුවකින් නිදහස් වෙලා එළියට එද්දී බන්ධනාගාරයෙන් එළියේ තියෙන බස් එකකට පටවාගෙන ගිහින්බොරු නඩුවකට පටලවන අවස්ථා පවා තිබෙනවා.

“පොලිසිය බොරු නඩුවකට අපේ තාත්තා අරන් ගියා.එදා ඉඳලා පන්තියේ පැන්සලක් නැති වුණත් වැරදි කාරයා මම..”

චිත්‍රපටියේ එක් තැනක කුඩා දරුවෙකු අතින් එවැනි දෙබසක් කියවෙනවා.මොනතරම් දරුණු ලෙස මේ කාරණාවෙන් මේ කුලහීන සමාජය පීඩා විඳින්න ඇතිදැයි කියන්නට වෙන නිදසුන් අවශ්‍ය නැහැ.

චන්ද්‍රෘ කුලහීන හීන ජනයාගේ මානව හිමිකම් නඩුවලට නොමිලේ පෙනී ඉන්න නීතිඥයෙක්රාජකන්නු සහ සෙංගනී කියන්නේ ඉරුලර් කුලයට අයත් අඹු සැමි යුවළක්. ඔවුන්ගේ රැකියාව මී උවදුර මර්ධනය කිරීම සහ සර්පයෝ ඇල්ලීම.එක්තරා දිනයක ගමේ උසස් කුලයක කෙනෙක්ගේ නිවසක් හොරු බිඳලා රන් බඩු මංකොල්ල කනවා.මෙයට සැකපිට පොලිසියෙන් අත්අඩංගුවට ගන්නේ රාජකන්නු සහ ඔහුගේ මල්ලිත් මස්සිනාවත්.පොලිසියට ගෙනියන මේ තුන් දෙනාට හොරකම පිළිගන්න කියලා අමානුෂික විදිහට පහර දෙනවා. කුලයෙන් පහත් වුණත් “හොරා” යන නරක නාමයට අකමැති රාජකන්නු චෝදනා පිළිගන්නේ නැහැ. මේ පහරදීම් නිසා රාජකන්නු මියයනවා.පොලිසිය ඒ මරණය සඟවන්න උත්සාහ ගන්නවා.කුලහීන මිනිස්සුන්ට අකුරු කියලා දෙන්න ඔවුන්ගේ ගමට මෛත්‍රා නම් ගුරුවරියක් එනවා.සෙංගනී තමන්ගේ සැමියාට වූ අසාධාරණය මෛත්‍රාට පවසනවා.මෛත්‍රා තමයි සෙංගනීව නීතිඥවරයා ළඟට රැගෙන යන්නේ.

නීතිඥ කේ චන්දෘ අසරණ භාවයට පත් කුලහීනයන් වෙනුවෙන් නඩු අනූ හයදහස් ගණනකට පෙනී සිටි විශිෂ්ට නීතිඥවරයෙක්.සැබෑ චරිතයක් වූ ඒ කීර්තිමත් නීතිඥවරයාගේ චරිතය නිරූපණය කරන්නේ සූර්යා විසින්.

“පොලිස් නිලධාරීන් ගැන මෙච්චර තරහක් ඇයි ? මෙච්චර වෛරයක් ඇයි ?
ඒ වෛරයක් නෙවෙයි !
ඒ සමාජයේ ආදරය සහ රැකවරණය වෙනුවෙන් විතරයි.”

නීතියට උස්පහත් භේද තිබිය යුතු නැහැ.අසරණයා පෑගීම වෙනුවට යුක්තිය සහ සාධාරණත්වය ලෝකය පුරා එක හා සමානව පැතිර යා යුතුයි.

සෙංගනී ධෛර්යමත් කාන්තාවක්.අප ඇය වැනි කාන්තාවන් සතු ධෛර්යවන්ත භාවයට හිස නමා ආචාර කළ් යුතුමයි.සංවේදී බව උතුරා යන මේ චිත්‍රපටිය මඟ නොහැර නරඹන්න.සෙංගනී තමන්ගේ දරු දෙදෙනාගේ පියා වෙනුවෙන් පමණක් නෙවෙයි,අසාධාරණයට එරෙහිව සටන් කළ ගැහැනියක් බව ඔබටත් වැටහේවි.ඇය නිශ්ශබ්ද වී නීතිඥවරයා මුණ නොගැසී සිටියානම් මෙය මෙසේ අවසන් වන්නේ නෑ

ජය බිම් කියන්නේ අඳුරෙන් ආලෝකයට එන මාර්ගයට!

චිත්‍රපටිය අවසන් වෙන්නේ එවැනි අදහසක් සහිත මරාති කවියකින්.අඳුර මඟ හැර ආලෝකයට එන්නට සටන් කළ දහස් ගණනකගේ කඳුල ඔබත් අනිවාර්යයෙන් නරඹන්න.ලෝකය ගැන ඔබට තවත් අදහසක් මේ චිත්‍රපටිය රැගෙන ඒවි.

Related Articles

Don't Miss


Latest Articles