මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 37

0
19

මතින්ද්‍ර මාව බය කරන්න පටන් අරගෙන තිබුණා කියලා මං පිළිගත්තෙ ඊට පස්සෙ.

එදා එයා මගේ උරහිස් දෙකෙන් අල්ලලා මාව පස්සට තල්ලු කරපු තත්පරේ ඉඳන් මගේ ඇඟ ඇතුළේ මොකක්හරි වෙනස් වෙලා තිබුණා. කලින් මතින්ද්‍රව දකිද්දි දැනුණ උණුසුම වෙනුවට දැන් මට දැනෙන්නෙ නොසන්සුන් ගතියක්.

හරියට මං හැමවෙලේම වැරදි තැනක වැරදි මනුස්සයෙක් එක්ක තනියම ඉන්නවා වගේ.

ඒ නිසාම මං හෙමින් හෙමින් එයාව මගාරින්න පටන් ගත්තා.

කෝල්ස් ආන්සර් කරන්නෙ පරක්කු වෙලා.මැසේජ් සීන් කරලා ‍රිප්ලයි නොකර ඉන්නවා.
 “වැඩ වැඩී.” “ඔෆිස් එකේ ඉන්නෙ.” “අද එන්න බෑ.” වගේ බොරු නිදහසට කාරණා කියන්න මං පුරුදු වුණා.

හැබැයි මතින්ද්‍ර ඒ වෙනස එක දවසින් අල්ලගත්තා.

“ඔයා හරි වෙනස්.”

එයා එදා රෑ එවපු මැසේජ් එක දිහා මං විනාඩි ගාණක් බලන් හිටියා.

“වෙනස් කියන්නෙ?”

මං අන්තිමට එහෙම රිප්ලයි කරා.

typing typing typing

එයාගේ නම ස්ක්‍රින් එකේ නැවති නැවති පේන්න ගත්තා.

“මට දැනෙනවා ඔයා මාව මග අරින්න හදනවා කියලා.”

මගේ පපුව ඇතුළේ මොකක්හරි තද වුණා. එයා මං කරන්න හදන දේ තේරුං ගත්ත බව තේරිච්ච තැන ඇත්තටම මං උන්නෙ මොකක් හරි පොඩි බයක් එක්ක.

“පිස්සුද? එහෙම නෑ.”

“එහෙනම් ඇයි මට කලින් වගේ කතා කරන්නෙ නැත්තෙ?”

මං රිප්ලයි කරේ නෑ. මොකෝ මට ඒකට දෙන්න උත්තරයක් තිබුණේ නෑ.ඒ වෙනුවට මම ෆෝන් එක ඇඳ උඩට විසික්කරලා දාලා ඇඳේ මුණින් අතට වැටිලා කල්පනා කර කර ඉන්න පටන් ගත්තා. මට කල්පනා කර කර ඉන්න දේවල් ඒ වෙලාවෙ සෑහෙන්න තිබ්බා.ඒත් තත්පර ගාණකින් ෆෝන් එක ආයෙ වයිබ්‍රේට් වෙන්න ගත්තාම මට ෆෝන් එක දිහා නොබලා ඉන්න පුළුවන්කමක් තිබුණෙ නෑ.

එක මැසේජ් එකක්.තව එකක්.තව එකක්.

“මං මොන වැරැද්දද කරේ මට මෙහෙම කරන්න?”
 “ඔයාට මාව එපා වෙලාද?”
 “ප්ලීස් මේඝා මාත් එක්ක කතා නොකට ඉන්න එපා.”

මට ඒ මැසේජස් ටික බලද්දි දුක හිතුණා.ඒත් ඒ දුක අස්සෙත් මට තව දෙයක් දැනුණා. ඒක බයක්.හරියට මං කාගෙහරි හිත කඩනවා නෙවෙයි. හරියට මං මොකක් හරි භයානක දෙයක් ඇවිස්සුවා වගේ.එදා රෑ මං බැල්කනි එකට ගියේ ඔලුව නිදහස් කරගන්න.මං වැටට හේත්තු වෙලා ෆෝන් එක අතේ තියාගෙන හුස්මක් ගත්තා. මට ඕන උනේ ඔලුව නිදහස් කරගන්න. එක පැත්තකින් මතින්ද්‍රව අමතක කරන්න.

ඒත් කවද්ද අපි හිතන දේවල් එහෙමම වෙන්නෙ? අන්න ඒක මට ඒත්තු ගන්වන්න වගේ තමයි පහළ පාර අයිනේ පාක් කරලා තිබුණ කළු කාර් එක මම දැක්කෙ.මගේ ඇඟ එකපාරටම සීතල වෙලා ගියා. ඒ කාර් එකේ ලයිට්ස් ඕෆ් කරලා එන්ජිම ඕෆ් කරලා තිබ්බත්, කවුරුත් ඒ කාර් එකෙන් එලියෙ පේන්න උන්නෙ නැතත් ඒ කාර් එක කාගෙද කියන එක මම දැනගෙන උන්නා.

