මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 12

0
131

එදා රෑ මම තීරණයක් ගත්තා.

ඒක එකපාරටම ආපු මාර ෆෙමිනිස්ට් තීරණයක් නෙවෙයි. 

පැය ගාණක් ඇඳේ ගුලි වෙලා, හීතල වෙච්ච කකුල් දෙක අතගාන ගමන්, හිස් අවකාශෙ දිහා බලන් ඉඳලා ඇති වෙලා ගත්ත තීරණයක්. ඩිප්‍රෙෂන් තියෙද්දී තීරණයක් ගන්නවා කියන්නේ කන්දක් උඩට මහා කළුගලක් තනියම පෙරළනවා වගේ මහන්සි හිතෙන වැඩක්. ඇඟ ඇතුළේ කිසිම පණක් නැතත්, මගේ හිතේ තිබුණ වේදනාව මට නිදාගන්න දුන්නේ නෑ.

මම වෙව්ලන අත් දෙකෙන් ෆෝන් එක අතට ගත්තා. ස්ක්‍රීන් එකේ එළිය මගේ ඇස්වලට පිහියකින් අනිනවා වගේ දැනුණා. මම ගැලරියට ගියා. මතින්ද්‍ර… එයා හිනාවෙලා ඉන්න, මම හිනාවෙලා ඉන්න, එයයි මමයි හිනා වෙලා ඉන්න, අපි දෙන්නා එකට කාපු බීපු තැන්, අපි දෙන්නා තුරුල් වෙලා උන්න ඒ හැම ෆොටෝ එකක්ම එතන තිබුණා.

එක ෆොටෝ එකක් Delete කරන්න ඇඟිල්ල තියද්දී මගේ පපුව ඇතුළෙන් කවුරු හරි මිරිකනවා වගේ දැනුණා. මගේ අත් ඇත්තටම වෙව්ලන්න ගත්තා. මේවා නිකන්ම ඩිජිටල් ෆොටෝ නෙවෙයි, මේවා මම අවුරුදු ගාණක් මගේ හුස්ම වගේ රැකගත්ත මගේ ජීවිතේ කෑලි. ඒ හැම රූපයක් අස්සෙම මම ජීවත් වෙන්න හේතු හෙව්වා.

Delete? Yes.

එකයි… දෙකයි… දහයයි… සීයයි…

එකින් එක ඒ ෆොටෝ මැකිලා යද්දී මට දැනුණේ මගේ පපුව ඇතුළේ තිබුණ මහා බරක් හෙමින් හෙමින් දියවෙලා යනවා වගේ. ඒත් ඒ එක්කම මහා ලොකු හිස් බවකුත් දැනුණා. හරියට මම මෙච්චර කාලයක් මගේ කියලා හිතන් හිටපු ලෝකයම මකලා දානවා වගේ. අන්තිම ෆොටෝ එකත් මැකුණාම මම ෆෝන් එක පැත්තකට දාලා මහා හයියෙන් හුස්මක් ගත්තා. මගේ ඇස්වලින් කඳුළු කඩාවැටුණේ මමත් දන්නෙම නැතුව,

“දැන් ඉවරයි මේඝා… දැන් ආයෙ බලන්න දෙයක් නෑ.”

මම මගෙන්ම අහගත්තා, “පිච්චිච්ච අළු මතින් නැගිටින පීනික්ස් කුරුල්ලෙක් වගේ මටත් ආයෙ පියාඹන්න පුළුවන් වෙයිද?” කියලා. ඇත්තටම මට ඕන වුණේ පියාඹන්න නෙවෙයි, මට ඕන වුණේ මේ බිම ඇදගෙන වැටිච්ච තැනින් හෙමින් හෙමින් හරි නැගිටලා හිටගන්න විතරයි. මේ අඳුරු කාමරේ, මතින්ද්‍රගේ සුවඳ තාමත් රැඳිලා තියෙන මේ හුස්ම හිරවෙන හිරගෙදරින් එළියට යන්න මට පුළුවන් වෙයිද?

ඩිප්‍රෙෂන් කියන්නේ හැම තිස්සෙම පරාද වීම ගැන කියවන රේඩියෝ එකක් වගේ. 

“උඹට බෑ”

 “උඹ අසරණයි”

 “උඹව කාටවත් වැඩක් නෑ” කියලා ඒක මගේ කන් අස්සෙ ඉඳගෙන මතුරනවා. ඒත් එදා රෑ පළවෙනි වතාවට මම ඒ රේඩියෝ එකේ සද්දේ පොඩ්ඩක් අඩු කළා. මම ගේ අස්සේ හිරවෙලා ඉන්න එක නතර කරන්න ඕනේ කියලා මට තදින්ම හිතුණා. මේක ලේසි වෙන්නේ නැහැ, ඒත් මම කොහෙන් හරි පටන් ගන්න ඕනේ.

ඊළඟ සතියේ මම ආයෙමත් කවුන්සලර් හම්බුවෙන්න ගියා. එදා වගේම රුවිනි මාව එතනට එක්කන් ගිහින් එළියේ බංකුවක වාඩි වෙලා හිටියා. කාමරය ඇතුළේ තිබුණේ හරිම නිස්කලංක බවක්. ඒත් මගේ හිත ඇතුළේ තිබුණේ මහා කැළඹීමක්.

“ඉතින් මේඝා… කොහොමද දැන්?” එයා ඇහුවේ හරිම සන්සුන්ව.

“මම… මම මතින්ද්‍රගේ ෆොටෝ ඔක්කොම ඩිලීට් කළා. ඒත් මට තාමත් මතක්වෙනවා එයා කවදාවත් මට මේ කිසිම දේකට, මේ වෙච්ච කිසිම දේකට කිසිමාකාර සාධාරණ හේතුවක් දුන්නෙ නෑ නේද කියලා.” මම මගේ ඇඟිලි මිරිකන ගමන් කිව්වා. “එයා හැමතිස්සෙම කිව්වේ එයාට හරි වැඩ වැඩියි කියලා. ඒ හින්දයි මට කතා කරන්න බැරි වුණේ කියලා. ඒ උනාට එයාට මන්දස්මිතාට කතා කරන්න, කොටින්ම මාව අත ඇරලා මන්දස්මිතාව බඳින තරං එයාට කතාකරන්න ඉඩයි කාලෙයි වෙලාවයි තිබිලා තියෙනවා”

කවුන්සලර් හීන් හිනාවක් දාලා මගේ දිහා බැලුවා. 

“මේඝා, මේ ලෝකේ මට වැඩ තිබ්බා, ඒ හන්දා කතා කරන්න වුණේ නෑ කියලා කියන පිරිමි ඕනෑ තරම් ඉන්නවා. ඒත් ඒක මේ ලෝකේ තියෙන ලොකුම බොරුවක්. මනුස්සයෙක්ට ඇත්තටම වටින කෙනෙක් ඉන්නවා නම්, තත්පර දහයක් වෙන් කරලා මම සනීපෙන් ඉන්නවා කියලා කියන්න බැරි වෙන්න කිසිම හේතුවක් නෑ. හුස්ම ගන්න වෙලාවක් තියෙනවා නම්, ආදරේ කරන කෙනා වෙනුවෙන් මැසේජ් එකක් දාන්න වෙලාවක් තියෙන්නම ඕනේ.”

මම බිම බලාගත්තා. මතින්ද්‍ර ඩුබායි වල ඉද්දි මම පැය ගණන් ෆෝන් එක දිහා එයා අනේ මට දැන් මැසේජ් එකක දාවි කියලා බලන් උන්නු හැටි, එයා මට දැන් කෝල් එකක් දේවි කියලා බලාගෙන උන්න හැටි මට මතක් වුණා.

“තේරුම් ගන්න මේඝා, ආදරය කියන්නේ එක පැත්තකට විතරක් බර වෙච්ච තරාදියක් නෙවෙයි. ඔයා මහමෙරක් තරම් ආදරේ දුන්නට වැඩක් නෑ, එහා පැත්තේ ඉන්න කෙනාට ඒකේ බරක් දැනෙන්නේ නැත්නම්.”

එයා ඒ කියන දේවල් සාධාරණයි කියලා මගේ මොළයට තේරුණත්, පපුවට ඒක තේරුම් කරලා දෙන්න මට මහා ලොකු හයියක් තිබුණේ නෑ. මොනවා වුණත්, කොච්චර කවුන්සලර්ලා උපදෙස් දුන්නත්, ගෑනු හිතකට හරි අමාරුයි තමන් පණටත් වඩා ආදරේ කරපු පිරිමියෙක්, තමන්ව තඹ සතේකටවත් මායිම් නොකර වෙන ගෑනියෙක් වෙනුවෙන් දාලා ගියා කියන ඇත්ත පිළිගන්න.

ඇත්තටම ගෑනු අපේ හිත් හරිම අමුතුයි

. අපි ආදරේ කරන්නේ මුළු ආත්මයම පූජ කරලා. පිරිමියෙක්ට පුළුවන් වුණාට එක සම්බන්ධයකින් තව එකකට නිකන්ම අඩිය තියන්න, ගෑනියෙක්ට ඒක හරියට තමන්ගේ ඇඟෙන් කෑල්ලක් කපලා දෙනවා වගේ වැඩක්.මතින්ද්‍ර මාව අතෑරියේ මන්දස්මිතා නිසා කියලා හිතෙද්දී දැනෙන ඒ දැවිල්ල, ඉරිසියාවකට වඩා ලොකු පරාද වීමක්. අපි හැමදේම ඉවසාගෙන, හැමදේම කැප කරලා පිරිමියෙක්ව ජීවිතේ උඩට අරගෙන යන්න හදද්දී, ඒ පිරිමියා ඒ හැමදේකම අස්වැන්න තව ගෑනියෙක්ට අරන් ගිහින් දෙන එක තරම් වේදනාවක් ගෑනියෙක්ට තවත් නෑ.

අපි ගෑනු විදියට හිතන්නේ මම එයා වෙනුවෙන් මෙච්චර දේවල් කළානේ, ඒ නිසා එයා මාව අතාරින්නේ නෑ කියලා. ඒක තමයි අපි කරන ලොකුම වැරැද්ද. ආදරේ කියන්නේ ආයෝජනයක් නෙවෙයි කියලා තේරුම් ගන්නකොට අපි ගොඩක් පරක්කු වැඩියි. අපි හදපු මාලිගාවල රජ කරන්නේ වෙනත් රැජිණියක් කියලා දකිද්දී, ඒ මාලිගාවේ ගඩොලක් ගානේ තියෙන්නේ අපේ කඳුළුයි ලේයි කියලා දන්නේ අපි විතරයි.

සමහර වෙලාවට මට හිතෙනවා, ගෑනුන්ට මේ තරම් ඉවසන්න පුළුවන් වුණ එකමයි අපිට වෙච්ච ලොකුම විනාසෙ කියලා. ඉවසලා ඉවසලා අන්තිමට ඉතිරි වෙන්නේ හිස් පපුවක් විතරයි. ඩිප්‍රෙෂන් කියන්නේ අන්න ඒ හිස් බව අස්සෙ ඇතිවෙච්ච මහ වේදනාකාරී දෝංකාරයක්. මට දැනෙන්නේ මම මතින්ද්‍රට ලියපු ලස්සනම කවිය, එයා අරන් ගිහින් මන්දස්මිතාට ඇහෙන්න කියවනවා වගේ හැඟීමක්. ඒක තමයි මට දරාගන්න අමාරුම වෙච්ච දේ.

ඒ ඇත්ත දරාගන්න බැරිවෙද්දී තමයි ආයෙත් අර ඩිප්‍රෙසිව් සිතුවිලි මගේ ඔළුවට කඩා වදින්නේ.

“ඇයි මට මන්දස්මිතාට තියෙන දේ නැත්තේ?” “මගේ මොකක්ද අඩුව?” “එයාට මාව මෙච්චර ලේසියෙන් අමතක කරන්න පුළුවන් වුණේ කොහොමද?”

අවුරුදු ගාණක් මගේ හුස්ම එක්ක ජීවත් වෙච්ච මිනිහෙක්ට, තවත් ගෑනියෙක්ගේ ඇස් දෙකක් ඉස්සරහා මාව අගාධයකට ඇදලා දාන්න පුළුවන් වුණේ කොහොමද කියලා හිතෙද්දී මට මාවම අප්පිරියා වුණා. මට මාවම පෙනුණේ අතෑරලා දාපු, පරණ වෙච්ච, කිසිම වටිනාකමක් නැති බඩුවක් වගේ.

“දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ආත්මගරුත්වය ආයෙත් ගොඩනගාගන්න එක.” කවුන්සලර් කියනවා මට ඇහෙනවා. 

ඒත් කෝ කොහෙද තියෙන්නෙ මගේ ආත්ම ගරුත්වය?

මම කවුන්සලර්ගේ කාමරෙන් එළියට ආවේ මහා ලොකු බරක් පපුව උඩ තියාගෙන. රුවිනි මං දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයකින්. මම ඇස්වලින් කිව්වා “මට තාම බෑ” කියලා. ඇත්තටම මට තාම බෑ හිත හදාගන්න. මම තාම ඉන්නෙ මතින්ද්‍ර ආපහු ඒවි කියලා හිතාගෙන. හොඳින් හරි නරකින් හරි එහෙම නැත්තම් මොනාහරි කරලා මතින්ද්‍රව ආපහු මගෙ ලඟට ගෙන්න ගන්න බලාගෙන.

ඒක වෙන්නෙ මම මැරිලද, මන්දස්මිතා මැරිලද කියන එක මම දන්නෙ නෑ.

කොහොමහරි අන්තිමේ වෙන්නෝන මතින්ද්‍ර මං ළඟට එන එක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here