සහල් වතුර වල භාවිතය සහ ප්‍රයෝජනය 

සහල් වතුර යනු සහල් පොඟවා ගැනීමෙන් හෝ පිසූ පසු ඉතිරි වන පිෂ්ඨමය, කිරි සහිත ද්‍රාවණයයි. සියවස් ගණනාවක් තිස්සේ, එය ආසියාව පුරා මෙන්ම විශේෂයෙන්ම ජපන් සංස්කෘතිය තුළද සාම්ප්‍රදායික රූපලාවන්‍ය පිළිවෙත්, සෞඛ්‍ය සම්පන්න සමක් සහ ශක්තිමත් හිසකෙස් සඳහා ස්වාභාවික පිළියමක් ලෙස භාවිතා කර තියෙනවා . අද වන විට, නවීන ස්වයං රැකවරණ ක්‍රම සඳහා සරල, දැරිය හැකි සහ රසායනික ද්‍රව්‍ය වලින් තොර රූපලාවන්‍ය අමුද්‍රව්‍යක් ලෙස සහල් වතුර ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා.

B සහ E වැනි විටමින් වලින් පොහොසත්, ඇමයිනෝ අම්ල, ප්‍රතිඔක්සිකාරක සහ ඛනිජ ලවණ සමඟින්, සහල් වතුර සම සහ හිසකෙස් සෞඛ්‍යය සඳහ මෘදු පෝෂණයක් සපයනවා.

සම සඳහා සහල් වතුරෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද ? 

සහල් වතුර සම සන්සුන් කිරීම සඳහා සහ දීප්තිමත් කිරීම සඳහා දැඩි බලපෑම් එල්ල කළ හැකි අමුද්‍රව්‍යක් ලෙස සලකනු ලබනවා. සමට වඩාත් ඒකාකාර, නැවුම් සහ ස්වභාවික දීප්තිමත් පෙනුමක් ලබා දීමෙන් සහල් වතුර සමේ සමස්ත පෙනුම වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර ඔබේ ස්වාභාවික සමේ ස්වභාවය වෙනස් කිරීමට වඩා, එය ඔබේ සමේ නිරෝගී දීප්තිය වැඩි දියුණු කරනවා

එය සංවේදී හෝ ආසාත්මිකතා වලට පහසුවෙන් පත් වන සම සඳහා සන්සුන් විසඳුමක් ලෙසද ක්‍රියා කරනවා.සහල් වතුර වල ඇති පිෂ්ට අන්තර්ගතය සම මත සැහැල්ලු ආරක්ෂිත බාධකයක් නිර්මාණය කරමින් වියළි බව, රතු පැහැය සහ සමෙහි අපහසුතාවයන් අඩු කිරීමට උපකාරී වනවා.

සහල් වතුර වලින් ලැබෙන තවත් ප්‍රධාන වාසියක් වන්නේ කුරුලෑ ඇති සමට සහාය වීමේ හැකියාවයි. සහල් ජලය ස්වභාවික තෙතමනය ඉවත් නොකර අතිරික්ත තෙල් සහ අපිරිසිදුකම් මෘදු ලෙස ඉවත් කරන අතර සමබර හා පැහැදිලි සමක් පවත්වා ගැනීමටද දායක වෙනවා.

ඊට අමතරව, එය ස්වාභාවික ටෝනර් එකක් ලෙස ක්‍රියා කරනවා.සහල් වතුර දිනපතා භාවිතයෙන් සම මත ඇති සිදුරු තරමක් තද කිරීමට සහ සමේ වර්ණය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර සම මෘදු හා සිනිඳු බවට පත් කිරීමටද හැකියාව තිබෙනවා.

හිසකෙස් සඳහා සහල් වතුරෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද ?

සහල් ජලය හිසකෙස් රැකවරණය සඳහා ද විශාල වශයෙන් ප්‍රයෝජනවත් වනවා.සහල් වතුර වල හිසකෙස් ශක්තිමත් කිරීමට සහ සමස්ත හිසකෙස් සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වන ඇමයිනෝ අම්ල අඩංගු වන අතර සහල් වතුර අඛණ්ඩව භාවිතා කිරීමෙන් හිසකෙස් කැඩීම අඩු කර හිසකෙස් වඩාත් ශක්තිමත් බවට පත් කළ හැකිය.

ඊට අමතරව සහල් වතුර වල අඩංගු වන පෝෂක කොටස් හිස කෙස් වල මුල් පෝෂණය කරමින් සහ හිස්කබලේ තත්ත්වය වැඩි දියුණු කිරීමෙන් හිසකෙස් වර්ධනයට සහාය වනවා.

සහල් වතුර වලින් හිස කෙස් සඳහා ලැබෙන වඩාත්ම කැපී පෙනෙන බලපෑමක් වන්නේ එය හිසකෙස් වලට සපයන දීප්තිය සහ මෘදු බව ය. සහල් ජලය කෙස් කළඹ සුමට කරන අතර හිසකෙස් කළමනාකරණය කිරීමට පහසු කිරීම ,පැටලීම් අඩු කිරීම සහ ස්වභාවික දීප්තියක්ද හිස කෙස් වලට ලබා දෙනවා.

