මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,

දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ අනුව අප ශාන්ත තෝමස් විද්‍යාලයට සහ ඩී එස් සේනානායක විද්‍යාලයට අයදුම් පත්‍ර යොමු කළෙමු. ශාන්ත තෝමස් විද්‍යාලය පිහිටා තිබුණේ අප නිවස පිහිටා තිබූ ස්ථානයකට තරමක් ලඟින් වීම ද , හෂාන් ඉගෙනුම ලැබුයේ ඩී එස් සේනානායක විද්‍යාලයෙන් වීම නිසාද එම පාසල් වලට අප අයදුම්පත්‍ර යොමු කිරීමට හේතු විය.කුමක් හෝ හේතුවක් නිසා ඩී එස් සේනානායක විද්‍යාලයෙන් අපට කැඳවීමක් නොලැබුනි.හෂාන් එහි ආදි ශිෂ්‍යයකු වීම හෝ වෙනත් කිසිම හේතුවක් මත හෝ අප ඔවුන්ට කිසිඳු බලපෑමක් ඇති කිරීමට ගියේ නැත.

ශාන්ත තෝමස් විද්‍යාලයට අප දරුවන්ව ඇතුළු කිරීම එතරම් ලේසි පහසු කටයුත්තක් වූයේ නැත.හෂාන් එහි ආදි ශිෂ්‍යයෙකු නොවීම එයට හේතු විය.ඒ වන විට ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස සේවය කළේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වූ අජිත් ජයසේකර මහතා ය.ඔහුගේ මැදිහත්වීම සහ නිර්දේශ කිරීම මත දරුවන්ව එම පාසලට ඇතුළත් කර ගැනීමට අපට හැකි විය.ඒ වගේම එම පාසලේ ප්‍රාථමික අංශය භාරව සිටි මොරිස් මහතාද අපට විශාල සහයෝගයක් දැක්වීය.ඒ වගේම දරුවන් දෙදෙනාව එම පාසලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය අයදුම්පත්‍ර අප නිවසටම ගෙනැවිත් දුන් ” බුලංකුලම අන්කල් ” වද මා ඉතා ආදර ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

හෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ බැවින් දරුවන්ට පාසලට ඇතුලත් කර ගැනීම ඉතා පහසු යැයි ඇතැමෙකුට සිතිය හැකි නමුත් ඇත්ත වශයෙන්ම දරුවන්ව පාසලකට ඇතුළත් කර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට අප දෙදෙනාට සිදුවිය. කෙසේ හෝ එකල සිටි වෝඩ්න් ඩේවිඩ් පොන්නයියා මහතා අප දෙදෙනාව මුණගැසී කතා බහ කර අපගේ දරුවන්ව පාසලට ඇතුලත් කර ගන්නා බව පැවසීය.මේ සියලුම දෙනා හට මා සෑමදාම හදවතින්ම ස්තූතිවන්ත වන්නේ අපගේ දරුවන් වූ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට ලබා දුන් සහයෝගය නිසාවෙනි.

දරුවන් දෙදෙනාගේ පළවෙනි පන්ති භාර ගුරුතුමිය වූයේ ” ලලනි මිස් ” ය.අප දරුවන්ව පන්තියට භාරදී නැවත එනවිට , පෙර පාසලේදී මෙන්ම ඔවුන් කෑගසා හඬන්නට පටන් ගත්හ.අප ඔවුන්ව ගුරුතුමියට භාරදී නැවත පැමිණියේ දැඩි වෙහෙසක් දැරීමෙන් පසුවය.ප්‍රථම දිනයේ දී එසේ වුවත් පසුව ඔවුන් දෙදෙනා පාසල් ගියේ ඉතාම කැමැත්තෙන් ය.එසේ ඉගෙනුම ලබන අතර ඔවුන් දෙදෙනා මා සමග හෂාන් ක්‍රීඩා කළ දෙස් විදෙස් තරග නැරඹීමට ද ගියහ. මම සහ හෂාන් දරුවන් දෙදෙනාව පාසලට ඇතුළත් කල මුල් දිනයේදි ඔවුන්ව භාරදී නැවත පැමිණෙන විට නාමල් රාජපක්ෂව මුණගැසුනු ආකාරය මට මතකය.ඒ වන විට එම පාසලේ ඉහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටි ඔහු පැමිණ හෂාන් සමග කතා බස් කළේය.

හෂාන්ව ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කර නැවත එයට එකතු කර ගැනීමෙන් පසුව ඔහු පෙරටත් වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් යුතුව ක්‍රීඩා කළ අතර ඔහුට ටෙස්ට් නායකත්වය ද හිමි විය.කෙසේ හෝ 2004 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලිය සඳහා හෂාන් සහභාගී වූයේ කණ්ඩායමට එකතු වූ අලුත් සාමාජිකයන් සමග ය.එම තරග පැවත්වූයේ දකුණු අප්‍රිකාවේ ය.ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකාවට ගිය ගමන මට ජීවිතයේ කිසිම දිනයක අමතක වන්නේ නැත.එම තරග සංචාරය මාස දෙකහමාරක පමණ කාලයක් මුලුල්ලේ පැවති එකක් විය.එම තරග සංචාරය සඳහා මා සමග අපගේ දරුවන් දෙදෙනාද ,හෂාන්ගේ දෙමව්පියන්ද , එංගලන්තයේ ජීවත්වූ අම්මාගේ මිතුරියක වන ” චන්ද්‍රා ආන්ටි ” ද, ලොයිඩ් බාප්පාද ගමනට එකතු විය.

හෂාන් සමග නවාතැන් ගැනීමට අපිට එහිදී අවස්ථාව හිමිවූයේ නැත.තරග පැවතියේ විවිධ ස්ථානවල නිසා අප එහි සිටින කාලය තුළ භාවිතා කිරීම සඳහා ඔහු නව දෙනකුට පමණ ගමන් ගත හැකි ජීප් රථයක් වැනි රථයක් සූදානම් කර තිබුණේ ය.තරඟ නැරඹීම සඳහා අප එම රථයෙන් ගමන් ගත් අතර හෂාන් ඇතුළු ක්‍රිකට් සාමාජිකයන් ගමන් ගත්තේ ගුවන් මගින් ය.කෙසේ හෝ අපට සූදානම් කර තිබූ එම රථය වැඩිපුරම මා ධාවනය කල අතර , චන්ද්‍රා ආන්ටිද ඉඳහිට රථය ධාවනය කළේය.

ඒ වන විට අපගේ දරුවන් දෙදෙනා හත්වන වියේ පමණ පසුවූ අතර මා එම ගමනට ඔවුන්ව සහභාගී කර ගන්නා විට ඔවුන්ගේ පාසලෙන් අවසර රැගෙන, පාසල් පොත් පවා රැගෙන ගියෙමි.මන්ද , ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසාන වටවලට තේරී පත් වුවහොත් අපට තවදුරටත් එහි රැඳී සිටීමට සිදුවන නිසාය.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles