fbpx

පවුලක් කියන්නේ සාමූහික හැඟීමක්

කාලෙකට පස්සේ අරුණිත් මාධවත් අපේ ගෙදර එනවා කියල පණිවිඩයක් ලැබුණේ ඊයේ හවස.ඉරිදා අපේ නිවාඩු දවස. අපි ගේ අස් කරලා, කෑම බීම හදලා ෆිල්ම් එකක් බලල ඉන්න දවස. ඒත් ඉතින් එහෙම දවසක් වැඩිපුර රහ වැටෙන්න යාලුවො ඉන්න එක හොඳයිනෙ.

“ඔයාගේ ගාඩ්න් එකේ ලස්සන බලන්න එපැයි..”

අරුණි කාර් එකෙන් බැස්සෙම එහෙම කියාගෙන. ජීවන්ත මං දිහා හීන් හිනාවකින් බලනකොට මං අරුණිගේ අතක් අල්ල ගත්තා.

“මගේ මෙලෝම සම්බන්ධයක් නෑ අනේ ඕවට.සේරම කරන්නේ ජීවා..”

මාධව ඒ වචන ඇහෙද්දී ජීවන්ත දිහා බැලුවේ සමච්චල් මුහුණක් හදාගෙන.

“අපෝ උඹ මල් වවනවද? ගෑනුන්ගෙ වැඩනෙ බං.”

ගාඩ්නින් කියන්නේ ගෑනුන්ට අයිති වැඩක් නොවෙන බවත් මල් විතරක් නෙවෙයි පළතුරු, එලවලු පවා අපේ උද්‍යානයේ තියන බවත් ජීවන්ත කියන්නේ සැහැල්ලුවෙන්.

“නිවාඩු දවසේ ගාඩ්නින් වලට මහන්සි වෙන්නේ මොකටද බං..මං නම් එක්කෝ ගේම් එකක් ප්ලේ කරනවා.නැත්නම් මැච් එකක් බලනවා. නැත්නම් කාලා නිදා ගන්නවා..”

මාධව එහෙම කියද්දී මං තරුෂිගේ අතින් අල්ලන් ගේ ඇතුළට ආවා.

“කොහොමද අනේ ඔයා ඔහොම හැඩට ඉන්නේ සකූ..මං බැරල් එකක් වගේ වෙලා..”

අරුණි අහද්දී මං ඩයට් ප්ලෑන්ස් ගැන, එක්සයිස් ගැන කියන්න පටන් ගත්තා.අරුණි ඒවා අහන් ඉඳලා තොල කනපිට පෙරළුවේ තේරුමක් නැති කතා අහන්නේ මොකටද වගේ..

“ඕවා කරන්න කොහෙද අනේ වෙලාවක්..”

දවල් කෑම වෙලාව එනතුරුම අරුණිත් මාධවත් එක්ක කතා කරනකොට මගේ ඔලුව කකියන්න පටන් ගත්තා.හැම දේම කරන්න බැරි බවත් මොකක්ම හරි බාධාවක් තියන බවත් කියන මේ ජෝඩුව සෘණාත්මක අදහස් වලින් මේ තරම් ඔලුව පුරවා ගත්තේ කොහොමද කියලා මට නම් හිතා ගන්න බෑ.

“හුඟක් මහන්සි වෙලානෙ..”

කෑම මේසය දැක්ක ගමන් අරුණි කිව්වේ මුහුණ සතුටින් පුරවාගෙන.

“ලොකු මහන්සියක් නෑ.අපි අද කොහොමත් උයන දවසනෙ..දැන් හවස් වෙලා ඉතුරු වැඩ ටිකත් කරනවා..”

මං එහෙම කියද්දී මාධව කතා කරන්න පටන් ගත්තා.රස්සාවේ මහන්සිය ගැන කියලා සති අන්තයට විතරක් මුළුතැන්ගෙයට යන බිරින්දෑවරු ගැන එයා කතා කළේ කේන්තියෙන්.

“අපේ අම්මලා ඒ කාලෙ පාන්දර තුනටත් ඉව්ව බං.රෑට නිදාගත්තේ දොළහත් පහු වෙලා.අපෙත් කිසිම දෙයක් කරගන්න බැරි මේ කඩෙන් කෑම හින්දා.”

මාධව එහෙම කියද්දී අපි ඉරිදට සතියටම සෑහෙන්න කෑම උයන බවත් බල්ක් කුකින් අපේ ජීවිතය බොහොම පහසු කරලා තියන බවත් කියන්න ජීවන්තට සැලකිය යුතු වෙලාවක් ගත වුණා.ඔක්කොම අහගෙන හිටිය අරුණි උරහිස් නටවලා “කුණු කරපු කෑම කන්න බෑ” කියද්දී ඉවුම් පිහුම් පාඩම නවත්තලා දාන්න ජීවන්ත වග බලා ගත්තා.

අලුත් ක්‍රම ගැන හිතන්න තියන අකමැත්ත,කම්මැලිකම බොහෝ දෙනෙක්ව අමාරු තැන්වල හිර කරනවා.මම පුඩිම අරන් ආවේ එහෙම හිතන ගමන්.

“මේක ජීවාස් රෙසිපි.කාලා බලන්න රසද කියලා.හැදුවෙත් එයාමයි..”

අරුණි ජීවන්ත දිහා බැලුවෙ ඇස් ලොකු කරගෙන.

“අපෝ ඔයා ජීවාගෙන් මෙච්චර වැඩ ගන්නේ ඇයි කියල මට හිතාගන්න බෑ අනේ.”

අරුණි කියන්නේ ඇත්තටම කලකිරීම පිරුණු කටහඬකින්.

උයන පිහින එක ගෑනුන්ට විතරක් සීමා වුණු දෙයක් නොවන බවත් උයනවා කියන්නේ හොඳ විනෝදාංශයක් බවත් ජීවන්ත පැහැදිලි කරාට ඇත්තටම මාධවවත් අරුණිවත් ඒක ඒතරම් පිළි ගත්තු බව මට පෙනුණෙ නෑ.

සමහර මිනිස්සු හිසරදයකට සමාන පදයක්.හැමදෙයකම ඇද හොයපු, හැම තිස්සෙම පැමිණිලි කරපු අරුණි සහ මාධව යන්න ගියේ අන්න ඒ කාරණාව අපට මතක් කරලා දීලා.

“ගෙයක් කියන්නේ ගෘප් ප්‍රොජෙක්ට් එකක් කියලා පිළිගන්න අපේ පරම්පරාවේ අයත් අකමැති එකනෙ වැඩේ..”

මං මුළුතැන්ගෙය අස් කරද්දී සාලේ මොප් කරන ජීවන්ත කියන්නෙ කල්පනාකාරී හඬකින්.

ජීවන්තත් මමත් එකතු වෙලා උයපු කෑම සතියටම සෑහෙන්න ෆ්‍රිජ් එකේ ගබඩා වෙලා ඉවරයි.මම ඔෆිස් යන්න මහන්සියෙන් උයන්නවත් ගෙදර ඇවිල්ලා මහන්සියෙන් උයන්නවත් අවශ්‍ය නෑ.කඩෙන් කන්න සතයක්වත් යන්නෙත් නෑ.අද මම රෙදි හෝදන්න දැම්මම ඒවා වැනුවේ ජීවන්ත.සතියකට අඳින ඇඳුම් මම අයන් කරනකොට ජීවන්ත වේළුණු රෙදි පිළිවෙලකට අස් කළා. දැන් ගේ අස් කලාම අපිට තියෙන්නේ නාලා ෆිල්ම් එකක් බලන්න.

ඉඳුල් ගඳක් නැති, කුණු පොදක් නැති ගේ ගැන වගේම පුංචි කුරුළු පැටව් සින්දු කිය කියා ඉගිලෙන අපේ උද්‍යානය ගැනත් මට දැනෙන්නේ කියා ගන්න බැරි සතුටක්.කම්මැලි නොවීමත්, සැලසුම්සහගත වීමත් අපිට ජීවිතේ කොච්චර පහසු කරලාද?

ජීවිතේ බරක් කර ගන්නේ අපිම තමයි.

Related Articles

Popular Articles

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x