එදා රෑ මතින්ද්‍ර කොච්චර මගේ අපාට්මන්ට් එකේ දොර ලඟ ඉඳගෙන දොර අරින්න කියලා කියද්දිවත් මං දොර ඇරියෙ නැති තැන එයා ගියාට පස්සෙ මං හිතුවෙ හැමදේම එතනින් ඉවරයි කියලා. මං හිතුවෙ එයාට මගේ වෙනස තේරුං ගිහින් ඇති කියලා.ඒ රෑට පස්සෙ මට හිතුණෙ බුදු අම්මෝ අන්තිමේ මං බේරුණා කියලා.
ඊළඟ දවස මං ගත කළේ හිතට බලෙන් පටවාගත්ත සන්සුන්කමකින්. ඔෆිස් එකේ හැමදේම වෙනදා වගේම නෝමල් විදිහට සිද්ධ වුණා. හැබැයි ඒ නෝමල් ගතිය ඇතුළේ මට විස්තර කරන්න බැරි අමුතු ප්‍රෙෂර් එකක් දැනුණා. මතින්ද්‍රගෙන් කිසිම මැසේජ් එකක්වත් කෝල් එකක්වත් තිබුණේ නැහැ. ඒ අමුතු නිහඬතාවය මාව මාර විදිහට අසහනයට පත් කළා. හරියට… කවුරුහරි මං දිහා හොරෙන් බලන් ඉන්නවා වගේ හැඟීමක් දිගටම දැනුණා
හවස වෙලා මං ඔෆිස් එකෙන් පහළට බහිනකොට ගේට් එක ලඟ ක්‍රව්ඩ් එකක් එකතු වෙලා ඉන්නවා මං දැක්කෙ අන්න ඒ බයත් එක්ක. කවුරුහරි මහ හයියෙන් මොනවහරි කියවගෙන කියවගෙන යනවා මට ඇහුණා. දුරින් ඇහිච්ච දෙයක් හන්දා මං මුලින් ඒක ඇහුනෙ නෑ වගේ එතනින් යන්න හැදුවට මට එහෙම යන්න පුළුවන්කමක් තිබුණේ නෑ.
ඒත් ඒ කටහඬ ටිකෙන් ටික පැහැදිලි වෙද්දී, මටත් නොදැනීම මගේ අඩිය ස්ලෝ වුනා. පපුවේ ගැස්ම වැඩි වෙලා මගේ කකුල් පවා පණ නැති වෙලා යනවා වගේ මට දැනුණා
“මේඝා!”
මගේ පපුව ගැහුණෙ පුදුමාකාර වේගෙකින්.
මං තව අඩියක් ඉස්සරහට ගියා.
“මේඝා මාව නොදැක්කා වගේ යන්න එපා මේඝා, මං දැක්කා ඔයා මාව දැක්කා කියලා, මේඝා, මේඝාආආආඅ!”
ඒ එයා.
මතින්ද්‍ර.
එයා ගේට්ටුව ඉස්සරහා හිටගෙන හිටියේ කෙලින් හිටගන්නවත් පණ නැති මනුස්සයෙක් වගේ. කමිසෙ බොත්තම් ඇරිලා, කොණ්ඩෙ අවුල් වෙලා. බැලූ බැල්මට ඒක හරියට බීපු මනුස්සයෙක් කරන රඟපෑමක් වගේ. හැබැයි එයාගේ ඇස් දෙක, ඒ ඇස්වල කිසිම බොඳ ගතියක් තිබුණේ නැහැ. ඒ බැල්ම හොඳටම මං දිහාවට ෆෝකස් වෙලා තිබුණා.
මං උන්නෙ හුස්ම වේගෙන් වේගෙන් ගන්න ගමන්. මං හිතුවෙ හුස්ම ගන්න වේගෙ වැඩිවෙලා මම දැන් දැන් මැරිලා වැටේවි කියලා බයෙන්. මං හිතුවෙ මං කලන්තෙ දාවි කියලා.
“යන්නෙපා මේඝා, මං මේ ඔයාගෙ ඉන්ද්‍ර, ඇයි මාව නොදැක්කා වගේ යන්නෙ!”
මිනිස්සු නතර වෙලා බලන් හිටියා මාරුවෙන් මාරුවට මං දිහාවයි මතින්ද්‍ර දිහාවයි.
සිකියුරිටි දෙන්නත් මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව, මැද්දට පනින්නද නැද්ද කියලා දෙගිඩියාවෙන් වගේ පැත්තකට වෙලා බලාගෙන හිටියා. මට නොදැක්කා වගේ යන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. මිනිස්සු දැනගෙන හිටියා මතින්ද්‍ර මේ කෑගහලා එන්න කියන්නෙ මට කියලා. මං ඇත්තටම උන්නෙ බාගෙට අඬන ගමන්.
කවුරුහරි ෆෝන් එකෙන් මේ හැමදේම වීඩියෝ කරන බව මම දැක්කට මට පුලුවන්කමක් තිබ්බෙ නෑ ෆෝන් එක උදුරලා අතට අරගන්න, එහෙම නැත්තම් ප්ලීස් රෙකෝඩ් කරන්න එපා කියන්න. මට දැනුනෙ මාව නිකන් ලැජ්ජාවට පිච්චිලා අලුවෙලා යනවා වගේ. හරිනම් මම දැන් එතනට ගිහිල්ල මතින්ද්‍රගෙ කම්මුලට පාරක් ගහලා “ඇයි මිනිහො මට මෙහෙම ලැජ්ජ කරන්නෙ?” කියලා අහන්න ඕන උනත් මගෙ කකුල් දෙකට පණ තිබ්බෙ නෑ ඒ අඩිය දෙක ඇවිදගෙන උන්න.
හැබැයි මතින්ද්‍ර උන්නෙ මං දිහාවට ඇවිදගෙන එන ගමන්.
“ඔයා හිතනවද මෙහෙම හැංගිලා ඉඳලා මාව අවොයිඩ් කරන්න පුළුවන් කියලා?”
එයා හිනාවුණා. ඒත් ඒ හිනාව නෝමල් එකක් නෙවෙයි. මහ අමුතු එකක්. නිකන් පිස්සෙක්ගෙ හිනාවක් වගේ. මට එවෙලෙ ඇත්තටම ඇඬුනා.
“මං ඔයාට මැසේජ් කරා නේද? කෝල් කරා නේද? ඇයි ඒවට රිප්ලයි කරේ නැත්තෙ” කියලා මතින්ද්‍ර මහ හයියෙන් අහද්දි මට ඇහුණා මිනිස්සු හෙමින් හෙමින් කොඳුරනවා “ලව් එකක් බ්‍රේක් වෙලාද කොහෙද?”, “කෙල්ල වෙන එකක් සෙට් කරගෙන දැන් කොල්ලව මග අරිනවද කොහෙද?” කියලා. මං උන්නෙ පුදුමාකාර ලැජ්ජාවක.
මතින්ද්‍ර මං ඉස්සරහට ඇවිත් දණහිස් දෙක ඇන හිටගත්තා. හරියට මං මොකක් හරි ලොකු අපරාධයක් කරලා වගේ එයා අඬන්න ගත්තේ මුළු පාරටම ඇහෙන්න.
“ඇයි මේඝා මට මෙහෙම කරන්නේ? මං ඔයාට පණටත් වඩා ආදරේ කළා නේද? කියන්න මේඝා මගෙන් මොකක්ද වුණ වරද?” එයා මගේ අත් දෙකෙන් අල්ලගන්න හැදුවා. මං පස්සට වුණේ පණ බයේ.
“මං දන්නවා මේඝා… ඔයාට දැන් මාව එපා වෙලා. අරූ හින්දා නේද ඔයා මාව මගාරින්නේ? කියන්න ඌට මට වඩා මොනවද තියෙන්නේ?” එයා බිම වැතිරිලා වගේ අඬ අඬ කියවනවා.
“මං බීලා කියලා හිතන්න එපා මේඝා, මං මේ බොන්නේ මගේ හිතේ තියෙන වේදනාව ඉවසගන්න බැරිකමට. ඔයා දන්නවද ඊයේ රෑ මං කොච්චර ඇඬුවද කියලා? ඔයා දොර ඇරියේ නැති වෙලාවේ මට හිතුණේ මැරෙන්න. මං ඔයාගේ දොර ළඟම මැරිලා වැටුණා නම් ඔයා සතුටු වෙයි නේද?”
එයාගේ කටහඬ වටේ ඉන්න මිනිස්සුන්ගේ කන්වලට හරියට මී පැණි වක්කරන්න වගේ වෙන්න ඇති විත්තිය මිනිස්සු අපි දෙන්නා දිහා බලාගෙන කුටු කුටු ගාන එකෙන් මට නොතේරුනා නෙවෙයි. මං උන්නෙ කම්මුල් දිගේ වැක්කෙරෙන මගේ කඳුලු එක අතකින් පිහිඳාන ගමන් අනිත් අතෙන් ඉකිය එළියට පනින එක නවත්තගන්න අතෙන් කට වහගෙන.
ඒත් ඒ කිසිම දෙයක් නොදැක්කා වගේ මතින්ද්‍ර උන්නෙ දිගටම කියවගෙන යන ගමන්.
“මං දන්නවා ඔයාට ඕනෙ මාව මේ ලෝකෙටම එපා කරවන්න. බලන්න මේඝා, මං අද මේ පාර අයිනේ වැටිලා ඉන්නේ ඔයා හින්දා. ඔයා මාව මේ තත්වෙට ඇදලා දැම්මා. ඔයාට පුළුවන්ද මාව මෙතන දාලා යන්න? ප්ලීස් මේඝා මට ආයෙත් එකම එක චාන්ස් එකක් දෙන්න. මං මැරෙයි මේඝා ඔයා මාව දාලා ගියොත් මං ඇත්තටම මැරෙනවා!”
එයා මගේ කකුල් දෙක අල්ලගන්න හදනකොට මට දැනුණේ මගේ පපුව පිපිරෙන්න වගේ එනවා කියලා. එයා ඒ කියන හැම වචනයක්ම, වක්කරන හැම කඳුළක්ම මාව වරදකාරියක් කරන්න හදපු උගුලක් විතරයි කියලා දැනගෙන හිටියෙ මං විතරයි. ඒත් වටේ ඉන්න මිනිස්සුන්ට පෙනුණේ තමන්ගේ පෙම්වතිය හින්දා විනාස වෙන්න යන අහිංසක පිරිමියෙක්ව විතරයි.
“මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා ඔයා දන්නවා නේද? ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ? කියන්න මේඝා මං ඔයාට කරපු එකම වරද ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු එක විතරද?”
මතින්ද්‍රගේ ඒ විලාපෙ මැද්දේ මට පෙනුණේ හැමෝම මං දිහා පිළිකුලෙන් වගේ බලනවා. මට දැනුණේ මං ලොකු හිරගෙදරක තනියම කොටු වෙලා වගේ. මතින්ද්‍ර අඬ අඬ මාව ලෝකෙටම වැරදිකාරිය කරද්දී, මට ඕන වුණේ කෑගහලා කියන්න මේ මිනිහා රඟපානවා කියලා. ඒත් මගේ උගුරෙන් එක වචනයක්වත් එළියට ආවේ නෑ.
“සර් මේක ඔෆිස් එකක් සර්, කරුණාකරලා ඔයාලගෙ පෞද්ගලික ප්‍රශ්න එළියට ගිහිල්ල විසඳගන්නවද?” කියලා සෙකියුරිටි ඔෆිසර්ස්ලා දෙන්න ඉස්සරහට ආවෙ අන්න එවෙලෙ. සමහර විට ඒ මිනිස්සු දෙන්නට උනත් තේරෙන්න ඇති මං මෙතන අසරණයි කියන එක. එහෙම නැත්තම් ඒ මිනිස්සු උනත් හිතන්න ඇති මොන රෙද්දකටද මේ අහක යන කුණු තමන්ගෙ රෙද්ද අස්සෙ දාගන්නෙ කියලා. ඒත් මතින්ද්‍ර උන්නෙ කවුරුත් කියන ඒවා අහන මෙන්ටලිටි එකක නෙවි.
“තමුසෙට මේකට ඇඟිලි ගහන්න කිසිම අයිතියක් නෑ! මේ මගේ කෙල්ල! මගේ පෞද්ගලික ප්‍රශ්න මං විසඳගන්නේ මට ඕන විදිහට. තමුසේ තමුසෙගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්නවා ඕයි.” කියලා මතින්ද්‍ර ඒ මනුස්සයගෙ අත ගසලා දැම්මා.
ඒ එක්කම ආයෙත් එයාගේ ඇස් මං හිටපු දිහාවට ඇදිලා ආවා..
“මතින්ද්‍ර ඇති… ප්ලීස්, දැන්වත් මේ විකාරෙ නවත්තන්න, ඒ මිනිස්සුත් බලන් ඉන්නවා,” මං ගොඩක් මහන්සි වෙලා වචන හොයාගන වෙව්ලන කටහඬින් කිව්වා. මට ඕන වුණේ එතනින් පැනලා යන්න වුණත්, මගේ කකුල් දෙක පොළොවට ඇලවිලා වගේ මට දැනුනෙ.
“ඔයා මාව මගාරින්න නේද මේ දඟලන්නේ? ඇයි මේඝා මං එච්චරටම නරක මනුස්සයෙක් වුණාද ඔයාට?”
“නෑ මතින්ද්‍ර ඒක නෙවෙයි මට පොඩ්ඩක් කියන්න දෙනවද” මං මාව සාධාරණීකරණය කරන්න හැදුවා විතරයි.
“බොරු කියන්න එපා!”
එයා එකපාරටම මගේ කතාව මැද්දෙන් පැනලා කෑගැහුවා. ඒ සද්දෙට වටේ ඉන්න මිනිස්සුත් එකපාරටම ගැස්සුණා. “මං දන්නවා ඔයා මේ හැමදේම කරන්නේ මාව අවොයිඩ් කරන්න කියලා. ඔයා හිතුවද මට මැසේජ් එකක්වත් නොදා, මගේ කෝල් එකකටවත් ආන්සර් නොකර හිටියම හැමදේම ඉවරයි කියලා? මං එච්චර ලේසියෙන් ඔයාව අතහරින්නේ නෑ මේඝා!”
මතින්ද්‍ර මං දිහා බලාගෙන හිටපු ඒ නපුරු බැල්ම ඉස්සරහා මගේ මුළු ඇඟම පණ නැති වෙලා ගියා. ඒ ඇස්වල තිබුණේ ආදරේ නෙවෙයි, මාව කොහොම හරි යටත් කරගන්න ඕන කියන අමුතුම උමතුවක්. එයා ඒ හැම වචනයක්ම කිව්වේ මාව වටේ ඉන්න මිනිස්සු ඉස්සරහා තවත් අසරණ කරන ගමන්.
ඒ අස්සෙම මට ඇහුණෙ කවුදෝ අහනවා තව කාගෙන්ද “බීලා නේද?” කියලා.
මට දැනුනෙ පුදුමාකාර ලැජ්ජාවක්.
“මට මේක මෙතන කතා කරන්න ඕන නෑ.” මං කිව්වා.
“මට ඕනෙ.”එයා එකපාරටම කියලා තව ලඟට ආවා.
“ඔයා මාව ඉග්නෝර් කරනවා, මැසේජස් ඉග්නෝර් කරනවා, කෝල්ස් ඉග්නෝර් කරනවා,
ඒකට හේතුව මොකද්ද මේඝා?”
මං සද්ද නැතුව හිටියෙ මට කියන්න දෙයක් නැති හන්දා.
“ඒක අරූ හන්දද?”
මං ඒත් උන්නෙ සද්ද නැතුව.
“ඇත්ත කියනවා මට, ඒ හේසර හන්දද?”මං ඔලුව උස්සලා එයා දිහා බැලුවෙ ඇත්තටම මට ඕන උනේ නෑ දෙනෝදාහක් ඉන්න තැනක හේසරගෙ නම කියවල ඒ මනුස්සයට ලැජ්ජ කරවන්න..
“ප්ලීස් මෙතන ඒ නම කියවන්න එපා..”
“ඇයි? උට එච්චර ආදරේද තමුසෙ? මං උගෙ නම කිව්වම උට ලැජ්ජ වෙයි කියලා බයද?”
“ප්ලීස් මතින්ද්‍ර මේ විකාරෙ නවත්තන්න.”එයා තත්පරයක් සයිලන්ස් වෙලා හිටියෙ මගෙ වචනවල තිබ්බ තරහව එයාට තේරිච්ච හන්දා වෙන්නැති..
ඊට පස්සෙ එයා අත දික් කරලා මගේ මැණික් කටුව අල්ලගත්තා.
“අපි කතා කරමු. දැන්ම.”
මගේ ඇඟ එකපාරටම ගල් වුණා.
“අත අරින්න.”
“නෑ.”
ඒ වචනෙ හරිම සරලයි. හැබැයි ඒක ඇහෙද්දි මට දැනුනා මගෙ ඇඟ ඇතුළේ මරණීය හීතලක් ගලාගෙන යනවා කියන එක.
“මතින්ද්‍ර, මිනිස්සු බලන් ඉන්නෙ”
“බලන් ඉඳපු දෙන මට කාවවත් වැදගත් නෑ.”
එයා මගේ අත තව ටිකක් තද කරා.
“මට වැදගත් ඔයා.”
මට තේරුණා මේක කන්ට්‍රෝල් එකෙන් පිටට යනවා.
“ප්ලීස් මට යන්න දෙන්න.”මං හෙමින් කිව්වා.
එයා මගේ මුහුණට තවත් ලං වෙලා, හරියට රහසක් කියනවා වගේ හෙමින් මුමුණලා කිව්වා
“මේඝා ඔයා මාව මේ තරම් ලේසියෙන් අතහැරලා යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් මං ඒකට කවදාවත් ඉඩ දෙන්නේ නෑ කියන එක හොඳට මතක තියාගන්න”
මගේ හුස්ම පවා හිරවුණා වගේ මට දැනුනෙ අන්න එවෙලෙ. මට හුස්ම ගන්න එකත් අමතක වුණා. එයාගේ ඇස්, ඒ ඇස් දෙක ඇතුළේ දැන් තිබුණේ එකම එක දෙයයි.
ඒ තමයි මාව මොන විදිහකින් හරි අයිති කරගන්න ඕන කියන අර භයානක උමතුව. ඒ බැල්ම ඉස්සරහා මට දැනුණේ මං දඩයම්කාරයෙක්ට අහුවෙච්ච අසරණ සතෙක් වගේ කියලා.
“මතින්ද්‍ර…”
මං අත උදුරගන්න ට්‍රයි කරද්දිඑයා තවත් ටිකක් තද කරලා අල්ලගත්තා.
“මට මෙහෙම කරන්න එපා මේඝා.”
එයා හෙමින් කිව්වා.ඒ හඬ ඇතුළේ අඬන්න ලඟ වෙච්ච කෙනෙක්ගෙ බිඳුණු හඬක් තිබුණා.හැබැයි ඒකම එක්ක එයාගේ අල්ලගැනීම තව ටිකක් තද වුණා.එයාගේ අල්ලගැනීම අතහැරපු තත්පරේම මං හුස්මක් අරගෙන පස්සට අඩියක් තිබ්බා.
“ප්ලීස් මතින්ද්‍ර This is over, ආයෙ මෙහෙම ඇවිත් මට වද දෙන්න එපා .”
මං ඒක කියලා දැම්මා. ඒක කියන්න සුදුසු තැන හෝ වෙලාව ඒක නෙවෙයි කියලා දැන දැනම උනත් මං ඒක කියලා දැම්මෙ මට ඒක කියන්න වෙන වෙලාවක් එන්නෙ නෑ කියලා මම දැනගෙන උන්න නිසා.
තත්පරයක් දෙකක් එයා මං දිහාම බලන් හිටියා.ඊට පස්සෙ එයා හිනා වුණා.හරිම අමුතු විදියට.
“Over?” එයා ඒ වචනෙ ආයෙ කිව්වෙ මහ අමුතු විදියට හිනා වෙවී. මං උන්නෙ හරිම බයෙන්.
“ඔයාට හිතෙන්නෙ මේක එච්චර ලේසියෙන් නවත්තන්න පුළුවන් කියලාද?”
මං කිසිම දෙයක් කියන්නෙ නැතුව හිටියා. එයා එකපාරටම ඔලුව අහක හරවලා හිනා වෙලා ඊට පස්සෙ ආයෙ මං දිහා බැලුවා.
“හරි මං ඔයාට තව එක චාන්ස් එකක් දෙන්නම්.”
මගේ පපුව එකපාරටම තද වුණා.
“මොන චාන්ස් එකක්ද?”
මං අහන්න කලින්ම එයා එකපාරටම පාර අයිනට ගියා.
“මතින්ද්‍ර”
මං කෑගැහුවෙ අඬන්න වගේ. ඒත් එයා නැවතුනේ නෑ.
එයා පාර මැදටම ගිහින් නතර වුණා.
වාහන දෙකක් එකපාරටම බ්‍රේක් ගහලා නවත්තගත්ත සද්දෙ ඇහුණා.
හෝන් සද්ද.
“පිස්සුද මිනිහෝ, අහකට වෙයං!” කවුදෝ කෙනෙක් කෑගහුවා.
මතින්ද්‍ර ඒ හැමදේම ඉග්නෝර් කරලා, පාර මැද්දෙ හිටගෙන මං දිහා බැලුවා.
“ඔයාට හිතෙන්නෙ මං නිකන් අයින් වෙයි කියලා නේද?”
මං උන්නෙ ගල් ගැහිලා, හීතල වෙලා.
“මතින්ද්‍ර, අනේ මතින්ද්‍ර ප්ලීස් මෙහාට එන්න.” කියලා මං කෑගැහුවා නෙවෙයි මට කෑගැහුනා.
ඒත් එයා කරේ හිනා වෙන එක විතරයි.
හෝන් සද්ද තවත් වැඩි වුණා.
කෙනෙක් කාර් එකෙන් එලියට බෙල්ල දාලා කෑගැහුවා.
“අයින් වෙන්න බන්!”
ඒත් එයා අයින් වුණේ නෑ.
ඒ වෙනුවට එයා අත් දෙක උස්සලා පාර මැද්දෙ හිටගෙන ඉඳලා කෑගහුවා
“ඔයාට මාව එපා කියලනෙ ඔය කියන්නෙ. එහෙනම් බලමු ඔයාට මාව කොච්චර ලේසියෙන් අමතක කරන්න පුළුවන්ද කියලා!”
ඒ වචනෙත් එක්කම එයා එකපාරටම එහා පැත්තෙන් වේගෙන් ආව වාහනේ දිහා බලාගෙන අඩියක් ඉස්සරහට ගත්තා.
“මතින්ද්‍ර!!!”


