රණ්ඩු කෙක්ක.

“කොහෙද ගීත්මා ඔයා ඔය යන්නේ?”

මහා කලබලයකින් වගේ ලෑස්ති වෙන ගීත්මා දිහා බලාගෙන හිටපු දිලිනි ඇහුවේ පුදුමයෙන්.ගීත්මා හැම තත්පර පහකට ම වතාවක් දුරකථනයෙන් ඇමතුමක් ගන්නවා.ආයෙත් කලබලයෙන් ලෑස්ති වෙනවා.

“ඔයාට කරදරයක්ද?”

එක නවාතැන බෙදාගෙන ජීවත් වුණු මිතුරිය මොකක්ම හරි කරදරයක කියලා හිතපු දිලිනි ආයෙම එහෙම ඇහුවේ බොහොම කරුණාවෙන්.

“රවිඳුගේ ෆෝන් එක ආන්සර් කරන් නැහැ..”

ගීත්මා කියන්නේ කලබලයෙන් සහ කේන්තියෙන්.රවිඳුට අද සාදයක් තියෙනවා කියලා ගීත්මා මුළු දවසම මුහුණ එල්ලගෙන හිටියා කියලත් දිලිනිට මතක් වුණා.

“ඩ්‍රින්ක්ස් අරගෙන ඩ්‍රයිව් කරන්න ඇති කියල ඔයාට බයයිද?”

දිලිනි හෙමින්සැරේ ගීත්මාව නිවන්න උත්සාහ කරා. ගීත්මා එක්ක එක බෝඩිමකට ඇවිල්ලා මහා ලොකු කාලයක් නැහැ.ඒ නිසා රවිඳු ගැන සම්පූර්ණ විස්තර දිලිනි ඇත්තටම දන්නෙ නෑ.

“බොන්න තියාගත්තොත් මම ඔය මිනිහගෙ හොම්බ තලනවා..”

ඒ කතාව ඇහුණු දිලිනි මිතුරිය දිහා බැලුවේ පුදුමයෙන්.මත්ද්‍රව්‍ය ඇබ්බැහියක් කරගැනීම කිසිම විදියකට හොඳ දෙයක් නෙමෙයි.නමුත් සාදයකදී මිතුරන් සමග මදුවිතකින් සප්පායම් වන ප්‍රේමවන්තයෙකුට ඕනෙවට වඩා නීති දාන්න අවශ්‍ය ද කියලා දිලිනි හිතුවා.

“තිස්සෙම බේබදුකමට ලෑස්ති වෙනවා නම් අවවාදයක් කරන එක වෙනම කතාවක්.ඒ උනාට ඔය හොම්බ තලන මට්ටමෙන් ආදරේ කරන මනුස්සයට කතා කරන්න එපා..”

දිලිනි කිව්වේ බොහොම කරුණාවෙන්.

Stressed woman

“රවිඳුට ඕනවට වඩා නටන්න දෙන්න බෑ දිලිනි.මම මේ දැන් යන්නෙත් ඔය මිනිහ කෙල්ලො ටිකක් වටකරගෙන කියව කියව ඇති ෆෝන් එක ආන්සර් කරන්න සිහිකල්පනාවකුත් නෑ.”

ගීත්මගේ හඬ පිරිල තිබුණ කෝපයෙන්.

“කලබල නොවී එයා ෆෝන් එක ආන්සර් කරයිද බලන්නකෝ.ඇත්තටම මොනවා හරි කරදරයක් වෙලා නම්..”

ගීත්මා මෙහෙම කේන්ති ගන්නවට වඩා පොඩ්ඩක් බය උනාට කමක් නෑ කියලා හිතපු දිලිනි එහෙම කිව්වේ සන්සුන් ස්වරයෙන්.නමුත් ගීත්මා තවත් කේන්ති ගත්තා.

“ෆෝන් එක ආන්සර් කරනකම් බලාගෙන ඉන්න බෑ මම එතනට යනවා..”

කලබලයෙන් සහ කෝපයෙන් පිරිලා ඉන්න මිතුරියව එහෙම යවන්න දිලිනිට හිත දුන්නේ නැහැ. එනිසාම ඇය ගීත්මාව සන්සුන් කරන ගමන් ඒ ගමනට එකතු වුණා.

“ඔයා ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට කියන්නේ නැද්ද මේ රෑ එළියට යනවා කියලා..”

ගීත්මා එහෙම අහනකොට එහෙම අවශ්‍යතාවක් නැති බව දිලිනි හෙළිදරව් කළා.

“මොකක්හරි කලබලයක් සිද්ධ වෙලා තිබුනොත් මම චමත්ට කතා කරන්නං..”

දිලිනි එහෙම කියනකොට ගීත්මා මූණ ඇද කරගෙන ප්‍රශ්නයක් අහන්න අමතක කරේ නෑ.

“එහෙම යන යන එන තැන් ගැන කියන්න ඕනෙ නෑ කියලා චමත් ඔයාට කියලා තියෙනවද?”

Angry Couple

ඇත්තටම එහෙම නීතියක් දෙන්නට දෙන්නා පනවා ගෙන නැති බවත් සම්බන්ධතාවයක් ඇතුළෙ නිදහස කියන දේ තදින්ම අගය කරන නිසා දෙන්නම දෙන්නා ගැන ඕනෙවට වඩා හාර අවුස්සන්නේ නැති බවත් දිලිනි පැහැදිලි කරා.

“ඔයා ඔය කියන්නෙ චමත්ගේ වචන නේද?”

