අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න ගත්තා.

“නිපුනි සුරවීර”

කාලයක් තමන්ගේ ජීවිතය වුණු කේතකගේ බිරිඳ තමන්ට ඇණවුමක් එවලා.විවාහ වෙලා වසර කීපයක් ගත වුණු නිපුනි ළදරු ඇඳුම් වෙනුවෙන් ඇණවුමක් කරනකොට ඊර්ෂ්‍යාව කියන දේ තදින්ම දැනෙන බව බිනරිට තේරුම් ගියා.

“මේ ගිෆ්ට් එකකටද?”

Blooming babies කියන සන්නාමයෙන් ළදරු ඇඳුම් අලෙවි කරන්නේ කේතකගේ වසර ගණනාවක පෙම්වතිය බව දන්නවා නම් නිපුනි එහෙම ඇණවුමක් නොකරන බව බිනරි හොඳාකාරවම දන්නවා.ඇය ඒ නිසා එහෙම අහද්දී නිපුනි “මේ මගේ බබාට.එයා තව මාස කීපයකින් එනවා.”කියන පණිවිඩය එවලා තිබුණා.

“බිනූ මේ බලන්නකො.මේ ළමයා ලස්සනට සින්ග් කරනව නේද?”

බිනරි ළදරු ඇඳුම් දිහා බලාගෙන කල්පනාවට වැටෙනකොට තරිඳු ඇගේ කල්පනාව බින්දේ අතිශය ජනප්‍රිය රියැලිටි තරගයක ගීයක් වාදනය කරමින්.පැරණි ගීයකට අලුත් හැඩහුරුකම් දෙන ගැහැනු ළමයා දිහා ආසාවෙන් බලන් ඉඳිද්දී ඇයත් තමන්ගේ තුවාලය පාරනවා කියලා බිනරිට දැනෙන්න ගත්තා.

ඔබෙ බිළිඳා මා තුරුලෙ හොවාලා.
නලවන්ටයි මා උන්නෙ බල බලා…

බිනරිගේ වේදනාව ගැන අල්පයක් නොදන්න උස කෙට්ටු ගෑනු ළමයා ගිනි සිළුවක් වගේ රඟ දෙමින් ගයනවා.බිනරිට ඇය ගැනත් කෝපයක් හට ගත්‍තා.විරහවක් කියන්නේ නටන්න දෙයක් ද?

“ඔයා කොහොමද මාව අමතක කරලා නිපුනිට ආදරේ කරන්න ගත්තේ?”

එහෙම අහනකොට කේතක නිරුත්තරව බලන් හිටපු හැටි බිනරිට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ.තරිඳු බිනරිගේ අන්ධකාර ලෝකයට හඳක් වූ බව හිතවන්තයෝ හැමෝම කිව්වත් කේතකගේ මතක තාමත් හදවතට රිදුම් දෙන බව බිනරි හිතුවේ වේදනාවෙන්.

“මේ කොල්ලො කෙල්ලො ඔක්කොම හරි දක්ෂයි අප්ප..”

අතීතය තියා පැයකට කලින් දෙයක් වුණත් අමතක කරන්න දක්ෂ සැනසිලිදායක සැහැල්ලු ජීවිතයකට කැමති තරිඳු බොහොම සැහැල්ලුවෙන් රියැලිටි තරු දිහා බලාගෙන ඉන්නවා.ඒත් බිනරි ඉන්නේ ගීත රස විඳින මානසිකත්වයක නෙවෙයි.

“තරිඳු,අපි බබෙක් හදමු..”

ගහෙන් ගෙඩි එනවා වගේ ඇහුණු ඒ වචන ඇහුණේ ඇත්තටමද කියලා තරිඳු ආයේ පාරක් හිතුවා.දරුවෙක් මේ ලෝකයට අරන් එන්න කලින් සපුරා ගත යුතු සාධක ගැන බොහොම උනන්දු බිනරිට එකපාරටම එහෙම හිතුණේ ඇයි කියලා තරිඳුට පුදුමයි.

“බේබි අයිටම්ස් එක්ක ඉන්නකොට එහෙම නොහිතෙනවනම් තමයි පුදුම.හා..මම කැමති.හැබැයි අපේ බබාට ඔයාගේ ෂොප් එකෙන් ඩිස්කවුන්ට් වලට ඇඳුම් ඕන හොඳේ..”

සැහැල්ලුවෙන් සැනසීමෙන් ඉන්න කැමති තරිඳු පුංචි විහිළුවක් කරලා ආයේ සින්දුවක් අහන්න පටන් ගත්තා.නිපුනිගේ ඇණවුමට අවශ්‍ය දේවල් සම්පූර්ණ කරන ගමන් බිනරි අතීතයට පා වෙන්නේ ඇසට එන කඳුළු පිහින ගමන්.ලස්සන ගෙයක්,වාහනයක් එක්ක පුංචි පැටව් ගැනත් කේතක එක්ක දැකපු හීන මතක් වෙනකොට බිනරිට දැනෙන්නේ වේදනාවක්.පළමු ප්‍රේමය විරහවකින් කෙළවර වීම කිසිම මනුස්සයෙක්ට උහුලන්න පුලුවන් වේදනාවක් කියලා බිනරිට හිතෙන්නේ නෑ.

මහද අරණේ ලතැවි ලතැවි
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත බැඳිලා සැනසී
තනිතරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න..
මමත් මෙහෙම මෙතැන ඉන්නවා..

තවත් යෞවනයෙකුගේ වේදනාත්මක ස්වරය බිනරිගේ කනේ හැපෙන්නේ ඇස් අග තවත් කඳුළු කැට මෝදු කරමින්.ඇත්තටම ඉතින් තමන්වත් කේතකවත් දැන් තනි තරු නොවන බවත් තාරකා පන්තීන් බවත් ඇය ආයෙමත් හිතන්නේ ඒ කඳුල පිහින ගමන්.

“ඔයා ඇයි බිනූ දුකින් ඉන්නේ..”

තරිඳුගේ ඇස් තමන් දිහාට ඇලවිලා තිබුණු බව වැටහෙනකොට බිනරි හොඳටම අඬලත් ඉවරයි.ඕනෑම දෙයක් කියන්න පුලුවන් ජාතියේ සැමියෙකුට මේ රහස හංගන්න ඇයට හිතක් නෑ.ක්‍රමානුකූලව සූදානම් වන ඇණවුම පෙන්වන ගමන් ඇය ගවුම් උරහිසේ කඳුලක් පිසදා ගත්තා.ඇත්තටම ආදරය කියන්නේ මහා වේදනාවකට!

“මේ මම හදන්නේ කේතකගේ බබාගේ හොස්පිටල් බෑග් එක..”

ඉන්පස්සේ නැඟෙන ඉකියට ඉඩ දීලා බිනරි ඉන්න තැනම ඉඳ ගත්තා.ඇයට හඬන්න දීලා නිසොල්මන්ව බලා ඉන්න තරිඳුගේ ඇස් අතර වේදනාත්මක ඡායා ඇඳෙනකොට බිනරි වහාම කඳුළු පිසදා ගත්තේ මේ කරන වැඩේ වැරදි බව හිතෙන්න ගත්තු නිසා.

“ඔයා කොච්චර ජනප්‍රිය බිස්නස් එකක්ද බීනු කරන්නෙ.බලන්නකො ඔයා නොහිතන මිනිස්සුත් ඔයාට ඕඩර්ස් දෙනවා.ඒකනෙ මං කිව්වෙ, මට මගේ බබාලට ඇඳුම් ගන්නත් එයාලගෙ අම්මිගෙන් ඩිස්කවුන්ට් ඉල්ලන්න වෙයි ඉස්සරහට..”

කේතකගේ දරුවා මහා ලොකු මාතෘකාවක් කර ගන්නේ නැතුව තරිඳු එහෙම කියනකොට තමන්ගේ අර්ධ කාලීන ව්‍යාපාරය දැන් බොහොම සාර්ථක වෙලා නේද කියලා බිනරිටත් හිතුණා.

“බිනූ,ඔයා හරි සාර්ථක කෙල්ලක්.ඔයා පොඩ්ඩක්වත් සාර්ථක නෑ කියලා ඔයා අත් ඇරපු කේතක පවා දැන හෝ නොදැන එයාගේ ජීවිතේ ලස්සන මොහොතකට උදව් ගන්නේ ඔයාගේ බිස්නස් එකෙන්.එහෙම උනාම කඳුළු හලන්න නෙවෙයි තියෙන්නේ.සතුටු වෙන්න.අනිත් එක එයා ගැන ඊර්ෂ්‍යාවෙන් අපේ දරුවා ගේන්න ඉක්මන් කරන්න ඕන නෑ.ඔයා වගේ සාර්ථක අම්මා කෙනෙක් ගාවට සුන්දර දරුවෙක් කොහොමත් එනව..”

ඒ වචන ඇතුළේ තියන ආදරය බිනරි විඳගත්තේ ආදරයෙන්.ඕනෑම දෙයක් විවෘතව කතා කරන්න පුලුවන් සහකරුවෙක් කියන්නේ මොනතරම් සැනසීමක් ද?

“කුළුදුල් දරු උපත වෙනුවෙන් Blooming babies සුබ පැතුම් – බිනරි සමරවික්‍රම”

සුන්දර පුළුන් වලසෙකුට එහෙම සුබ පැතුමක් අමුණපු බිනරි පුංචි පැටියෙක් වෙනුවෙන් සකසපු ඇණවුම මත ඒ වලස් පැංචාව තිබ්බා.හැම අලුත් අම්මා කෙනෙකුටම යවන මේ තෑග්ග නිපුනිට නොයවා ඉන්න මොහොතකට කලින් හිතුවත් දැන් ඒ හැඟීම පරණ වෙලා.තරිඳු කියපු හැමදෙයකින්ම බිනරිට දැනුණේ තමන් ගැන සතුටක්.

“අතීත මතක වුණත් අමතක කරන්න මම දැන් හයියයි..”

බිනරි හිතුවේ සන්තෝසයෙන්.ඇත්තටම අතීතයක වේදනා කාලයට සුව කරන්න ඉඩ අරිනවා මිසක් ඒ තුවාල වරින් වර පාරා ගැනීම කිසිම තේරුමක් නැති වැඩක් කියලා බිනරි ආයේ ආයෙම හිතුවේ තරිඳු ළඟින් ඉඳගෙන ගීත අහන ගමන්.

More Stories

Don't Miss


Latest Articles