නැන්දම්මලා.

“වෙලාව නවයත් පහු වෙලා.යසයි ගෑනු ළමයි නිදා ගන්න තරම්..”

නැන්දම්මාගේ කෑගැහිල්ල ඇහුණු මධූ මල්වලට වතුර දාන ගමන් ගේ ඇතුළට එබුණා.මේ ගෙදරට එන්න කලින් නිවාඩු දවසට ටිකක් දවල් වෙනකන් නිදාගත්තු දවස් ඇයට දැන් හීනයක් වගේ.නැන්දම්මා ඔහොම කෑගහන්න ගත්තු නිසා දැන් මධූ ඉන්නේ නැන්දම්මාට ඕනෑ හැටියට.එක අතකට මේවා රදීෂ්ගෙත් වැරදි! මධූව මෙහෙ දාලා රදීෂ් ආපහු ඩුබායි ගිය එක තමයි මේ සේරටම මුල! මධූ එහෙම හිතන ගමන් මල්වලට වතුර දැම්මේ මිදුලේ සෙල්ලම් කරන චූටි පුතාටත් ඇහැ ගහගෙන.දරුවා අතක් පයක් හරි සූරාගත්තොත් ඒ සෝලියත් මධූට.

“මොකද අම්මේ කෑගහන්නේ..”

රමාලි පිජාමා එක පිටින්ම ඇවිල්ලා සාලේ පුටුවකට වැටුණා.නැන්දම්මා අත් ඉනට ගහගෙන රමාලි දිහා බැලුවා.රමාලි අම්මාව නොදැක්කා වගේ ෆෝන් එක ඔබනවා.

“යසයි ගෑනු ළමයෙක් නැගිටින වෙලාවක්.දුලාජ්ගේ ගෙදරදිත් ඔහොමද?

අම්මාගෙයි දුවගෙයි රණ්ඩු අම්මායි දුවයි බේරා ගන්නෙ නැතැයි හිතලා මධූ රෝස ගස්වලට සාත්තුව පටන් ගත්තා.රමාලි කියන්නේ රදීෂ්ගේ එකම නංගිට.එයා විවාහ වෙලා තාම මාස හතරක් පහක් ගෙවුණා විතරයි .දුලාජ් එයාගේ අම්මා එක්ක හදිසි නෑදෑ ගමනක් ගිය නිසා රමාලි ආපහු මෙහෙට කඩා පාත් වුණේ ඊයේ රෑ.

“මම නිවාඩු දවසට හතට අටට නැගිට්ටමත් දුලාජ්ලගෙ අම්ම අහනව දුවට පිස්සුද කියල.ගිහින් තව ටිකක් නිදා ගන්න කියන්නෙත් එයා..අපි ඉගෙන ගන්න කාලේ නිදි මරාගෙන පාඩම් කරලා දැනුත් ජොබ්වලට නැහෙන නිසා නිවාඩු දවසටවත් විවේකයක් ගන්න කියලයි ඒ අම්මා කියන්නේ”

රමාලි අම්මාට කියන්නේ අප්‍රසාදය පිරුණු හඬකින්.නිවාඩු දවසටත් අහිමි වෙන තමන්ගේ නිදහස ගැන හිත හිතා මධූ මුළුතැන්ගෙයට ගියා.

“අක්කා අදත් උදේම නැගිට්ටද? උදේටත් මෙච්චර උයන්නෙ ඇයි අප්පා..අපිට අද පාන් කන්න තිබ්බනෙ.”

රමාලි කියන්නේ කෑම මේසය උඩ හිනාවෙන ඉඳිආප්ප දිහා බලාගෙන.කරීස් කිහිපයක්ම හදලා ඉඳි ආප්ප හදන නියෝගය මධූ අක්කාට දෙන්න ඇත්තේ අම්මා බව රමාලි දන්නවා.

“පාං රොඩු කාලා ඇද්ද ගෑනුන්ට.පොඩි දුව, නට නට ඉන්නෙ නැතුව ළමයෙක් හදා ගන්න දැන්…”

ඒ කතාව ඇහෙනකොට මධූට මතක් වුණේ කසාදෙට මාසෙකට පස්සේ ඉඳලම නැන්දම්මා තමන්ට දරුවෙක් හැදීම ගැන උපදෙස් දුන්නු හැටි.ඒත් දරුවෙක් හදන්න මධූ හිතාගෙන හිටියේ රදීෂ් පිටරට රස්සාව අත් ඇරලා ආපහු ආවම.මෙහෙ බිස්නස් එකක් එහෙම පටන් අරන් ටිකක් නිදහසේ කිරි සිහින දකින්නයි මධූට ඕනෑ වුණේ.ඒත් නැන්දම්මගේ හදිස්සිය නිසා වුණේ මධූගේ ගර්භනී කාලයෙන් මාස කිහිපයක්ම රදීෂ්ගේ ආදරේ නැතුව ගෙවන්න වීම විතරයි.චූටි පුතා තාත්තව දැක්කෙත් මාස ගාණක් ගෙවුණාට පස්සේ.

“දුලාජ්ගෙ අම්මා කියනව බබෙක් හදන්න තව අවුරුදු දෙකක්වත් ඉන්න කියල..”

රමාලි එහෙම කියලා ඉඳිආප්පයක සම්බෝල තවරන්න ගත්තා.

“ඒ මොන විකාර කතාවක්ද?”

නැන්දම්මාට හොඳටම තරහ ගිහින්.මධූ ඒක නොදැක්ක ගාණට පරිප්පු හැන්දක් බෙදා ගත්තා.ඒවා අම්මලා දූලාගේ ප්‍රශ්න.

“පළවෙනි කාරණේ අම්මේ, දුලාජ් කොළඹින් මෙහාට ට්‍රාන්සර් වෙන්න ඕන.අනිත් එක අපි දෙන්නා තව ටිකක් කල් අපිව තේරුම් ගන්න ඕන.දුලාජ්ගෙ අම්මා තමයි මටත් ඕවා කියා දෙන්නෙ..”

රමාලි කෑම මේසෙන් නැගිට්ටේ එහෙම කියාගෙන.

රමාලිට ඉන්නේ මොනතරම් ඉදිරිගාමී සිතුවිලි තියන නැන්දම්මා කෙනෙක්ද කියලා මධූ හිතුවේ තමන් ගැන ආත්මානුකම්පාවකින් හිත පිරෙනකොට.වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුණේ නෑ.ආයේම අම්මාගෙයි දුවගෙයි වලියක්.

“මොකක්ද ඔය ඇඳන් ඉන්නෙ..”

අම්මා දුවට කෑගහනවා.

“ගවුමක්නෙ අම්මේ..”

රමාලි එහෙම කියද්දී ඒ ගවුමේ අත් නැති වීම ගැන නැන්දම්මා ආයේ වතාවක් කෑගහන්න පටන් ගත්තා.

“අම්මේ,මේ ඇඳුමේ කිසිම අසංවරයක් නෑ.අනික අම්මා දුලාජ්ගේ අම්මගෙන් බැනුම් අහන්න වෙයි ගගා කෑගහන්න එපා.එයාට පුතාලම හිටියත් මාව හොඳට තේරෙනව.මං බාච්චු ඇඳුමක් ඇන්දමයි එයා බනින්නෙ.අම්මාගෙ නීති විඳල විඳලා මට එහෙ ගියාමයි ජීවිතේ කොච්චර නිදහස්ද තේරුණේ..ඒත් මට දුක මධූ අක්කා ගැන..”

රමාලි තදින් එහෙම කියද්දී නැන්දම්මා මොනමොනවාදෝ කියන හඬ මධූට ඇහුණා.තේරුම් ගැනීම සහ බොරු නීති නැති වීම නැන්දම්මා ලේලි අර්බුදයට තිත තියන එකම කාරණාව කියලා මධු හිතුවේ රමාලිගේ නැන්දම්මා ගැන සිහි කරන ගමන්.

“අක්කා, අපි අර ගාමිණි අංකල්ගෙ ත්‍රිවිල් එකෙන් ටවුමට ගිහිං එමු.පොඩ්ඩක් ෂොපිං ගිහින් රෑට කන්නත් අරන් එමු. “

හවස් වෙලා රමාලි සාලෙට එබුණේ එහෙම කියාගෙන.පුතාව නිදි කරවලා පත්තරයක් බල බල හිටිය මධූ ඇස් කොණකින් නැන්දම්මා දිහා බැලුවා.මධූ කොහෙහරි රස්තියාදුවක ගියා කියලා දුලාජ්ටත් කෝල් කරන්න බැරි නෑ.

එහෙව් අම්මා!

“ආ! මදූ අක්කේ.. මං ඔයාටත් ඔන්ලයින් ෂොප් එකකින් ඇඳුමක් ගත්තා.මට ගන්නකොට..ඕකත් ඇඳන් යං..”

අත් නැති පහසු ගවුම නැන්දම්මාටත් පේන්න දිගෑරිය මධූ නෑනන්ඩිට නොසෑහෙන්න ස්තූති කළේ ගවුමටම නෙවෙයි.ඇය ඇගේ අම්මාගේ සමහර නීති බිඳලා දාන ලේසිය ගැන හිතලා.

“ඔය කෑම ගන්නකොට මට මස්මාළු නැති මොනවහරි ගන්න මධූ.රෑ වෙන්න එපා.පුතාව මං බලාගන්නං.ඇහැරෙන්න කලින් ලෑස්ති උනානං මොකෝ..”

නැන්දම්මා එහෙම කියාගෙන ගේ ඇතුළට ගියේ මධූ පුදුම කරගෙන.රමාලි අතින් කට වහගෙන හිනා වුණේ අයියාවත් හොයලා නොදුන්නු නිදහස නෑනාට හොයලා දීම ගැන සතුටින්.

“අම්මව වෙනස් කරන්න අමාරුයි තමා අක්කේ.ඒත් එයා කියන දේවල් නෑහුණා පේන්නේ නෑ වගේ ඔයා ඔයාගේ නිදහස හොයා ගන්න.අපි වැරදි වැඩ කරන්නේ නැත්නම් බයේ ඉන්න ඕන නෑනෙ.දවල් වෙනකන් ඉඳහිට නිදාගත්තට,මහන්සි දවසට කඩෙන් කෑවට,අපිට ගැලපෙන ස්ටයිල් එකක් කරාට අපිට මොකුත්ම නැති වෙන්නේ නෑ.එහෙම නැති වෙන දෙයක් නෑ කියල අම්මටත් ඉගෙන ගන්න දෙන්න..”

රමාලි එහෙම කිව්වේ ත්‍රීවිල් එකට නැගලා ටික වෙලාවකට පස්සේ.

“ඇත්ත තමයි,නිදහසේ පාර එච්චර අමාරු පාරක් නෙවෙයි..”

මධූ හිතුවේ පාර දිහා බලාගෙන.

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content