වංචාකාරී පෙම්වතා නිසා අසරණ වූ තරුණ පෙම්වතියක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

ඉමාලි වචනයේ පරිසමාප්තියෙන්ම අන් අය කෙරෙහි මෘදු සිතක් තිබූ යුවතියක්. ඇය ඕනෑම මිතුරෙකුගේ නෑදෑයෙකුගේ කරදරයකදී ඔවුන් ළඟම සිටියා.

“ඔය ප්‍රශ්නෙ ඉමාලි එක්ක කතා කරලා බලමු. දෙන්න කිසිම විසඳුමක් නැතත් එයා හොදට අහගෙන ඉන්නවා.”

මිතුරන් ඉමාලිව හඳුන්වාදුන් ආකාරය සරලවම විස්තර කළොත් ඒ ආකාරයෙන්. ප්‍රේම සම්බන්ධතාවය බිඳී ගිය අවස්ථාවක දී විභාගයකින් ලකුණු අඩු වූ අවස්ථාවකදී හඬන්නට හොඳම තැන ලෙස ඉමාලි ව තෝරා ගන්නට මිතුරියන් පසුබට වුණේ නැහැ. ඇය ඒ තරමට ම අනුන් වෙනුවෙන් කැප වූ චරිතයක්.

ඉමාලිට සාගරව මුණ ගැසෙන්නේ රැකියාවේ යම් රාජකාරියක් අතරතුර. බැංකු නිලධාරිනියක් වූ ඉමාලි සාගරට අවශ්‍ය වූ සේවාව මහත් කැපවීමකින් ඉෂ්ට කළා. ඒ ඔහු කඩවසම් තරුණයෙකු හන්දා නොවේ. ගන්න වැටුපට සරිලන සේවයක් ඉටු කිරීම තමන්ගේ වගකීමක් බව හිමාලි සෑම මොහොතකම සිතුවා. මේ රූමත් යුවතිය කැපවීමෙන් වැඩ කරන ආකාරයටත් ඇගේ ගතිගුණ වලටත් පැහැදුණු සාගර ඇය ගැන සොයා බලන්නට තීරණය කළා. ඇගේ පෞද්ගලික දුරකථන අංකය සොයා ගන්නට සිතූ ඔහු කළ උපකාරයට ස්තූති කර ඇයට බැංකුව වෙත මල් කළඹක් යවන්නට තීරණය කළා.

“මල් පොකුරක් එව්වට ස්තූතියි”

ඔහුගේ උපාය සාර්ථක වුණා. ඉමාලි ඇගේ පෞද්ගලික අංකයෙන් සාගරව අමතන්නට තීරණය කළා. ඉන්පසු ඉඳහිට ඇගේ සුවදුක් විමසමින් මිතුරෙකු වන්නට ඔහුට හැකියාව ලැබුණා. මාස කිහිපයක් ගෙවෙන්නට ඉඩ හැර සාගර ඇයට ප්‍රේමාරධානාවක් ගෙන ආවා.

“අපි දැන් ඉන්නේ පුංචි ළමයි වගේ හැමතිස්සෙම මැසේජ් කරගන්න වයසක නෙමෙයි නේ. අපි දවසකට කෝල් කරගන්න වෙලාවක් තියා ගමු. ඒක පහසුවක්.”

ඒ යෝජනාව ගෙන එන්නේ ද ඉමාලි විසින්මයි. නිරන්තරයෙන් දුරකථනයේ එල්ලී සිටීම මහත් පීඩාවක් බව තේරුම් ගත් ඇය සන්නිවේදන කටයුතු කළේ සාගරට හානියක් නොවන්නටයි. නමුත් ඇය ඔහු ගැන සැලකිලිමත් වන බවත් ඔහු කෙරෙහි ආදරය ඇය වෙත පවතින බවත් ඉමාලි සෑම මොහොතකම ඇඟවූවා.

“සාගර ගුඩ් මෝනිං ඔයා ඔෆිස් එකට ආවද?”

ඒ පණිවිඩය සෑම දවසකම නිශ්චිත මොහොතක සාගර වෙත පැමිණුනා.

“ඔයාට ගෑස්ට්‍රයිටිස් තියන නිසා කන්න ලේට් වෙන්න එපා.දවල්ට කෑවද සාගර?”

ඉමාලි එහෙම අහන්නේ හැමදවසකම දවල් එකහමාරට. හවස ගෙදර ආවාදැයි අහන්නටත් ඇය අමතක කරන්නේ නෑ. රාත්‍රී ආහාරයෙන් පසු නිදිමත එනතුරු ඔවුන් දෙදෙනා දුරකථන සංවාදයක නිරත වෙනවා.දවසේ සිදු වූ දේවල් බෙදා ගැනීමට දෙදෙනා තෝරාගෙන තිබුණේ  ඒ වෙලාවයි. සති අන්තයේ හමුවීම් සැලසුම් කළ සාගර සහ ඉමාලි මුණ ගැසුණේ සති අන්තයේ පමණයි.

“ඉමාලි කියන්නේ ඕනෑම කෙනෙක්ගෙ විදියට හැඩ ගැහෙන කෙනෙක්. සාගර එයත් එක්ක හරිම පහසුවෙන් ජීවත් වෙනව ඇති.”

ඉමාලිගේ මිතුරියන් එසේ අදහස් පළ කළා. රණ්ඩු වෙන්නට කාලය යොදවන, සෑම මොහොතකම මුහුණ එල්ලා ගන්නා ප්‍රේමවන්තියන් අතර ඉමාලි සාගරට සැබෑ ආශිර්වාදයක් වුණා.

නමුත් සෑම දෙයක්ම සර්ව සම්පූර්ණ වූ සම්බන්ධතාවයක් පවා ඉදිරියට රැගෙන යන්නට සමහරුන්ට හැකියාවක් නැහැ. ප්‍රේමයට අවංක වීම සමහරුන්ට කරන්නටම බැරි වැඩක්. සාගර ඒ වර්ගයේ මිනිසකු බව ඉමාලි දැන සිටියේ නැහැ.

“අපේ ඔෆිස් එකට ආපු තාරුකා මාර සෙක්සි නේද බං?”

සාගර මිතුරෙකුගෙන් එහෙම අහනකොට මිතුරා ඔහු දෙස බැලුවේ පුදුමයෙන්.

“දීපිකා පදුකොන් වගේ ලස්සන, කිසිම කරදරයක් නැති මාර හොඳ ගතිගුණ තියන කෙල්ලෙක් ඉන්න උඹට තාරුකා සෙක්සි වුණත් නැතත් මොකද?”

මිතුරා එහෙම කිව්වේ නුරුස්නා ලෙසට. නමුත් ඉමාලිට වඩා මේ අලුත් යුවතිය සරාගී පෙනුමැති සුන්දර කෙල්ලක් වග සාගරට හිතෙන්නට පටන් ගත්තා.

“ඔයා ඔෆිස් එකට ආවද සාගර”

ඉමාලිගෙන් ඒ වට්ස් ඇප් පණිවිඩය ආවේ සාගර තාරුකා ගැන හිතමින් ඉන්නා මොහොතක.

“මම වැඩට ආවද නැද්ද කියලා බබෙක් ගැන හොයනව වගේ හොයල බලන්න අවශ්‍ය නෑ ඉමාලි.”

ඒ පිළිතුර ඉමාලිව පුදුමයට පත් කළා. එදා දවසම ඉමාලිගේ පණිවිඩ වලට පිළිතුරු දීම ඔහු අත්හැර දැමුවා. සමහර ඒවාට අවකැපෙන උත්තර ලබා දුන්නා.

“මට ඔයාව එපා වෙලා තියෙන්නේ”

ඒ බෝම්බය සාගර හෙළන්නේ රාත්‍රී දුරකථන ඇමතුමේදී. ඉමාලි ඒ කතාව අසා සිටියේ ඉමහත් පුදුමයකින්.

” ඔයා over caring, over protective මනුස්සයෙක් ඉමාලි.මම නිකං මොන්ටිසෝරි ටීච කෙනෙක් ගාව ඉන්නවා වගේ ඔයා ගාව ඉන්නේ.මේක මහම මහ මල කෝලමක්. ඔයාට මාව සැකයිද වැඩට ආවද ගෙදර ගියාද අහන්න තියාගන්නේ”

එසේ චෝදනා කරන සාගර ඒ රාත්‍රියේම ඇයව බ්ලොක් කර දමනවා. ඉමාලි ඒ හදිසි තරහක් බව සිතා ඔහු පසුදා උදේ සම්බන්ධ  කරගන්නට උත්සාහ කරනවා. නමුත් ඔහු ඇමතිය හැකි සෑම ක්‍රමයක්ම ඔහු අවහිර කර දමා අවසන්. මේ කුමක් හෝ අරභයා ඇති වූ තරහක් බව සිතමින් ඉමාලි කාලයට ඉඩ දෙන්නට තීරණය කළා.

“ඉමාලි මහ විකාරයක්. හරිම ඕවර් ප්‍රොටෙක්ටිව්. මම පොඩි බබෙක් කියලා හිතන්නේ. අනික එයාගේ වැඩේම මාව සැක කරන එක.

සාගර ඇයට එසේ අපහාස කර ඇති බව තාරුකාට ආරංචි වෙනවා. ඉන් ටික දවසකට පසු සාගර -තාරුකා  ප්‍රේමය ඇගේ කන වැකෙනවා. ඇය ඉන් ඉතා පීඩනයට ලක් වෙනවා. හැබෑවටම සාගර අහිමිවන්නට තමන් අතින් වරදක් වූවා දැයි සිතෙන ඇය ඒ සිතුවිල්ල නිසාම කම්පනයට පත් වෙනවා. ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඇති වගකීම්සහගත ගැහැණු ළමයෙකු වන ඇය උපදේශනය සඳහා යොමු වන්නට කල්පනා කරන්නේ ඉන් පසුවයි.

“මම මගේ අවට ඉන්න ඕනෑම කෙනෙක් ගැන සැලකිලිමත් වෙනවා.හැබැයි ඒක එයාලට කරදරයක් නො වන සීමාවේ ඉඳලා කරන්නත් මම දැනගෙන හිටියා. ඒත් මම හිතාගෙන ඉන්න විදිය වැරදිද කියලා මට දැනගන්න ඕනේ.”

ඉමාලි මගේ උපදෙස් පතන්නේ ඒ වෙනුවෙන්.

සම්බන්ධතාවයක් තුළ කරදරකාරී හැසිරීම් ඉමාලිගේ පන්නයේ ඒවා නෙවෙයි. දවස පුරා දුරකතනයේ රැඳෙන මෙන් ආයාචනා කිරීම, නිතරම හමුවීම් සැලසුම් කිරීම, බොරුවට සැක කිරීම වැනි දේ කරදරකාරී හැසිරීම් යටතට වැටෙනවා. නමුත් ඉමාලි කර ඇත්තේ ආදරයෙන් සොයා බැලීම් පමණයි.ඒවා සම්බන්ධතාවයන් තුළ තිබිය යුතුමය හා වන අතර යුවතියක හැසිරෙන සාමාන්‍ය ක්‍රමය ද වෙනවා. 

මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් විට “ඇත්තටම මම කරදරකාරියක් ද”  ගැන සැකය යුවතියක තුළ ඇතිවෙනවා. ඉමාලිට ඇය තුළම අවතක්සේරුවක් ඇති වී තිබුණා. ඇගේ යටි හිතට ඒ ගැන තදින්ම වැදෙන ලෙස සාගර දොස් නඟා තිබුණා. වැඩියෙන්ම ආදරය කළ කෙනාගෙන් එවැනි චෝදනාවක් ලැබී සම්බන්ධතාවද නැවතී තිබීමෙන් ඉමාලි ඇයටම දොස් නඟා ගන්නා මට්ටමක් උද්ගත වී තිබුණා. 

සම්බන්ධතාවයක් තුළ නොගැළපෙනවානම් අයින් වීම වැදගත්. නමුත් සත්‍ය හේතුව පැවසීමත් ඉතාම වැදගත්. අදහස් නොගැලපීම හෝ තමන් ඇත්තටම වෙන කෙනෙකුට ආදරය කිරීම ගැන ඇත්ත පැවසීම අනෙකාට කරන උදව්වක්. ඒ වෙනුවට බොරු චෝදනා කර අනෙකාට තමන් ගැන අවතක්සේරු ඇති කිරීම ඉතාම පහත් පෙළේ ක්‍රියාවක්. අවංකව ඇත්ත කියනවානම් දුක පාලනය කරගන්න හැකියාව ලැබෙනවා. 

ආදරය තුළ ගැහැනු යම්තාක් බොළඳ බවත් සොයා බැලීමේ වරදක් නැති බවත් ඉමාලිට මම වටහා දුන්නා. කෙටි පණිවිඩයක් දුරින් ආදරය පැවතිමේ වරදක් නැහැ. එවැනි සීමා තබා ගත් ඉමාලි කිසි වරදක් කර නැති බවත් ඇගේ යහපත් ගතිගුණ නවතා ගත යුතු නැති බවත් මම ඇයට අවබෝධ කර දුන්නා. ඉමාලි ඒ ගැන ඉක්මනින් අවබෝධ කරගත් අතර ඉක්මනින් හිත හදා ගන්නට පියවර ගත්තා.

අනෙක් අයගේ හදවත සමඟ සෙල්ලම් කිරීම ඉතාම කැත වැඩක්. එය ප්‍රේමය තුළ කිරීම වඩාත් නරකයි.කිසිම විටෙක ඔබේ හැඟීම් වැරදියට දකින්නෙකුට ආදරය කරන්නට එපා.

(ඔබට සේවා ගාස්තු සහිතව මනෝ උපදේශනය ලබා ගන්නට 074 0377539 අංකයෙන් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ධ කර ගන්න පුලුවන්. Rashmie Rajapaksha ෆේස්බුක් පිටුව හරහා ද ඇය හා සම්බන්ධ වෙන්න පුලුවන්)

Related Articles

Don't Miss


Latest Articles