මං මට කල් දෙන්න කියලා කිව්වට පස්සෙ මතින්ද්‍ර කතා කරේ නෑ. ඒක මම බලාපොරොත්තු වෙලා හිටපු දෙයක් උනත් ඒ සයිලන්ස් එක මම හිතුවට වඩා බර උනා. ඇත්තටම මට ඕන උනා මතින්ද්‍රව මගෙ පස්සෙන් ගෙන්න ගන්න. මං හිතන්නෙ ඒක තමයි ඇත්ත. මතින්ද්‍ර දෙවනි වතාවට මගෙ ළඟට ආයෙ ආවට පස්සෙ මම බලාපොරොත්තු උනා එයාට රියලයිස් වෙලා කියලා “මන්දස්මිතාව තෝරගෙන මේඝාව මම අත ඇරියෙ අපරාදෙ” කියලා. ඒ රියලයිසේශන් එක ඔස්සේ එයා මගෙ පස්සෙන් බල්ලෙක් වගේ ඒවි කියන එක මම සෑහෙන බලාපොරොත්තු වෙලා කියන එක මට තේරුණේ එයා කතා නොකර ඉද්දි ආයෙ වතාවක් මට නිකන් පිස්සු හැදීගෙන වගේ එද්දි.
මම නිතර නිතර මතින්ද්‍රගෙ වට්සැප් චැට් එක ඕපන් කර කර බැලුවා එයා මට මැසේජස් දාලාද කියලා. එයා මට කෝල් කරලද කියලා. එයා මාව ආයෙ ඉන්ස්ටග්‍රෑම් එකේ ඇඩ් කරගෙන තිබුණ හන්දා. මට පුලුවන් උනා ගිහින් එයාගෙ ස්ටෝරිස් බලන්න.
මං ඒව බලන එක නවත්තන්න ට්‍රයි කරා. ඒත් නවත්තන්න බැරි උනා.
මං මන්දස්මිතාගෙ ස්ටෝරිසුත් බැලුවා.
ඇත්තටම මට ඕන උනේ ඒක නෙවෙයි කියලා මං මගෙම හිතට කියාගත්තත්. ඒක බොරුවක් කියලා මටම හොඳටම තේරුණා.
මන්දස්මිතා කොහෙ හරි ගිහින් තියෙනවා දැක්කම “ආ… ඒ කියන්නෙ මතින්ද්‍රත් ගිහින් ඇති…” කියලා හිතලා මම ආයෙ වතාවක් හිත හීනියට රිද්දගන්න පටන් අරගෙන තිබුණා.
ඒක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි වගේ.
හරිම අමුතුයි ඒ හැඟීම.
කෙනෙක් තමන්ගෙ ජීවිතෙන් ගිහින් ඉවරයි කියලා දැනගෙනත් එයා තව කෙනෙක් එක්ක හිනාවෙනවා කියලා හිතන එකත් එකෙන් තමන්ට තවම රිදෙන එකත් ඒක ලජ්ජාවක්ද නැත්නම් ආදරේ තව ඉතුරු වෙලා තියෙනවා කියන එකක්ද කියලා මට තේරුණේ නෑ.
ඒත් මං එක දෙයක් දැනගෙන උන්නා.
එයා ආයෙ කතා නොකර ඉන්න තරම් මං එයාට වැදගත් කෙනෙක් නෙවෙයිද කියලා මං මගෙන්ම අහන්න පටන් අරගෙන තිබුණා.
මං ඔන්න ඔහොම හිත හිත ඉද්දි තමයි හේසර මට කෝල් කරේ.
ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි මං ගැස්සුණා වගේ උනා. මට ඕන උනේ ඒ කෝල් එක මතින්ද්‍රගෙන් වෙන්න. මං ටක් ගාලා ඔලුව ගස්සලා ස්ක්‍රීන් එක දිහා බලද්දි එයාගේ නම දිලිසුණා.
