දරුවෙක් ලැබුනු මවක්ගේ යහපත් මානසික මට්ටම රැක ගැනීම පවුලේ හැමෝගෙම වගකීමක්

ඕනෑම පවුලකට අලුතෙන් දරුවෙකු එකතු වීම කෙතරම් සතුටක්ද කියලා අමුතුවෙන් කිව යුතු නැහැ.සියලුම දෙනාගේ ආදරය අවධානය අලුත උපන් පුංචි බිලින්දා වෙතට යොමු වෙනවා.දරුවාගේ සැප පහසුව ගැන වගේම සෞඛ්‍ය ගැන වදවෙන්න බොහෝ පිරිසක් ඉදිරිපත් වෙනවා.මේ සියලු දේවල් අතරින් ඉතාමත් වැදගත් ,අවධානයක් අවශ්‍ය ජීවියෙකු මගහැරෙනවා.ඒ දරුවාගේ අම්මා.

ඔබ ,දරුවකු බිහි කළ කාන්තාවක් නම් දරුවකු බිහි කිරීමේ කාර්යය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ .එය ඔබේ ජීවිතය කායිකව මෙන්ම මානසිකව කෙතරම් වෙනසකට ලක් කරනවා දැයි අමුතුවෙන් කිව යුතු නැහැ.
ඉතින් දරුවකු ලැබුණ අලුත සියලු දෙනාගේම අවධානය දරුවා වෙතට යොමු වෙනවා මිස දරුවා බිහිකළ කාන්තාව වෙතට යොමුවෙන්නේ ඉතාමත් අඩුවෙන්.මෙය ඉතාමත් ශෝචනීය තත්ත්වයක් වන්නේ දරුවෙකු බිහි කිරීම නිසා ඇතිවන කායික මානසික විපර්යාසය සමගම මවට විවිධ මානසික සංකූලතා ඇති වීමේ හැකියාව වැඩිවීමයි.එම නිසා දරුවා තරමටම අලුත් මව කෙරෙහිත් අවධානය යොමු විය යුතුමයි. එය පවුලේ සැමගේම යුතුකමක් වෙනවා.

මානසික සංකූලතා

දරුවා බිහි වී සති දෙක තුනක් ඇතුළත මානසික ව්‍යාකූලතා ඇතිවීම හරිම සාමාන්‍යයි.එම කාල පරාසය වසරක් දක්වා දික් වෙන්නටත් පුළුවන් .ශ්‍රී ලංකාවේ වගේම ලොවපුරා මව්වරුන් පසු ප්‍රසූති විශාදයට ලක් වෙනවා.
නමුත් ,පවුලේ අයගේ ආදරය,අවධානය ,අවබෝධය තිබේ නම් එය 100% අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා.

දරුවෙකු බිහි වීමෙන් පසු කාන්තාවක තුළ මේ වෙනස්කම් ඇතිවෙනවාදැයි සැලකිල්ලෙන් සිටින්න .

  • අසතුටින් සිටීම
  • පරාජිත ස්වභාවය
  • බලාපොරොත්තු රහිත බව
  • නිතරම කේන්ති ගැනීම
  • නින්ද නොයාම
  • නිතර කඳුළු සැලීම
  • ආහාර අරුචිය
  • සමාජ ආශ්‍රයෙන් ඈත් වීම
  • තමා ගැන ඇති නොසැලකිලිමත් බව
  • දරුවාව ප්‍රතික්ෂේප කිරීම
  • අන් අය තමාට ආදරේ නැති බව සිතීම
  • තමන්ගෙන් දැන් වැඩක් නැති බව සිතීම
  • දරුවා හෝ තමා හෝ මිය යයි බියක් ඇතිවීම .

මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට පෙර අවබෝධය සහිතව ක්‍රියා කිරිම සුදුසු වෙනවා .ගැබිනි සමයේදීම සායනවලින් සහ තමන් ස්වයංව කියවා ලබා ගන්නා අවබෝධය හරිම වැදගත් .මෙහිදී සැමියා ට කිරීමට ඇති කාර්යභාරය හරිම වැදගත්.

සැමියා ලෙස මේ සහයෝගය ලබාදෙන්න

  • වෙනදාටත් වඩා ආදරය කරුණාව අවධානය දක්වන්න .
  • ඇයගේ සියලුම වැඩ සඳහා සහයෝගය ලබා දෙන්න.
  • දරුවාටත් වඩා මවට අවධානය යොමු කරන්න .
  • රාත්‍රී කාලයේදී දරුවා නිතරම ඇහැරෙනවා නම් නිදිකිරීම් කටයුතු සඳහා සහයෝගය දක්වන්න .
  • නිවසේ කෑම සකස් කිරීම,පිරිසුදු කිරීම් වැනි කටයුතු තමන් වෙතට පවරා ගන්න.
  • හැකි තරම් මානසික නිදහස සපයන්න.
  • දරුවා ලැබීමට ,පෙර ම,පසු ප්‍රසව විශාදය ඇතුළු මානසික සංකූලතා පිළිබඳව කියවා අවබෝධය ලබාගන්න.
  • පවුලේ අයගෙන් සහ වෙනත් බාහිරඅයගෙන් පීඩාවක් ඇති නොවීම සඳහා වගබලා ගන්න.
  • ඇය තවමත් ලස්සන බවත්,පෙරටත් වඩා ඇයව වටිනා බවත් අවංකවම පවසන්න.මේ ඊට වඩා සුදුසුම මොහොත බව තේරුම් ගන්න.ඒ වටිනා අවස්ථාව අපතේ නොයවන්න.
  • දරුවාට සමඟ මවටද තෑගි මිලදී ගන්න .
  • ඇය කැමැති කෑම බීම හැකි ආකාරයෙන් ලබා දෙන්න.
  • හැකි සෑම අවස්ථාවකදීම මෘදු සංගීතයක් නිවසේ වාදනය කරන්න.

ඔබ පවුලේ කෙනෙකු නම් මේ සහයෝගය ලබාදෙන්න.

  • කොන්දේසි විරහිතව සහාය දක්වන්න.
  • විනිශ්චයන්ට යන්නට එපා .
  • දරුවාට තරමටම මවටද අවධානය දක්වන්න.
  • කාරුණික වන්න.
  • අලුත උපන් දරුවාගේ මව ඔබ කෙරෙහි කිසියම් අප්‍රසාදයක් හෝ කේන්තියක් දක්වන්නේනම් එය ඇය ගේ සුපුරුදු ස්වභාවය නොවන්නේ නම් ඒ ගැන කරුණාවෙන් සලකා බලන්න.
  • අනවශ්‍ය උපදෙස් ලබාදීමෙන් වලකින්න.ඒ සඳහා වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සිටින බව මතකයේ තබා ගන්න.
  • මව සතුටින් තැබීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග අරගන්න.

ප්‍රතිකාර අවශ්‍ය නම් ….

ඉතාමත් ඉක්මනින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්න.තොවිල් පවිල්,අපල මුදු ,කෙම් ක්‍රම ආදියට කාලය වැය කිරීමෙන් තත්ත්වය තවත් උත්සන්න විය හැකි බැවින් නිසි විද්‍යාත්මක උපදෙස් පිළිපදින්න

Related Articles

Don't Miss


Latest Articles