“මට ගෙදරදි කතාකරන්න අමාරු විත්තිය මං කියලා තියෙද්දි මෙහෙම මට නිතර නිතර කෝල් ගන්න එපා. අනික මං කිව්වනෙ මොනාහරි පණිවිඩයක් කියන්න තියෙනම් ඉස්සෙල්ලා එස් එම් එස් එකක් එවන්න කියලා.
ඇයි ඔයාට පොඩ්ඩක් මං කියන දේ තේරෙන්නෙ නැත්තෙ? මෙහෙම ඔයාට හිතිච්ච හිතිච්ච හැටියෙ කෝල් කරන එකෙන් වෙන්නෙ මට ඔලුව නිදහසේ තියාගෙන මට ගෙදර ජීවත්වෙන්න වෙන්නෙ නැති එක විත්තිය ඔයාට තේරෙන්නෙ නැද්ද?” කියා අතුල සමරසිංහ වේගයෙන් වේගයෙන් හතිදාමින් මෙන් කියාගෙන ගියද ඒ කිව්වේ කාටවත් ඇහෙන්නෙ නැතිවෙන පරිද්දෙන්, කාටවත් නොඇහෙන පරිද්දෙන් ගෙදරින් මදක් ඇත් වී ගේට්ටුව හරියේ කෙලවරකට වන්නට වීය.
ජීවිතේ වෙනස් වන්නේ නොහිතන මොහොතක බව දැනගෙන උන්නද අවුරුදු පණස් ගාණකට කිට්ටු වයසකදි එය එසේ වනු ඇතැයි තමන් අපේක්ෂා නොකළ බව අතුලට වුව තේරුම් ගියේ මෑතකදීය. හිත තිබුණේ වෙනදා මෙන් සියල්ල දෙස උපේක්ෂාවෙන්, නිවිහැනහිල්ලේ කල්පනාකර බලන්නට පුළුවන්කමක නොවේ.
ගිනිගන්න ස්වභාවයකිනි.
“නෑ මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. මං කිව්වේ නෑනේ මට මේක මගහරින්න ඕන කියලා. ඒ වුණාට තැනක් නොතැනක් බලන්නේ නැතුව මෙහෙම හැසිරුණාම මං කොහොමද කියන දේකට හරි උත්තරයක් දෙන්නේ?” අතුල තමන්ගේ කටහඬේ වූ වේදනාව, නැගෙන්නට ආ කේන්තිය, දරදඬු බව අමාරුවෙන් පාලනය කරගනිමින්, වටපිට බලමින් මිමිණුවේය. අඳුරේ ගිලී තිබුණු ගේට්ටුව ළඟ වැට දිගේ එක පේළියට වවා තිබූ තැඹිලි පාට බහුමානියා මල් පෙති මත ඔහුගේ ඇඟිලි වෙවුලමින් තද විය. මල් පෙති තිබුණේ ඔහුගේ රළු ඇඟිලි වලට හසු වී පොඩි පට්ටම් වී යමිනි.
“දෙයියන්ගේ නාමෙට ඕක දැන්ම කරන්න යන්න එපා. මං ඔයාට එන්නම් කිව්වනේ. මං හෙට කොහොමහරි වේලාවක් හදාගෙන එන්නම්. ඒ වෙනකල් පොඩ්ඩක් ඉවසලා ඉන්න බැරිද? ඔයා මේ හදිස්සි වෙලා කරන වැඩවලින් අන්තිමේ වෙන්නේ මගේ මුළු පවුලම පාරට වැටෙන එක. මගේ කෙල්ලගේ විභාගේ ළඟයි. ඒකවත් ඔයාට තේරෙන්නේ නැද්ද? මොන පිස්සු විකාරද මේ කරන්න යන්නෙ? “
එහා පැත්තෙන් එක දිගටම කියැවෙන වචන හමුවේ අතුලගේ නළල රැළි වැටුණේ මහා අසරණකමකිනි. හිස ඇතුළෙන් මහා රස්නයක් මතුවී එද්දී ඔහු අතේ තිබූ දුරකථනය තවත් කනට තද කරගත්තේ එහා පසින් කියවෙන වචන වෙන කාගෙ හෝ සවන් මත වැකේ යැයි බියකින් මෙනි.
“මොකක්? ඔයාට පිස්සුද? එහෙම දෙයක් කරන්න එපා දෙයියනේ මං කොහොමද ගෙදර අයට මූණ දෙන්නේ? අනේ පින් සිද්ධ වෙයි මං කියන දේ අහන්න. මං හෙට උදෙන්ම එන්නම්. ඒ වෙනකල් මට කෝල් ගන්නෙ නැතුව ඉන්න”
එහා පැත්තෙන් ෆෝන් එක කට් වෙන සද්දයත් සමඟම අතුල තත්පර ගණනාවක් මෝහනය වූවෙකු මෙන් ෆෝන් එක දෙස බලා සිටියේය.
ඔහු එකපාරටම කතාව නතර කර, කටින් පිටවීමට ගිය සුසුම අමාරුවෙන් පපුව අස්සේ තද කරගත්තේ ගෙදර සාලයේ විදුලි බුබුලෙන් නික්මී ගේට්ටුව දෙසට වැටුණු එළිය දිගේ සෙවනැල්ලක් මතු වෙනවාත් සමගමය.
දුරකථනය ඉක්මනින්ම විසන්ධි කර, කමිස සාක්කුවට තද කරගත් අතුල තමන්ගේ පපුව අස්සෙන් නැගෙන හෝස් හෝස් ශබ්දය අනික් අයට ඇසෙයිදෝයි බියෙන් හුස්ම පවා අල්ලාගෙන අන්ධකාරය මැද්දේම ගේ දෙසට පියමංකරන්නට වූයේ “කලුවරේ ගේට්ටුව ළඟට වෙලා මක්කද කරේ?” කියන ප්‍රශ්නය මූණේ ඇඳගෙන ඉස්තෝප්පුවේ පඩිපෙළ ළඟ හිටගෙන තමා දෙසම බලාගෙන හිඳිනා චන්ද්‍රාගේ නෙත් සැරයෙන් බේරෙන්නට කාරණා හිතෙන් හදාගන්නා අතරවාරයේය.
නළලෙන් බේරෙන සීතල දාඩිය බිංදුවක් උඩුතොල මතින් ගිලී යද්දී, ඔහු තමන්ගේ දෙපා වෙවුලීම අමාරුවෙන් පාලනය කරගත්තේය.
“ගේට්ටුව ළඟ මේ කලුවරේ මොනවද කරේ?” කියා චන්ද්‍රා තමා හිතු පරිද්දෙන්ම පිහිතුඩු වන් වචන විසි කරද්දී අතුල සමරසිංහ වරදක් කල අයෙකු මෙන් ගැස්සුණේය.
“අහ්..මං..මං මේ අර කුලේ යනවද කියලා බැලුවා”
“මේ වෙලාවෙ ඒ මනුස්සයා මොකටද මෙතනින් යන්නෙ?” කියා චන්‍ද්‍රා විමසිල්ලේ තම මුහුණ දෙස බලාගෙනම එක එල්ලේ අහද්දි අතුලට ඕන වුණේ එතනින් මිදී යන්නටය. ඒ ප්‍රශ්න විචාරාත්මක හමුව මග අරින්නටය. එහෙත් එසේ කිරීමම චන්ද්‍රාට තමාව සැක කරන්නට හේතු කාරණා සපයන බව දැන් උන් නිසාවෙන්ම අමාරුවෙන් හෝ පෙර උන් අතුල සමරසිංහවම මෙතනට අරගෙන ආ යුතු බවට මොළය සංඥා දුන්නේය.
“වෙලාවකට ඔයත් නිකන් චන්දන සුරියබණ්ඩාර වගේනෙ චන්ද්‍රා”
“ඒ මොකද එහෙම කියන්නෙ?” කියා චන්ද්‍රා ආයෙ අහන්නේ කටු අනිණවාක් වැනි හඬකිනි.
“සිරස ලක්ෂපති එකේ ප්‍රශ්න අහනවා වගේනෙ අප්පා ප්‍රශ්න අහන්නෙ”
“මෙහෙමයි ඉතින් ප්‍රශ්න අහන්නෙ නැතුව ඉන්න තිබ්බා සැක හිතෙන විදියට මේ ගෙදර මිනිස්සු හැසිරුණේ නැත්තං”
“සැකෙන් බලද්දි ඉතින් කාව උනත් පේන්නෙ ඇදේට තමයි චන්ද්‍රා”
“මට මෙච්චර දවසකට නම් එහෙම කාවවත්ව ඇදේට පෙනුනෙ එකක් නෑ. හැබැයි ලඟදි ඉඳලා නම් මට පේන්න පටන් අරන් තියෙන්නෙ කාට කාටත් මෙච්චර දවසක් කෙළින් යන්න ඕන වෙච්ච පාරවල් වල තවදුරටත් යන්න ඕන නැතුව ඇඳේට යන්න ඕන වෙලා විත්තිය” කියාගෙන චන්ද්‍රා තමාව පසුකරගෙන ගේ ඇතුළට යද්දී අතුලගේ දෙනෙත් ඒ පසුපස්සේ ගොස් නැවතුනේ සාලයේ සෙටියේ වාඩි වී තමන්ගේ කතා බහට සවන් දිගෙන උන් දුව නෙත්මලීගේ තද කළු පැහැ නෙත් කුහර අස්සේය.
නෙත්මලීගේ ඒ තද කළු පැහැ දෑස් කෙළින්ම එල්ල වී තිබුණේ තාත්තාගේ මුහුණටය.
වෙනදාට ආදරයෙන් සෙනෙහසකින් පිරී ඉතිරී යන ඒ දෑස් අද තිබුණේ වෙනස්ම විදිහක විමසිලිමත් බවකින් පිරී බව අතුල සමරසිංහට නොතේරුණා නොවේ. කිසිවක් කෙළින්ම අසාගන්නට නොහැකි, එහෙත් හිත ඇතුළෙන් නැගෙන මහා විසඳාගත නොහැකි ප්‍රශ්න පත්‍රයක බරින් තැවෙන ඒ නිහඬ බැල්ම හමුවේ අතුලගේ පියවර එකතැනම නතර විය.
“පුතා පාඩම් කරලා ඉවරද?” අතුල තමන්ගේ හඬ සාමාන්‍ය තත්වයට පත්කර ගන්නට වෙහෙසෙමින් අසා සිටියේ සාලයේ මැදින් කාමරය දෙසට ඇදී යන්නට උත්සහ කරන අතරවාරයේය.
නෙත්මලී උත්තර දෙන්නට පෙර තත්පර කීපයක් තාත්තාගේ මුහුණ දෙසම බලා සිටියාය. කෙළින්ම “තාත්තා අපිට හොරෙන් කවුරු එක්කද කතා කරන්නෙ?” කියා අසාගන්නට තරම් හිතට හයියක් තිබුණේ නැති බව ඇත්තකි. එක අතකින් තාත්තාට තියෙන මහා ගෞරවය සහ ආදරයත් අනෙක් අතින් මේ අහන ප්‍රශ්නයකින් තමන් අතර තියෙන ඒ සුන්දර බැඳීමට යම් හානියක් වේවිදෝ යන බියත් ඇයව මුළුමනින්ම ගොළු කර තිබුණි.
“නෑ බඩගිනියි” නෙත්මලී හීන් හඬින් කිව්වේ ප්‍රශ්නයට පිළිතුරක් නොවන දෙයක් වුවත් ඒ පිළිබඳ වගක් නෙත්මලීටවත් අතුලටවත් තිබුණේ නැත. ඇගේ දෑස තිබුණේ තාත්තාගේ වෙවුලන ඇඟිලි තුඩු මත සහ කමිස සාක්කුව දෙසට යොමුවීය.
කමිස සාක්කුවේ තිබූ අතුලගේ ජංගම දුරකථනය තිබුණේ කම්පනය වන්නට පටන් ගෙනය. සාක්කුව ඇතුළෙන් එන ඒ හීන් කම්පනයත් සමග අතුල නොදැනුවත්වම පපුව මතට අත තියාගත්තේය. ඒ කලබලය, ඒ නොසන්සුන්කම සාලයේ මඳ ආලෝකය අස්සේ නෙත්මලීට නොපෙනී ගියේ නැත.
“තාත්තට කෝල් එකක් නේද?”
“ඔව් මේ කවුද මන්දා රෝන් නම්බර් එකක්. තිස්සෙම අරන් කවුද මන්දා ඉන්නවා අහනවා. මං ඒත් කිව්වා එහෙම කෙනෙක් නෑ කියලා. අහන්නෙ නෑ පුතේ”
“බ්ලොක් කරා නම් ඉවරනෙ”
“ඔව් ඒක තමයි මං බැලුවෙ” කියාගෙනම තාත්තා පපුවට අත තියාගෙනම කාමරය දිහාවට යන අතරමගම “කෝකටත් රෑ වෙලා වැඩිපුර නිදිමරන්න යන්නෙපා පුතේ. ඔළුව කැක්කුම ආයෙත් ඒවි” කියමින් දුවගේ මූණ දෙස කෙළින් නොබලාම කාමරය දෙසට යාමට පය ඉක්මන් කළේය.
කාමරයේ දොර වැටෙන ශබ්දයත් සමඟ සාලයේ මැද තනි වූ නෙත්මලී සෙටියෙන් වාඩි වූයේ දෙපා පවා පණ නැති වී යද්දීය.
“එන්නෙ රෝන් නම්බර් එකකින් නම් ඔච්චර බයවෙන්න දෙයක් නෑනෙ. අනික දැන් කෝල් එක ආවෙත් ඒ රෝන් නම්බර් එකෙන්මයි කියලා තාත්තා ෆෝන් එක දිහා බලන්නෙ නැතුවම කියන්නෙ කොහොමද?” කියන ප්‍රශ්නය හිතේ පැත්තක හිඳ නෙත්මලීගේ හිත රිදවන්නට පටන් ගෙන තිබුණාය.