“හේසර…”
ඒ නම දැක්කම මගේ හිතට එන හැඟීම මතින්ද්‍රව දැක්කම එන හැඟීමට වඩා වෙනස්. ඒත් මං බලාපොරොත්තු වෙච්ච මතින්ද්‍රගෙ නම දැක්කම එක සන්තෝසෙ එවෙලෙ ඒ කෝල් එක ආවෙ හේසරගෙන් කියලා දැක්කම මගෙ හිතට ආවෙ නෑ. ඒ වෙනුවට අට දැනුනෙ හිත බර වෙනවා වගේ. අනිත් එක හිත හීනියට උණු වෙනවා වගේ
ආන්ස්වර් කරන්න කලින් මං තත්පර දෙකක් කල්පනා කරා.
මට ඇත්තටම බය හිතුණා.
හේසර එයාගෙ පැත්තෙන් මට ආදරේ කරනවා කියලා දැන දැනම මෙහෙම එයාට බලාපොරොත්තු දෙන එක වැරදි බව දැන දැනම, මගේ හිත තාම මතින්ද්‍රගෙන් සම්පූර්ණයෙන්ම මිදිලා නෑ කියලා දැන දැනම හේසර එක්ක කමියුනිකේට් කරන එක වැරදි බව මම දැනගෙන උන්නා.
ඒත් මට ඕන උනේ නෑ මං ආදරේ නොකරත් මට ආදරේ කරන මිනිහෙක්ව මගෙ ජීවිතේන් අයින් කරගන්න. මතින්ද්‍ර ආයෙ මාව දාලා ගියොත් මට එල්ලෙන්න ඔප්ශන් එකක් තියෙන්න ඕන විත්තිය මගෙ මොලේ එක පැත්තකින් මට සිග්නල් දෙද්දි තමයි මම කෝල් එක කට් වෙන්න කලින් ආන්ස්වර් කරේ.
“හෙලෝ…”
“ගුඩ් මෝනින් මැඩම්,…” මතින්ද්‍ර ආපහු ඇවිත් කියලා මෙලෝ දෙයක් නොදන්න හේසර පුරුදු විදියට හිනාවෙවී කතා කරද්දි ඇත්තටම මට මිනිහා පව් කියලා නොහිතුනා නෙවෙයි. ඒත් මට ඕන උනේ නෑ ඇත්ත කියලා හේසරව නැති කරගන්න.
“මොකෝ කරන්නෙ තාම ඇඳේ ද?”
“අනේ නෑ… මං ඇහැරිලා…”
“ඔව් මං දන්නවා. නැත්තම් කොහොමද කෝල් එකට ආන්ස්වර් කරන්නෙ නේද?” එයා එහෙම කියලා ආයෙ හයියෙන් හිනාවුනා.
“හ්ම්…ඔයා කොහෙද?”
“මං රෙඩි වෙන ගමන්… අද ප්ලෑන් එක කැන්සල් වෙයිද කියලා චෙක් කරන්නයි කෝල්එකක් දුන්නෙ. මැඩම් ට අද මූඩ් එකක් තියෙනවද ගුඩ් මාකට් යන්න?”
“මට mood එකක් තියෙනවද…” මං ඇහුවෙ මගෙන්මයි.
මං ඇත්තටම ඒකට උත්තර දුන්නෙ නෑ. මට ඒකට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. වෙලාවකට මට හිතුනා ඔක්කොම මල විකාර අමතක වෙන්නත් එක්ක හේසර එක්ක ගුඩ් මාකට් ගිහින් මොනාහරි කාලා බීල රවුමක් දාලා එන්න. මතින්ද්‍රට ඕන බම්බුවක් ගහගන්න කියලා සන්තෝසෙන් ඉන්න. අනිත් අතට මට ඕන උනා අපාට්මන්ට් එක අස්සෙ හිරවෙලා මතින්ද්‍ර ගැන කල්පනා කරන්න. පරණ විදියට.
“සද්දයක් නැත්තෙ යන්න මූඩ් එකක් නැති හන්දද? මං එහෙනම් අද ප්ලෑන් එක කැන්සල් කරන්නද?”
හේසර එහෙම කියද්දි මට එකපාරටම බය හිතුණා.කැන්සල් උනොත් මං ආයෙ මතින්ද්‍රගෙ මතක අස්සෙම හිරවෙයි කියලා.
“නෑ!” මං ඉක්මනටම කිව්වා. “නෑ නෑ කරන්න එපා”
එයා ටිකක් හිනා වුණා.
“ ශුවර්ද?”
“හ්ම්”
“හරි එහෙනම්… 8 වෙද්දි මං එන්නම්. ඔයා හෙමින් සැරේ රෙඩි වෙන්න. ප්‍රෙශර් එකක් නෑ. Just… come as you are.”
come as you are.
කෝල් එක කට් වුණාට පස්සෙත් ඒ වචන ටික මගෙ කන අස්සෙම ඒ විදියට ප්ලේ වෙනවා වගේ මට දැනුණා.
මං ෆෝන් එක අතේම තියාගෙන ඇඳේ හරහට වැටිලා සිවිලිම දිහා බලාගෙන හිටියා.
“මං ඇත්තටම මම වෙලා ඉන්න පුළුවන්ද…?”
මං ඇහුවෙ මගෙන්මයි.
ඇඳට වෙලා තවදුරටත් හිත හිත ඉන්න ගියොත් පිස්සු හැදේවි කියලා හිතිච්ච, තේරිච්ච හන්දම තමයි මම ඇඳෙන් නැගිටලා බාතෘම් එක දිහාවට රූටලා වගේ ගියා. මූණ හෝදලා, දත් මැදලා, ඇඟ හෝදලා, කොණ්ඩෙ කර්ලි ක්‍රීම් ගාගෙන එලියට ඇවිත්, කබඩ් එකේ තිබ්බ අයන් කරන්න ඕන නැති කුර්තා ටොප් එකයි ඩෙනිම් එකයි ඇඳගත්ත මම මගේ කණ්ණාඩි මේසෙ ඉස්සරහා වාඩිවෙලා කරාබුයි වලලුයි දාගන්න ගමනුත් කල්පනා කරේ මතින්ද්‍ර ගැන. ඇත්තටම ඇයි මතින්ද්‍ර ආවෙ කියන එක ගැන. ඒ ප්‍රශ්නෙට මට ඕන වෙච්ච උත්තරේ උනේ “එයා මට ආදරේ හන්දා” කියන එක උනත් ඒක ඇත්ත නෙවෙයි කියන එක මගෙ හිත දැනගෙන උන්න හන්දද මන්දා ඒ බොරුවෙන් හිත සනසගන්න මට පුලුවන්කමක් තිබුණෙ නෑ.
ඇත්තටම ආදරේ නිසා නම් එයාට යන්නෙ නැතිව ඉන්න තිබුණානෙ?
එහෙම හිතන එකත් එක්කම මගේ ඇස් කණ්ණාඩියෙන් මගේම ඇස් දෙක හම්බුණා.
හරියට මං මටම බොරු කියනවද කියලා චෙක් කරනවා වගේ.
“එහෙනම් ඇයි ආවෙ?”
ප්‍රශ්නෙ ආයෙ එතනම නතර වෙලා තිබ්බා.
ඒකට මගේ හිතෙන් එන උත්තරේ උනේ “එයාට ඔයා ඕන ” කියන එක.
හැබැයි ඒ “ඕන” එක ආදරේටද නැත්තම් ටයිම් පාස් කරගන්න කියන එකට උත්තරයක් මගෙ ළඟ තිබ්බෙ නෑ .
මං හෙමින් හුස්මක් ගත්තා.
ලිප් බාල්ම් එක දාගෙන, කණ්ණාඩියෙන් තව එක පාරක් මූණ බලලා වාඩිවෙලා උන්න ස්ටූල් එකෙන් නැගිට්ටා.
“අදටවත් ඕන නැති මගුල් ඕවර්තින්ක් නොකර ඉමු” කියලා මං මටම කිව්වා.
ඒත් මට එහෙම ඉන්න පුලුවන් උනේ නෑ. හේසරට එන්න වෙලාව හොඳටම වැඩි කියලා තේරෙද්දි තමයි මගෙ ගෙදර ඩෝර් බෙල් එක රින්ග් උනේ.


