හිමගිරි අරණ -56

“සමහර වෙලාවට අපි තමන්ට අවංක නොවුනොත් ප්‍රශ්නයක් විසඳන්න පුදුම තරම් අමාරුයි.”

සිසිල් බීම වීදුරුව මත ඇඟිල්ලකින් ඉරි අඳින අතර අමායා පැවසුවා ය.ඇය අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට සිත එකඟ කරගෙන රවිඳු ඇය දෙසම බලා හුන්නේ ය.අමායා ඇගේ සහෝදරිය තරමට සංවේදි හා ලඳ බොළඳ කෙල්ලක නොවන වග ඔහු ඒ අතර සිතන්නට විය.එසේ වීමේ ද ගැටලුවක් නොවේ.හිමාෂා පසුකළ දුක් කන්ද ඇය සමඟ හඬමින් දරාගන්නා බාල සහෝදරියක් වෙනුවට ඇයට ධෛර්යය දෙන්නියක් වීමට අමායාට තිබූ ශක්තිය අගය කළ යුතු මට්ටමේ එකක් බව ඔහුට සිතිණි.ඒවා කියන්නට පෙර ඇය පවසන දේ අසා සිටිය යුතු වේ.

“ඔයා පාරමී අක්කව දිගටම රිජෙක්ට් කරා කියන එකයි මම පිළිගන්නේ.ඒ නැතුව කාටත් හොරෙන් එයත් අෆෙයා එකක් ගෙනිච්චා කියන එක මට පිළිගන්නම් අමාරුයි අයියේ.ඒ නිසා මාත් එක්ක මේ පැටලුණු  නූල් බෝලේ ඔයාට ලිහන්නම වෙනවා.”

ඒ කතාවට රවිඳුට පවසන්නට තිබුණේ සෘජු පිළිතුරකි.ඔහු සැබෑවටම පාරමී පිළිබඳ ආදරයකින් පසු නොවේ.පාරමී සම්බන්ධයෙන් හදිසියේ පැන නැගුණු ගැටලුව ඒ ආකාරයට විසඳූයේ අම්මා බව ඔහු පැවසුවේ වේදනාත්මක ස්වරයකිනි.

“අපේ අම්මා නිතරම කියනවා එයා දුවෙකුට හරි ආසාවෙන් හිටිය කියල.ඇත්ත වෙන්නත් ඇති.එයා දැන් අපි කාටත් වඩා අයියාගේ වයිෆ්ට ආදරෙයි.ඒ නිසාම මේ ප්‍රශ්න විසඳනකොට ගෑනු ළමයෙක් ලැජ්ජ වෙනව බලන්න අපේ අම්මගේ කැමැත්තක් තිබුනෙ නෑ නංගි.”

ඒ අම්මා සතු මානුෂිකත්වය ගැන අමායාට ඇති වූයේ පැහැදීමකි.අම්මා කෙනෙකුට එවැන්නක් නොකර ඉන්නට අසීරු වග ඇය සිතුවා ය.නින්දා අපහාස කර පාරමීට ඉමහත් වේදනාවක් ලබා දෙනවට වඩා ලංකාවේ විවාහයක් තුළ සලකා බලන ප්‍රධානම සාධකයක් ඉදිරියට දැමීමට රවිඳුගේ අම්මා සුහුරු වී තිබේ.එය එක් අතකින් ප්‍රශ්නය සාමකාමීව විසඳාලන්නකි.

“පාරමී අඬන්න තියා ගත්තාම හිමා හිතන්න ඇති එයා කියන්නේ ඇත්ත කියල.”

පිටතින් බලා ප්‍රශ්න වලට විවිධාකාර විසඳුම් දිය හැකි බව අමායා ද දනියි.ආදරය කිරීමේදී විශ්වාසය යන සාධකය මොන තරමට වැදගත් දැයි ඇය සිතුවා ය.ඇය මේ ගමන එන්නට පෙර ඒ ගැන කෙටියෙන් පැවසූයේ ඇගේ පෙම්වතාට ය.නොදන්නා තරුණයකු මුණගැසෙන්නට යන ඒ ගමනට පසුපස වැටී එන්නට ඔහුට උවමනාවක් වූයේ නැත.අක්කගේ යහපත පිණිස ඒ ප්‍රශ්නය විසඳා ගන්නට අමායා දක්ෂ බව පැවසුවා මිසක ඔහුට පවසන්නට වෙනත් දෙයක් නොවී ය.ප්‍රේමය එබන්දක් බව ඇය සිතුවා ය.

“අපි ප්‍රශ්නෙක ඉන්නවනම් ඒ ප්‍රශ්නෙ ඇත්ත ගැන නොකියා අපිට ඒකට විසඳුමක් හොයන්න බෑ.ගොඩක් වෙලාවට අපි කරන්නෙ යාලුවෙක්ට වුණත් ඒ ප්‍රශ්නෙ කෑලි කඩලා අපි කැමති කොටස් කියන එක.එතකොට වෙන්නේ තියෙන දේවල් තවත් අලුත් වෙන එක.මේ වෙලා තියෙන්නෙත් එහෙම දෙයක්.”

රවිඳු වෙත ඒකපාර්ශවික ප්‍රේමයකින් බැඳී හිඳින බව හිමාෂාට පවසමින් ඇගේ උදව් පැතූ අතීතයක් පාරමීට තිබේ.ඒ කතාබහ වෙනස් කරන්නට ඇය තීරණය කළේ රවිඳුගේ හදවත හිමාෂාට බැඳෙමින් ඇතැයි ඇය සිතූ හන්දා ය.එතැන් පටන් ඇය ක්‍රියා කළ ආකාරය සියලුම ගැටලු ඇති වන්නට හේතුව නොවේදැයි රවිඳු පවසන්නේ කලකිරීමෙනි.ඔහුට පාරමී ජීවිතයෙන් ඈත් කරන්නට උවමනා බව දැන් අමායාට පැහැදිලි ය.දැන් ඇයට විසඳාගන්නට ඇත්තේ වෙනත් කාරණා කිහිපයකි.

“කෙනෙකුට හොඳටම බැඳුනාම එයාගේ හැම දෙයක්ම නෝට් කරලා තීරණ ගන්න කෙල්ලන්ට පුලුවන් අයියෙ.කෙටියෙන්ම කිව්වොත් ඉතින් ඔයා ලොකු රහසක් කියලා හිතාගෙන ඉන්න දේ පාරමී අක්කා ඔයාගේ ඇස් දෙකෙන් කියවා ගත්තා.ඒ දේ විනාශ කරන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න එයා පටන් ගත්තේ ඊට පස්සේ”

තමන් ඇගේ අක්කාට ආදරය කිරීම පාරමී නිර්මාණය කළ බොරුවක් නොවන වගත් එය සත්‍යයක් බව ඇයට තේරුම් ගොස් ඇති බවත් අමායා සැහැල්ලුවෙන් පවසන බව රවිඳු වටහා ගත්තේ ය.එක් අතකට එය සඟවා තේරුමක් ද නොවේ.අයියා පෙර දිනයකදී පැවසූ ආකාරයට මේ සැඟවෙමින් ප්‍රේම කළ හැකි වයසක් නොවේ.වැඩිහිටියෙකු ලෙස තමන්ගේ හැඟීම් නොසඟවා පවසන්නට රවිඳු තීරණය කළේ ය.

“පාරමී කියන්නේ ඇත්ත.මම ඇත්තටම හිමාෂාට ආදරෙයි.”

හදවත පෙලා දමන හැඟීමක් වචන වලට පෙරලූ පසු දැනෙන සැහැල්ලුව රවිඳු අත් දුටුවේ ඒ මොහොතේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles