පතුලටම වැටී මැරෙන්න ගිය යාලුවා වෙනුවෙන් ඉදිරියට ආව අවංක මිත්‍රත්වයක් ගැන අපූරු කතාවක් – (Manjummel Boys)

යාලුකම් කියන්නෙ හරි වටින දෙයක්.

 කළණ මිතුරු ආශ්‍රය කියන්නෙ ලබන්න බොහොම පින් කරන්න ඕන දෙයක් වග අපි දන්නවා. අපි හැමෝටම යාලුවො ඉන්නව.

 ඒ අතර සමහර යාලුවො ඉන්නව අපි වෙනුවෙන් ජීවිතේ පරදුවට තියන්න වුණත් සූදානම්. 

 ඉතින් අද අරගෙන එන්නෙත් පතුලටම වැටී මැරෙන්න ගිය යාලුවා වෙනුවෙන් ඉදිරියට ආව අවංක මිත්‍රත්වයක් ගැන අපූරු කතාවක් කියවෙන Manjummel Boys චිත්‍රපටය. 

 මේ චිත්‍රපටය මලයාලම් චිත්‍රපටයක්.

 2024 මැයි 5 තමයි චිත්‍රපටය රිලීස් වුණේ. Chidambaram විසින් ලියපු Survival Thriller කියන category එකට වැටෙන මේ චිත්‍රපටයේ තියෙම විශේෂත්වය වෙන්නෙ මේ කතාව සත්‍ය කතාවක් පදනම් කරගෙන ලියවුණ එකක් වීම.

 2006 අවුරුද්දෙ තරුණ පිරිමි ළමයි කණ්ඩායමක් මුහුණ දුන්න ඇත්ත කතාවක් ගැන තමයි මේ චිත්‍රපටයෙන් අපිට කියන්නෙ.

 කෝචි වල arts club එකේ ඉන්න කොල්ලො සෙට් එකක්, යාලුවො සෙට් එකක් ට්‍රිප් එකක් යනවා කොඩෛකානල් කියන තමිල්නාඩුවට ලඟ තැනකට. 

මේ යන්නෙ ඕනම් කියල එයාට ලැබෙන නිවාඩු කාලෙක. 

මේ ගමනෙ පරමාර්තය වෙන්නෙ කොඩයිකානල් කියන පැත්ත බලල ආපහු එන්න. හැබැයි ඉතින් තරුණ මදේ හිසට ගහලනෙ තියෙන්නෙ. අන්තරායකර දේවල් කරන්න හරිම ආසයි. ඉතින් බලන්න ගිය දේවල් ටික බලල ආයෙ එද්දි එක යාලුවෙක් කියනවා “මේ හරියට කිට්ටුයි ගුනා කේව්ස් තියෙන තැන. ගිහින් ඒකත් බලල එමු” කියල. 

මේ ගුනා කේව්ස් තියෙන තැන තමයි ගුනා කියන චිත්‍රපරය රූගත කරල තියෙන්නෙ. 

 ගුනා කේව්ස් බලන්න යන කොල්ලො සෙට් එකට ඕන වෙනවා මේ ගුනා කේව්ස් තියෙන පැත්තෙ තියෙන්න යන්න තහනම් කලාපයක් බලන්න යන්න.

මෙතනට යන්න එපා අනාරක්ශිතයි කියල කියන ඩොමිනික් කියන ටුවරිස්ට් ගයිඩ්ගෙ වචනෙ අහන්නෙ නැතුව තමන්ගෙ තරුණ ජවය විස්වාස කරල කොල්ලො ටික ඒ පැත්තට යනවා. යන ගමන අන්තරායකර වුණත් වැඩේ අතාරින්න තරුණ සෙට් එකට හිත දෙන්නෙ නෑ. අමාරුවෙන් ගමන ගියයින් පස්සෙ එක කොල්ලෙක් කියනව “අපි මේ ගුහා බිත්තියෙ අපි කන්ඩායමේ නම ලියමු මන්ජුම්මෙල් බෝයිස් කියල”. 

ලිව්ව එක ඉස්සරහ කට්ටියම ඉඳගෙන පින්තූරයක් ගමු කියල එහාපැත්තෙ ඉන්න කට්ටියට මේ පැත්තට එන්න කියල මිනිහ අඬගහනවා. 

 වැඩේ කචල් දෙන්නෙ ආන් එතනදි.

 තමන් ඉඳපු පැත්තෙ ඉඳල එහාපැත්තට යන්න එක ගමනෙදි මේ කණ්ඩායමේ හිටපු සුභාශ් කියන හාදයා ගැඹුරු වලකට ඇදගෙන වැටෙනවා.

 කට්ටිය හිතන්නෙ මිනිහ එයාලගෙන් ආතල් එකක් ගන්නවා කියල. මේක ප්‍රෑන්ක් එකක් කියල. හැබැයි කීප සැරයක් කතා කරත් උත්තරයක් නැති තැන තමයි කට්ටියට සැක හිතෙන්නෙ හිතුවට වඩා වැඩි දෙයක් වෙලා බව. 

 මුලින් බයවෙනවා. කම්පාවෙනව. දැන් මොනවද කරන්නෙ කියල හිතනවා. පස්සෙ ආයෙ සිහිය එළවගත්තයින් පස්සෙ සෙට් එකක් යනව උදව් ඉල්ලගෙන එන්න.

ගමේ මිනිස්සු කියනව “කරන්න තියෙන හොඳම දේ පොලිසියටයි වන සංරක්ශණ එකටයි දැනුම් දෙන එක” කියල. ඒ වගේම ආයෙ මතක් කරල දෙනව ” යන්න තහනම් පැත්තකට තොපිල අහවල් දේකටද ගියේ” කියල.

 මෙතනදි තමයි මේ යාලුවො සෙට් එක දැනගන්නෙ සුභාශ් වැටිල තියෙන්නෙ අඩි 900 විතර ගැඹුරු බ්‍රිතාන්‍ය ජාතිකයො Devil’s Kitchen කියල හඳුන්ව ගැඹුරුම ගැඹුරු පාතාලෙකට කියල.

 ඒවගේම මීට කලින් අවස්තා කීපෙකම මිනිස්සු 13 දෙනෙක් ඔය වලටම වැටිල තියෙන බවත් බේරගන්න බැරිවුන බවත් ගමේ මිනිස්සු කියනවා. 

 මේ කතා ඔක්කොම එක්ක පොලිසියට ගියාම තමයි හොඳම සැලකීම හම්බුවෙන්නෙ. අනාරක්ශිත වගේම තහනම් ප්‍රදේශයකට යෑම සහ මිතුරෙක්ව මරා දැමීම සහ බොරු කීම කියන වරදට පොලිසිය කට්ටියට හොඳට සලකනවා. ඒ වගේම කිසිම උදව්වක් ලැබෙන්නෙත් නෑ. 

 දෙන දෙයියො ගෙට ගෙනැල්ලම දෙනව කියන්න වගේ මහ වැස්සක් පටන් ගන්නව. මඩ වතුර ගිහින් පිරෙන්නෙ අර සුභාශ් වැටිච්ච පාතාලෙට. 

 ගමේ මිනිස්සුයි පොලිසියයි “දැන් ඒ මිනිහ මැරිල ඇති. තේරුමක් නෑ ගිහින්” කිව්වත් වැඩේ අතාරින්නෙ නැති හන්දම එක පොලිස් නිලදාරියෙක් කැමතිවෙනව එතනට ගිහිල්ල බලන්න. 

 යන අතරවාරෙ ඒ මනුස්සය කියනව “ඔය වලට වැටිල මැරිච්ච අන්තිම මනුස්සය මද්‍යම ඇමතිගෙ බෑණා. අවුරුදු දහයකට කලින් ඒ සිද්දිය උනේ. එවෙලෙ ෆෝසස් වලින් පවා ආව මිනිහව බේරගන්න. කොහෙද කොහෙත්ම බැරිවුනා” කියල.

