මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 43

0
86

මන්දස්මිතාගෙ ඇස් අස්සෙ මං හෙව්වෙ මං ගැන තරහක් උනත් එයාගෙ ඒ ලාවට මේකප් තවරපු ලස්සන මූණ අස්සෙ කිසිම ඉමෝශන් එකක් හොයාගන්න මට පුලුවන්කමක් තිබ්බෙ නෑ. හරියට එයා හිතේ තියෙන හැමදේම කාටවත් පේන්නෙ නැති වෙන්න ලොක් කරලා දාලා තියෙනවා වගේ.

මං එතන හිටියේ හුස්ම ගන්නත් අමාරුවෙන්.
 ඒත් එයා..එයා හරිම ස්ටෙඩි. මතින්ද්‍ර කිව්වා වගේම හරිම පර්ෆෙක්ට්.

“මං හිතුවෙ” මන්දස්මිතා හෙමින් කතාව පටන් ගත්තා. “ඔයාව දකිද්දි මට කේන්තියෙන් කතා කරන්න වෙයි කියලා.”

මං කතා කළේ නෑ.මට කට අරින්නවත් වචන තිබ්බෙ නෑ. මං දන්නෙ නෑ ඒක බයක්ද මොකද්ද කියලා ඒත් මං උන්නෙ මන්දස්මිතා ඉස්සරහා වචනයක් කියාගන්න කිසි හයියක් නැතුව.

“හැබැයි නෑ” එයා ටිකක් හිනාවෙන්න උත්සාහ කරා. “මට ඒකත් දැනෙන්නෙ නෑ.”

ඒ වචන ටික ඇවිත් මගෙ පපුව අස්සට වැදුනෙ මහ අමුතුම විදියකට.

“ඇයි දන්නවද?”
එයා මං දිහාම බලන් ඇහුවා.

මං හෙමින් ඔලුව වැනුවා නෑ කියන්න වගේ.

“මට හිතෙනවා මං කේන්තියෙන් ඉන්න ඕන කෙනා ඔයා නෙවෙයි කියලා.”

මගේ හදවත එකපාරටම හිර වුණා වගේ මට දැනුනෙ.ඒත් එයා ඊළඟට කිව්ව දේ මාව තව වැඩියෙන් ගල් කරලා දැම්මා.

“ඒත් ඒකෙන් වෙනසක් නෑ මේඝා” එයාගේ හඬ දැන් ටිකක් තදයි. “මට තාමත් දැනගන්න ඕන දෙන්නෙක් අතර තුන්වෙනියෙක් වෙලා ඔයාට ලැබුණේ මොකද්ද කියලා.”

ඒ ප්‍රශ්නෙ මට හුස්ම ගන්නත් අමාරු කරලා දැම්මා.

“මං” මං කතා කරන්න ගත්තේ, ඒත් මගේ හඬ තිබ්බෙ කැඩිලා බිඳිලා ගිහින්.  “මං එහෙම”

“ප්ලීස්,” මන්දස්මිතා එකපාරටම මගේ කතාව නවත්තලා දැම්මා. “මට බොරු අහන්න ඕන නෑ.”

එයාගේ ඇස් දැන් කෙලින්ම මගේ ඇස් එක්ක පැටලිලා තිබ්බේ. මට ඕන උනා ඒ ඇස් බැල්මෙන් ගැලවෙන්න. ඒත් මට පුලුවන්කමක් තිබ්බෙ නෑ ඒ ඇස් බැල්මෙන් ගැලවිලා යන්න.

“මට කියන්න ඔයාට ඕන උනේ මට රිද්දන්නද? එහෙම නැත්තං ඔයාට සැනසෙන්නද?”

මට උත්තරයක් තිබ්බෙ නෑ. හැබැයි මගේ ඇස්වලින් කඳුළු පටන් ගත්තේ ඒකට කලින්.

“මං” මං අන්තිමට කෙඳිරිගාගෙන වගේ කියන්න පටන් ගත්තා.  “මං තුන්වෙනියෙක් නෙවෙයි මන්දස්මිතා.”

එයාගේ බැල්ම ටිකක් වෙනස් වුණා මං එහෙම කිව්වම.

“මොකද්ද ඒකෙන් අදහස් වෙන්නේ?”

මං හුස්මක් ගත්තේ හරි අමාරුවෙන්.

“මං හිතන්නෙ ඔයා හරියට මේ කතාව දන්නෙ නෑ. මට… මට ඔයාට කියන්න තේරෙන්නෙ නෑ…”

මං තත්පරයක් නතර වුණා.

“මං කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ.”

ඉන්පස්සෙ අපි අතර ඇතිවුනේ මහ ලොකු සයිලන්ස් එකක්. ඒක දිගම දිග සයිලන්ස් එකක්. මන්දස්මිතා මං දිහා බලන් හිටියා. හරියට මම දැන් දැන් ඒ සයිලන්ස් එක බිඳලා කතාවෙ ඉතුරු ටික කන්ටිනිව් කරාවි කියලා.  ඒ බැල්මේ තිබුණේ ඩවුට් එකක්, තරහක්, හැබැයි ඒ අතරේ හරිම හෙමින් කුතුහලයක් වගේ එකකුත් එයාගෙ බැල්ම අස්සෙ හෙමින් හෙමින් පිරෙන්න පටන් අරගෙන තිබ්බා.

“නෑ…” එයා ඔලුව හෙමින් වැනුවා. “ඒක වෙන්න බැරි දෙයක්නෙ.”

“මං ඇත්ත කියන්නේ” මං නිකන් වැඳ වැටිලා වගේ කිව්වෙ. මං දන්නවා හරිනම් මං එහෙම මන්දස්මිතා ඉස්සරහා වැඳ වැටෙන්න උවමනා නැති විත්තිය. ඒත් මොකක් හරි හේතුවකට මගෙ හිතේ මං කරපු දේ වරදක් කියන ගිල්ට් එක ලොකුවටම තිබ්බා.

 “මං දැනගෙන හිටියේ නෑ”

“එහෙනම්” එයා හෙමින් ඇහුවා,

“ඔයා හිතුවෙ ඔයා කවුද කියලා?”

ඒ ප්‍රශ්නෙ  මං කවදාවත් අහලා නැති ප්‍රශ්නයක්.

මං හෙමින් හිනාවුණා කඳුළු අතරින්.

“ඔයා නොදන්නවා වුනාට මං තුන්වෙනියා නෙවෙයි මන්දස්මිතා මං තමයි පලවෙනියා. ඇත්තටම මේ කතාවෙ මුලින්ම තුන්වෙනියෙක් උනේ ඔයා. මං මේ කතාව අස්සෙ තුන්වෙනියෙක් උනේ දෙවනි වතාවට.

එයාගේ ඇස් ඒ තත්පරේම හරියට ලොකු වීම.

අන්න එතනදි තමයි දෙන්නටම එකම වෙලාවට එකම දේ තේරුණේ.

“Wait” මන්දස්මිතා හෙමින් කියන්න පටන් ගත්තා..
 “ඔයා කියන්නේ…”

මං ඔලුව වැනුවා.

“එයා”
 මට තේරුණා මේ කතා බහේ පලවෙනි වතාවට මන්දස්මිතා කතා කරන්න වචන හොයාගත්තෙ හරිම අමාරුවෙන් කියලා. “එයා මට කිව්වෙ… එයා සිංගල් කියලා.”

ඒ තප්පරේ මගෙ හිතේ පොඩ්ඩක් හරි සංසුන් ගතියක් තිබ්බා නම් ඒ අන්තිම බිංදුවත් නැතිවෙලා ගිය විත්තිය මට තේරුනා. මතින්ද්‍ර මන්දස්මිතාට කියලා තියෙන්නෙත් ලොකු බොරුවක් විත්තිය තේරෙද්දි තමන්ගෙ කසාදෙ ගැන මතින්ද්‍ර මට කිව්වෙ ඇත්ත කියලා මං විශ්වාස කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ මගෙ හිතට ඇවිත් වද දෙන්න පටන් ගත්තා.

අපි දෙන්නම එකම වෙලාවක, එකම විදියට සයිලන්ට් වෙලා උන්නා. හරියට එකම කතාවේ
 වෙන වෙනම චැප්ටර්ස් දෙකක් එකට කනෙක්ට් වෙලා ගියා වගේ.

මං එයා දිහා බලන් හිටියා.

එයා මං දිහා බලන් හිටියා.

ඒ බැල්ම ඇතුළේ දැන් තරහක් තිබ්බෙ නෑ.

අපි දෙන්නම උන්නෙ එකම එක අමාරු ඇත්තක් තේරුං ගන්න ගමන්. අපි දෙන්නම වෙන වෙනම හිතාගෙන හිටියෙ “මං පව්” කියලා උනාට, ඇත්තටම පව් මම නෙවෙයි “අපි” කියන එක අපි දෙන්නටම තේරුණේ එවෙලෙ.

“මං…” මන්දස්මිතා හෙමින් කතා කරන්න ගත්තා,
 “මං හිතුවෙ… ඔයා”

“මං හිතුවෙත් ඔයා”

අපි දෙන්නම එකම වෙලාවට නතර වුණා.

ඊට පස්සෙ කවුරුත් කිසිම දෙයක් නොකියා එකම විදියෙ හුස්මක් හෙලුවා.

ඒ හුස්ම දෙකත් එක්ක අපි අතර තිබ්බ දුර හරිම වෙනස් වුණා. එකම තැන හිටියත්, අපි දෙන්නා දෙපැත්තෙන් එකම ඇත්තක් දිහා බලන දෙන්නෙක් වෙලා ගියා වගේ මට දැනුනෙ.මං හෙමින්ම කතා කරන්න ගත්තෙ ඒ නිහඬකම තවත් බර වෙන්න කලින්.

“හැබැයි”  මගේ හඬ තාමත් කඳුළු වලින් බරයි, “ඔයා කරපු දේ ගැන මං හිතන විදිහ වෙනස්.”

මන්දස්මිතා හෙමින් මං දිහා බැලුවා.

“ඔයා එහෙම කරේ නොදැනුවත්වමනෙ.”
 මං කෙලින්ම කිව්වා.

