මතක දිගහැරුම 118- අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය දහ අටවන දිගහැරුම ,

අපගේ දරුවන් කුඩා කල සිටම අප ඔවුනට යහපත් දේවල් පිළිබඳව ඉගැන්වුයෙමු. එපමණක් නොව, දේවල් වල ඇති වටිනාකම , ජීවිතයේ ඇතිවිය හැකි දුක් කම්කටොලු ආදී සියල්ලම පිළිබඳව අප ඔවුනට කියා දුන්නෙමු.ජීවිතය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට අප හට පිනක් ඇත්නම් ඒ අවස්ථාව කෙසේ හෝ ඉතා ඉක්මනින් සැලසේ.ඒ අනුව අපගේ පුතුන් දෙදෙනාද මා පෙර කී ස්වාමින් වහන්සේගේ ඇසුර ඔස්සේ ඉතාම තරුණ අවධියේදී ජීවිතය පිළිබඳව සහ ධර්මය පිළිබඳව විශාල අවබෝධයක් ලබා ගත්හ.බොහෝ දෙනකුට එවැනි අවබෝධයක් සමහරවිට තම ජීවිත කාලය පුරාවටම ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැත.තවත් සමහර අයට එවැනි අවස්ථාවක් ලැබෙන්නේ ජීවිතයේ අවසාන භාගයේ දී ය.නමුත් සංසාරයේ සිදු කෙරූ කුමක් හෝ පුණ්‍යකර්මයක් මත මගේ දරුවන් දෙදෙනා හට කළ්‍යාණ මිතුරන් ඇසුර සහ ස්වාමීන් වහන්සේව ඇසුරු කිරීමට අවස්ථාව හිමිවීම නිසා විශාල ධර්මාවබෝධයක් ලබා ගැනීමට හැකි විය.ඒ අවබෝධය ඔස්සේ තම තමන්ගේ ජීවිත යහපත් මාර්ගයට යොමු කර ගැනීමට ද ඔවුන්ට හැකියාව ලැබුණි.ඒ ඉතාම තරුණ වයසේදී ය.නමුත් ඔවුන් ඉතාම සාමාන්‍ය දරුවන්ය. ඔවුන් ගත කරන්නෙද සාමාන්‍ය ජීවිතයක් ය.

පෙර කලෙක ඔවුන් ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වු වැඩසටහනට සහභාගි වූ නිසා ඇතැමුන් සිතුවේ අප දරුවන් දෙදෙනා ගමන් කරන්නේ වෙනමම මාර්ගයක කියාය.නමුත් ඔවුන් දෙදෙනා හට සමාජයට දීමට උවමනා වූයේ වෙනත් පණිවිඩයක් ය .එය වැරදියට වටහා ගත් සමහර දෙනා වර්තමානයේ අප දරුවන්ගේ ඡායාරූප වලට පවා වැරදි අදහස් ප්‍රකාශ කරන ආකාරය අපට දැක ගත හැකිය.එයින් පෙනී යන්නේ අප දරුවන් සමාජයට ලබා දීමට උත්සාහ කළ පණිවිඩය තේරුම් ගැනීමට පවා එවැනි අය පින් කර නොමැති බවයි.නමුත් එම පණිවිඩය හරි ආකාරව ලබාදෙන ජීවිතයට යහපත ළඟා කර ගත් බොහෝ දෙනා සිටින බැවින් අප හට ඒ පිළිබඳව සතුටු විය හැකිය.

අප දරුවන් දෙදෙනා පිලිවලට සහ ලස්සනට ඇඳුම් ඇඳීමට විශාල කැමැත්තක් දක්වති.ඒ වගේම විනෝදවීමට මිතුරන් හමුවීමට සාදවලට සහභාගි වීමට ද ඔවුන් ප්‍රිය කරති.බොහෝ අවස්ථාවලදී ඔවුන් යන එන ගමන් බිමන් පිළිබඳව , නැවත පැමිණෙන වෙලාව ආදිය පිළිබඳව මා විශේෂයෙන් විමසන්නේ නැත.ඔවුන් කොතැනක ගියත් ඉතා සිහියෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන බවට මා තුල විශාල විශ්වාසයක් පවතී.එම නිසා ඔවුන්ගේ නිදහසට බාධා කරන්නට මා කටයුතු කරන්නේ නැත.