වියළි බව සහ හිස් කබල මත ඇතිවිය හැකි ආසාත්මිකතා තත්ත්වයන් අඩු කිරීමෙන් නිරෝගී හිස්කබලක් පවත්වා ගැනීමට සඳහාද සහල් වතුර ප්‍රයෝජනවත් වෙනවා.

රූපලාවන්‍ය ප්‍රයෝජන සඳහා සහල් වතුර සකස් කර ගන්නේ කොහොමද ?

නිවසේදී සහල් වතුර සකස් කිරීම සරල වන අතර එයට අවශ්‍ය වන්නේ සහල් සහ ජලය පමණයි.

පොඟවා ගැනීමේ ක්‍රමය

මුලින්ම සහල් වල ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සහල් කෝප්ප භාගයක් භාජනයකට එකතු කර දෙවරක් පමණ සෝදා ගන්න. අනතුරුව සෝදා පිරිසිදු කරගත් සහල් වලට  පිරිසිදු ජලය කෝප්ප දෙක තුනක් එකතු කර සම්පූර්ණ රැයක් හෝ පැය පහක හෝ හයක කාලයක් පෙඟෙන්නට හරින්න.පසුව එම සහල් වතුර වෙනත් පිරිසිදු භාජනයකට පෙරා ගෙන භාවිතයට ගන්න 

තම්බා ගැනීමේ ක්‍රමය

අතිරේක ජල ප්‍රමාණයකින් සහල් තම්බා, පිසූ පසු ඉතිරි දියර පෙරා ගන්න. භාවිතයට පෙර සිසිල් වීමට තබන්න.

පැසුණු සහල් වතුර

පොඟවා ගත් සහල් වතුර පියනකින් වසන ලද භාජනයක කාමර උෂ්ණත්වයේ පැය 24-48 අතර කාලයක් තබන්න. මෙය එහි පෝෂක අන්තර්ගතය වැඩි කරන නමුත් භාවිතා  කිරීමට පෙර එය තනුක කළ යුතුය.

සහල් වතුර භාවිතා කරන ආකාරය

හිසකෙස් සඳහා, ෂැම්පු කිරීමෙන් පසු සේදීමක් ලෙස සහල් වතුර භාවිතා කරන්න. එය ඔබේ හිස්කබලට සහ හිසකෙස් වලට ආලේප කර, විනාඩි 10-20ක් තබා පිරිසිදු ජලයෙන් හොඳින් සෝදන්න

සම රැකවරණය සඳහා, ටෝනර් එකක් ලෙස කපු පෑඩ් එකක් භාවිතා කර සහල් වතුර ආලේප කරන්න හෝ එයින් ඔබේ මුහුණ මෘදු ලෙස සෝදන්න.  එය ඉසින බෝතලයක ගබඩා කර ශීතකරණයේ තබා සිසිල් ටෝනර් එකක් ලෙසද භාවිතා කළ හැකිය.

සහල් වතුර භාවිතා කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද ?

සහල් ජලය ස්වාභාවික වුවත්, එය මධ්‍යස්ථව භාවිතා කළ යුතුය.එම නිසා සතියකට දෙතුන් වතාවක් යෙදීම සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වනවා.

ඇති විය හැකි ආසාත්මිකතාවයන් වළක්වා ගැනීම සඳහා සෑම විටම පළමු භාවිතයට පෙර පැච් පරීක්ෂණයක් සිදු කරන්න.විශේෂයෙන්ම සාමාන්‍ය සහල් වතුරට වඩා පැසුණු සහල් වතුර ශක්තිමත් විය හැකි බැවින් එය අනිවාර්යයෙන්ම තනුක කර භාවිත කරන්න.

සහල් ජලය ටෝනර් එකක් ලෙස භාවිතා කිරීමට ශීතකරණය තුළ ගබඩා කර නැවුම් බව පවත්වා ගැනීම සඳහා දින පහක් හෝ හතක් ඇතුළත එය භාවිතා කරන්න.

සහල් ජලය යනු නිරෝගී සම සහ හිසකෙස් සඳහා සහාය වන සරල නමුත් ඵලදායී ස්වාභාවික පිළියමකි. එය දැරිය හැකි මිලකට, සකස් කිරීමට පහසු වන අතර මෘදු ස්වයං රැකවරණ චර්යාවකට හොඳින් ගැලපෙනවා.

සහල් වතුර මගින් ක්ෂණික ප්‍රතිඵල ලබා නොදුන්නත්, ස්ථාවර සහ සමබර භාවිතය කාලයත් සමඟ සැලකිය යුතු දියුණුවක් ඇති කළ හැකි බව බොහෝ රූපලාවන්‍ය විශේෂඥයන්ගේ අදහසයි . සංකීර්ණ රූපලාවන්‍ය නිෂ්පාදනවලින් පිරුණු ලෝකයක, සහල් ජලය වඩාත්ම ස්වාභාවික විසඳුම් වලින් එකක් සහ වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා දෙන පිළියමක් ලෙසද සැලකිය හැකියි

Related Articles

Don't Miss


Latest Articles