එයා එතන කාර් එක නවත්තගෙන උන්නෙ ඇයි කියන එක මම දැනගෙන හිටියා.

මං තත්පර ගාණක් බැල්කනියේම ගල් ගැහිලා වගේ හිටියා.පහළ පාර අයිනේ තිබුණ කළු කාර් එක එහෙම්මම කිසි සද්දයක් නැතුව නතරවෙලා තිබුණා.මගේ අතේ තිබුණ ෆෝන් එක ආයෙ වයිබ්‍රේට් වුණා.

“බැල්කනියට ආවද?”

මගේ හුස්ම එක තැන නතර වුණා වගේ මට දැනුනෙ මතින්ද්‍ර මං දිහා බලන් ඉන්නවා, එයාගෙ ඇස් මාව පිස්සෙක් වගේ ෆලෝ කරනවා වගේ මට පේන්න පටන් ගත්ත නිසා.මං ඉක්මනටම පහළ බැලුවා. ඒත් කාර් එක ඇතුළේ කවුරුත් පේන්න හිටියේ නෑ.

තව මැසේජ් එකක්.

“සුදු ටීශර්ට් එක ලස්සනයි.”

ඒ තත්පරේ මගේ ඇඟ පුරාම සීතලක් දුවලා යනවා වගේ මට දැනුනා.

මං පිටිපස්සට අඩියක් ගත්තා.එයා මාව බලන් ඉන්න විත්තිය මට හොඳටම තේරුණේ අන්න එවෙලෙ.කොහේ ඉඳන්ද කියලා මං දැනගෙන හිටියේ නෑ. ඒත් එයා මාව බලන් හිටිය විත්තිය මම හොඳටම දැනගෙන උන්නා.මං ඉක්මනටම බැල්කනියේ දොර වහලා කර්ටන් එක ඇදලා දැම්මා. මගේ අත් දෙකම වෙව්ලනවා.

ෆෝන් එක ආයෙ වයිබ්‍රේට් වුණා.

“බය වෙන්න එපා.”

ඊට පස්සෙ තව එකක්.

“මට ඔයාව බලන්න ඕන වුණා විතරයි.”

මට එකපාරටම තරහා ගියා.

“මේක නෝමල් නෑ මතින්ද්‍ර. ප්ලීස් මේ වගේ පිස්සු වැඩ කරන්න එපා”

එයා ඒ මැසේජ් එක සීන් කරා කියන එක මම දැක්කා. ඉන්පස්සෙ ආයෙ වතාවක් එක දිගට එයා typing typing typing. ඒ typing එක තත්පර ගාණක් නැවති නැවති පේන්න ගත්තා.අන්තිමේ එවපු මැසේජ් එක දැක්කම මට නිකන් මට කලන්තෙ හැදීගෙන එනවා වගේ තමයි මට දැනුනෙ.

“ඔයා තමයි මාව මෙහෙම තත්ත්වෙකට ඇදලා දැම්මෙ”

මං රිප්ලයි කළේ නෑ.

ඒත් විනාඩි දෙකකට පස්සෙ ඩෝ බෙල් එක රින්ග් වුණා.

එක පාරක්.දෙපාරක්.තුන්පාරක්.

මං හෙල්ලුනෙවත් නෑ. ඊට පස්සෙ ෆෝන් එක ආයෙ වයිබ්‍රේට් වුණා.

“දොර අරින්න.”

“අපි කතා කරමු.”

“ඔයා මෙහෙම මාව ඉග්නෝර් කරොත් මං මොනව කරයිද කියලා මටවත් ශුවර් නෑ මේඝා.”

මං එයා කියන කිසිම දේකට රෙස්පොන්ඩ් කරන්නෙ නෑ කියලා තේරිච්ච තැන මතින්ද්‍ර එක දිගටම ඩෝ බෙල් එක රින්ග් කරන්න පටන් ගත්තා.එකම එක සද්දයක් ආයෙ ආයෙ නවත්තන්නෙ නැතුව ඇහෙද්දි ඔලුවට ඒක කොච්චර බරක්ද කියලා මට තේරුනේ අන්න එවෙලෙ. මට ඕන උනේ අත් දෙකෙන් කන් දෙක වහගෙන ඒ සද්දෙ මග අරින්න උනත් මතින්ද්‍ර මොන වගෙ පිස්සුවක් නටාවිද, එහෙම පිස්සුවක් නැටුවොත්, හදිසියේ හරි එයා කෑගැහුවොත් මට ඒක ඇහෙන එකක් නැතුව යාවි කියන බය මට එහෙම කන් දෙක වහගන්න ඉඩ දුන්නෙ නෑ.මං සෝෆා එකේ අයිනට වෙලා ෆෝන් එක අතේ තද කරගෙන හිටියා. මගේ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙනවා.

“ප්ලීස් මේඝා දොර අරින්න.”

මතින්ද්‍රගේ මැසේජ් එක ආයෙ ස්ක්‍රීන් එක උඩට පැන්නෙ මම එයා දුන්න කෝල්ස් කිසිම එකකට ආන්ස්වර් කරේ නැති හන්දා.  මං ඒ එක කෝල් එකක්වත් ආන්ස්වර් කරේ නෑ. ඒ කෝල් එක කට් උනා. තප්පර දෙකකට පස්සෙ ආයෙ කෝල් එකක් ආවා. මං ඒ කෝල් එක ගත්තෙත් නෑ. ඊට පස්සෙ එයා මට වොයිස් නෝට් එකක් එව්වා. මට මුලින් ඒක ප්ලේ කරන්න බය හිතුනත් ඒක අහන්න තිබ්බ කුතුහලේටම මං ඒක ක්ලික් කරා.

“මේඝා…”

එයාගේ හඬ බිඳිලා ගිහින් තිබ්බේ.හරියට අඬලා වගේ.

“මං ඔයාට රිද්දන්න හිතුවෙ නෑ. ඇත්තමයි. මට තේරෙන්නෙ නෑ මට මොනව වෙලාද කියලා. ඔයා මගාරින්න ගත්තම මට පිස්සු හැදෙනවා. ප්ලීස් මේඝා මට මෙහෙම කරන්න එපා. හොඳ මැණික වගේ දොර අරින්න මේඝා. ආයෙ එකම එක පාරකට මට සමාව දෙන්න. මට එකම එක චාන්ස් එකක් දෙන්න මේ හැමදේම ආයෙ එකම එක වතාවකට හරිගස්සන්න”

ඒ වොයිස් නෝට් එක අහලා ඉවර වෙන්නත් කලින් තව එකක් ආවා.මේ පාර හඬ වෙනස්.තරහෙන්.

“ඔයා රිප්ලයි නොකරට ඔයා මං එවන හැමදේම අහන, කියවන බව මම දන්නවා. කරුණාකරලා මට කියන්න ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ කියලා. ඇයි කිසිම හේතුවක් නැතුව මාව මෙහෙම මගාරින්නෙ? මෙතන ඊගෝ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද? මං වතාවක් ඔයාව එහෙම මග දාලා ගිය එකට පලිගන්න වගේ ඔයා දැන් හැසිරෙන්නෙ. ඔයා ඉස්සර එහෙම නෑ මේඝා.  සම්බන්ධකමක් ඇතුලෙ ඊගේ එකක් තියෙන්න විදියක් නෑ නේද?.”

මං ඒ කිසිම මැසේජ් එකකට රිප්ලයි නොකරත් මතින්ද්‍ර ඒවට රිප්ලයි කරන එක නතර කරේ නෑ. එයා දිගින් දිගටම තව තව එකක් එකක් ගානෙ මැසේජස් එව්වා.

“ඔයා හිතනවද මං නිකන් අයින් වෙයි කියලා?”

මගේ ඇඟ වෙව්ලන්න ගත්තෙ අන්න ඒ මැසේජ් එකේ තිබිච්ච තර්ජනේ තේරුං ගියාම.

ඩෝ බෙල් එක ආයෙ රින්ග් වුණා.

ඊට පස්සෙ අපාට්මන්ට් ඩෝ එකට මොකක්හරි වැදුණ සද්දයක් ඇහුණා.

එක පාරක්.තව පාරක්.මං හුස්ම අල්ලගෙන දොර දිහා බලන් හිටියා.

“මේඝා.”

මේ පාර එයාගේ හඬ ඇත්තටම දොරෙන් එහා පැත්තෙන් ඇහුණා.

“මං දන්නවා ඔයා ඇතුළෙ ඉන්නවා කියලා.”

මගේ ඇඟ සම්පූර්ණයෙන්ම සීතල වෙලා ගියා.

“ප්ලීස් දොර අරින්න.”

තත්පර දෙකක සයිලන්ස් එකකට පස්සෙ ඊට පස්සෙ එයා හරිම හෙමින් කියපු දේ ඇහුණා.

“මාව මෙහෙම දාලා යන්න එපා නැත්තම් මං ඇත්තටම මොනව කරයිද කියලා මටවත් විශ්වාස නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here