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීම සඳහා ඔවුන් තුළ විශාල කැමැත්තක් සහ දක්ෂතාවයක් විය.අප දෙමව්පියන් වශයෙන් ඔවුන් සමග ඔවුන් කැමති දේ පිළිබඳව සාකච්ඡා කළෙමු.ඔවුන් දිගින් දිගටම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වනවා නම් ඒ සඳහා සහයෝගය දීමට හෝ අංශයකින් ඉදිරියට යාමට කැමැත්තක් දක්වනවා නම් විදෙස් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීමට හෂාන් සහ මම සැලසුම් කළෙමු.වැඩිමල් දරුවන් දෙදෙනාට අවශ්‍ය වූයේ හශාන් මෙන්ම රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමටය.

” අපි කැමති අපේ රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න. අපි පොඩි කාලේ ඉඳලා දැක්ක දේ ක්‍රිකට්.තාත්තිත් ආස කවදාහරි අපි ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගහනවට.තාත්තිගේ ආසාවයි අපේ දක්ෂතාවයයි එක්ක අපි කැමති ඒ දේ කරන්න “

ඇත්ත වශයෙන්ම කිවහොත් අප දරුවන් දෙදෙනාගේ මුල් ගුරුවරයා වූයේ හෂාන්ගේ තාත්තාය.ඔහු දරුවන් කුඩා කල සිටම ක්‍රිකට් පිත්ත සහ බෝල ගෙන දරුවන් සමඟ ක්‍රීඩා පිටියට ගොස් ක්‍රිකට් පුහුණු කළේය.මගේ අම්මා සහ තාත්තා ද ආසා කළේ අපගේ දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම ස්ථානයකට යන ආකාරය දකින්නට ය.නමුත් අවාසනාවකට මෙන් ඔවුනට ඒ අවස්ථාව උදාවූයේ නැත .

රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදුණත් ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ ඉදිරියට යාමට හැකි මාර්ග බොහෝමයක් ඇත.එයට හොඳම උදාහරණය වන්නේ හෂාන්ගේ බාල සහෝදරයාය.හෂාන්ගේ මල්ලි වන යසස් තිලකරත්න මේ වන විට පදිංචි වී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඔහු ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ක්‍රිකට් ලීග් වල ක්‍රීඩා කරයි.ඔහු එයින් බොහෝ ඉදිරියට ගොස් ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කරමින් ඉතා සාර්ථක ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ ද නියැලෙයි.මේ වන විට ඔහු ඔහුගේම නිවසක්ද ඉදිකරගෙන , විවාහ වී ,පිය පදවිය ද ලබා ඉතාම හොඳින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව යනු රට වෙනුවෙන්ම ක්‍රීඩාවේ නියැළීම නොවේ.ඊට එහායින් ගොස් වෘත්තීය මට්ටමෙන් තමන් කැමති අංශයක නියැලිය හැකිය.කෙසේ හෝ අප දරුවන් දෙදෙනාගේ ප්‍රධාන අරමුණ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමය.ඊට අමතරව ඔවුන් දෙදෙනාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට අදහසක් තිබෙන බව පැවසූ විට අප ඔවුන්ගේ එම අදහසට ඉඩ දුන්නෙමු .ක්‍රිකට් ක්‍රීඩාවේ පරිණත පුද්ගලයෙක් වන හෂාන් හට දරුවන්ට ඇති දක්ෂතාවයන් පිළිබඳව මනා අවබෝධයක් ඇත.එම නිසා ඔහු කිසිම දිනයක ඔහුගේ උවමනාව මත දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩාව කිරීමට පළ කළේ නැත.ඔහුට අවශ්‍ය වූයේ දරුවන් දෙදෙනාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම සහ කටයුතු සම්පාදනය කිරීමට ය.දරුවන් පාසල් කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන විට හෂාන් සහ මම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් ඔවුනට මඟ පෙන්වූයේ ඒ අනුවය.නිවසේදී හෂාන් දරුවන් දෙදෙනාට අවශ්‍ය ගුරුහරුකම් බොහෝමයක් ලබා දෙයි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles