වසන්තය තව දුරද – 7

0
1

“දරුවට හැම තිස්සෙම ඒ විදියට කතා කරන්න එපා චන්‍ද්‍රා. මොක උනත් අමතක කරන්න එපා ඒලෙවල් විබාගෙ ලං උනාම දරුවෙක් ඉන්නෙ මේ ඔයාලා අපි හිතන තරං ලේසි පාසු මානසිකත්වෙක නෙවි. අනික්කෙක ඔයා ඔහොම කතා කරාට කමක් නෑ ඔන්න මේ ගෙවිච්ච අවුරුදු ගානට ඒ දරුවා අපිට අතට අහුවෙන්න වරදක් එහෙම කරානම්. කවදාවත් එහෙම කරපු දරුවෙක් නෙවිනෙ. එහෙමෙකේ ඔයා දරුවට හැම තිස්සෙම ඔහොම ඔරොප්පුවට වගේ කතා කරන්න එපා” කියා සමරසිංහ කොච්චර කිව්වද චන්‍ද්‍රා උන්නේ සමරසිංහ කියන දේ අහන මානසිකත්වයක නොවේ.

“ඔයා ඔය හුරතල් කරන හන්දා තමයි මෙයා කවදහරි ලෝක අමාරුවක වැටෙන්නෙ. දැන් ඔය විදියට හිටියට අපි දන්නෙ නෑනෙ ඉස්සරහට මොනවා කරගනීවිද කියලා? අනික කවුද දන්නෙ ඔය පාඩං කරනවා කියලා රෑ තිස්සෙ නැගිටලා මොනවා කරනවද කියලා? මොකෝ එයා මොනවා කරනවද බලන්න ඔයයි මමයි දෙන්නා රෑ නැගිටගෙන ඉන්නෙ නෑනෙ?

ඔය ළමයිව ඕනවට වඩා විස්වාස කරන්න නරකයි. ඔයා හිතන් ඉන්නවා වගේ නෙවෙයි ලමයි හැසිරෙන්නෙ. අනික ඔයා හිතන් ඉන්නෙ මේ මෙයාලා පාඩං කරනවා වගේ කරලා ඇති කියලද? අර පද්මලගෙ දූලා එහෙම පොත අතේමයි. ඒ ළමයි මේ මෙයාලා වගේ හුරතල් වෙවී ඉන්නෙ නෑ. මෙයාලා එහෙම නෑනෙ. ගෙදෙට්ට කවුරුහරි ආවොත් කතා කරනවා, එලියෙ පහලියෙ කවුරුහරි දැක්කොත් කතා කරනවා. එහෙමද මේ ඒලෙවල් කරන ළමයි? අනේ අපි නම් දන්නෙ නෑ එහෙම ඒලෙවල් කිරිල්ලක්.

ඔය පාඩං කරනවා කියලා මොනවා කරනවද කියල කවුද දන්නෙ? මොකෝ අපි බලන් ඉන්නවද? අනික ඔලුව අස්සට අත දාල බලන්නද පාඩං කරනවද මොකද්ද කියලා? අනික ඔය වාර විබාග වලදි ලකුණු ගන්න ඒවයින් මේ ඒලෙවල් හරියටම පාස් වෙනවමයි කියලා අපිට කියන්න බෑනෙ” කියා චන්ද්‍රා කියාගෙන කියාගෙන යද්දිත් අතුල සමරසිංහ කරේ නිහඬව ඒ වචනවලට සිනාසෙන එකට. චන්ද්‍රා වනාහී ඉස්සර සිටම කුඩා දේටත් ඕනවටත් වඩා කලබල වී කරදර වෙන ගැහැනියක බව අතුල දැන උන්නේය. චන්ද්‍රාගේ ඇතැම් ක්‍රියාකලාපයන්ද, බොහෝ වචනද බොහෝ අවස්තාවන්වලදී දරාගන්නට අපහසු අන්දමේ මානසික පීඩාවන් දෙන්නට හේතු වූ අවස්තා කොතෙක් තිබුනද විටෙක සැමියෙකු වශයෙන්ද ඇතැම් විටෙක දරුවන් දෙදෙනා ගැන සිතා පියෙකු වශයෙන්ද ඒ සියලු මානසික අඩත්තේට්ටම් තමා දරාගත් බව අතුලට අමතක නැත. එහෙත් එහෙමයි කියා චන්ද්‍රා මෙයාකාරයෙන් උසස් පෙළ කටේ තබාගෙන ඒ සඳහා වෙහෙසෙන නෙත්මලී වෙත වස්සවන මානසික පීඩන වර්ශාව ඉවසා දරා හිඳීම නම් පියෙකු ලෙස නොකළ යුතු මනා බව අතුල නොදන්නවා නොවේ.

