එකසිය එක්වන දිගහැරුම ,

එකසිය එක්වන දිගහැරුම ,

පක්ෂය විසින් හෂාන් වෙත ආසන භාගයක කොටසක් ලබා දුන්නේ මැතිවරණයක් ආසන්න වූ කාලයකදීය.මනාප ක්‍රමය යටතේ සාමාන්‍යයෙන් සම්පූර්ණ ආසනයේ ම ඡන්ද ප්‍රමාණය ලැබිය යුතු අතර ,අඩුම වශයෙන් ඡන්ද 30,000 ක ප්‍රමාණයක් වත් මූලිකවම ආසනයකින් ලැබිය යුතුය.තමන්ගේ ආසනයට මන්ත්‍රී ධුරයක් හිමි වීම ඉතා හොඳ දෙයක් බැවින් ආසනයේ සියලු දෙනාම පාහේ ඡන්දය ලබා දෙති.එසේ ලබා නොදෙන්නේ ඉතාම සුළුතරයක් පමණි.සාමාන්‍ය ආසන සංවිධායකවරයෙක් වී සිටිනවාට වඩා මන්ත්‍රී ධුරයක් හිමි වීම තුළින් එම ආසනයේ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කිරීමට අවස්ථාව හිමි වේ.ඒ සඳහා ආසන බාගයක මනාප ප්‍රමාණවත් නොමැති නිසා බොහෝ දෙනා හෂාන් හට පැවසුවේ ආසන භාගයකින් කළ හැකි දෙයක් නොමැති බවයි.කෙසේ හෝ හෂාන් දැරුවේද ඒ මතයමය.එබැවින් ආසන භාගයක් ලබා ගැනීම ඔහු ප්‍රතික්ෂේප කරමින් සිටියේය.නමුත් ඒ වන විට කාලයක් පුරාවටම ඔහු දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වෙමින් මිනිසුන් වෙනුවෙන් සේවය කළ නිසා මා ඔහු දැරූ එම මතයට විරුද්ධත්වය පෑවෙමි.

මැතිවරණයකට සූදානම් වීම යනු එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.එම කටයුතු සඳහා සහයෝගය දක්වන සියලු දෙනාගේම ඕනෑ එපාකම් අප විසින් සලකා බැලිය යුතු වේ.ඊට අමතරව ඔවුන්ගේ උත්සව අවස්ථාවන් , පින්කම් සහ අවමංගල උත්සව ආදියටත් අප සහභාගි විය යුතුවේ.ස්වාභාවික විපත්වලට මුහුණ දුන් විට ඔවුන්ට අවශ්‍ය ආධාර ලබා දීම ද , හදිසියේ මුහුණ පෑමට සිදුවන වෙනත් අවස්ථාවන් සඳහා අවශ්‍ය දේවල් ලබා දීමටද අප අවධානය යොමු කළ යුතුය.ආසන සංවිධායකවරුන් බොහෝමයක් දෙනා ඒ හේතුව නිසාවෙන් විවිධ පුද්ගලයන්ගේ සහයෝගය ඇතිව දේශපාලන කටයුතුවල නිරත වෙති.නමුත් හෂාන් හැම අවස්ථාවකදීම කටයුතු කළේ ඔහු ඉපයූ මුදලින් වන අතර කිසිම විටක ඔහු වෙනත් පුද්ගලයන්ගේ සහයෝගය හෝ මුදල් ලබා ගත්තේ නැත.හෂාන් දේශපාලනයට පිවිසීම පිළිබඳව මා මුල් කාලයේදී අකමැත්ත ප්‍රකාශ කළ ද ඔහුට ආසන බාගයක් පවරා දීමට යන අවස්ථාවේදී එම අභියෝගය භාරගෙන කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතු යැයි මා ඔහුව දිරිමත් කළෙමි.ඒ වන විට එම ආසනය වෙනුවෙන් හෂාන් බොහෝ කටයුතු කර තිබූ නිසා ආසන බාගයක් පවරා දීමට යන අවස්ථාවේදී එය අතහැර දැමීම අනුවණකමක් යැයි මා හට සිතුණි.

කිසිදු පුද්ගලයෙක් සමග තරහවක් නොමැතිව මහත්මා ආකාරයෙන් හෂාන් ඔහුගේ දේශපාලන කටයුතු සිදු කරගෙන ගියේය.ඔහුගේ සෑම කටයුත්තකදීම මා ඔහු සමග සිටීම ඔහු හට විශාල ශක්තියක් විය.අප විසින් සෑම ග්‍රාම සේවා වසමකම යොවුන්, තරුණ සහ කාන්තා වශයෙන් සමිති පිහිටවිය යුතු විය.එම කටයුතු සඳහා මා ,හෂාන් හට හැකි උපරිමයෙන් සහයෝගය ලබා දුන්නෙමි.එකල ඇතැම් අය ඒ සමිති පිහිටුවීමේ කාර්යයේ දී දන්නා හඳුනන අයගේ නම් ලැයිස්තුවක් සකස් කර සමිතිය පිහිටෙව්වා යැයි පවසමින් නම් ලැයිස්තු ඉදිරිපත් කරයි.නමුත් අප අදාළ සමිති වලට මිනිසුන් කැඳවා , ඔවුන්ගේ නිවෙස් වලට ද ගොස් , අදාල ගමෙහි ජීවත්වන ප්‍රධානීන් මුණගැසී , පැරණි දේශපාලන නායකයන්ද මුණගැසී අවශ්‍ය සියලු දේ සාකච්ඡා කරමින් සමිතිය පිහිටුවන දින පිළිබඳව දැනුවත් කරමින් ඒවාට පැමිණෙන ලෙස දැනුම් දුන්නෙමු.අදාල ප්‍රදේශ වල අප නොගිය තැනක් නැති තරම්ය.සමිතියේ සභාපති , ලේකම් ඇතුළු නිලධාරි මණ්ඩලය පත්කර ගැනීම පවා අප සිදු කළේ නිසි ආකාරයට ය.අපගේ වැඩපිළිවෙළ පිළිබඳව සිරිකොත කාර්යාලයේ සියලු දෙනා සිටියේ ඉතා පැහැදීමකින් ය.

මේ කිසිදු කටයුත්තක් ඉතා පහසුවෙන් කළ හැකි ඒවා නොවීය.ඇතැම් අවස්ථාවල දී විවිධ පුද්ගලයන්ගේ විවේචනවලට ද ලක් වීමට අපට සිදුවිය.පැරණි ආසන සංවිධායකවරුන් ගේ අකටයුතුකම් නිසා විශ්වාසය බිඳුනු බොහෝ දෙනා හෂාන් පිළිබඳවද සිතුවේ ඇතැම්විට ඒ ආකාරයටමය.එම නිසා එවැනි මිනිසුන් සමඟ කටයුතු කිරීම පහසු නොවීය.බොහෝ අවස්ථාවලදී අප හට සිත් රිදීම් ඇති වන අවස්ථා තිබුණත් හෂාන් ඒ සියලුම අවස්ථාවල දී ඉතාම ඉවසීමෙන් කටයුතු කළේය.තත්ත්වය එසේ වෙද්දී තවත් සමහර අය හෂාන් සමග ඉතා සහයෝගයෙන් කටයුතු කළ අතර බොහෝ ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව ඔහුව පිළිගත්හ.

සමහර ප්‍රාදේශීය මන්ත්‍රී වරු , ඔවුන්ගේ ව්‍යාපෘතින් ක්‍රියාවට නැංවීම සඳහා අප ලවා අවශ්‍ය කටයුතු කර ගැනීමට පවා පෙළඹුණහ. ඒවායේ වාසිදායක පැතිකඩයන් ඔවුන් භාවිතා කළේ මැතිවරණ වලින් ජයග්‍රහණය කිරීම උදෙසාය.තවත් අවස්ථාවන් වලදි ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කිරීමට සිදුවූ අතර එසේ නොවන අවස්ථාවන් වලදී ඔවුන්ගේ කෝපයට හසු වීමට ද අපට සිදුවිය.ඒ අයුරින් විවිධාකාර ගැටලු රාශියක් මැද හෂාන් කටයුතු කළේය.නමුත් හෂාන් වැනි මහත්මා ගතිගුණ වලින් යුතුව දේශපාලනයේ නියැලෙන්නන්ට සම්පූර්ණ සහයෝගය ලබා දීම සහ දේශපාලනයට පිවිසීම පිළිබඳව සතුටු වන පුද්ගලයන් ද වූහ.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles