හැම වේදනාවක්ම එක සමානයි.

“මොකද නංගි කරන්නේ?”

උමාලි හිස ඔසවලා බැලුවේ කන ලගින්ම වගේ ඇහුණු හඬට.එහා ගෙදර ජයනි චූටි බබාවත් වඩාගෙන මිදුලේ සක්මන් කරමින් ඉන්නවා.

“වත්ත ටිකක් සුද්ද කරා අක්කේ.ඩෙංගු බලන්න එහෙම හෙට අනිද්දට එයි.”

උමාලි එහෙම කියනකොට ජයනි හිනා උනේ ඩෙංගු සම්බන්ධයෙන් නම් නෙමෙයි කියලා උමාලිට හිතුණා.ඇත්තටම උමාලිගේ ගෙවත්තේ ඒ තරමට අස්-පස් කරන්න දෙයක් තිබුණෙ නැහැ.උමාලි කොහොමත් පිළිවෙල වැඩට රුසියා.අද කාර්යාල දවසක් නොවුණු නිසා හැඩි වෙලා බව පෙනුණු තැන් අස්පස් කිරීම ඇයට සතුටක්.

“ඔය කෙසෙල් ගස් එහෙම කපලා දාන්න නංගි. අපරාදේ මොකටද වඳ පීදුණු ගස් තියාගෙන ඉන්නේ.”

මේ කෙසෙල් පඳුරේ හැදුණු හොඳ කෝලිකුට්ටු ඇවරි කිහිපයක්ම ජයනිගේ දොළදුක සංසිඳ වූ බව කියන්නට සිහිපත් වුණත් උමාලි කිසිවක්ම නොකියා ඉන්නට තීරණය කලා.නමුත් ඇයගේ නිහඬතාවය ජයනි ට හොඳ උත්තේජනයක් වුණා.

“වඳ පීදෙන ගහක් ගෙදරක මිදුලකට මහා අසුබයි.තේරුමක් නෑනේ.මට නොතේරෙන්නේ සමහර මිනිස්සු ඒවා එච්චර ආදරෙන් රකින්නේ මොකටද කියලා.”

ජයනි එහෙම කියලා පුංචි පුතාගෙ නලලට හාදුවක් දුන්නේ ඇයි කියන දේ නොතේරෙන්න තරමට උමාලි මෝඩියක් නෙවෙයි.ඇය මුළුතැන්ගෙට ගියේ වතුර වීදුරුවක් බොන්න.හිතේ තියෙන වේදනාව සීතල වතුර වීදුරුවකට දිය කරන්න පුළුවන්ද කියලා කරන්න පුළුවන්ද කියල ඇය හිතුවා.

“වතුර බීල ගින්දර නිවා ගන්න ඕනේ නෑ පුතේ.”

උමාලි ඒ හඬට ගැස්සිලා ගියා.ඇය අසල හිටියේ සාගරගෙ අම්මා.

නැන්දම්මා කෙනෙක් හැටියට ජයනි කිව්ව කතාව සාගරගේ අම්මා කොහොම ඔළුවට ගන්න ඇතිද? උමාලිට දැනුණේ ලැජ්ජාවක්. කේන්තිය සහ දුක මුසු වුණු ලැජ්ජාවක්.

“ඇට නැති දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන ගෑනු කියන දේවල් වලට වතුර බොන්න ගියොත් මහා සාගරේට වඩා වතුර බොන්න වෙනවා පුතේ.”

අත්තම්මා කෙනෙක් වීමේ සිහිනය අවුරුදු දෙක තුනක් පසුවෙමින් තිබුනත් අම්මා කිසිම දවසක තමන්ට මොකුත් කියලා නැති බව උමාලිට මතක් වුණේ ඒ වෙලාවේ.

“ඔය වගේ කතා හිතේ ගින්දර ඇති කර ගන්න ඕනි කතා නෙමෙයි.”

සාගරගේ අම්මා දිගින් දිගටම තමන් වෙනුවෙන් කතා කරන බව උමාලිට තේරුම් ගියා.ඇහැ කොණක ගුලි වෙලා තිබුණු හීන් කඳුළක් ඇස්වලින් ගලාගෙන ගියේ ඒ වෙලාවේ.ලෝකෙටම හංගගන්න කඳුළු අම්මා කෙනෙක්ගෙ ආදරය ඉස්සරහ දියවෙලා වැගිරෙන්නට පුළුවන් කියලා ඇයට ඒ වෙලාවේ හිතුණා.

“අවුරුදු විසි අටක කෙල්ලෙක්ට දරුවෝ පරක්කුයි කියලා කියන්න පුළුවන් පුලුවන් මොන රටේ ද පුතේ?”

කෙසෙල් ගස් වඳ පීදුණු කතාව දිගේ අම්මා සෑහෙන දුරක් ගිහින්. උපමා සහ උපමේය ඉගෙන ගන්නේ ඉස්කෝලේ පහේ පන්තියේ.උපාධි දෙක තුනක්ම කරපු උමාලිට ජයනිගේ කැත උපමාව වටහා ගන්න අසීරු නැහැ.ඒ නිසාම හිත රිදෙනව වැඩියි.

“අපේ සමුද්‍රා දුව කිසිම දවසක අහල නෑ දුවට බබාලා පරක්කු ද කියල.අඩුම තරමේ ඔයාලට එහෙම දෙයක් ඕනේ ද කියලවත් අපේ සමුද්‍රාට වගක් නෑ.”

අම්ම ඒ මතක් කළේ සාගරගේ අක්කා ගැන.ලස්සන දුවෙක් සහ දඟකාර පුතෙක් ඉන්න අක්කා යුරෝපා රටක පුරවැසියෙක් වෙලා දැන් සෑහෙන කාලයක්.ඉගෙනීමෙන් උපරිම ඵල නෙලා ගත්තු ඇය ඒ ලැබූ බුද්ධියෙන් එහෙම දේවල් නාහා ඉන්නවද එහෙමත් නැත්නම් වෙනත් රටක ජීවත් වෙන ඇගේ සිතුම් පැතුම් වෙනස් ද කියලා උමාලි කල්පනා කළා.ඒත් අම්මාට තිබුණේ වෙන කතාවක්.

“අක්කටත් සෑහෙන්න බේත් කරන්න උනානෙ පුතේ.”

උමාලි ඒ වගක් දන්නේ නෑ.ඇයට සාගරව මුණ ගැහෙනකොට අක්කා දූ ලැබෙන්න ගැබිණියක වී හිටිය බව විතරක් මතකයි. කොහොමත් ඒ වගේ පෞද්ගලික කතා සාගර කියන බව ඔහුව හොඳින් තේරුම් ගත් උමාලි දන්නවා.ඇත්තටම ඒ මොන මොනතරම් පෞද්ගලික කතාවක් ද කියලා උමාලි ආයෙම පාරක් හිතන්න පටන් ගත්තා.

“ඔය මොන දේවල් තිබුනත් අපේ ලොකු දුවත් ඒ ප්‍රශ්නෙ නිසා ටිකක් වේදනාවෙන් හිටිය.හරියට ප්‍රතිකර්ම කරලා ආසාවෙන් බලන් හිටියාම ඒ හීනෙ එච්චර දුරස් නෑ කියලා මම දැනගෙන හිටියා.”

ඒ කාලේ ජයනි අක්කා අල්ලපු ගෙදර ඉන්න නැතුව ඇති.උමාලිට එකපාරටම හිතුවේ එහෙම දෙයක්.ඒත් අක්කා පහු කරපු ජීවිතය සහ ඇයට දරාගන්න දරා ගන්න බැරි වුණු අසීරු තැන් ගැන අම්මා දිගින් දිගටම උමාලි එක්ක කියමින් හිටියා.

“ඒ වගේ කාලයක් ගෙවන කෙනෙක්ගෙ වේදනාව අක්කා හොඳටම දන්නවා.ඒ නිසා එයා ඔයාගෙන් ඒ වගේ දෙයක් අහන්න පොඩ්ඩක්වත් කැමති නැහැ.ආයෙ ඉතින් බොරු කියන්නේ මොකටද? මං උනත් මේ ගමේ ගොඩේ නැන්දම්මෙක් වෙන්න හොඳටම ඉඩ තිබ්බා පුතේ.අසේලගෙ අම්මලා ඒ දවස් වල අක්කට දීපු ගින්දර ඔයාටනම් දෙන්න එපා කියලා මට දවසට පාරක්වත් මතක් කරන්නෙ අක්ක.”

සාගරගේ අම්මා ඇත්තටම අම්මා කෙනෙක් බව උමාලි තමන්ගේ විවාහ ජීවිතය පුරාම දැනගෙන හිටිය.නමුත් මේ වගේ දෙයක් ඇය තමන් එක්ක බෙදා ගන්න කොට උමාලිට දැනුණේ සුරක්ෂිත හැඟීමක්.තමන්ගෙ කියන අය තමන්ට දොසක් නොකියන නම් තමන්ගෙ අසීරු කාලය තමන් එක්ක දරාගන්න කැමතිනම්  තැවෙන්න දෙයක් නැති බව ඇය හිතන්න පටන් ගත්තා.

“හැබැයි පුතේ ජයනි ඔය කතා කියන්නෙ ඇයි කියල ඔයා දන්නවද?”

තමන් විවාහ වෙලා එනකොටත් ජයනි හිටියේ ඔය ගෙදර.ඇය විවාහ වුණු කාලේ ගැන උමාලිට ලොකු අදහසක් නැහැ.ඒත් අම්මා කියපු දෙයින් උමාලි පුදුමයට පත් වුණා.

“ජයනිත් ඔය ප්‍රශ්නෙට අවුරුදු දහයකට වඩා බේත්හේත් කරා.අපේ දුවට බාරහාර වෙන කොට මම ජයනිටත් බාරහාර වුණු දවස් හිසේ කෙස් ගාණට තියනවා.අනිත් එක ඔය කමල්ලගෙ අම්මා එක්ක පුදුම තරම් ජයනි රණ්ඩු ඇති කර ගත්තේ.සෝමාත් හරියට කතන්දර කිව්වත් තමයි.ඒ වුණාට දෙන්නගෙ පුදුම රණ්ඩු ගොඩක් තිබුණ.අන්තිමට සෝමා ඔය ගාල්ල පැත්තට දීග ගිහින් ඉන්න දුව ළඟට යන්න ගියා.”

 තමන්ගෙ හිත රිදෙන පෑරෙන කතාවක් කියපු ජයනි තමන් ඇවිදගෙන යන මාවත දිගේ තමන්ට වැඩි කාලයක් ඇවිදන් ගිය කෙනෙක් බව හිතනකොට උමාලිට පුදුමයි.සමුද්‍රා අක්කා තමන්ගෙ වේදනාව හරියටම තේරුම් ගත්ත කෙනෙක්.ඒ වේදනාව ඇය දන්න නිසා.ඒත් ඒ වේදනාව ඒ විදියටම උහුලපු ජයනි දැන් තමන් විඳපු වේදනාව විඳිමින් ඉන්න අයට අපහාස කරන එක ගැන කේන්ති ගන්නවද දුක් වෙනවද කියලා උමාලි කල්පනා කළා.

“ඕව ඔහොම තමයි පුතේ.සමහරු කැමති තමන් විඳපු දුක් අනුනුත් විඳිනවට.හැබැයි එතකොට ඒ දුක් තමන්ට තිබුණෙ නෑ වගේ එයාලට හිනාවෙන්න මිනිස්සුන්ට පුදුම ආසාවක් තියෙනවා.එක එක අයගෙ හැටි කියල හිතල හිත හදා ගන්න එක අපිට හොඳයි.”

අම්මා එහෙම කියන ගමන් මිදුලට බැස්සේ කරපිංචා අත්තක් කඩන්න හිතාගෙන.පට්ට ආපු අම්මගෙ හිනාව දිහා උමාලි බැලුවේ පුදුමයෙන්.

“ජයනි වඳයි වඳයි ගාපු කෙහෙල් ගහේ අර අපූරුවට මලක් හැදෙන්නෙ පුතේ.”

ජයනි කැලැන්ඩරය දිහා බැලුවා.සමහරවිට මල් කිහිපයක්ම පිපෙන්න කාලෙ හරි ඇති.ඇය අම්මා එක්ක හිනා උනේ නොකියූ රහසක් හිතේ පරිස්සම් කරගෙන.

More Stories

Don't Miss


Latest Articles