එයාගේ ඇස් ටිකක් ගැස්සුණා.

“ඔයා දැනගෙන හිටියේ නෑ… මං කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඔයා හිතාගෙන හිටියේ ඔයා තනිකඩ කෙනෙක් එක්ක ඉන්නවා කියලා. ඒකෙ වරද ඔයාගෙ නෙවෙයි.”

මං කතා කරන හැම වචනයක්ම මාව ඇතුළෙන් කොච්චර රිද්දුවත් මට ඒක කියන්න ඕන උනා.

“එදා ඔයාව දැක්ක දවසේ” මං හෙමින් හිනාවුණා,  “මට ඔයා ගැන මාරම තරහක් තිබ්බා. මට හිතුනේ ඔයා මට දැනුවත්වම රිද්දනවා කියලා.”

මන්දස්මිතා සද්ද නැතුව අහගෙන හිටියා.

“හැබැයි දැන්” මං හුස්මක් ගත්තෙ හරි අමාරුවෙන්,  “දැන් මට තේරෙනවා එදා ඒකෙ සම්පූර්ණ වරද තිබ්බේ ඔයාගෙ අතේ නෙවෙයි කියලා.”

තත්පරයක් මං ආයෙ සද්ද නැතුව හිටියා.

“එතන සම්පූර්ණ වරද මතින්ද්‍රගෙ.”

ඒ නම ඇහෙද්දි අපි දෙන්නගෙම මුහුණු ටිකක් තද වුණා.

“එයා තමයි දෙන්නම රවට්ටලා තියෙන්නේ. එකම කතාව දෙන්නාටම වෙන වෙනම කියලා… දෙන්නම තමන්ගේ කියලා තියාගෙන කාල දෙකකදි එකම විදියට අපි දෙන්නවම රවට්ටලා තියෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි මතින්ද්‍ර.”

මගේ ඇස් ආයෙත් තෙමුණා.

“හැබැයි මේ දෙවනි පාර” මං ඉතුරු වචන ටික කියන්න කලින් මන්දස්මිතා දිහා ටික වෙලාවක් බලන් හිටියා.

“දෙවනි පාර මෙහෙම දෙයක් වෙච්ච එකේ වරද ඒක මමත් භාරගන්න ඕන. මං තේරුංගන්න තිබ්බා, මට හිතන්න තිබ්බා, මට නතර කරගන්න තිබ්බා”

වචන ටිකක් මගෙ හිත ඇතුළෙන් එකම වේගෙන් එලියට එන්න ගත්තා.

“මතින්ද්‍ර කසාද බැන්ද මිනිහෙක් කියලා මං දැනගත්තට පස්සෙ… ඒක එතනින්ම නවත්තන්න මට ඕන උනා. නැත්තෙ නෑ. මං ඒක නොකරපු එක ඒක මගේ වැරැද්ද.”

ආයෙ අපි අතරෙ මහ සයිලන්ස් එකක් ඇතිවුණා.  හැබැයි මේ සයිලන්ස් එක කලින් වගේ නෙවෙයි. මේක බරයි..

මන්දස්මිතා හෙමින්ම ඇස් පහළට හරවගත්තා.

“මටත්”
 එයා කතා කරන්න ගත්තේ හරිම හෙමින්.
 “මටත් කාලයක් තිස්සේ දැනුනා මොනවහරි හරි දෙයක් අපි අතරෙ මිසින් කියලා.”

මං ඇස් උස්සලා එයා දිහා බැලුවා.

“හැබැයි මං ඒක ඉග්නෝර් කරා.”
 එයා හිනාවුණා ඒත් ඒක දුකක් එක්ක එළියට පැන්න හිනාවක්.
 “මං හිතුවෙ රිලේශන්ශිප් එකක් පරිස්සම් කරගන්න ප්‍රශ්න අහන්න ඕන නෑ කියලා. අපි දැන් බැඳලා හන්දා කවදාවත් මට මතින්ද්‍රව නැතිවෙන එකක් නෑ කියලා

ඒත් මං සද්ද නැතුව උන්න එකෙන් අපි දෙන්නටම ලොකු වන්දියක් ගෙවන්න වෙලා තියෙනවා නේද?” කියලා මන්දස්මිතා මං දිහාත් අනුකම්පාවෙන් බලද්දි ඇත්තටම මට කෑගහලා අඬන්න හිතුණා මෙච්චර හොඳ ගෑනියෙක්ගෙ කසාද ජිවීතේ කඬන්න බිඳින්න නේද මම මුල් වුණේ කියලා. අපි දෙන්නම ටික වෙලාවක් කිසිම දෙයක් නොකියා හිටියා.

පස්සෙ මං හෙමින්ම කියාගත්තා හරියට මටම ඇහෙන්න වගේ.

“මට තව දුරටත් මේක කන්ටිනිව් කරන්න ඕන නෑ.”

මන්දස්මිතා ඒකට උත්තරයක් දුන්නේ නෑ. හැබැයි එයාගේ බැල්මෙන් මට තේරුණා එයාටත් එහෙමම දැනෙනවා කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here