“එහෙනම් මං කියන්නද ඔයාට කරන්න වැඩක්?” කියා අතුල සිනාසෙමින් කිව්වේ හිත ඇතුළේ කොච්චර පීඩනයක් තිබුනද එය එළියට දමන්නට කටයුතු නොකරමිනි.

“මොකද්ද?” කියා චන්ද්‍රා අහන්නේ ගහගන්නට මෙන් ඔරොප්පුවට වුණාට අතුල තරහ ගත්තේ නැත. සමහර ප්‍රශ්න විසඳගත යුත්තෙ එකවරක්, දෙවරක්, තෙවරක් ඉවසා අනතුරුව තව පොඩ්ඩකුත් ඉවසා බව අතුලට කියා දුන්නේ මේ චන්‍ද්‍රා සමග ගෙවන්නට යෙදුන විසි ගාණක් වයසැති විවාහ ජීවිතේය.

“පුතා නැගිටලා පාඩං කරද්දි ඔයත් නැගිටලා මොන මොනවහරි පාඩං කරන්නකො. එතකොට ඉවරනෙ ඔයාට දැනගන්න පුළුවන්නෙ එතකොට දරුවා ඇත්තටම පාඩං කරනවද කියලා.

චන්‍ද්‍ර මං දන්නෙ නෑ ඇත්තටම ඔයාට අපෙ දරුවා දිහා ඔච්චරටම සැකෙන් බලන්න තරං ඒ දරුවා ඔයාට කරපු වැරැද්ද මොකද්ද කියලා. හැබැයි මෙන්න මේක මතක තියාගන්නකො. ඔයා ඔය ඕනවට වඩා ඒ දරුවගෙ ඔලුවට දෙන ප්‍රෙශර් එකම කවදහරි ඒ ළමයට ඔයාව එපාවෙන්න හේතුවක් වෙන එකක් නෑ කියලද ඔයා හිතන්නෙ? 

අමතක කරන්නෙපා චන්ද්‍රා ඔයාගේ අම්මා ඔයාට දරුවෙක් විදියට ආදරෙන් නොසැලකුවයි කියලා ඔයා මගෙ දරුවා පිටින් ඒ තරහා යවන්න තියාගන්න එපා. ඔයාගෙ අම්මා ඔයාට එයාකාරෙන් සලකපු එක හරිය කියලා මං කියන්නෙ නෑ. ඒ උනාට මනුස්සයො විදියට අපි මතක තියාගන්න ඕන අපිට යම්කිසි දුකක් කරදරයක් වේදනාවක් යම් කාලෙක විඳින්න උනාද ඒ දුක් කරදරේම කිසිම වෙලාවක අපෙන් පල්ලෙහා ඉන්න ඈයොන්ට නොදෙන්න. දෙමව්පියො විදියට විතරක් නෙවෙයි වැඩිහිටියො විදියටත් අපේ යුතුකමයි වගකීමයි වෙන්නෝන අන්න ඒක” කියා සමරසිංහ කිව්වාට මොකෝ චන්ද්‍රා උන්නේ ඒවා අසා සිත නිවා ගන්නට හෝ සිත වෙනස් කරගන්නට සැදී පැහැදී නොවේ. චන්ද්‍රාට අනුව නෙත්මලී ඇගේ රුව ලස්සනත්, ඕනම අයෙක් සමග හිනා වී මනුස්සකමට කරන කතාවත් නිසා කවදාක හෝ අමාරුවේ වැටෙන්නට නියමිත එකියකි. අනික් අතට නෙත්මලීට අනුව මේ ලෝකේ හැම පිරිමියාම ඇගේ තාත්තා වගේ “හොඳ මිනිස්සු” ය. 

“මේ ලෝකෙ ඉන්න හැම පිරිමියම අයියයි තාත්තයි වගේ කියලා හිතන්න එපා. එහෙම හිතලා කෙලවගත්ත දවසක මට ඇවිල්ලා ඒක කියන්නත් එපා” කියා අම්මා නෙත්මලී පාරේ යන කවුරුන් හෝ මනුස්සයෙකු සමග හිනා වී කතා කරන ඕනම මොහොතක කියන්නට අමතක කරන්නේ නැත.

“මේ ලෝකෙ හැම මනුස්සයම ඉතින් තාත්තයි අයියගෙ වගෙයි කියලා මං කොහොමත් දන්නෙ නෑනෙ අම්මෙ. දැනගන්න මට ඕනෙත් නෑ. දැනගෙන මං මක් කරන්නද?” කියා නෙත්මලී ඒ වෙලාවට උත්තර දෙන්නේත් නිවි හැනහිල්ලේය. අම්මා වගේ පිපිරෙන්නට බලාගෙන ඉන්නා ඩයිනමයිට් කරලක් එක්ක හැප්පෙන්නට යන එක තේරුමක් නැති වැඩක් බව දන්න හන්දා නෙත්මලී කරන්නේ “ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය” කියා නිතරම හිතෙන් කියන එක ය. අනික නෙත්මලීට අනුව “අම්මා ඉතින් මට ආදරේ නෑනෙ. අම්මා ආදරේ අයියටනෙ. අම්මා තරහයි තාත්තා මට ආදරේ හන්දා” ය. 

උසස් පෙළ කරමින් උන් නෙත්මලී දේවස්මිතා සමරසිංහට ඇගේ වයස 19ට තිබ්බ ලොකුම ප්‍රශ්නෙත් ඔන්න ඕකය. 

ඔය වයස් සීමාවේදි කොහොමත් අම්මලා දුවලා අතරේ අනන්ත අප්‍රමාණ හිත් අමනාපකම් එන විත්තිය දන්න හන්දාම සමරසිංහ කරේ ඕව්වාට ඩිරෙක්ට් මැදිහත් නොවී මැදහත් සිතින් දෙදෙනාගේම සිත් සනසන්නට කටයුතු කරන එකය. එහෙත් ඉඩ කඩ ලැබෙන සෑම අවස්තාවකම චන්ද්‍රා අමතා “දරුවට එහෙම කරන්නට එපා” යැයි කියන්න සමරසිංහ අමතක කරන්නේද නැත.

“කෙල්ල ඉපදිච්ච වෙලාවෙ අතට ගත්ත ගමන් මං ඒත් හිතුවා මලක් වගේ හදනවය කියලා. කෙල්ල පොඩ්ඩ පොඩ්ඩ ලොකුවෙද්දි සුනිල් එදිරිසිංහ මහත්තයගෙ දුවේ නුඹ මගෙ ප්‍රාණයයි සිංදුව ඇහෙද්දි මං ඒත් හිතුවා දරුවෙක්ව මලක් වගේ හදලා මේ කර්කශ ලෝකෙට එළියට යවලා කොහොමද ඒ මලක් වගේ දරුවා මූණ දෙන්නෙ කියලා.

ඒ උනාට තාත්තා කෙනෙක් විදියට මං කොහොමද චන්ද්‍රා මගෙ දරුවව තලලා පෙලලා රිද්දලා හදන්නේ අනාගතේ වෙන්න තියෙන ප්‍රශ්න වලට මූණ දෙන්න පුරුදු වෙන්නය කියලා? මොක උනත් කෙල්ලෙක් සන්තෝසෙන්, හිතේ බරක් නැතුව ජීවත් වෙන්නෙ තමන්ගෙ මව් දෙමව්පියන්ගෙ තුරුල්ලෙ ජීවත් වෙනකම් විතරනෙ. ඉන්පස්සෙ උන් කූඩුවෙන් ඉගිල්ලිලා ගිහින් උන්ගෙම කූඩු හදාගත්තයින් පස්සෙ ඒ කූඩු අස්සෙ උන්ට මොන මොන දුක් කන්දල් වලට මූණ දෙන්න වෙයිද කියලා කවුද දන්නෙ?

එහෙමෙකේ උන්ට අපි ළඟ ඉන්න කාලෙ සන්තෝසෙන් ඉන්න දෙන්න චන්ද්‍රා. මල් පෙති උඩට උණු වතුර වක්කරාම කොච්චර හිත් වේදනාවද කියන එක මං හිතන්නෙ මටත් වඩා හොඳට ඔයා දන්නවා ඇතිනෙ. ඒක ඔයාගෙ අම්ම ඔයාට කියලා දෙන්න ඇතිනෙ. එහෙමෙකේ ඒ වේදනාව, තරහව මගෙ දරුවා පිටින් යවන්නෙපා” කියා තාත්තා කියන්නට යෙදුණාට මොකෝ නෙත්මලී වෙනදා මෙන් තාත්තාගේ වචන වල එල්ලී අම්මාගේ ඇණුම් බැණුම්වලින් බේරෙන්නට මෙදා පාර කටයුතු කරේ නැත. අම්මා අද හවස් වරුවේ මේ යකා නටන්නට පටන් ගෙන තිබුණේ පාඩං කරමින් උන් අතරවාරයේ නෙත්මලී ගෙදරට ආ අමුත්තෙකු සමග කතා කරන්නට මද අවසරයකට එළියට ආ නිසාවෙන් බව නෙත්මලීට නොරහසකි.

එහෙත් හිත අස්සේ තාත්තා ගැන ඇති ව තිබූ නොරිස්සුම නිසාවෙන්ම නෙත්මලීගේ කටෙන් පිටවුණ වචන චන්ද්‍රාව මෙන්ම අතුලවද තිගස්සවන්නට හේතු වූහ.

“කොහොමත් මට පිට මිනිස්සු විස්වාස කරන්න උවමනාවක් නෑ අම්මෙ. ගෙදර ඉන්න මිනිස්සුවත් දැන් විස්වාස කරන්න බැරුව ඉද්දි පිට මිනිස්සුන්ව කොහොම විස්වාස කරන්නද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here