 ඒත් ඒ මොනදේ කිව්වත් සුභාශ්ගෙ යාලුවො ටික හිටියෙ “මොන දේ උනත් අපි සුබාශ්ව බේරගෙනම තමයි යන්නෙ” කියල. 

 මෙහෙම ඉද්දි තමා එක යාලුවෙක්ට ඇහෙන්නෙ වල පතුලෙ ඉඳන් සුභාශ් අඬන සද්දෙ. ඒ ඔස්සේ එයාලා හිතනව සුභාශ් වල පතුලටම වැටිල නැ. අඩි 120ක් විතර ප්‍රමාණයක් දුරටයි වැටිල තියෙන්නෙ කියල. 

 ඉන්පස්සෙ කඹ දානව. ඒත් සුභාශ්ගෙන් කිසි උත්තරයක් නෑ. ඒ අනුව මෙයාලා තේරුම්ගන්නවා සුභාශ් ඉන්නෙ එහෙම දෙයක් කරගන්න පුලුවන් තත්‍ත්වයක නෙවෙයි කියල.

 ඇත්තනෙ අඩි 120 පහලට වැටුණ කිව්වම. පොලිසිය එනව, ගිනි නිවන හමුදාව එනවා.

 ඒත් කවුරුවත් කැමතිවෙන්නෙ නෑ ආගාදය පතුලට ගිහින් සුභාශ්ව අරගෙන එන්න. කවුද දන්නෙ මොන මොන අන්තරායවල් පල්ලෙහ තියෙනවද කියල. 

 එතනදි තමයි යාලුකම් මතුවෙන්නෙ. සැපේදි එකට ඉඳියනම් දුකේදිත් අතෑරල යන්නෙ නෑ කියල හිතපු සිජු ඩේවිඩ් කියන යාලුවා සුභාශ් වෙනුවෙන් ආගාදය පතුලට යන්න කටයුතු කරනවා. 

 සිජු ආදාරක කඹයක එල්ලිල පහලට යනවා. මගක් යද්දි කඹේ දිග මදිවෙනව වගේම උඩ ඉන්න අය බයවෙනව තව පහලට ගියොත්, ඔක්සිජන් මට්ටම අඩු නිසා සිජුගෙ ජීවිතේටත් අවදානමක් එක්කහු වෙන්න පුලුවන් කියල.

 ඒ කතා ඇත්ත උනත් සිජුට ඇහෙනව පහල ඉඳන් සුභාශ් තමන්ට අඬගහනව. 

 ඉතින් කොහොමද යාලුවව එහෙම දාලා යන්නෙ? 

ඒකද ඇත්ත යාලුකම කියන්නෙ? 

තව පහලට යන එක තමන්ටත් අවදානමක්. ඒත් එහෙමයි කියල ජීවත්වෙලා ඉන්නව කියල දන්න යාලුවව තනි කරන්න මනුස්සයෙක් විදියට තමන්ට පුලුවන්ද? 

 සිජු තමන්ගෙම සිතුවිලි අස්සෙ ඒ විදියට අතරමං වෙනවා.

 කතාවෙ ඉතුරු ටික දැනගන්න මේ චිත්‍රපටය බලන්නම කියල ඉල්ලනව. 

රඟපාන්නෙ නලුවො කියලවත්, මේ බලන්නෙ ෆිල්ම් එකක් කියල හිතෙන්නෙ නෑ. ඒ තරම් ත්‍රාසජනකයි. 

ඒත් චිත්‍රපටය අවසානය අපිට ජීවිතේ ගැන ලොකු කතා ගොඩක් කියල දෙනවා.

 ඉතින් අමතක නොකර බලන්න – පතුලටම වැටී මැරෙන්න ගිය යාලුවා වෙනුවෙන් ඉදිරියට ආව අවංක මිත්‍රත්වයක් ගැන අපූරු කතාවක් ගැන කියවෙන- Manjummel Boys!

Related Articles

Don't Miss


Latest Articles