මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 39

0
85


(මතින්ද්‍රගේ කතාව)
මුළු ඔළුවම දෙපලු වෙන්න වගේ එන දරාගන්න බැරි කැක්කුමක් එක්කයි මං ඇස් ඇරියේ.
රූම් එකම අඳුරේ ගිලිලා.
ලයිට් එකත් ඕෆ්.
හැබැයි මගේ ඔළුව ඇතුළේ නම් කවුරුහරි මිටියකින් ගහනවා වගේ දෝංකාර දෙනවා.
“ශිට්” මං ඇස් තද කරලා පියාගෙන, ඊයේ රෑ වෙච්ච දේවල් ටික මතක් කරගන්න උත්සාහ කළා.
පාර, ලයිට් එළි, වාහනවල හෝන් සද්ද, මං පිස්සුවෙන් වගේ කෑගහනවා,
“අඩේ” මට එකපාරටම ඒ හැමදේම මතක් වුණා. මං ඇත්තටම පාර මැද හිටගෙන හිටියා. ඒක මතක් වෙද්දී මටත් නොදැනීම හීනි හිනාවක් ගියා.
“පිස්සු වගේ නේ බං” කියලා මං මටම කියාගත්තටම් මොකෝ හැබැයි ඒ හිනාව තිබුණේ තත්පරයයි. මාව ඇදගෙන යන මිනිස්සු, “පොලිසියට අල්ලලා දෙමු” කියලා ඇහුණු කටහඬවල්. ඒ මතකයන් මගේ ඔළුවට වද දෙන්න ගත්තා.
මං ආයෙත් ඇස් ඇරලා වටපිට බැලුවා. මේ මගේ රූම් එක. ඇඳ අයිනේ වතුර වීදුරුවක්, ටේබල් එක උඩ පේන් කිලර් ස්ට්‍රිප් එකක්, ඇඳේ කොණක බ්ලැන්කට් එක පිළිවෙළට නමලා… ඒ මන්දස්මිතා. ඒකි තමයි මාව මේ මගුලෙන් බේරගෙන එන්න ඇත්තේ. නැත්නම් මං තාමත් ලැගලා ඉන්නේ පොලිස් කූඩුවේ. මට හිතාගන්න බැහැ මාව මේ වගේ තත්ත්වෙකට ඇදලා දැම්මේ කවුද කියලා.
ඒ මේඝා! එවෙලෙ තමයි හැමදේම හරියාකාරව මතක් වුනේ.
ඒකි තමයි මාව මේ අපායට තල්ලු කළේ. මං හෙමින් ඇඳ උඩ ඉඳගෙන ඔළුව අල්ලගත්තා. මොන මගුලක්ද මං මේ කරගත්තෙ? මං මෙච්චර වැටුණේ කොහොමද? මං කවදාවත් මෙච්චර අසරණ වෙලා නැහැ. ඒකි තමයි මාව මේ ලෙවල් එකට පුෂ් කළේ කියලා මං කියාගත්තෙ මටමයි. ඔලුව කැක්කුම ඩබල් වීගෙන එන අස්සෙ මගෙ හිත අස්සෙන් මේඝා ගැන තිබිච්ච තරහා ආයෙ වතාවක් මතු වීගෙන ආවා.
“මහ බැල්ලියෙක්.” ඒ වචනෙ මගේ හිතට එන්නේ පුදුම වෛරයකින්.
ඒකිට එක හිතක් නෑ. මං නැති කාලේ කා එක්ක මොන සැපක් ගත්තද කියලා කවුද දන්නේ? දැන් මෙතන එනවා කිසිම දෙයක් නොදන්න අහිංසක එකී වගේ රඟපාන්න.
“අනේ මං එහෙම නැහැ”,
“අපි යාළුවෝ විතරයි”
ඔක්කොම පට්ටපල් බොරු!
මට මැවිලා පේනවා ආයෙ ආයෙ එදා ගුඩ් මාකට් එකේදි ඒකි අර හේසරයා එක්ක හිටපු විදිහ. ඒ බැල්ම, ඒ ලංවීම. ඒක යාළුකමක් නෙවෙයි, ඊට එහා ගිය දෙයක්. මං මෝඩයෙක් නෙවෙයි යකෝ කියලා මං මටම කියාගත්තා. ඒකි මේ හදන්නේ මාව කන්ෆියුස් කරලා, මාව කොන්ට්‍රෝල් කරලා ඒකිට ඕන විදිහට මේ ගේම් එක ප්ලේ කරන්න. හැබැයි මං ඒ උගුලට වැටෙන්නේ නැහැ.
“මං කොහොම හරි දැනගන්නවා ඇත්ත නැත්ත මේකේ” මං ඇඳට අතින් ගහලා තනියම කියාගත්තා. ඇත්ත මොකක්ද කියලා මං කොහොම හරි හාරලා හොයාගන්නවා. ඒකි මොන දේ හංගගෙන හිටියත්, කා එක්ක කොහේ රිංගලා හිටියත් මං ඒ ඔක්කොම එළියට ගන්නවා. මං අන්තිම මොහොත වෙනකල්ම ඒකිගේ පස්සෙන් පන්නනවා. ඇත්ත දැනගන්නකල් මං මේක නතර කරන්නේ නැහැ.
මං ඔන්න ඔහොම දාහක් දේවල් කල්පනා කර කර ඇඳ උඩ වාඩිවෙලා ඇඳ විට්ටමට හේත්තු වෙලා ඉද්දි තමයි මන්දස්මිතා කාමරේ ඇතුළට ආවෙ.ඇත්තටම මං උන්නෙ මන්දස්මිතාට ෆේස් කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව.
එයාගෙ මූණේ තිබුණේ මං කවදාවත් දැකලා නැති විදිහේ කලකිරීමක් සහ කෝපයක්. මට මන්දස්මිතාගෙ ඇස් දිහා කෙලින් බලන්න බැරිකමක් දැනුණත්, මං මගේ හිත හයිය කරගෙන එයා දිහා බැලුවා.
මන්දස්මිතා දොර ළඟ නතර වෙලා ටික වෙලාවක් සද්ද නැතුව මං දිහා බලන් හිටියා. ඊටපස්සේ එයා කාමරේ මැදට ඇවිත් මං ඉස්සරහ හිටගත්තේ අත් දෙක පපුවට බැඳගෙන.
“දැන් හරිද මතින්ද්‍ර?” එයා ඇහුවේ ගොඩක් හෙමින්, ඒත් ඒ හඬේ තිබුණේ මාරම බරක්.
“මොකක් ගැනද ඔය කියන්නෙ? මට දැන් ඔය බණ අහන්න සිහියක් නෑ. මගේ ඔළුව පැලෙන්න එනවා.” මං කින්ඩි හිනාවක් දාන්න උත්සාහ කරන ගමන් කිව්වා.
“ඔළුව නෙවෙයි මතින්ද්‍ර, තමුන්ගේ මොළේ තමයි දැන් චෙක් කරගන්න වෙන්නේ” එයා එකපාරටම කෑගහලා වගේ කිව්වෙ.
“මොකක්ද මේ නටන නාඩගම්වල තේරුම? තමුන් හිතාගෙන ඉන්නේ තමුන් තාම ඉස්කෝලේ යන පොඩි එකෙක් කියලද? පාරවල් මැද බීලා සිහියක් නැතුව නටන්න, මිනිස්සුන්ට ලැජ්ජා කරන්න. තමුන්ට තේරෙනවද තමුන් අද කරගත්තු දේ? මට අද පොලිසියේ මිනිස්සු ඉස්සරහා කී පාරක් වැඳලා කියන්න වුණාද තමුන්ව නිදහස් කරන්න කියලා?”
“ඉතින් මං කිව්වද තමුන්ට එන්න කියලා? මං කිව්වද මාව බේරගන්න කියලා?” මං ඇඳෙන් නැගිටලා ඇහුවේ කේන්තියෙන්.
“ආ ඇත්තද? එහෙනම් තමුන්ට ඕන වුණේ කුඩුව ඇතුළේ ලගින්නද? තමුන්ගේ ඔය තියෙන ලොකුකම පොලිසියේ මිනිස්සු ඉස්සරහා තිබුණේ නෑ මතින්ද්‍ර. තමුන් අද ඒ මනුස්සයා ඉස්සරහා? කවුදෝ මන්දා කෙල්ලෙක් ඉස්සරහා කරලා තිබ්බ දේවල් අහද්දි ඕයි මට පොළොව පලං යන්න හිතුණෙ. තමුන්ට නිකමට හිතන්න තිබුනෙ නැද්ද මගෙ තත්ත්වෙ ගැන? මට අද තමුන්ව මරන්න තරං කේන්ති ඕයි.”
“කට වහගනින් උඹ” මං ඒකිගේ කට තද කරලා අල්ලගත්තෙ මට ඇත්තටම තවදුරටත් ඒ වචන ඒ කටෙන් එළියට එනවා අහගෙන ඉන්න උවමනා උනේ නැති හන්දා. “තමුසේ දන්නේ නෑ මං විඳින වේදනාව. තමුසෙට පේන්නේ මගේ වැරදි විතරයි. ඒකි මට කරපු දේවල්..”
“කවුරු ගැනද කියනවා තමුන් ඔය කියවන්නේ? පහුගිය දවස්වල තමුන් අමුතු වීගෙන ඉද්දි, රෑ තිස්සෙ ෆෝන් එකට එබීගෙන ඉද්දි මං ඒත් හිතුවා මොකක් හරි මල නාඩගමක් පටන් අරගෙන වෙන්න ඇති කියලා? කවුද ඔය කියන ඒකි? අනික ඒකි මොනවා කළත්, මෙහෙම පාරවල් ගානෙ මට ලැජ්ජා කරන්න තමුන්ට තියෙන අයිතිය මොකක්ද?” මන්දස්මිතා මගේ අත ගසා දාලා පස්සට වුණා.
“තමුසෙට ඕවා වැඩක් නෑ මන්දස්මිතා. තමුසෙට ඕනෙ මාව පාලනේ කරන්නද?” මං කෑගැහුවා.
“මට තමුන්ව පාලනේ කරන්න කිසිම උවමනාවක් නෑ මතින්ද්‍ර. මට තියෙන ප්‍රශ්නේ අඩුම තමුන්ටවත් තමුන් ගැන කන්ට්‍රෝල් එකක් තියෙනවද කියන එක ගැන.” එයා මගේ ඇස් දෙක දිහාම බලාගෙන කිව්වා. “බලනවා තමුන් දිහා. කන්ණාඩියකින්වත් බලනවා තමුන්ගෙ හැටි. කොණ්ඩෙ රැවුල වවාගෙන, බීලා, පාරවල් ගානේ වැටීගෙන. මේකද මතින්ද්‍ර තමුන්ගේ පිරිමිකම? තමුන් මේ කරගන්න විනාසෙ ගැන තමුන්ටවත් තේරුමක් තියෙනවද?”
“ඒක මගේ ප්‍රශ්නයක්. මට වෙලා තියෙන දේ තමුන්ට තේරෙන්නේ නෑ!” මං ආයෙත් ඇඳ විට්ටමට බර වුණා.
“තේරෙන්නේ නැත්තේ මොකක්ද? තමුන් හිතාගෙන ඉන්නේ තමුන් විතරයි මේ ලෝකේ ප්‍රශ්න තියෙන එකම මනුස්සයා කියලා. තමුන්ට ඔය දරාගන්න බැරිව දඟලන මගුල මොකක් වුණත්, ඒක පාරේ යන අහිංසක මිනිස්සුන්ගේ පිටින් යවන්න තමුන්ට අයිතියක් නෑ. තමුන් අද කරපු දේවල් වලින් ලැජ්ජාවට පත් වුණේ තමුන් විතරක් නෙවෙයි, තමුන්ගේ පවුලේ මිනිස්සුත් එක්කමයි කියන එක අමතක කරන්න එපා”
“මන්දස්මිතා ඇති! මං කිව්වානේ මේකට මැදිහත් වෙන්න එපා කියලා.”
“තමුන් මනුස්සයෙක් වගේ ඉන්නවා නම් මං මොකටද මැදිහත් වෙන්නේ? බලනවා තමුන්ගේ ඇස් දිහා. මේවායේ තියෙන්නේ වෛරයක් විතරයි. තමුන් මේ යන්නේ ලොකු අගාධයකට. තමුන් කවුරු ගැන හරි පළිගන්න හිතාගෙන මේ කරන දේවල්වලින් අන්තිමට තමුන්ම තමයි විනාස වෙන්නෙ කියන එක අමතක කරන්න එපා. තමුන් අද ඒ පාරේ කරපු දේවල් ඇහුවම මට හිතුණේ තමුන්ට ඇත්තටම පිස්සු හැදීගෙන එනවා කියලා.”
“මට ඕන විදිහට මං ඉන්නම්. තමුසේ මගේ ජීවිතේට ඇඟිලි ගහන්න එන්න එපා.” මං දත් මිටි කාගෙන කිව්වා.
“මං ඇඟිලි ගහන්නේ නෑ මතින්ද්‍ර. හැබැයි මතක තියාගන්න තමුන්ගේ මේ පිස්සුව හින්දා මටයි, මගෙ පවුලෙ මිනිස්සුන්ටයි ලැජ්ජ වෙන්න වුණොත්, එදාට මං තමුන්ට කිසි සමාවක් දෙන්නේ නෑ කීයටවත්. දැන් ඔය පේන් කිලර් එක බීලා නිදාගන්නවා. හැබැයි හෙට උදේටවත් සිහියක් ඇතුව නැගිටින්න බලනවා”
මන්දස්මිතා කාමරේ දොර හයියෙන් වහගෙන එළියට ගියා. මං ආයෙත් තනියම ඇඳ උඩට වැටුණා. ඒකි මගේ වැරදි පෙන්වලා දීපු එකට මගේ හිත ඇතුළෙන් ලොකු කේන්තියක් ආවත්, ඊට වඩා ලොකු වෛරයක් මගේ හිතේ මේඝා වෙනුවෙන් ඉතුරු වෙලා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here