ගීත්මා එහෙම ඇහුවේ සැරෙන්.කොල්ලෝ තමන්ගේ නිදහස හොයා ගන්න ඒ වගේ කාරණා කිව්වට ඒවට අහු වෙන්න එපා කියලා දිලිනිට අවවාද කරන්නත් ඇය අමතක කරේ නෑ.

“ටොයිලට් එකට ගිහින් වෙනදට වඩා විනාඩි පහක් වැඩිපුර හිටියත් හොයලා බලන්න.පිරිමි කියන්නේ මහා වෙනස් වෙන ජාතියක්.”

එහෙම බයෙන් සැකෙන් ආදරේ කරලා මොකටද කියලා අහන්න හිතුණත් ගීත්මාගේ මානසිකත්වය ගැන හිතපු දිලිනි කිසිවක්ම නොකිය ඉන්න තීරණය කළා.

“අර පේනවද නට නට ඉන්න අපූරුව..”

එළිමහන් සාදයේ සතුටින් ඉන්න රවිඳු පෙන්නමින් ගීත්මා ටැක්සියෙන් බැස්සේ කේන්තියෙන් මූණ රතු කරගෙන.ගීත්මා මොන විනාශයක් කරගන්න යනවද කියලා තේරුම් ගන්න අමාරු නිසාම දිලිනි ඇය පස්සෙ දුවගෙන ගියා.

“මෙතන නට නට ඉන්නේ මම කෝල්ස් කීයක් ගත්තද?”

ගීත්මා මිතුරන් එක්ක හිටපු රවිඳු ලඟට කඩා පැන්නේ කේන්තියෙන් ඇස් දෙක රතු කරගෙන.රවිඳු තුෂ්නිම්භූත වෙද්දී අනිත් අය හොරෙන් හිනා වෙන දැක්කම දිලිනිට තමන්ගේ මිතුරිය ගැන දුක හිතුණා.ඇගේ හැසිරීම අනිත් අයට විහිළුවක් වෙන තරම්.බිරියගේ අත තද කරල අල්ලගෙන ඇයව සන්සුන් කරලා පැත්තකට ගන්න දිලිනි වග බලා ගත්තේ ඒ නිසා.

“මම යාලුවෝ ආස්සරේ කරනවට විතරක් නෙමෙයි ගෙදර අය එක්ක කෝල් එකක හිටියත් ගීත්මා කලබල වෙනවා.නීති දාලා හිර කරල තියාගන්න ආදරේ ගැන එයා කොහෙන් ඉගෙන ගත්තද කියන එක තමයි මට තේරෙන්නේ නැත්තේ.”

තවමත් කෝපයෙන් පුපුරන ගීත්මා දිහා බලලා රවිඳු කියන්නේ කණස්සල්ල පිරුණු කටහඬකින්.

“සමහර කාරණා තියෙනවා උපදේශනයෙන් මෙහා හදන්න බැරි.මොකක්ම හරි ප්‍රශ්නයක් ගීත්මාව ඔය තැනට අරගෙන එන්නැති රවිඳු.මේ සැකය රණ්ඩු කිරිල්ලයි දරාගන්න බැරුව ඔයාට එයාව අතාරින්න පුළුවන්.ඒත් එයා හැදෙන්නේ නැහැ.ඒ නිසා අත් හරින්නෙ නැතුව අපි එයාට උදව් කරන එකයි කරන්න ඕනේ..”

තමන්ගේ සමීපතමයන්ව අනවශ්‍ය ලෙස සැක කරමින් බයෙන් ජීවත් වෙන සමහර අය අන්තිමට තමන්ගේ ජීවිතය පවා අතාරින්න දෙවතාවකරේ ප්‍රවේසමෙන් දිලිනි රවිඳුට පැහැදිලි කළේ ප්‍රවේසමෙන්.

මොනවාම හරි කාරණයක් නිසා බයෙන් ජීවත් වෙන,තමන්ගේ ළබැඳියන්ව ඕනෑවට වඩා සැකකරන අයටත් තමන්ගෙම කතාවක් තියෙන්න පුළුවන්.ඒ නිසා ඒ වගේ අයටත් තව එක අවස්ථාවක් දීලා බලන එක ආදරේ නාමයෙන් කළ යුතු දෙයක් බව රවිඳු තේරුම් ගත්තේ දිලිනිගේ කතාවෙන්.

“ආදරේ කියන්නේ සැක කර කර රණ්ඩු කරන එකයි,මේ වගේ අනිත් අයගේ හිනාවට ලක් වෙන එකයි නෙවේ කියලා තේරුම් ගන්න ගීත්මාට කාලේ ඕන කියල මටත් දැන් හිතෙනවා.”

මිනිත්තු කීපෙකට කලින් ගීත්මාව සදහටම අත් ඇරලා දාන තරමේ තරහකින් හිටිය රවිඳු එහෙම කිව්වේ පුටුවකට වැටිලා අඬන ගීත්මා දිහා අනුකම්පාවෙන් බලන ගමන්.

“දැන් වුණත් එයා මාත් එක්ක රණ්ඩු කරයි..ඒ වුණාට මේ තත්වෙ ඉක්මනින් විසඳා ගන්න අපිට පුලුවන් වෙයි.”

ඇවිලෙන ගින්නට පිදුරු දාලා ගීත්මාව තවතවත් අවුල් කරපු ඇගේ අතීත මිතුරියන්ව මතක් වෙද්දී දිලිනිට කෘතඥ සිනාවක් තිළිණ කරන ගමන් රවිඳු කිව්වේ සැනසීම පිරුණු හඬින්

More Stories

Don't Miss


Latest Articles