ජීවිතය පරදුවට තබමින් පුටින්ට එරෙහිව විරෝධය ප්‍රසිද්ධියේ පළ කළ මාධ්‍යවේදිනිය

ජනමාධ්‍යවේදීන් සෑම විටම යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නන් බව අප දන්නා කාරණයක්.තමන්ගේ ලිවීමේ හෝ කතා කිරීමේ හැකියාව මිනිසුන් වෙනුවෙන් යොදවන මාධ්‍යවේදීන් ලෝකයට මහත් ආශිර්වාදයක්.යුක්රේන රුසියා යුද්ධය ඇවිලී යන මොහොතක රුසියාවේ මාධ්‍යවේදිනියක් වූ Marina Ovsyannikova තමන්ගේ රටට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම ලෝකයේම අවධානයට ලක් වූවා.

Marina Ovsyannikova රුසියාවේ රාජ්‍ය රූපවාහිනි නාලිකාව වන Channel One හි සංස්කාරකවරියක්.ඇය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශන මැදිරියේ සජීවී විකාශයට කඩා වැදී “යුද්ධය නවත්වන්න.යුද්ධය එපා.”යැයි පැවසුවේ පසුගිය සඳුදා දිනයේදී.ඇය පුවරුවක්ද අතැතිව සිටියා.එහි “ප්‍රචාරයන් විශ්වාස කරන්න එපා.ඔවුන් ඔබට බොරු කියනවා”යැයි සටහන් ව තිබුණා.එහි යුද්ධයට එරෙහි රුසියානුවන් බව සඳහන්ව තිබුණා.මෙය වළක්වන්නට නිෂ්පාදන කණ්ඩායම වහා පටිගත කරන ලද දර්ශනයකට යොමු වී තිබුණා.

Marina Ovsyannikova රඳවාගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු විරෝධතා නීති කඩ කිරීම සම්බන්ධයෙන් රූබල් තිස් දහසක දඩයක් නියම කර තිබුණා.ඇය දැනටත් චෝදනා වලට ලක් වෙමින් සිටියත් ඇගේ සටනට විශාල අවධානයක් ලැබී අවසන්.

Marina Ovsyannikova

යුධ විරෝධි මාධ්‍යවේදීන් දැනට දිගින් දිගටම ඉල්ලා අස් වෙමින් සිටිනවා.හතලිස් තුන් හැවිරිදි Marina Ovsyannikova තම කුඩා දරුවන් මේ විරෝධතාවය ඔවුන්ගේ ජීවිතය විනාශ කළ බව සිතමින් තැති ගත් බව හෙළි කළා.

මේ ආක්‍රමණයේ වගකීම ව්ලැඩිමීර් පුටින් බාර ගත යුතු බව එය ඔහුගේ හෘද සාක්ෂිය මත පදනම් වන බවත් ඇය තවම පවසනවා.ඇගේ පියා යුක්‍රේන ජාතියෙකු වන අතර මව රුසියානු ජාතිකයෙක්.Marina Ovsyannikova පවසන්නේ දිගින් දිගටම බිය නොවී විරෝධතා පැවැත්විය යුතු බවයි.එය කිසිසේත්ම නැවතීමට හැකි දෙයක් නොවන බව ඇය පවසනවා.ඇගේ ක්‍රියාව යුක්‍රේන ජනාධිපතිවරයා ඔහුගේ කතාවක අගය කර තිබෙනවා.

මෙවැනි මොහොතක මෙසේ නිර්භය ප්‍රකාශ නිකුත් කිරීම සිර දඬුවම් ලැබීමටත් එතැනින් නොනැවතී ජීවිතයට හානි සිදුවීමටත් ප්‍රමාණවත්.නමුත් Marina Ovsyannikova ඒවා ගැන නොසිතා සැබෑ මානව දයාව වෙනුවෙන් පෙරට ආ ගැහැනියක්.මාධ්‍යවේදිනියක් වගේම කාන්තාවක් ලෙසත් ඇය ඒ ඉටු කර ඇත්තේ සුවිශාල දෙයක් බව නොකියාම බැහැ.

යුද්ධයක් නිසා කිසිවෙකුටත් සැබෑ ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ.යුද්ධය සාමාන්‍ය ජනයා පෙළීම නවතින්නේ ද නැහැ.බලවත් වීම නිසා අනෙකා පෙළන තමන්ගේම අයට විරුද්ධ වීමට සැබෑ මානව දයාවක් තිබිය යුතුමයි.Marina Ovsyannikova කරන ලද මේ ක්‍රියාව ගැන විවිධ දේශපාලන මත ඉදිරිපත් විය හැකියි.නමුත් ඇය යුද්ධයක සැබෑ තත්ත්වය කියන්නට එසේ නොබියව ඉදිරිපත් වීමම ඉතා වටිනා ක්‍රියාවක්.

Marina Ovsyannikova

තවදුරටත් යුද්ධය එපා!

Marina Ovsyannikova පැවසූ ඒ වාක්‍යය SmartLady අපි නැවත ප්‍රතිරාව නංවන්නේ යුද්ධයට එරෙහි ලෝක වාසීන්ගේ කුලකයට එකතු වෙමින්.දරුණු වසංගතයකින් තවමත් ගොඩ නැගෙමින් හිඳින මොහොතක ලෝකයට යුදමය තත්ත්වයන් අවශ්‍ය වන්නේ නැහැ.

යුධ ගිනි නිවේවා! Marina Ovsyannikova වැනි ධෛර්යමත් ගැහැනු වැඩි වශයෙන් ලෝකයට බිහි වේවා!

Related Articles

Don't Miss


Latest Articles