ආතුරයන් මැද ආදරෙන් 26

වර්ණාසි කෑ ගහගෙනම ඇඳේ ඉඳගත්තා.එතනින් එහාට ප්‍රවෘත්තිවල කියවෙන්නේ මොනවද කියලා වර්ණසිට ඇහුනෙ නෑ.අතින් ගැලවුණ සේලයින් බටය බීසි වෙලා යද්දී වර්ණාසිගේ රතු පාට ලේ බිංදු රෝහල්කාමරය පුරාත් ඇඳ පුරාත් විසිරුනා.වර්ණාසිට කතා කරලා සංසුන් කරගන්න උත්සාහ  කළත් බැරිවෙන තැන.. නර්මදා වර්ණාසි ව බදා ගත්තා.වර්ණාසිගේ කලබල කිරිල්ල නවත්තගන්න හෙද පාලිකාවක් වර්ණාසිට  නින්ද යන්න බෙහෙත් විද්දා.

“අනේ ජාදු මරලා ආන්ටි … එයා අහිංසකයි ..තාත්ති කරලා තියෙන්නේ  ඡන්ද ගන්න තවත් ගැටයක්.. ආන්ටී..පන්සල් පල්ලි කුඩු කරගෙන බෝම්බ පුපුරවලා තියෙන්නෙ තාත්තිලා…
ඔයාගේ මහත්තයා මරලා තියෙන්නෙත් ඒ ප්ලෑන් එක  ඇතුලෙමයි..ඒකත් හොඳට ප්ලෑන් කරලම කරපු දෙයක්..”

වර්ණාසි පිස්සුවෙන් වගේ කියෙව්වා. නර්මදාට ඒ දේවල් වල භයානකක තමයි ඒවායේ අගමුලයි සේරම ගැලපෙනකොට වර්ණනාසිට නින්ද ගිහින් තිබුනා. නර්මදා ගල් වෙලා උන්නා.

නර්මදාගේ ඇස්වලින් එළියට ආපු කඳුළු ඇහිපිල්ලන් අග ගල් වෙලා නැවතුනා. තවත් එක අඳුරු කාල පරිච්ඡේදයක තමන්ගේ ආත්මය හිරවෙලා මිරිකිලා පොඩි වෙලා ගිහින් කියලා නර්මදා ට හිතුනා.
අනේ ශාන්ත… නර්මදා  හිතුවා. දන්න දා ඉඳන් මට නපුරුකම් කළත් මාව නොසලකා ඇරියත් මට බෑ ඔයාට නපුරක් උනයි කියලා හිත හදාගන්න.කේසර මොනතරම් නරක මිනිහෙක්ද… ශාන්ත ඔයාට මෙහෙම වුණේ මම නිසාද …මේ විදිහේ අවසානයක් මම කවදාවත් හිතුවේ නෑ.ඒ බෝම්බ අන්තවාදින්ගේ වැඩක් කියලා ඒ වෙලාවේ කේසරලාගේ පක්ෂය ඉහළින්ම දිනුවා. ජනාධිපතිවරණය දිනන්න තවත් ඇමක් විදිහට එයාගෙම දුවව ඇමට තියලා. දරුවෙකුටත් වඩා ආදරයෙන් භක්තියෙන් හිටපු අර අහිංසක කොල්ලාව මරල දාලා..කේසර  එක්ක එකට ජීවිතය බෙදා ගන්න පොරොන්දු වුණු මාවත් තමන්ගෙම ලෙයින් ජාතක දරුවවත් රවට්ටලා මොන විදිහේ ලෝකයක්ද ඔයා මේ දිනන්න හදන්නේ… නර්මදා ඔලුව රිදෙනකන් හිතුවා.

“ප්‍රඥවේ පැහැදිලිකමයි..මෛත්‍රියේ මෘදුකමයි … එකට එකතු කරන්න පුළුවන් නම් අපි දිනුම්…
ඉවසීම තමයි අපිව පොළඹ වන්නේ සිත සන්සුන් කරගන්න… බුද්ධ ධර්මයේ ඉවසීමේ අංග තුනක් තියෙනවා.
මෘදු ඉවසීම …
සන්සුන්ව දුෂ්කරතා විඳ දරා ගැනීමට පුළුවන් බව …
සත්‍ය පිළිගැනීමට  ඇති හැකියාව.. ඒ කරුණු තුනයි.”..

නර්මදාට පෝයදා සිල් ගත්ත වෙලාවේ ලැබුණු උපදෙස් මතක් උනා.

” මෘදු ඉවසීම බොහොම දුෂ්කරයි… දිව අල්ලගෙන ඉන්න තරමට අපිට දිනන්න පුළුවන්.. වඩා උත්සාහවන්තව ඉවසීම රඳවා ගන්න ඕනෙ වෙන්නේ ඒකෙන් අපිව පුදුම විදිහට පාලනය කරන හින්ද…”

සෑහෙන වෙලාවකට පස්සේ ආපහු ඇස් අරින්න උත්සාහ කරන වර්ණාසි දිහා නර්මදා බලාගෙන හිටියා.ඒ පැය ගාන ඇතුළතදී නර්මදාගේ හැඟීම් බොහෝම ගණනක් මැරිල ගිහිල්ලා තිබුණා.
ජාදු කේසරගේ දකුණු අත  වගේ. එහෙම මනුස්සයවත් බිල්ලට දීලා තමන්ගෙ දරුවවත් මේ තරම් රවට්ටන්න පුළුවන් වුනා නම්…
මං වගේ කෙනෙකුට කේසර මොනව නොකරයිද… තමන්ගේ හිත වහ වැටුන බලය ගන්න කේසර වගේ මිනිස්සු නොකරන දෙයක් නෑ. තව ටිකකින් කේසර එයි. ඒත් මේ කිසිම දෙයක් නොකියා ඉන්නවා. ඒක තමයි හොඳම දේ. ඔය වගේ මනුස්ස වේසයෙන් ඉන්න අමනුස්සයෙකුට මොනව කරන්න බැරිද…
නර්මදාට හිතුනා.

“ආන්ටී…”

වර්ණාසි කෙඳිරි ගාද්දී නර්මදා ඉක්මනින් නැගිට්ටා. වර්ණාසිගේ මූණ ළඟට ළං වුණා. වර්ණාසි ව බදා ගත්තා.

“පුතේ නැගිටින්න …හැබැයි කලබල කරලා කෑගහලා දඟලන්නේ එපා. ඔයයි මමයි දෙන්නම ඉන්නේ එකම සුළි කුණාටුවක. මේ තරම් වංචාවක් කරන්න පුළුවන් මිනිහෙකුට තව කරන්න බැරි දෙයක් නෑ පුතේ..
අපි මේ වෙලාවේ බොහොම කල්පනාවෙන් වැඩ කරමු. මම ඔයත් එක්කම ඉන්නවා. අපි පරිස්සමින් මේකෙන් ගැලවෙමු.”

” අනේ ආන්ටි ජාදු හරිම පව් ..මාව පුදුම විදිහට පරිස්සම් කරලා බලා ගත්තා. “

වර්ණාසි තමන්ට හුරුපුරුදු ඉංග්‍රීසියෙන් කිව්වා. “

“තාත්ති ඇයි  ජාදුට එහෙම කළේ”

එහෙම කියපු වර්ණාසි  නර්මදාට හැම විස්තරයක්ම කියන්න පටන් ගත්තා ගත්තා. ජාදු වගේම  තමන්ටත් මැරෙන්න වුනොත් කියන අනියත බයක් වර්ණාසිටත් දැනුනා. ඊට කලින් ඒ බය නර්මදාට දැනිලා තිබුණා. නාලිකාගේ විස්තරය අහපු නර්මදා වැළපුණා.

“අනේ දෙයියනේ මොනවද මගේ මේ කන් දෙකට ඇහෙන්නේ…”

කියපු නර්මදා අත් දෙකෙන් කන් දෙක වහගෙන වැලපුනා. ටික වෙලාවකින් නිහඬව හිටපු වර්ණාසී ආයෙත් පාරක් කතා කළා.”

ආන්ටි … ඔයා කිසි දෙයක්  දන්න බවක් පෙන්නන්න එපා. මේකෙන් ගැලවිලා යන්න නම්.. ඔයා මේ කිසි දෙයක් දන්නේ නැති බව පෙන්නන්න වෙනවා …මම තාත්තිත් එක්ක කතා කරන්නම්.”

” පුතේ… ඔයා නවසීලන්තයටම ගැලවිලා යන්න ..මට යන්න නෑදෑ ගෙදරක් වත් දන්න තැනක්වත් නැහැ. මගේ පුතාට පුළුවන් නම් මට ආරණ්‍ය සේනාසනයකට යන්න උදව් කරන්න ..”

“ආන්ටි… මම යන තැනකට යනවනම් යන්නේ ආන්ටිවත් අරගෙන… ඒකට ආන්ටි  විරුද්ධ වෙන්න එපා…නිහඬව ඉන්න…”

රෝහල් කාමරයට හෙදියක් ආපු වෙලාවේ වර්ණාසි  හෙදියට කිව්වා දෙන්නටම උණුසුම් තේ දෙකක් ඕන බව.. හෙදිය ආයිත් පාරක් කාමරයෙන් එළියට ගියා. ඒ අතරතුර එඑකපාරටම

“මගේ  පුතේ “

කියාගෙන හැමෝගෙම පොදු හතුරා වෙලා උන්න කේසර කාමරයට කඩාගෙන වැදුනා.
මේ භයානක ප්ලෑන් එකේ තවදුරටත්  කොටසක් නොවී ඉන්න එකේ වැදගත්කම වර්ණනාසිට එක පාරටම දැනුනා.

” ආන්ටි ..ප්ලීස් ඔයා චුට්ටක් කාමරයෙන් එළියට යන්න ඕනේ. මට තාත්තිත් එක්ක ටිකක්  කතා කරන්න ඕනේ.”

නර්මදා ඒ අණට පුදුම වුණා. වර්ණාසි දිහා බලලා හෙමින් සීරුවේ කාමරයෙන් එළියට ගියා.

“දුව ඇයි.. මොකක්ද මාත් එක්ක නර්මදාට හොරෙන් කතා කරන්න තියෙන දේ…”

“ජාදු කෝ…”

“ආ….ඒකද”

කේසර හිනාවෙලා ප්‍රශ්නය මග අරින්න උත්සාහ කළේ පාර්ලිමේන්තුවේ විදිහටමයි.

“තාත්ති ජාදු කෝ…”

“පුතේ… කලබල නොවී අපි කතා කරමු..
ටිකක් ඉඳගන්න..”

වර්ණාසි  ඉදගත්තේ නැහැ. වර්ණාසිගේ ඇස්වල කඳුළු තිබුණා. හැබැයි ඒවා බිමට වැටුනේ නෑ.

“මීට පස්සේ මට ඔයාට තාත්තා කියලා කියන්න බැරි වෙයි. ඔයා කරපු හැම දෙයක්ම මම  දන්නවා… ජයමහා අන්කල් වගේම මමත් දැන් ඔයාගේ හතුරෙක්.. මාව නවත්වන්න පුළුවන් ජාදුට කරපු දේම මටත් කරනවා නම් විතරයි.. මම බය නැහැ.”

“පුතේ”…

කේසර රණබාහු මොනවදෝ කියන්න උත්සාහ කළා.

“ඔයා කතා කරන්න එපා…
මට පිළිකුල් මේ සේරම …
මං වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මට මේ ජරා වලින්  ගැලවිලා, ආපහු සැරයක් පුංචි අම්මා ළඟට යන්න උදව් කරන එක.. ඔයා එහෙම කළොත් මම නිහඬව පිටවෙලා යනවා. හැබැයි එහෙම නොකළොත්….
මේ සේරම දේවල් මුළු ලෝකයටම මම කියනවා…
වඩා හොඳ විදිහ ඔයා තෝරගන්න….හැබැයි මම යනකොට යන්නේ නර්මදා ආන්ටිවත්  අරගෙන…
මම නොදැන හරි ඔයාගේ නාට්‍යයක රඟපාපු නිසා… මට ඒකෙ ගාස්තුව ගෙවන්න වෙනවා. ඒකයි  මගේ අය කිරීම “…

වර්ණාසි සුපුරුදු ඉංග්‍රීසියෙන් බොහොම හඬ අඩුවෙන් ඒ උනාට මහා ස්ථිරසාර කටහඬකින් කිව්වා.
කේසර නිහඬව කල්පනා කළා. කේසර වර්ණාසිත් එක්ක කියන්න ගොතාගෙන ආපු කතාව දැන්  කියලා වැඩක් නැහැයි කියලා හිතුනා. ඒ හින්දා ජාදු  ගැන කියන්න තිබුණු උත්තරෙත් කියාගන්න බැරුව ගියා. එතනදි තමන්ට ටිකක් වැරදුනා කියලා කේසරට තේරුණා. ජාදු  තමන්ට ඉතාම වටිනා පුද්ගලයෙක් වුණත් බෝම්බ සිද්ධිය සම්පූර්ණයෙන්ම අගමූල දන්න කෙනෙක් නිසා තමන්ගේ ජීවිතයේ හංගන්න ඕනේ තව හුඟක් දේවලුත් ජාදු  දන්න නිසා ජනාධිපති ඉදිරි ගමනට ජාදු  බාධාවක් වෙයි කියලා කේසර තීරණය කරලා තිබුණා.
දේශපාලන බල පෙරළි ලෝකයේ නොකරන දෙයක් නැති නිසා.. සමහර වෙලාවට ජයමහලගේ පැත්තෙන් තමන් නොහිතන වෙලාවක ජාදු ගේ හිත කඩලා ජයමහලගේ පැත්තට නම්මවා ගනියි කියලා කේසර ළඟ ලොකු බයක් තිබුණා.
එහෙම වෙන්න කලින් මේ වගේ ප්ලෑන් එකකින් ජාදු ගේ කරදරෙත් ඉවර කරලා …ඡන්ද ව්‍යාපාරයේ වැඩත් එකෙන්ම කරගන්න මෙදා පාරත් කේසරට උදව් කළේ  එදා උදව් කරපු ශංකර්ම තමයි.
තමන්ගේ ඉදිරි ගමනට ජාදු  බාධාවක් වෙයි කියලා කේසරට මුලින්ම කිව්වෙත් ශංකර්ම තමයි.ඒ හින්දා ගන්න තියෙන ප්‍රයෝජනය ඒ විදිහට අරගෙන අයින් කරලා දාන වැඩෙත් ඒ විදිහටම කෙරෙන විදිහ ගැන  ශංකර් උපදෙස් දුන්නා.
තමන් වෙනුවෙන් පණ දෙන්න වුනත් සූදානමින් ඉන්න මිනිස්සුන්ව ඉස්සර රජ කාලෙත් රජාගේ නිදහන් සුරකින්න බිලි පූජාවට දුන්නු බව කේසරට මතක් වුණා.මෙච්චර දුරක් ආපු තමන්ට අන්තිම මොහොතේ අඩියක් වත් පස්සට ගන්න බැරි බව කේසර තීරණය කළා. තමන්ගේ ජනාධිපති හීනයට ආපු ගමනේ ලේ ගංගා ගලාගෙන ගිහින් තිබුනත් ….බෙලි කැපිලි කැටිලි කෝටි ගණනක් තිබුණත්… මේ සිද්ධියත් කාලයක් එක්ක තමන්ට විසඳගන්න පුළුවන් කියන දැඩි ආත්ම විශ්වාසය කේසර ළඟ තිබුනා..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles