“ඔයා මහමෙරක් තරම් ආදරේ කරද්දී එයා ඔයාව තඹ සතේකටවත් මායිම් කරන්නේ නැත්නම්, තවදුරටත් එතන පාච්චල් වෙවී ඉන්න ඕන නෑ මේඝා. අයින් වෙන්න… කතා කරන එක අඩු කරන්න… බැරිම නම් සම්පූර්ණයෙන්ම නවත්තන්න. අමතක කරන්න, මුණ නොගැහි ඉන්න… මේ හැමදේම කරන්න.”
ඉස්සරහා ඉඳගෙන හිටපු කවුන්සලර් හරිම සන්සුන්ව ඒ වචන ටික කියද්දී මට දැනුණේ මගේ පපුව මැද්දෙන් කවුරු හරි වීදුරු කෑල්ලකින් ඉරි අඳිනවා වගේ. රුවිනි මාව බලෙන්ම වගේ මෙතනට එක්කගෙන ආවේ බාල්කේ එල්ලෙන්න ගිය සිද්ධියෙන් දවස් තුනකට පස්සේ. මගේ බෙල්ලේ තිබුණ නිල් වෙච්ච පාර ඒ වෙද්දිත් මැකිලා තිබ්බෙ නෑ උනාට ඒ වෙද්දිත් මට මැරෙන්න උවමනාව තිබ්බා. එහෙමත් නැත්තම් මට ජීවත්වෙන්න උවමනාවක් තිබ්බෙ නෑ කිව්වොතින් හරියටම හරි.
“මේ ලෝකේ මට වැඩ තිබ්බා, ඒ හන්දා කතා කරන්න වුණේ නෑ… ෆෝන් එක බලන්නවත් වුණේ නෑ කියලා කියන මිනිස්සු ඉන්න පුළුවන් වුණාට, ඇත්තටම එහෙම ජීවිත තියෙන්න විදියක් නෑ මේඝා. ඕනෑම කාර්යබහුල මනුස්සයෙක්ට තමන්ට ඇත්තටම වටින කෙනෙක් වෙනුවෙන් තප්පර දහයක් වෙන් කරන්න බැරි වෙන්න විදියක් නෑ.”
කවුන්සලර්කියන වචනයක් පාසා ඇවිත් පරණ මතක එක්ක මගේ කන් අඩි අස්සෙ වගේම මගේ පපුව අස්සෙ ඩාං ඩාං ගාලා වැදුණෙ ආයෙ ආයෙ මගෙ පපුව වේදනාවෙන් හූරලා හූරලා දාන ගමන්. මතින්ද්‍ර ඩුබායි ගිය මුල් කාලේ “මීටින් එකක හිටියේ මේඝ්හා”, “ප්‍රඩක්ශන්එකේ වැඩ හන්දා ෆෝන් එක ලොකර් එකේ තිබ්බේ” කියලා දුන්න උත්තර දැන් මට ආයෙ ආයෙ මතක් වුනා. මම ඒ හැම බොරුවක්ම ඒ දවස්වල ඇත්ත කියලා පිළිගත්තේ එයාට තිබුණ ආදරේට වඩා, මට තිබුණ බයට කියන එකට, මට එයාව නැති වෙයි කියන බයට කියන එකට කවුන්සලර්ගෙ ඒ වචන එක්ක මට ආයෙ ආයෙ මතක් වුණා.
“ඔයාව වැදගත් නැති තැනක, ඔයාව වටින්නේ නැති තැනක ඔයා එයාට ආදරේ හන්දා විතරක් නතර වෙන්න එපා. එයත් ඔයාට ආදරේ නම් විතරක් නතර වෙන්න. ඔයා මහමෙරක් තරම් ආදරේ දුන්නට වැඩක් නෑ මේඝා, එයාට ඒකේ බර දැනෙන්නේ නැත්නම්. ඔයා එයාට වටිනාකමක් විතරක් වෙලා මදි, ඔයා එයාට අවශ්‍යතාවයක් වෙන්න ඕනේ. ඒ අවශ්‍යතාවය එයාට නැත්නම්, ඔයා එතන ඉන්න එකෙන් වෙන්නේ ඔයාගේ ආත්මගරුත්වය තව තවත් නැති වෙලා යන එක විතරයි.”
මම මගේ ඇඟිලි තුඩු වලින් මගේම අත් ආයෙ මිරිකගත්තා. මතින්ද්‍රට මම අවශ්‍යතාවයක් වුණේ මන්දස්මිතා හම්බෙනකම් විතරයි නේද කියලා හිතෙද්දී ඇස්වලට කඳුළු පිරුණ එක කවුන්සලර් ඉස්සරහදිවත් නවත්තගන්න ඇත්තටම මට පුලූවන් වුනේ නෑ. මම උන්නෙ ඒ තරම්ම දුර්වල මේඝා කෙනෙක් විදියට පර්වර්තනය වෙලා තිබුණා.
“දැන් ඔයාට කරන්න තියෙන්නේ අමාරුම දේ. ඒ තමයි අහිමි බව පිළිගන්න එක. එයා ඔයාගේ නෙවෙයි කියලා හිතට තේරුම් කරලා දෙන එක. ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔයා කාමරේ ඇතුළට වෙලා මැරිලා වගේ ඉන්න එකෙන් නෙවෙයි. ඔයා ඔයාටම ආදරේ කරන්න පටන් ගන්න දවසටයි.”
මම හිමින් ඔළුව උස්සලා කවුන්සලර් දිහා බැලුවෙ අන්න ඒ වචන එක්ක.
මට ආදරේ කරන්න?
මට මාවම අප්පිරියා වෙලා තියෙද්දී මම කොහොමද මට ආදරේ කරන්නේ?
එදා රෑ බාල්කේ එල්ලෙන්න හදපු ඒ අසරණ කෙල්ලව මට පෙනුණේ හරිම පිළිකුල් සහගත විදියට.
“මතක තියාගන්න මේඝා, ඔයා නැති වුණා කියලා මතින්ද්‍රට වෙන පාඩුවක් නෑ. එයා එයාගේ ලෝකේ සතුටින් ඉදීවි. හැබැයි ඔයා නැති වුණොත් පපුව පැලෙන්න අඬන අම්මා කෙනෙක්, යාළුවෙක් ඔයාට ඉන්නවා. අන්න ඒ මිනිස්සුන්ගේ ආදරේ පෙනෙන්න නම් ඔයා ඉස්සෙල්ලාම මේ කළු කුහරයෙන් එළියට එන්න ඕනේ.”
කාමරයෙන් එළියට එද්දී රුවිනි එළියේ බංකුවක වාඩි වෙලා මං දිහා බලන් හිටියේ මහ බය වෙච්ච ඇස් දෙකකින්. මම එයා දිහා බලලා හීන් හිනාවක් දැම්මා. ඒ හිනාව ඇතුළේ ලොකු සතුටක් තිබුණේ නැතත්, “මම ජීවත් වෙන්න උත්සාහ කරන්නම්” කියන පොරොන්දුව තිබුණා.
ඒත් මම දැනගෙන හිටියේ නෑ, ඩිප්‍රෙෂන් කියන්නේ වචන දෙක තුනකින්, බෙහෙත් වඩියකින් දෙකකින් සනීප කරන්න පුළුවන් හෙම්බිරිස්සාවක් නෙවෙයි කියලා. හිත හදාගන්න එක හිතන තරම් ලේසි නෑ. මැරෙන එක ඊට වඩා දාස් වතාවක් ලේසියි කියලා මට හිතෙන වාර අනන්තයි.
සමහර දවස්වලට මට ඇඳෙන් නැගිටින්නවත් පණක් තිබුණේ නැහැ. දවස පුරාම එකම විදියට සිවිලිම දිහා බලන් ඉන්න එක මට මහා ලොකු දෙයක් වුණේ නැහැ. මූණ කට හෝදන්න, කෑම ටිකක් කන්න පවා මට මහා ලොකු වෙහෙසක් දරන්න වුණා. රුවිනි උයලා ගෙනත් දෙන බත් එකේ පවා රහක් මට දැනුණේ නැහැ. මට දැනුණේ නිකන් රෙදි කෑල්ලක් හපනවා වගේ හැඟීමක් විතරයි.
“මේඝා, කන්නකෝ බං… උඹ ඔහොම හිටියොත් ලෙඩ වෙයි,” රුවිනි හැමදාම කියනවා.
“මට බඩගිනි නෑ රුවිනි,” මම එහෙම කිව්වේ ඇත්තටමයි. බඩගින්නට වඩා මගේ හිතේ තිබුණ වේදනාව මහා හයියෙන් කෑගැහුවා.
ඇත්තම කිව්වොත්, අහිමි වීම පිළිගන්නවා කියන එක වචනයක් විතරයි. ඒක ඇතුළේ තියෙන රිදුම දන්නේ ඒක විඳවන මනුස්සයා විතරයි. මම ෆෝන් එක අතට ගත්ත ගමන් මගේ ඇඟිලි නිකන්ම යන්නේ මතින්ද්‍රගේ ප්‍රොෆයිල් එකට. එයා මන්දස්මිතා එක්ක ඩුබායි වල මෝල් එකක් ඉස්සරහා හිනාවෙවී ඉන්න ෆොටෝ එකක් දාලා තිබුණා. ඒක දකිද්දී මගේ පපුව මැද්දෙන් පිහියකින් අනිනවා වගේ දැනුණත්, මම ආයෙ ආයෙත් ඒකම බැලුවා. ඒක හරියට තුවාලයක් පෑරෙනවා කියලා දැන දැනම ඒක කහනවා වගේ වැඩක්.
මට රෑට නින්ද ගියේ නැහැ. මම පැය ගණන් කල්පනා කරන්නේ කොහොමද මතින්ද්‍රට මාව අමතක වුණේ කියලා. “මම ඔයාට මහමෙරක් තරම් ආදරේ කළා” කියලා මම මටම කියාගත්තා. ඒත් ඒ මහමෙර, මම මගේ හිත අස්සෙ උහුලගෙන උන්න මහමෙර මතින්ද්‍රට බරක් වුණේ කොයි වෙලාවෙද කියල මම දැනගෙන උන්නෙ නෑ.
ඩිප්‍රෙෂන් වල තියෙන නරකම දේ තමයි, ඒක අපිට හැමතිස්සෙම කියන්නේ වැරැද්ද තියෙන්නේ උඹේ අතේ කියලා. “උඹ ලස්සන නැති නිසා ඌ ගියා”, “උඹට මිනිහෙක්ව රඳවගන්න තේරෙන්නේ නෑ”, “උඹව කාටවත් වැඩක් නෑ” මේ වගේ සිතුවිලි මගේ ඔළුව ඇතුළේ රේඩියෝ එකක් වගේ පැය විසිහතර පුරාම වැඩ කළා.
“මේඝා, ඩිප්‍රෙෂන් වලින් ගොඩ එන එක හිතන තරම් ලේසි නෑ බං. ඒත් උඹ මෙතනම නැවතුණොත් දිනන්නේ මතින්ද්‍ර. උඹට මැරෙන්න බැරි වුණේ උඹේ වාරය තාම ඉවර නැති නිසා. ඒ නිසා දැන්වත් ඔය කටුවෙන් එළියට වරෙන්.” කියලා රුවිනි කොච්චර කිව්වත් මට ඇත්තටම ඒක කියන තරං ලේසියෙන් පිළිගන්න පුළුවන් වුණේ නෑ.
මම රුවිනිගේ මූණ දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ මං ගැන ලොකු අනුකම්පාවක්. මට අනුකම්පාව එපා වෙලා තිබුණේ. මට ඕන වුණේ මගේ පරණ ජීවිතේ. හැබැයි ඒ පරණ ජීවිතේ ආයෙ එන්නේ නෑ කියලා මට තේරුණේ සති දෙකක් විතර එක දිගට ඇඬුවට පස්සෙයි. හිත හදාගන්නවා කියන්නේ මතකය අමතක කරන එක නෙවෙයි, ඒ මතකය එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන එක කියලා මට හෙමින් හෙමින් තේරුම් යන්න ගත්තා.
එච්චර දවසක් ඇඳට වැටිලා උන්න මම ඇඳෙන් නැගිට්ටෙ අන්න ඒ විදියට.
මට දැනුනෙ ඒත් මගෙ කකුල් දෙකට දම්වැල් දෙකක් දාලා ගැටගහලා වගේ. මට ඇවිදින්න වාරු තිබ්බෙ නෑ. ගෙදර වැඩක් පලක් කරන්න වාරු තිබ්බෙ නෑ. මං ආසාවෙන් ගෙනත් බැල්කනියෙ තියලා තිබ්බ පීස් ලීලී පැල වතුර පොදක් පහුගිය මාස කීපෙ නොවැටිච්ච නිසාවෙන්ද කොහෙද මැරිල ගිහින් තිබ්බා.
“මල් පැලවලට ආසාවෙන් අරන් ආවට වැඩක් නෑ බං.
ඒවට වතුර දැම්මෙ නැති උනාම ඒවා මැරිලා යන විත්තිය මතක තියෙන්න ඕන” කියලා රුවිනි කියද්දි මං කරේ ඒකිගේ මූණ දිහා ඔහේ බලාගෙන කල්පනා කරන එක.
ඒ කිව්වෙ මල් පැල ගැනද එහෙම නැත්තං මං ගැනද කියලා.


