හදවතට ළඟ නොස්ටැල්ජියානු ආදර අන්දරය – Hridayam

ආදරේ අපිට හමුවෙන්න පුලුවන් එක පාරයි කියල කිව්වට මේ ජීවිත ගමන ඇතුලෙ ආදරේ එක එක විධි අපිට නිතර නිතර හම්බවෙනවා. ආදරේ කියන්නෙ අපි ප්ලෑන් කරල, කාල සටහන් හදල අරඹන දෙයක් නෙවෙයිනේ. අ[ඉ නොහිතන වෙලාවක, නොහිතපපු තැනකදි, නොහිතපු කෙනෙක් වෙනුවෙන් ඇති වන හරි ලස්සන හැඟීම් සමූහයක් තමයි ආදරේ කියල කියන්නේ.

ආදරේ කියන්නෙ හිත මෙහෙයවන රැහැන් පටවල ගොඩක් වගේ.

ඉතින් අද මේ Movie Review එකෙන් මම කතා කරන්න යන්නේ “Hridayam” කියන මලයාලම් ආදර කතාවක් ගැන.

“Hridayam”  කියන නමේ තේරුම හදවත කියන එක.

අපි හැමෝම දන්න දෙයක් තමයි මානුෂීය හැඟීම් පිරිච්ච හිතකට විතරයි අවංකවම ආදරයෙන් බැඳෙන්න පුලුවන් කම ලැබෙන්නේ. ඉතින් මේ  “Hridayam”  චිත්‍රපටය විනීත් ශ්‍රීනිවාසන් විසින් අධ්‍යක්ෂණය කරපු, බලන ප්‍රේක්ෂකයන්ව පවා තමන් අතීතයේ හැරදමා ආ, එහෙම නැත්තම් තමන්ට මග හැරුණ ආදර කතාවන් ගැන හිතන තැනකට අරගෙන යන්න පුලුව්න විදියෙ හරිම නොස්ටැල්ජියානු හැඟීම් පිරිච්ච හැඟීම්බර චිත්‍රපටයක්.

 2022 දී නිකුත් කරන කරපු මේ චිත්‍රපටය ඔස්සේ ආදරේට අමතරව  තාරුණ්‍යයට අදාල සිතුවිලි, හැඟීම්, දැනීම් ගැන වගේම තරුණ කොල්ලො කෙල්ලො තමන්ගෙ ජීවිතේ අරමුණු කරා යන විදිය, තමන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ඉස්සරහ ඔලුව උස්සල ඉදිරියට යන්නෙ කොහොමද කියන දේ ගැන හරි අපූරුවට පැහැදිලි කරනවා.

චිත්‍රපටය ආරම්භ වන්නේ 2000 දශකයේ මැද භාගයේදී කේරළයේන්. කේරලේ කියන්නෙ හරිම ලස්සන පලාතක් බව අමුතුවෙන් කියන්න ඕන නැ. මේ කේරලයේ ඉන්නවා අරුන් කියල කොල්ලෙක්. මේ අරුන් චෙන්නායි හි ඉංජිනේරු විද්‍යාලයකට ඇතුළත් වෙනවා.

අන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.

මතකද ඒලෙවල් කරන කාලේ අපේ ගුරුවරු කිව්වා “ඉස්කෝලෙ යන කාලේ සමබ්න්ධකම් හදාගන්න එපා, කැම්පස් යන්න එතකොට හරි කෙනෙක් හම්බෙයි” කියල. ඒ කතාවෙ ඇත්ත නැත්ත මොකක් උනත් අපේ කතා නායකයා වෙච්ච අරුන්ට තමන්ගෙ ජීවන සහකාරිය කියල හිතිච්ච දර්ශනාව හම්බුවෙන්නෙ.

 ලංකාවෙ වගේම තමයි මේ චෙන්නයි විශ්ව විද්‍යාලයෙත් පළවෙනි අවුරුද්දෙ කොල්ලන්ට කෙල්ලන්ට යාලුවෙන්න තහනම් රැග් පීරියඩ් එකක් තිබිල තියෙනව. ඒත් ඉතින් සමාජ තත්ත්වය, ආගම්, කුල වගේ සීමාවන් ගැනවත් හිතන්නෙ නැති, ආදරේකින් හිත පිස්සු වට්ටගත්ත තරුණ හෝමෝන ක්‍රියාකාරිත්වය හොඳටම තියෙන කොල්ලන්ට කෙල්ලන්ට රැග් එක ආදරේට බාධාවක් වෙනවද?

නෑනෙ.

ඉතින් අරුන් – දර්ශනා ජෝඩුවත් තමන්ගෙ සීනියර්ස්ලගෙ ඇණුම් බැණුම් රැවුම් ගෙරවුම් මැද්දෙ තමන්ගෙ ආදර කතාව කරගෙන යනවා.ඒත් ඉතින් ප්‍රශ්න එන්නෙ අපිට කියල නෙවෙයිනේ. ඒ වගේම මහ අවාසනාවන්ත මොහොතක වෙච්ච ප්‍රශ්නයක් නිසා අරුන් – දර්ශනා ආදර කතාව අතරමග නතර වෙනවා.

ඒකට ලොකුවටම බලපාන්නේ අරුන්ට තරහ යන එක වුණාට තමන්ගෙ ක්‍රියාවෙන් මේ වගේ ප්‍රතිපලයක් ලැබෙවි කියල අරුන් කවදාවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ.

ඒ විදියට නොහිතපු විදියට මෙච්චර දවසක් තමන්ගෙ ජීවන සහකාරිය විදියට ළඟ උන්නු දර්ශනාව අහිමි උනාට පස්සෙ අරුන් වගේ ආදරණීය මනුස්සයෙක් මානසිකව කඩන් වැටෙන එක අමුතු දෙයක් නෙවෙයි. ආදරයක් නිසා මානසිකව බිඳ වැටුනම ගොඩක් කොල්ලො යන පාරෙම අරුනුත් යනවා. දර්ශනාගෙන් හිස්වෙච්ච ජීවිතේ අඩුව මකන්න අරුන්ට ලංවෙන්නෙ මත්පැන් සහ ඒ මත්පැන් එක්ක මුහු වෙච්ච කරදර මහ ගොඩක්.

මේ අතරෙ අරුන්ට මායාව හම්බෙනවා. ඒත් ඒ සම්බන්ධෙ ඇතුලෙදි අරුන්ට තමන්ට උවමනා කරන, තමන් හොයපු, සරලවම කිව්වොත් තමන්ට දර්ශනාගෙන් ලැබිච්ච ආදරය, නිවීම සහ සැනසීම හම්බෙන්නෙ නෑ.

ගොඩක් තරුණයන් කරන දෙයක් තමයි තමන් ජීවිත කාලයක් පුරාවටම ආදරය කරපු කෙනෙක් තමන්ගෙ වරදක් නිසාම ජීවිතෙන් ඇත් වෙලා ගියාට පස්සෙ ඒ හිඩැස මකාගන්න ඉක්මනට හරි කලබල සබඳතා වල පැටලෙන එක. අරුන්ටත් ඒ ධර්මතාවය පොදු වෙනවා.

ඒ වගේ සතුටක් නැති ආදර සබඳකම් වල අරුන් පැටලිගෙන ඉද්දි දර්ශනාගේ ජීවිතෙත් තනියෙම ගෙවෙන්නෙ නෑ. දර්ශනාට හම්බෙනවා කේදර් ව, ඒත් “කේදර් කියන්නෙ මහ ජරා මිනිහෙක්, ඔයාට එයාව ගැලපෙන්නෙ නෑ” කියල අරුන් කියන වචන අහන්නෙ නැතුව දර්ශනා කේදර් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා.

ගොඩක් කෙල්ලො කොහොමත් අලුතෙන් සබඳතාවයක් පටන් ගත්තම සෑහෙන උත්සාහ දරනවානෙ “ඔයාට වඩා මට ගොඩක්ම ගැලපෙන්නෙ මෙයා, ඔයා වගේ නෙවෙයි මෙයා හරී හොඳයි” කියල පරණ පෙම්වතාට පේන්න හැසිරෙන්න. සමහරවිට දර්ශනා උනත් හිතන්න ඇත්තෙ ඒ විදියට.

මොන මොන විදියෙ හිත් සංකා හැල හැප්පීම් වුණත් අපිට ජීවිතෙන් නවතින්න බෑනෙ. ජීවිතේ නවතින්නෙ නෑ.

ඉතින් ඒ විදිය නොනවතින ජීවිත ගමනක් යන අරුන්ගෙ ජීවිතේ වෙනස් කරන්න එයාලගෙ අම්මලා සෑහෙන මහන්සි වෙනවා. දෙමව්පියන් කියන්නෙ කොහොමත් ප්‍රදීපාගාරයක් වගේනේ. දරුවන්ගේ ජීවිත, කරදර බාධක පිරිච්ච මහ සාගරේක කුණාටු මැද්දෙ හමා යද්දි ආපහු පරිස්සමට ගෙදර එන්න පාර කියන්නෙ අම්මලා.

අරුන් එතනදි හොඳ තීරණයක් ගන්නව. ඒ තමන්ගෙ දෙමව්පියන්ගේ වචන වලට ඔලුව නවලා තමන්ගෙ මග ඇරිච්ච පාඩම් වැඩ කරගෙන ඉස්සරහට යන්න.

‍යාලුවොත් එක්ක එකතුව්ලෙආ යාලුවන්ගෙන් උදව් අරගෙන ආයෙමත් තමන්ගෙ ඉගෙනීමේ වැඩ කටයුතු කරගන්න අතරෙ අරුන්ගෙ හිත ආයෙ රිදෙන්නෙ හොඳම යාලුවෙක් බස් අනතුරකින් මිය යාමත් එක්ක. ඒත් හැමදේම කොහොමහරි දරාගෙන ඉගෙනීමේ කටයුතු ඉවර කරන අරුන් වෙඩින් ෆොටෝග්‍රැපි වලට එකතුවෙනවා.

එහෙම ඉද්දි තමයි අරුන්ගෙ මේ අලු පාට ජීවිතේට පාට පාට අරගෙන නිත්‍යා එන්නේ. හිමින් හිමින් මල් පොහොට්ටු පිපෙන්න පටන් ගන්න අරුන් නිත්‍යා ආදර කතාව ඉවර වෙන්නේ ඒ දෙන්නා විවාහ වෙලා.

එහෙම කාලෙ සන්තෝසෙන් ගෙවිල යද්දි අරුන්ට සහ නිත්‍යාට ආරාධනා ලැබෙනව දර්ශනාගේ විවාහ මංගල්‍යයට සහභාගි වෙන්න. ඒ වෙද්දි දර්ශනාව සම්පූර්නයෙන්ම හිතෙන අමතක කරල අලුත් මනුස්සයෙක් වෙච්ච අරුන්ට මේ හමුවිම මහ ලොකු දෙයක් නොවුණට දර්ශනා තාමත් හිතෙන් ඉන්නෙ අරුන් එක්ක යාලුවෙලා උන්නු කාලෙ.

කාලය ගෙවිල ගියාට දර්ශනාගෙ හිත වයසට ගිහින් තිබුණෙ නෑ. දර්ශනාගෙ මංගල උත්සවයෙදි මේ වෙන දෛවෝපගත හමුවීම අරුන් සහ දර්ශනා දෙන්නටම තමන්ගෙ අතිතය මතක් කරල දෙනවා.

දර්ශනා අරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. යාලුවෙලා උන්නු කාලෙ තමන් ඇවිදපු මුහුදු වෙරලට රැයක එන්න කියල තමන්ව හමුවෙන්න.

අරුන් නිත්‍යාට හොරෙන් දර්ශනා මුණ ගැහෙන්න යනවා. ඒ නිත්‍යා නිදාගෙන ඉද්දි. ඒත් අරුන් නොදැන උන්නට නිත්‍යා දැනගනවා අරුන් යන්නෙ දර්ශනාව මුණ ගැහෙන්න කියලා.

එතනින් එහාට මොකද වෙන්නේ?

ඒ ගැන දැනගන්න ඔයාලා “Hridayam”  බලන්නම ඕන.

සමහරවිට ඒ ඔයාගේ කතාව වෙන්නැති. අතීතයේ අමතක කරල දාලා ආව ආදරයක් වර්තමානයේ දවසක ආයෙ හමු උනොත් සිත අතීතෙට ඇදිල යන එක අපිට නවත්තන්න හරි අමාරුයි.

ඒත් ඒ අතීතය වර්තමානයේ අපි ළඟ ඉන්න අයට රිදවනවනම් අපි ඒ තිරණේ ගන්නවද නැද්ද කියන එක පවා මොනතරම් වාරයක් හිතන්න ඕනද කියන කතාව ඉතාම හැඟීම්බරව කියල දෙන චිත්‍රපටයක් විදියට “Hridayam”   හඳුන්වන්න පුලුවන්.

“Hridayam”  කියන්නේ ආදර කතාවක්ම විතරක් නෙවෙයි.

ජීවිතේ ගැන කතාවක්. අපි ගන්න තීරණ ගැන කතාවක්.

ඉතින් ඒ කතාව කියවන්න. “Hridayam”   ඔයාගෙ හිතටත් ළඟ කතාවක්ද කියල දැනගන්න.

කතාව අවසානයේ අරුන් – දර්ශනා – නිත්‍යා ආදර කතාව කොයි විදියට ඉවර වෙයිද කියල අපි බලලම දැනගමු.

Related Articles

Don't Miss


Latest Articles